පසළොස්වක මල් – 18

0
1060

” මං ඉපදුණේ මහා ලොකු වත්පෝසත්කම් තියන පවුලක නෙමෙයි අයියේ. මගේ තාත්තා මං ඉපදෙන්න කලින් වැඩ කරලා තියෙන්නේ මැණික් පතල් වල. හරියටම මං ඉපදෙන්න දවස් තුනකට කලින් මගේ තාත්තට මැණික් ගලක් හම්බෙලා තියනවා. ටිකක් වැඩි ගාණක කාකනිලක්. Blue sapphire ( බ්ලූ සෆායි ) කියන්නේ. ඒ ජාතියේ මිල වැඩි එකක්. අපේ තාත්තා ඕක අරන් ගිහින් විකුණන්න. කීප තැනකින්ම බලලා වැඩිම ගාණක් දෙන්නං කිව්ව කෙනෙක්ට ගල අරන් ගිහින් විකුණන්න. එදාම තමයි මාව ලැබෙන්න අමාරු වෙලා අම්මව හොස්පිට්ල් අරන් ගිහින් තියෙන්නේ. කොහොමහරි ගල ගන්න ආපු උන් තාත්තව රවට්ටලා. තාත්තාට ගහලා , තාත්තගේ කකුලක් කඩලා. මැණික් ගල හොරකම් කරලා.  එදාම මං ඉපදුණේ. ඒ වෙච්ච වැඩෙන් තාත්තට හොඳටම අමාරු උනා. මාස අටක් විතර තාත්තා එකතැන හිටියා. තාත්තාගේ පවුලේ අය මාව අඳුන්නලා තියෙන්නේ ඉපදිච්ච ගමන්ම පවුලට අවාසනාව ගෙනාපු ළමයෙක් විදිහට. 

ඒත්.. තාත්තා මං දිහා එහෙම බැලුවේ නෑ. ඒ සිද්ධියෙන් පස්සේ තාත්තට හොඳටම හොඳ උනත් තාත්තා සදාකාලිකවම කොර ගැහුවා. ඒක නිසා ඊට පස්සේ පතල් බහින්න උනේ නෑ. ගොඩක් වෙලාවට අතට අහුවෙන කුලී වැඩක් තමා කළේ. මගේ අක්කා මට වැඩිය අවුරුදු දොළහක් විතර වැඩිමල්. මගේ අක්කට හොඳට ඉගෙනගන්න පුලුවන්. තාත්තට ලොකු උවමනාවක් තිබ්බා අක්කට හොඳට උගන්නන්න. මතක විදිහට එතකොට මට අවුරුදු හයක් , හතක් වගේ ඇති. අක්කාගේ උපන්දිනයක් දවසක තාත්තාගේ ලොකු අක්කා ඒ කියන්නේ අපේ ලොකු නැන්දා එයාට ලස්සන මල් ගවුමක් ගෙනත් දුන්නා. ඒක අපේ අක්කා මට අල්ලන්නවත් දුන්නෑ. පොඩි ළමයිනේ. ඒවා දැනුයි තේරෙන්නේ කල්පනා කරලා බලනකොට. මොන පොඩි එකාද ඒවට අකමැති නොවෙන්නේ. ? “

ඈ කතාව මඳකට නතර කර තමා ඉදිරියේ තිබූ වතුර වීදුරුවක් ගෙන එක හුස්මට පානය කළාය. 

” අක්කා මං ඒ ගවුම අඳිනවා තියා අල්ලනවටවත් කැමති උනේ නෑ. ඉතිං මාත් හෝ ගාලා ඇඬුවා. මටත් ඒ ජාතියෙම ගවුමක් ඕනේ කියලා. ඊට පස්සේ තාත්තා මට පොරොන්දු උනා ඊලඟ සතියේ එන මගේ උපන්දිනේ දවසට ඒ වගේම ගවුමක් මටත් ගෙනත් දෙන්නං කියලා. මං ඉතිං ඊට පස්සේ කළේ උපන්දිනේ දවස එනකන් දින ගැනපු එක. ඒත්.. මගේම අවාසනාවට එදා තාත්තට කුලී වැඩක් හම්බෙලා නෑ. ඉතිං ගවුමක් තියා ලේන්සුවක්වත් නැතුව තාත්තා පුංචි බටර් කේක් කෑල්ලක් විතරක් අරන් ගෙදර ආවා. මට ඒක දරාගන්න බැරි උනා. මොකද මං බලන් හිටියේ මල් ගවුමක් ලැබෙනකන්. තාත්තාට වැඩක් ලැබුණේ නෑ. , ඒ නිසා සල්ලි නැති උනා කියන කතා මට පිළිගන්න බැරි උනා. කොහොමත් ඒ වයසේ දරුවෙක්ට ඒ ගැන මහා ලොකු දැනීමක් නෑනේ. මං කළේ මට දීපු බටර් කේක් කෑල්ලත් පොළොවේ ගහලා යටි ගිරියෙන් මට ගවුමක් ඕනේ කියලා බිම පෙරළි පෙරළි අඬපු එක. ඒක බලන් ඉන්නම බැරි තැන තාත්තා කොහොමහරි ගවුමක් අරන් එන්නං කියලා ගෙදරින් ගියා. ඒත්.. ඒ ගියා ගියාමයි එයා ආයේ ගෙදර ආවේ නෑ. “

දෙනෙතින් වැගිරුණු කඳුළු බිඳු පේළියක් පිස දමන තරුණිය වෙත හිඳ උන් තැනින් නැඟිට ආ මහීකා ඇගේ හිස පිරිමදිමින් තුරුළු කර ගත්තාය. 

” ඇති පුතේ.. අපි ඉතිරි ටික පස්සේ කතා කරමු. “

” කමක් නෑ ආන්ටි. මේවා හිතේ හිර කරන් ඉන්නැතුව එළියට දාන එක මටත් සැනසීමක්.”

ඈ එසේ පවසා නැවතත් කොපුල් මත ඇති කඳුළු බිඳු පිස දැමුවාය. ආහාර අනමින් සිටි අත් වේළී ගොස් තිබූ අතර සහෝදරයින් දෙදෙනාටම යළි ආහාර ගැනීමේ අපහසුතාවයක් දැනී තිබුණහ. 

” තාත්තා පාරෙදි ලොරියක හැප්පිලා තිබුණා. තාත්තාගේ මිනිය ගෙදරට ගෙනාපු වෙලාවේ මගේ අක්කා මට ගගහා ඇඬුවා මං ගවුමක් ඉල්ලලා කරදර නොකරා නං තාත්තා ඒ වෙලේ එළියට යන්නෑ , එහෙනං මේක වෙන්නෑ කියලා. මං ඉපදිච්ච දවසෙත් තාත්තට කරදරයක් උනා. ඊට පස්සේ මගේ උපන්දිනේ දවසෙම තාත්තා නැති උනා. මිනිස්සු මං දිහා බැලුවෙම හරි මූසල කෙල්ලෙක් දිහා බලන ගාණට. ඊටත් කාලෙකට පස්සේ අම්මයි , අක්කයි දෙන්නත් නැති උනා. ඒ ඇතිවෙච්ච ශොක් එකට මට කතා කරගන්න පවා බැරි උනා. මං හිටියේ ට්‍රෝමා එකක. මං බෙහෙත් කළේ ඩොක්ටර් භරණ මහවලතැන්න . එයා එතනින් නවතින්නැතුව මාව එයාලගෙම පවුලේ කෙනෙක් කරගත්තා. මාව දැක්කම නියම මහවලතැන්න කෙනෙක් කියලා පිළිගන්න පුලුවන් උනත් මගේ යටගියාව හොයද්දි මිනිස්සු මං වගේ අවාසනාවන්ත කෙල්ලෙක්ට කැමති වෙන්නෑ අයියේ. ඒ නිසා තමයි අර ආපු ප්‍රපෝසල්ස් දෙකම රිජෙක්ට් උනේ. 

මං කොච්චර මහවලතැන්න ගෙදර හිටියත් මට හැමතිස්සෙම බයක් දැනුණා ඒ මිනිස්සුන්ටත් මං නිසා කරදරයක් වෙයි කියලා. මං කාත් එක්කවත් බැඳීමක් හදාගන්න කැමති නෑ අයියේ. කවුද කැමති මං වගේ අවාසනාවන්ත කෙල්ලෙක් එක්ක ජීවත් වෙන්න? කොච්චර කැමති උනත් අන්තිම මොහොතේ බෑ කියලා හිතුණොත් ? අනික කැමති උනත් මට බයයි , මං නිසා ඊට පස්සේ ඒ මනුස්සයට කරදරයක් වෙයි කියලා. ඒ නිසා මගේ හිතේ තියන ඒවා එහෙම්මම තිබිච්චදෙන්. “

ඈ නැවත වතාවක් කොපුල් මත ඇති කඳුළු බිඳු පේළියක් පිස දැමුවාය. 

“අර දිහස් එක්ක මං ගැන කතා කරන්න යන්නෙපා. මගේ කතාව ඇදිලා ආවොත් ශනූ අක්කාගෙ ෆැමිලි එකෙන් ඔයාටත් ප්‍රශ්නයක් ආවොත් එහෙම ?” 

” පිස්සුද හලෝ..?” 

සිතේ ඇතිවූ නොරිස්සුමත් සමඟම අෂ්මිල තරුණිය වෙතට කඩා පැන්නේය. 

” තමුසෙගේ ගොඩේ රත්නපුරේ වගේ නෙමෙයි මේ කොළඹ. එහෙ වගේ පතල් මැඬියෝ නෙමෙයි මෙහෙ ඉන්නේ. අනික ශනූගේ ෆැමිලි එකේ මිනිස්සු ඔයා ගැන මොනවා හිතන්නද ? ඔයත් අනික දැන් පොඩි ළමයෙක් නෙමෙයි නංගි. ඔයාට මොළයක් තියෙන හින්දනේ මෙච්චර දුරක් ඉගෙනගෙන අද මේ වගේ තැනක ඉන්නේ ? එහෙම එකේ ඕවගේ මනස්ගාතවලින් ඔලුව පුරව ගන්න එපා. “

” නෙවෙන්නං ..?” 

මහීකා වහා තරුණිය අත හැර ඈ අසලම වූ පුටුවකට බර වූවාය.

” ඔයා මොනදේ හිතුවත් අද භරණයි , විශාඛා අක්කයි ඔය විදිහට හරි ජීවත් වෙන්නේ ඔයා නිසා කියන එක අමතක කරන්නෙපා. මින්දුලාගේ මරණෙන් පස්සේ විශාඛා අක්කා වගේම භරණත් හැමෝගෙන්ම හැංගුණා. අවුරුදු ගාණක් යනකන් කොළඹට පය ගැහුවෙ නෑ. නෑයෙක් , යාලුවෙක් , හිතවතෙක් ආශ්‍රය කළේ නෑ. විශාඛා අක්කා කියන්නේ සෑහෙන්න දැනුමක් තියෙන , ඕනම දෙයක් මනුස්සයෙක් එක්ක හිත රිද්දගන්නැතුව , යහපත් විදිහට කතා කරලා විසඳගන්න පුලුවන් කෙනෙක්. ඒ මනුස්සයා එක්ක එක වචන දහයක් කතා කළත් ඇති හිත නිවෙනවා. ඔයා ඒක දන්නවා ඇතිනේ ?” 

මහීකාගේ පැනයට ඈ සෙමින් හිස සළා ඔව් යැයි පැවසුවාය. 

” එහෙම මනුස්සයා අවුරුදු දෙකක් , හමාරක් යනකන් මනුස්සයෙක් එකක් වචන දෙකක් කතා කරන්න උනන්දු උනේ නෑ. එක ෆෝන් කෝල් එකකට උත්තර දුන්නෑ. ගෙදරට ආපු මනුස්සයෙක්ට මූණ දෙන්න කාමරෙන් එළියට බැස්සේ නෑ. එයා හිටියෙත් නිකන් ගුහාවක ගිලිලා වගේ. මින්දුලාගේ මරණෙන් අවුරුදු තුනක් විතර ගියාට පස්සේ මට කතා කරපු විශාඛා අක්කා කිව්වා එයාට දැන් හුස්ම ගන්න බව තේරෙනවා කියලා. එයාට දැන් ජීවත් වෙනවා කියලා දැනෙනවා කියලා. එහෙම උනේ ඔයාව ඒ ගෙදරට එක්කන් ගිය නිසා. ඒ මිනිස්සු දෙන්නා දෙවෙනි පාරටත් ඉපදුණේ ඔයා නිසා දරුවෝ. ඉතිං කොහොමද ඔයා අවාසනාවන්ත වෙන්නේ. ? “

” ඒකනේ.. පිස්සු මල විකාර ඔලුවට දාගන්නැතුව ඉන්නවා දුමී. “

මහීකාගේ කතාවේ අවසානය ඇල්ලුවේ අෂ්මිලය. 

” අර කිව්ව කොල්ලට ඔය හිතේ තියන දේ කියනවා. අඩුම තරමේ අඟවන්නවත් ට්‍රයි එකක් දෙනවා. ඌ කොළඹ එකෙක්නං කීයටවත් අර විකාර අදහස් වල එල්ලිලා ඉන්නෑ. “

සුපුරුදු ලෙස කෑම මේසයෙන් ප්‍රථමව නැඟිට යන තරුණයා අදද නිසොල්මන්ව ඉන් නැඟිට පිඟානද රැගෙන මුළුතැන්ගෙය දෙසට ඇවිද ගියේය. ඔහුගේ ගමන මත තම සම්පූර්ණ දෑස රඳවා උන් තරුණිය ඔහු නොපෙනී ගියද ඒ දෙස එක දිගට බලා සිටියාය. ඇගේ බැල්මේ ඉව ඇල්ලූ අෂ්මිල තමා ඉදිරියේ උන් මව දෙස බලා ඇසක් ඉඟි මැරුවේය. 

” දැන් හරිනේ. තේරුණානේ වැඩේ ? ඔන්න මේ පැත්ත ගොඩ ඈ..”

ඔහු රහසින් මෙන් මවට කී දෑ ඇසුණු තරුණිය තිගැස්සී ඔහු දෙස බැලුවාය. 

” මොකද්ද කිව්වේ ?” 

” නෑ.. නෑ.. ඔයාට නෙමෙයි කිව්වේ. මේ අම්මට , චිකන් එකට ලුණු මදි වෙලා. ඒක කිව්වේ..”

එසේ පැවසූ ඔහුද හිස් පිඟාන රැගෙන අසුනෙන් නැඟී සිටි අතර මුළුතැන්ගෙහි සිට ආ හැඩිදැඩි තරුණයා කිසිවෙක් දෙසට හෝ බැල්මක් නොහෙළා කෑම කාමරයෙන්ද පිටවී ගියේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here