පසළොස්වක මල් – 16

0
359

හදවත කිසිසේත් සැහැල්ලුවෙන් නොමැත. පැහැදිලිබාවයකින් නොමැත. සැනසීමකින් නොමැත. අම්මා කියනාකාරයට අළු දූවිලි මතින් පොළොවට වැසී ගිය දේවල් යළි යළි ගොඩ ගැනීමට උත්සාහ කිරීමෙන් තමා ඒ මතම ගිලී යන බවක් දැන් දැනෙන්නට පටන් ගෙන ඇත. දෑසින් ගලා යන කඳුළු බිඳු පිසදා දැමීමට හෝ උනන්දුවක් නොගත් ඈ ගමන් මල්ල යහන මතම දමා සඳලුතලයේ ද්වාරය විවර කරමින් මහීකා අලංකාරය උදෙසා සකසා ඇති වැල් රෝස පඳුරට මෙහා බිත්තියට බර වී එහි ටයිල් පොළොව මතම හිඳ ගත්තාය. 

සැඳෑවේ දේශනයේ කුමන කරුණක් සාකච්ජා උවද කියා වැටහීමක් නොමැත. රංගිගේ හමුවීමෙන් පසුවත් , ඉන් අනතුරුව සුභාවී හා කතා බස් කළ දෑත් සියල්ල එක මිටට ගෙන පසෙකට දමා අමතක කර කිසිවක්ම සිදු නොවුණු ආකාරයට ඉගෙනීම් වැඩ කටයුතු පමණක් ඉටු කළා නම් මැනවැයි හදවතේ පසෙකින් කොඳුරයි. අන්ත අසරණව කිසිවෙකුත් නොමැතිව සිටි මොහොතක තමාට දෙවන වර ජීවය ලබා දුන් මහවලතැන්න කුටුම්බයට කළගුණ සැලකීම වෙනුවෙන් හෝ නිසි ලෙස අධ්‍යාපන කටයුතු සිදු කර සිටීම උචිත යැයි ඒ පසින්ම යළි යළි පවසයි. නමදු දිනක විශාඛා පැවසූ ආකාරයටම හදවතේ සිටින්නාවූ සහෝදරිය හා මව අහිමි වූ කුඩා එකිය වරින් වර තමන්ට වූ අසාධාරණය වෙනුවෙන් සාධාරණයක් ඉල්ලා කෑගසන්නීය. එයටද පිටුපා හිඳිනු නොහැකිය. දෙලොවක් අතර තනිවූ ඈ අන්ධකාරය තුළට සඳළුතලයේ පොළොව මත දිගටම කල්පනාබරිතව හිඳ සිටියාය. 

” දුමී.. දූ..! “

මහීකාගේ හඬ ඇසුණේ නිදන කාමරය දෙසිණි.  ඈ සඳළුතලයට පා තියන්නට පෙරම කල්පනාවෙන් මිදුණු තරුණිය වහා හිඳ උන් පොළොව මතින් නැඟී සිටියාය. නැතිනම් සිදු වන්නේ නිරපරාදේ මහීකා මතද ප්‍රශ්න ගොඩක් තබා ඒවාට ඉදිරියේ පිළිතුරු බැඳීමට සිදු වීමය. 

” ආන්ටී.. ! මං මෙහේ. හුළං ටිකක් වදින්න ආවා.”

” අදනං හරි මහන්සි පාටයි ..?” 

ඇගේ මැළවුණු උවන දුටු මහීකා තම අවංක අදහස ප්‍රකාශ කළාය. 

” උදේ ගිය පාරනේ ආන්ටී..! මහන්සියි “

” ඒකනේ.. වොශ් එකක් දාන් එන්න. අයියලා දෙන්නත් ඇවිත් ඉන්නේ. අපි කාලා ඉමුකෝ. “

” දැන් නං කන්න බෑ ආන්ටී. හරි මහන්සියි. “

” ආ.. කන්න බෑ කියලා කොහොමද ?” 

” අනේ බෑ ආන්ටී. හවස යාලුවොත් එක්කත් අනං මනං කෑවා. මං වොශ් එකක් දාන් , රෑ වෙලා තේ එකක් හදා ගන්නං. “

” හොඳයි එහෙනං. ෆ්‍රිජ් එකේ කේක් තියනවා. ඒකෙන් කෑල්ලකුත් කපලා ගන්න. “

ඈ පිළිතුරු නොදීම හිස සැළුවාය. 

මහීකා පිටව ගිය පසු තවත් සඳළුතලයේ නොරැදුණු ඈ සෙමින් අඩි තබමින් නාන කාමරය තුළට රිංගා ගත්තාය. බොහෝ වේලාවක් යන තුරු වතුර මල යටට වී සිට සෙමින් පහත මහලට බසිනා විටත් සියල්ලෝම රෑ කෑම මේසයෙන් නැඟිට ගොසින්ය.

” මයේ අම්මා.. හොඳට කාපන් මයේ දෙයියෝ.. තව ටිකක් ගෙනත් දෙන්නද උඹට ?” 

සෑම දිනකම රාත්‍රී ආහාරයෙන් පසුව විජේසිංහ නිවසේ සුරතල් දඩෝරියා වූ ෂැඩෝට රාත්‍රී ආහාරය ලබා දී ඌ සමඟ සුරතල් බස් දොඩන සරෝජා දුටු මිහිදුමීගේ උවන මතට මඳ සිනහවක් නැඟුණි. 

” එකාතකට තිරිසන් සතෙක් වෙලා ඉපදෙන එකත් පිනක්. එහෙම උනානං මෙච්චර දුකක් නෑ. “

තනිවම එසේ සිතමින් ඈ තේ කෝප්පයක් පිළි‍යෙළ කර ගැනීමට යෙදුණාය. 

” ඒ කතාව අම්මා ඉස්සරහා කිව්වනං හොඳට අහගන්න තිබ්බා “

පළමුව සිතට නැඟි කාරණයත් සමඟම දෙවනුව මතුවූ කාරණය හේතුවෙන් ඇගේ මුව මත යළිත් හසරැල්ලක් ඇඳිණි. සාදාගත් තේ කෝප්පයද සමඟ යළිත් සඳළුතලයට පිවිසි ඈ එහි වූ ලී මේසය අසලට නොයා පුරුදු පරිදි ටයිල් පොළොව මත හිඳ බිත්තියට හිස තබා ගත්තාය. 

” ම්හ්..ම්හ්හ්..”

ලඟ ලඟම ඇසුණු උගුර පාදන හඬට ගැස්සී දෑස විවර කළ ඈ තමා ඉදිරියේ ඇති පාද දෙක දිගෙහි දෑස ඉහලට ගෙන ගියාය. 

” උමන්දා..” 

අත රැඳි ජංගම දුරකතනය ඈ වෙත දිගු කරමින් උන් ඔහු කිසිදු තෙතමයක් නොරැඳි ගැඹුරු කටහඬින් එසේ පැවසූ අතර ඈ නිහඬවම දුරකතනය අතට ගත්තාය. 

” හෙලෝ..!” 

” හෙලෝ.. නංගි.. ! අනේ සොරි නංගි. ඔයා වැඩකද හිටියේ ? “

අනෙක් පසින් ඇසුණු උමන්දාගේ හඬින් ඇගේ  හදවතෙහි සියුම් සතුටක් මෝදු විය. 

” අනේ නෑ අක්කේ , කියන්න. මං තේ එකක් බිබී හිටියේ. “

” එදා ඔහේ ඇවිල්ලා එන්න ඉද්දි ඔයාගේ නම්බර් එක ඉල්ලන් එන්න හිටියට අපේ කේලිගේ වැඩ නිසා ඒක කරගන්න බැරි උනා. අන්තිම මොහොතේ ඔයාව දාලා යන්න බෑ කියලා ඇඬුවනේ. මතකද නටපු නැටුම ?” 

දුරකතනය ඈට දී ඉවතට යන දෙපා දෙස බැල්මක් හෙළමින්ම ඈ පිළිතුරු වෙනුවට මඳ සිනහවක් පෑවාය. 

” මං අස්නකට කතා කළේ ඔයාගේ නම්බර් එක ඉල්ලගන්න. එයා ලඟ නෑ කිව්වා. ඒ පිම්ම මං කිව්වේ එහෙනං ෆෝන් එක ඔයාට දෙන්න කියලා. අපේ කේලිගෙන් බේරෙන්න බෑ නංගි කොන්සර්ට් එක බලන්න ඔයාට එන්න කියලා , මං ඒකයි මේ ඔයාට කෝල් කළේ. “

” කවද්ද අක්කේ තියෙන්නේ ?” 

” next saturday නංගි. හවස 6 ට පටන් ගන්නේ. නෙලුම් කුළුණ ස්ටේඩියම් එකේ. “

” මං එන්නං අක්කේ. චූටි පැටියට කියන්න මං එන්නං කිව්වා කියලා. “

” ඔයා කැම්පස් එකේ වැඩ පාඩු කරන් නං එන්න එපා නංගි. “

” නෑ අක්කේ නෑ. සෙනසුරාදා හවස මං ෆ්‍රී “

” හොඳයි නංගි , මං කේලිට කියන්නං . ගුඩ් නයිට්. බුදු සරණයි “

ඇමතුම අවසන් කළ ඈ නැවත දෑස ඔසවා බැලුවද දුරකතනයේ හිමිකරුවා ලඟ පාත නොසිටියේය. හිඳ උන් තැනින් සෙමින් නැඟිට ගත් මිහිදුමී ලී මේසය අසලට ගොස් දුරකතනය එහි තබා හිස් තේ කෝප්පයද රැගෙන යළිත් මුළුතැන්ගෙය දෙසට පා තැබුවාය. 

මහීකා සේම සරෝජාගෙන්ද හිස් වූ මුළුතැන්ගෙහි කරාමයට අල්ලා තේ කෝප්පය පිරිසිදු කළ ඈ වහා පසුපස හැරුණු අතර එහි ද්වාරය අසල සිටි හැඩිදැඩි තරුණයා දැක එක්වරම තිගැස්සී ගියාය. තමාගේ නිශ්ශබ්ද පැමිණීම හේතුවෙන් ඇගේ තිගැස්ම එක් වරම වටහා ගත් ඔහු පළමුව උගුර රැල් බුරුල් කළේය. 

” ම්හ්හ්.. සරෝජා නැන්දව බලන්න ආවේ. තේ එකක් හදාගන්න “

” නි.. නිදිද කොහෙද ?” 

” හ්ම්ම්”

යළිත් පිළිතුරක් නොතැබූ ඔහු නැවත වාරයක් උඩු මහලට ඇවිද ගිය අතර තවත් මොහොතක් පැන්ට්‍රිය මතට වාරු වී සිටි ඈ නිහඬවම විදුලි කේතලයට වතුර පිරෙව්වාය. මිනිත්තු කිහිපයක් ගත වූ තැන තනි සුදු පැහැ තේ කෝප්පයද අතැතිව උඩු මහලේ තම නිදන කාමරයට ගොඩ වූ ඈ ඉන් සඳළුතලයට පිවිස මඳක් ඇවිද ගොස් විවර තිබූ අසල්වැසි නිදන කාමරයේ සඳලුතලය අසල සිට ගත්තාය. 

මේසය මත වූ තම ලැප් ටොප් පරිගණකය වෙත දෑස් අළවා ගනිමින් , දුම්වැටියක් උරමින් සිටි ඔහු ඇමතීමට පෙරම ද්වාරය අසල උන් තරුණිය දැක හිඳ උන් පුටුවෙන් නැඟී සිටියේය. 

“තේකක් හැදුවා. “

ඇගේ හඬෙහි පෙර වූ ප්‍රීතිමත් බව හෝ පිරුණු බව බොහෝ දුරට සේදී ගොස් ඇති බව දැනුණු ඔහු අත රැඳිව තිබූ දුම් වැටිය මේසය මත වූ වීදුරු බහාලුමට දමා ඈ අසලට පැමිණ තේ කෝප්පය අතට ගත්තේය. 

” තෑන්ක්ස් “

කිසිවක්ම නොදෙඩූ ඈ යන්නට ආපසු හැරුණාය. 

” ප්‍රශ්නෙකද ?” 

ඉහලට එසවූ පාදය යළි ඉදිරියට තැබීමට නොහැකි වූ ඈ එතනම නැවතුණාය.

” ටිකක් “

” පිරිමි ළමයෙක්ද ?” 

” අනේ නෑ..”

තිගැස්සුණු ඈ වහා ඔහු වෙතට හැරී කලබලයෙන් පිළිතුරු බැන්ඳාය.

” හ්ම්ම්”

ඈ දෙස නොබලාම ඔහු තේ කෝප්පය උගුරෙන් උගුර තොල ගෑ අතර එකී කඩවසම් උවනත් , උගුරෙන් පහලට යන තේ උගුරු කිහිපයෙන් සෙලවෙන සරාගී ගෙලත් දෙස තත්පර කිහිපයක් බලා සිටි ඈ වහා සිහි එළවා ගනිමින් හනික නිදන කාමරය තුළට වැදුණාය. 

” සමන් දෙයියනේ..! මොනවද මට මේ වෙලා තියෙන්නේ ? ඒ මනුස්සයා දිහා බලන් ඉද්දි ඔලුවේ තිබ්බ ප්‍රශ්න ටිකත් අමතක උනා. “

මඳ මදහසක් මුව මත තවරා ගත් ඈ එලෙසටම යහනට කඩා වැටුණාය.

” තේ එක රහයිද කියලවත් කිව්වේ නෑ.. මොන ජාතියක මනුස්සයෙක්ද මන්දා.. “

” 

මුතු මාල පොටක් ගෙලේ බඳින දා

සිත කෝල සිතුම් එබී බලන දා

රෑ නින්ද නැතිව හීන දුටුව දා

හිත ආදරයක බැඳුනිද මන්දා…” 

නොදැනුවත්ම ගැයුනු ගීත කාණ්ඩය පමණට වඩා ඉහල ස්වරයක් ගත් බව සිහි වූ ඈ වහා දෝතින්ම මුව වසා යළි රහසින් ද්වාරයෙන් එබී සඳලුතලය දෙස බැලුවාය. ලී මේසයට පිටදී තවමත් තේ කෝප්පය රස බලමින් සිටි ඔහුගේ දෑස හා ක්ෂණිකව පැටළුණු ඇගේ දෑස වහා ගලවා ගනිමින් ඈ යළි යහනට වැද මුහුණ කොට්ටයක් මත ඔබා ගත්තාය. 

” ඊඊඊඊව්ව්ව්.. මට වෙන්නෙම ලැජ්ජ නැති වැඩමයි.. ඇහෙන්නත් ඇති.. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here