“ඔයා නම් මහ මෝඩයෙක් නෙත්. ඒ මනුස්සයා ඔයාට වඩා කොච්චර වැඩිමල් ද අනේ? ඔය ඔෆිස් එකේ ඔයාට ඔයාගෙ ඒජ් එකට ගැලපෙන මනුස්සයෙක් හිටියෙම නැද්ද අනේ මේ අංකල් කෙනෙක් එක්ක යාලු උනේ?” කියා සාරා බණිද්දිත් නෙත්මලී කලේ ඇස් දෙකේ කඳුළු පුරවාගෙන සාරාගේ දෙනෙත් මග අරින්න කටයුතු කරන එකය.
“මං එයා එක්ක යාලු වුණේ නෑ.”
“එහෙනම්?”
සාරා අහපු ඒ එක වචනෙත් එක්ක නෙත්මලී නිහඬ වුණාය.
“ඔයා මට මේක මුල ඉඳන්ම කියන්නෙ නෑනෙ. මං දන්නෙ දැන් ඔයා අඬ අඬා කියන ටික විතරයි. ඉතින් මං කොහොමද දන්නෙ මොකද්ද වුණේ කියලා?”
“මං දන්නෙත් නෑ සාරා.”
“ඒක තමයි මට තියෙන ප්‍රශ්නෙ. ඔයා දන්නෙත් නෑ. එයා දන්නෙත් නෑ. හැබැයි ඔයා මෙහෙ මෝඩ ගැනි වගේ අඬ අඬ විඳවනවා.” සාරා කිව්ව වචනයක් පාසා ඇත්ත උනත් නෙත්මලී කිසිවක් නොකියා සිටියාය. ඇත්තටම කියන්නට කිසිම දෙයක් තිබුණේ නැත.
“එයා ඔයාට මොනවද කිව්වෙ?”
“මුකුත් නෑ.”
“මුකුත් නැත්තං මොකටද ඔයා මෙච්චර ඔය මනුස්සයා ගැන හිත හිත වොරි වෙන්නෙ”
“එයා මට කිස් එකක් දුන්නා.”
සාරාගේ මුහුණේ තිබුණු කේන්තිය එක මොහොතකට නැවතුණේය.
“මොකක්?”
නෙත්මලී කඳුළු අතරින්ම බිම බලාගෙන උන්නාය.
“එදා මාව ගෙදර ගෙනත් ඇරලුවා. එතකොට මං යන්න කලින් මගේ අත අල්ලගෙන හිටියා. පස්සෙ මගේ කම්මුල කිස් කළා. Good night නෙත් කියලා ගියා.”
“ඉතින්?”
“ඉතින් ඊට පස්සේ එයා වෙනස් වුණා.”
“කොහොමද?”
“කලින් වගේ මාත් එක්ක කතා කරන්නෙ නෑ. මාව දැක්කම අහක බලනවා. වැඩක් තිබ්බොත් විතරයි කතා කරන්නෙ. මං එයාට කරදරයක් වගේ එයා හැසිරෙන්නෙ”
“ඔයා එයාගෙන් ඇහුවද ඇයි එහෙම කරන්නෙ කියලා?”
නෙත්මලී හිස දෙපසට වැනුවාය.
“ඇහුවෙ නෑ.”
“ඇයි?”
“බයයි.”
“මොකටද?”
“එයා කියයි කියලා එයාට ඒක එච්චර දෙයක් නෙවෙයි කියලා.”
සාරා ටික වෙලාවක් නිහඬව නෙත්මලී දිහා බලාගෙන උන්නාය.
“ඔයා දන්නවද ඔයා දැන් කරන්නෙ මොකද්ද කියලා?”
නෙත්මලී හිස උස්සා බැලුවාය.
“මොකද්ද?”
“ඔයා එයාගෙන් අහන්නෙත් නෑ. හැබැයි ඔයාට උත්තරයක් ඕන. ඉතින් ඔයා උත්තර හදාගන්නවා හිතෙන් ඔයාගෙ හිත සනසගන්න පුළුවන් විදියට” කියා සාරා කියද්දී නෙත්මලී කිසිවක් නොකියා බලා සිටියාය.
“එයා මට කැමති නැතුව ඇති. එයාට ඒක සෙල්ලමක් වෙන්න ඇති. එයා මට වඩා වැඩිමල් නිසා ඒවා එයාට සාමාන්‍ය දේවල් වෙන්න ඇති කියලා නේද දැන් මෙච්චර දවසක් ඔයා හිතුවෙ?” කියා සාරා අහද්දී නෙත්මලීගේ ඇස්වලින් කඳුළු බිඳක් කම්මුල් දිගේ ගලා විත් ඇය හැඳ උන් ඩෙනිම් කලිසම උඩට වැටුණේය.
“ඔව්.”
“ඒත් ඒ එකක්වත් ඔයා දන්න දේවල් නෙවෙයිනෙ නෙත්. ඒ ඔක්කොම ඔයා හිතන දේවල්.”
“ඉතින් මං වෙන මොකද්ද හිතන්නෙ? ඔයා කියන්නකො මං වෙන මොකක් කියලද කරන්නෙ කියලා? අනේ මට පිස්සු වගේ සාරා. මට නින්ද යන්නෙ නෑ. මට කිසිම ඇපටයිට් එකක් නෑ. මට නිකන් මැරෙන්න වගේ හිතිලා තියෙන්නෙ. ඇයි සාරා මටම මෙහෙම දේවල් වෙන්නෙ. ඇයි මටම මෙහෙම දේවල් වෙන්නෙ? ඇයි මට සන්තෝසෙන් ඉන්න කිසිම ඉඩක් නැත්තෙ?”
“නෙත්” සාරාගේ හඬ වෙනස් විය. ඒ වඩා මුදුවෙන්නටය. වඩා තේරුම්ගත් හඬකටය.මෙතෙක් කේන්තියෙන් වගේ කතා කරමින් උන් ඇය මඳ වේලාවක් නිහඬව නෙත්මලී දිහා බලාගෙන උන්නේද ඒ අනුවය.
“ඔයාට දැන් හිතෙන්නෙ මේ හැමදේම වෙන්නෙ නලින්ද්‍ර නිසා කියලද?” නෙත්මලී කිසිවක් නොකියා උන්නේ ඇත්තටම එය තේරුං ගන්නට, උත්තර දෙන්නට පුළුවන්කමක් එවෙලේ ඇය උන් මානසිකත්වයත් එක්ක ඇයට පුළුවන් උනේ නැති නිසාවෙනි.
“මං අහන්නෙ ඔයාට මෙච්චර අමාරු එයා ඔයාට කැමති නැති වෙයි කියන එක නිසා විතරද?”
නෙත්මලීගේ ඇස් දෙක සාරා වෙතට එසවුණේ ආන්න ඒ ප්‍රශ්නයත් එක්කය.
“මං දන්නෙ නෑ”
“ඇත්තටම දන්නෙ නැද්ද? නැත්තං කියන්න බයද?” නෙත්මලී ගාව ඒකටත් උත්තරයක් තිබුණේ නැත.
“ඔයාට එයාගෙන් මොනවද ඕන නෙත්?”
“මං දන්නෙ නෑ”
“ඔයාට ඕන එයා ඔයාට කැමතියි කියලා දැනගන්නද?”
“ඔව් මං හිතන්නෙ”
“එයාට ඔයා ගැන තියෙන්නෙ මොන වගේ හැඟීමක්ද කියලා දැනගන්නද?”
“ඔව්”
“එහෙනම් එයාගෙන් අහන්න.”
නෙත්මලී ඉක්මනින්ම හිස දෙපසට වැනුවේ එය කල නොහැක්කක් බව හොඳාකාරවම දැන උන් නිසාවෙනි
“බෑ”
“ඇයි බැරි?”
“මං කොහොමද සාරා එහෙම ගිහින් අහන්නෙ. අනික මේ කම්මුලට කිස් එකක් දුන්න පලියට මං ගිහින් එහෙම දෙයක් ඇහුවොත් ඒ මනුස්සයා මොනවා හිතාවිද සාරා? එයා හිතාවි මං එයාගෙ පස්සෙන් එනවා කියලා. කිස් එක දුන්නෙ එයා වෙච්ච එකේ හරි නං එයා නේද මෙතනදිත් මාත් එක්ක ඒ ගැන කතා කරන්න ඕන. ඇයි එයා එහෙම කිස් එක්ක දීලා දැන් ඒ කිසි දෙයක් උනේ නැ වගේ හැසිරෙන්නෙ”
“ඒක මං දන්නවා. ඒත් බයයි කියලා ඔයාට හැමදාම මේ විදියට ඉන්න පුළුවන්ද කියන්නකො?”
නෙත්මලී කිසිවක් නොකියා කඳුළු පිස දැමුවේ ඒ වචන ඇත්තක් නිසාවෙනි.
“ඔයාට ඕන එයාගෙන් උත්තරයක්. හැබැයි ඔයා එයාගෙන් අහන්නත් බයයි. ඒක හරි. මං ඔයාට ගිහින් දැන්ම අහන්න කියන්නෙ නෑ. හැබැයි එහෙම අහන්නෙ නැත්තං මේ දේ අතහරින්න හිත හදාගන්න ඕන. දෙකෙන් එකක් කරන්න වෙනවා.”
“මට අතහරින්න බෑ සාරා. එහෙම කරන්න පුළුවන් උනා නම් මං මෙච්චර දවස් මේක හිතෙන් අල්ලගෙන විඳව විඳව ඉන්නෙ නෑ සාරා. මං දන්නෙ නෑ ඇයි මං මෙච්චර මේක ගැන හිතන්නෙ නෑ. ඒක නිකන් එකම එක කිස් එකක් විතරනෙ. එහෙමෙකේ ඇයි මට බැරි ඒක අමතක කරන්න කියලා හිතන්න මට ඇත්තටම බෑ”
“ඇයි?”
“එයා මට මුලින් හොඳින් සැලකුවනෙ”
සාරා කිසිවක් නොකියා අහගෙන උන්නාය.
“මං වැඩට අලුතෙන් ආපු දවස්වල මං කිසි දෙයක් දන්නෙ නෑනෙ. මං කරන හැම දෙයක්ම වැරදියි. මං හිතන් උන්නෙ මට මේ රස්සාවවත් කරගන්න බැරිවෙයි කියලා. ඒත් එයා… එයා මාව එහෙම දැක්කෙ නෑ.”
නෙත්මලීගේ හඬ තිබුණේ තව චුට්ටකින් සහමුලින්ම පාහේ බිඳී යන්නට බලාගෙන මෙනි.
“මං මොනවා හරි නොදන්න දෙයක් ඇහුවම එයා කවදාවත් මාව මෝඩයෙක් වගේ දැනෙන්න මට ඉඩ දුන්නෙ නෑ. මං හිතපු idea එකක් හොඳ නම් හොඳයි කිව්වා. වැරදි නම් වැරදියි කිව්වා. මට දැනුණා එයාට මං වැදගත් කියලා.”
“ඒකද ඔයාට මෙච්චර හිත රිදෙන්නෙ?”
නෙත්මලී කිසිවක් නොකියා හිස පහත් කළාය. සාරා ඇසුවේ ප්‍රශ්නයක් බව ඇත්තකි. එහෙත් ඒ ප්‍රශ්නයට දෙන්නට උත්තරයක් නෙත්මලී ළඟ තිබ්බේ නැත.
“නෙත් මට දෙයක් අහන්න තියෙනවා.”
“මොකද්ද?”
“ඔයාට නලින්ද්‍ර ගැන ඔහොම හිතෙන්නෙ එයා නලින්ද්‍ර හන්දමද? නැත්තං එයා ඔයාට දැනෙන්න දුන්න ඒ ආරක්ෂාව, ඒ පිළිගැනීම, ඔයාට වැදගත් කෙනෙක් වගේ දැනෙන්න දුන්න එක වගේ දේවල් නිසාද?”
“මං දන්නෙ නෑ සාරා, මට ඇත්තටම තේරෙන්නෙ නෑ”
“හරි. දැන්ම උත්තරයක් ඕන නෑ. හැබැයි එක දෙයක් හිතලා බලන්න. ඔයාට එයාගෙන් මිස් වෙලා තියෙන්නෙ මොකද්ද කියලා. එයාද? එයාගෙ ආදරේද? එයාගෙන් ලැබුණු ඒ feeling එකද?”
හිත ඇත්තටම විවර වුණේ අන්න ඒ මොහොතේය. තමන් මෙච්චර දවසක් හිත අස්සේ හිරකරගෙන උන්න ප්‍රශ්න රැසක් නෙත්මලීට මතක් වුණේ අන්න ඒ මොහොතේය.
තාත්තා ගියේ ඇයි?
තාත්තට තමන්ව මතක් වෙනවාද?
තමන්ව ආදරෙන් බලාගන්න කෙනෙක් හිටියා නම් ජීවිතේ මීට වඩා වෙනස් වෙයිද? කියා තමන් කවදාවත් තමන්ගෙන් අසා තිබුනේ නැතිබව නෙත්මලීට මතක් වුණේ එවෙලේය.
සමහරවිට, සමහරවිට තමන් මෙච්චර කාලයක් නලින්ද්‍රගෙන් හොයමින් උන්නේ තමන්ට අහිමි වූ ඒ පිය සෙනෙහසදැයි නෙත්මලී පළමු වතාවට සැක කළාය.


