පසළොස්වක මල් – 17

0
38

” ගුඩ් මෝනින් දුමී..!” 

” ගුඩ් මෝනින් අයියේ..!” 

පහත මහලට එන විටත් උදෑසන කෑම මේසයෙ අසුන් ගෙන සිටි අෂ්මිල තරුණිය දුටු වහා ඈ හා කතාවට වැටුණු අතර එහි අනෙක් පස පුටුවේ උන් ඔහුගේ වැඩිමහලු සහෝදරයා සුපුරුදු පරිදි ආහාර පිඟානට මුහුණ ඔබා සිටියේය.

” අද කැම්පස් යන්නෑ.,?” 

” අද දවල් වෙලා අයියේ ලෙක්චර් එකක් තියෙන්නේ “

ඈ අෂ්මිලට නැවතත් පිළිතුරු දී මුළුතැන්ගෙහි සිට ආහාර බඳුනක් රැගෙන ආ මහීකාගේ අතින් එය තම අතට ගත්තාය.

” ඔයත් දුවන්නැතුව වාඩි වෙලා කන්න. “

එසේ පැවසූ ඈ සිනහමුසු උවනින් ආහාර බඳුන මේසයෙන් තැබූ අතර ඈ වෙත සිනහවක් පෑ මහීකා අෂ්මිල අසලම අසුනේ හිඳ ගත්තාය. 

” මේ දුමී..! වාඩි වෙනවකෝ පොඩි වැඩක් කියන්න “

” මොකද්ද ?” 

” වාඩි වෙනවකෝ හලෝ මුලින්ම “

අෂ්මිල ඉදිරියෙන් පසුපසට ඇද හිඳ ගත් අසුනේ සිටම ඈ එක එල්ලේ ඔහු දෙස බලා දෑතම මේසය මත තබා මඳක් ඉදිරියට ආවාය.

” මොකද්ද ?” 

” එදා දිහස් එක්ක කතා කළා නේද ?” 

” දිහස්..? කවුද ? “

තත්පර කිහිපයක් අෂ්මිලගේ පැනය එක්ක කල්පනාවට වැටුණු ඈ ඔහුගේ පිළිතුර ලැබීමට පෙරම මතකය ආවර්ජනය කර ගත්තාය. 

” ආ.. අර ශනූ අක්කලා එක්ක ආවේ ?” 

” හ්ම්ම්.. ශනූගේ ලොකු අප්පච්චිගේ පුතා. පොර ඔයාගේ ෆෝන් නම්බර් එක ඉල්ලුවා. මං දුන්නා ඈ..”

” මගේ ? ඇයි ඒ ?” 

අෂ්මිලගේත් , මිහිදුමීගේත් කතාව අතර මැද මහීකාගේ දෑස රැඳී තිබුණේ නිහඬවම ආහාර ගන්නා වැඩිමහලු පුත්‍රයා වෙතය. නැත.. එහි කිසිදු වෙනසක් නොමැත. 

” රාමු කරලා බිත්තියේ ගහ ගන්න වෙන්නැති. “

මුව ඇද කළ අෂ්මිල දුන් පිළිතුරට මහීකා මුව පුරා සිනහවක් නැඟූ අතර මිහිදුමී ඔහු දෙස බලා රැවුමක් පා කළාය. 

” අනේ කියන්නකෝ වදේ..”

” කියනකන් හිටහන්කෝ ඉතිං. මැද්දෙන් පනින්නේ නැතුව” 

නැවත වතාවක් ඔහු වෙත රැවුමක් පා කළ තරුණිය පුටුවේ පසුපසට වූවාය. 

” මිනිහට ඔයා ගැන අයිඩියා එකක් තියනවා වගේ. “

අසුනේ පසුපසට බර උන් ඈ ක්ෂණිකව ඉද්ද ගැසුවාක් මෙන් ඉදිරියට ආවාය. 

” එපා.. එපා පිස්සුද ?” 

එවර අෂ්මිල සේම මහීකාද එක එල්ලයේ ඈ දෙස බැලූ අතර තවමත් කිසිදු වෙනසක් නොපෙන්වූ වැඩිමහලු පුත්‍රයා සෙමින් සෙමින් ආහාර පිඟාන කොනකින් අනමින් සිටියේය.

” ඇයි එපා? ඌ හොඳ කොල්ලෙක්නේ ? ඉගෙනගෙන තියනවා ,  මේ ෆයිනල් ඉයර් යන්නේ. අනික හොඳ ස්මාර්ට් ලුක් එකකුත් තියනවා. ඒ පවුලත් හරි හොඳ වැදගත් පවුලක්. අඩුපාඩුවක් , නරකක් පේන්න නෑ. හිතලා බලනවකෝ. “

” ඒ.. ඒවා හරි . ඒත් මට එපා. “

” එවර දෑස ඔසවා ඈ දෙස බැලූ අෂ්මිල මව දෙසත් බලා , යළි තමා ඉදිරියේ උන් තරුණිය දෙස බලමින් දෑස සිහින් කර විපරම් බැල්මක් හෙළුවේය.

” මගේ කටින් වචනේ පිට වෙච්ච හැටියෙම , තත්පරයක්වත් කල්පනා නොකර එපා කිව්වේ දැනටම කොල්ලෙක් ඉන්නවා නෙහ් ? “

එවර තරුණිය පෙරට වඩා කලබල වී ඔහු දෙසත් තමා දෙස එක එල්ලයේ බලා සිටිනා මහීකා දෙසත් බැලුවාය.

” පිස්සුද අනේ.. එහෙම දෙයක් නෑ.”

” අනේ මේ නංගි , උඹලා ඉපදෙන්න කලින් අපි ඉපදුණේ. උඹලට කලින් අපි ඔය හැම පන්තියකටම ගියා හොඳේ. උත්තරයක් දෙනකොට ඒක දෙන ටෝන් එකෙන් ඒක ඇත්තද බොරුද කියලා අපිට හිතා ගන්න පුලුවන් ඈ..”

” හරි හරි ඉතිං.. “

මඳක් පසුබෑ ඈ යළි ඔහුගෙන් දෑස ඉවතට ගත්තාය. 

” කියනවා.. කියනවා.. කැම්පස් එකේ කොක්කක්ද ? නැත්තන් ගමේ ? එහෙනං ශුවර් එකට මැණික් කාරයෙක් ?” 

අෂ්මිලගේ අනුමාන හමුවේ මිහිදුමීගේ දෑස යළිත් විසල් වුවද මහීකාගේ සීතල දෑස තවමත් රැඳී තිබුණේම නිහඬව ආහාර අනමින් සිටින වැඩිමහලු පුතු වෙතය. 

” අයියෝ.. නෑ අනේ.. මට එහෙම එෆෙයාර් එකක් නෑ. “

අෂ්මිල නැවත වතාවක් මුව ඇද කළේය. 

” ඔය ඉතිං ? තවත් බොරුව දානවනේ ?” 

” එහෙම දෙයක් ස්ථීරෙට නෑ අනේ..” 

නොසැලකිලිමත්කමින් මුවෙන් පිටට පැන්න වචනය ගැන මිහිදුමී පසුතැවෙනවිටත් මහීකාගේත් , අෂ්මිලගේත් පුදුම සහගත දෑස් සේම කිසිදු හැඟීමක් නොමැති වැළපෙන දෑසද ඈ වෙතට මිලි තත්පරයකට යොමු වූ බව මහීකා අහම්බයෙන් දුටුවාය. 

” ස්ථීරෙට නෑ කියන්නේ ? ඔයාගෙන් කවුරුහරි එහෙම එකක් අහනවද ? කැමති උනාට කැමතියි කියන්න බැරි තැනද ඉන්නේ ?” 

” සමන් දෙයියනේ..! නෑ.. ඒ මනුස්සයා මගේ හිතේ තියන දේවල් දන්නෑ. “

එවර ඈ දෝතින්ම මුව වසා ගත් අතර මඳ සිනහවකින් මුව පුරවා ගත් අෂ්මිල මව දෙස බලා ඇසක් ඉඟි මැරුවේය. 

” අපරාදේ ඔයා ඩොක්ටර් කෙනෙක් උනේ ? පොලීසියට යන්න තිබ්බේ . පුදුම ප්‍රශ්න ඇහිල්ලක්නේ මේක. “

නෝක්කාඩු බස් පවසමින් ඈ මේසයේ පසෙක වූ පිඟානක් ලඟට ගෙන පළඟානක් මත තිබූ ඉඳිආප්ප කිහිපයක් ඒ මතට දමා ගනිමින් අෂ්මිලගේ කතාවෙන් බේරීමට තැත් දැරුවාය. 

” අපිට ඔය කොයි ජොබ් එකත් එකයි නංගි .කියනවකෝ කවුද පොර ? කැම්පස් කොල්ලෙක්ද ?” 

” අනේ නෑ අනේ..”

” නෑ.. ? එහෙනං කවුද බං ?” 

” අනේ සුදු අයියේ මේ.. ! කට පියාගෙන කන්නකෝ. “

” ඒ කතාවනං මටත් අහන්න ආසයි. කවුද දුමී කියන්නකෝ ? කැම්පස් එකෙත් නෙමෙයිනං අපි දන්න කෙනෙක්ද ? ඔයාට සපෝට් එකක් ඕනෙනං අපි දෙන්නං. නැද්ද සුදු පුතා ?” 

” අනේ.. ආන්ටී .. !  ඒ පාර ඔයත් පටන් ගත්තද ?” 

” කියනවකෝ වදේ.. කවුද මිනිහා ? දන්නවනේ මං ගිහින් කෙලින්ම කතා කරලා වැඩේ සෙට් කරලා දෙන්නං “

අෂ්මිල එවර ඈ දෙස බලා ඇසක් ඉඟි මැරූ අතර මිහිදුමී යළිත් වතාවක් ඔහුට එරෙව්වාය.

” ඒක තමයි , කියන්නකෝ දුමී.. “

නැවත වතාවක් මහීකාද පෙරැත්ත කළ අතර ආහාර පිඟානෙන් දෑතම ඉවතට ගත් තරුණිය ඔවුන් දෙදෙනා දෙස බලා මඳ සුසුමක් හෙළුවාය. 

” තේරුමක් නෑ ආන්ටි.. ඒක මගේ හිතේම තිබුණාවේ. “

එවර ඇගේ ස්වරය බොහෝ පහත් වූ අතර එහි ගැබ්වී තිබූ වේදනාත්මක හඬ නිසාවෙන්ම අෂ්මිල දෑස හරවා මව දෙස බැලුවේය.

” ඒ මොකද ඒ ? ” 

අෂ්මිලගේ දෑසේ වූ ප්‍රශ්නය වටහා ගත් මහීකා යළිත් පැනයක් නැඟුවාය. 

” කවදාවත් කසාදෙකටවත් , එෆෙයාර් එකකටවත් යන්න පුලුවන් කෙනෙක් නෙමෙයි මං. මගේ ජීවිතේ ඒවට ඉඩක් නෑ. “

” ඒ මොකෝ ඒ ?” 

මං හරි ලස්සනයි කියලා මං මාවම වර්ණනා කරගන්නෑ. ඒත්..පිට පෙනුමින් මං දන්නවා මං කැත කෙල්ලෙක් නෙමෙයි කියලා. මං හොඳට ඉගෙනගන්නවා. එතකොට මට තියෙන්නේ මහවලතැන්න සර්නේම් එක. මං නීත්‍යානුකූලව මහවලතැන්න පවුලේ කෙනෙක් වෙලා ඉවරයි. විශාඛා අම්මයි , මාමයි ඒ දෙන්නගෙම දරුවෙක්ට වගේ මට සලකන්නේ. ඒ හැමදේම හරි. ඒ හැමදේම එකතු උනාම මගෙයි කියන්න කිසිම අඩුපාඩුවක් නෑ. ඒකත් හරි. ඒලෙවල් කරලා කැම්පස් තේරිලා ඉද්දි දවසක් අම්මායි , මමයි එයාගේ යාලුවෙක්ගේ ගේක බණ ගෙදරකට ගිය වෙලාවේ එතන හිටපු එයාලගේ නෑ කෙනෙක්ගේ පුතෙක් ගැන මට යෝජනාවක් ආවා. මාමා නං කැමති උනේම නෑ. මාමා කිව්වෙම මං කැම්පස් යන්නෝනේ. ඉගෙන ගන්න ඕනේ කියලා. ඒත්.. අම්මා කිව්වා ඒ මිනිස්සු සබරගමුවේ හොඳ පැළැන්තියක මිනිස්සු. සමන් දේවාලේ උනත් රාජකාරි පරම්පරාවෙන් පරම්පරාවට භාර අරන් ඉන්න මිනිස්සු. මේක කතා කරලා තිබ්බට වරදක් නෑ , දුමී ඉගෙනගෙන ඉවර වෙච්ච දවසක බැරියෑ මඟුල් තුලා කරන්න කියලා. 

ඊට පස්සේ ඒ මිනිස්සු මාව බලන්න එන්න දිනත් දාගෙන හිටියා. අන්තිමට දිනේ කට උඩ තියලා ඒ පැත්තෙන් මේකට කැමති නෑ , අදහස අත ඇර ගත්තා කියලා පණිවිඩයක් ආවා. 

ඊටත් පස්සේ මාමාගේ හොස්පිට්ල් එකේ යාලුවෙක්ගේ වෙඩින් එකකට ගිය වෙලේත් මට ප්‍රපෝසල් එකක් ආවා. ඒ නම් ඩොක්ටර් කෙනෙක්මයි. ඒ යෝජනාවනං ගෙදරටම ආවා. ඒත්.. ඒකටත් උනේ කලින් එකටම වෙච්ච දේ. දිනත් දාගෙන මාව බලන්න එන්න ඉවර වෙලා අන්තිම මොහොතේ අදහස වෙනස් කරගත්තා පණිවිඩයක් ආවා. ඒකෙන් උනේ මාමායි , අම්මයි රණ්ඩු වෙච්ච එක. රණ්ඩු උනා කියන්නේ මාමා දවස් ගාණක් යනකන් අම්මට බැන්නා. ආයේ එහෙම ඕවා පටළවලා මගේ ඔලුව අවුල් කරන්න එපා කියලා. ඊට පස්සෙත් මාව දැකලා දෙතුන් තැනකින් ඔහොම ප්‍රපෝසල්ස් ආවට අම්මම ඒවා මං තාම ඉගෙනගන්නවා කියලා මුලදිම රිජෙක්ට් කළා. “

මුහුණේ ඉරියව් මත කිසිදු කණගාටුදායක පෙනුමක් නොමැතිව ඈ පවසාගෙන යන කතාන්දරය අෂ්මිල හා මහීකා මහත් පුදුමයෙන් අසා සිටි අතර වෙනදාට සැමට පළමුවෙන් කෑම මේසයෙන් නැඟිට යන උස් සිරුරුලාභියාද කෑම පිඬ අනමින් තැක් ගැහෙමින් සිටියේය.

” දැන් ඇයි ඇත්තටම එහෙම උනේ ?” 

අවසානයේ අෂ්මිල සිතෙහි ඇතිවූ පළමු පැනය එලෙස ඈ හමුවේ අත් හැරියේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here