වසන්තය තව දුරද – 40

0
83

සාරා නලින්ද්‍ර එක්ක මේ ගැන කතා කරන්න යැයි කිව්වාට ඒ වෙනුවෙන් අවශ්‍ය ශක්තිය එක්කහු කරගන්න පුළුවන් කමක් නෙත්මලීට තිබුණේ නැත. 

ඒ වෙනුවට ඇය කරන්නට තෝරගත්තේ වඩා අමාරු දේය.

 ඒ වනාහී ඒක පාර්ශ්විකව හෝ තමන් ආදරය කල මිනිසාව දිනපතා ඇස් ඉදිරියේ දැක දැක, ඔහු තමන්ව මග අරින බව දැක දැක ඔහුව හිතෙන් අමතක කරන්නට කටයුතු කරන එක. දහවල් වරුවේ ඔහුව දකින හැමවරකද, උදේ පාන්දර ඔෆිස් යන්නට සූදානම් වී ගෙදරින් එලියට යන්නට බසින හැම වරකමද “අනේ මට නලින්ද්‍රව අමතක කරන්න උදව් වෙන්න දෙයියනේ” කියා දන්න අඳුරන සියලුම දෙයියන්ගෙන් ඉල්ලුවද රැට නින්දට යන්නට ඇස් දෙක පියාගද්දී “අනේ නලින්ද්‍රව මට හීනෙන් හරි පේන්න” කියා ඒ දෙයියන්ගෙම ඉල්ලන්න නෙත්මලී අමතක කරේ නැත. 

ඒ නිසාම නලින්ද්‍රව අමතක කිරීම නෙත්මලී හිතාගෙන උන් තරම් පහසු දෙයක් වුණේ නැත. උදේ ඔෆිස් එකට එන අතරතුර නලින්ද්‍ර ගැන නොසිතා ඉන්නට නෙත්මලී හිතාගත්තද ඔහුගේ කැබින් එකේ දොර ඇරෙන සද්දය ඇසුණු පමණින් ඇගේ ඇස් ඒ පැත්තට හැරුණේය. ඔහු තමන් දිහා බැලුවේ නැති බව තේරුණත්, ඔහු තමන් දිහා බලාවිදැයි බලා සිටීම නවත්තන්නට නෙත්මලීට පුළුවන් වූයේ නැත. නලින්ද්‍ර ළඟින් ඇවිදගෙන යද්දී තමන්ගේ හදවත එකපාරටම වේගයෙන් ගැහෙන්නට පටන් ගත්තේ ඇයිදැයි තේරුම්ගන්නට උත්සාහ කළත්, ඒකටත් ඇයට තිබුණේ එකම එක උත්තරයකි. ඒ තමන්ට ඔහුව අමතක කරන්න ඕනෑ බව හිත කියන තරමටම, තමන්ගේ හිතට තාමත් ඔහුව අමතක කරන්නට ඕනෑ නැති බවය.

ඒ නිසා නෙත්මලී තීරණය කළේ නලින්ද්‍රව අමතක කරනවාට වඩා ඔහු ගැන නොහිතා ඉන්නට උත්සාහ කිරීම පහසු බවය. 

ඒත් ඒ දෙක අතර වෙනස නෙත්මලීට තේරුණේ ටික දවසක් ගියාට පස්සේය. කෙනෙක්ව අමතක කරන්න හිතාගෙන හැම මොහොතකම ඔහු ගැන නොහිතන්නට උත්සාහ කරනවා නම්, අවසානයේ සිද්ධ වෙන්නේ ඔහුව තවත් වැඩිපුර මතක් වෙන එක බව නෙත්මලීට තේරෙන්නට වැඩි දවසක් ගියේ නැත.

ඒ අතරතුර නලින්ද්‍රත් වෙනදාට වඩා සන්සුන්ව, වෙනදාට වඩා ඈතින් සිටියේය. ඔහුට නෙත්මලී ගැන කිසිම දෙයක් නොදැනුණා වගේම හැසිරෙන්නට ඔහු සම්පූර්ණයෙන්ම උත්සහ කරේය. ඒත් නෙත්මලීට ඒ හැසිරීම විශ්වාස කරන්නට පුළුවන් වූයේ නැත. මක්නිසාද යත් නලින්ද්‍ර තමන් දිහා බලන හැම වතාවකම ඒ බැල්ම ඉක්මනින්ම ඉවත් කරගත්තේ තමන් දකින්නටත් කලින් වගේය. සමහරවිට ඒ කිසිම දෙයක් එසේ තමන් සිතන පරිද්දෙන් නොවුනා නොවන්නට පුළුවන. සමහරවිට ඒ හැමදේම තමන්ගේ හිත හදාගන්න හදන කතාවක් වෙන්නටත් පුළුවන. ඒත් තමන්ට තවමත් ඔහු ගැන හැඟීමක් තිබෙන තාක් ඒ දෙකෙන් ඇත්ත කුමක්දැයි තෝරාගන්නට නෙත්මලීට පුළුවන් වූයේ නැත.

ඇය නලින්ද්‍රව අමතක කරන්නට උත්සාහ කළාය. ඔහු ගැන කතා නොකර ඉන්නට උත්සාහ කළාය. ඔහුගේ කැබින් එක දිහා නොබලා ඉන්නට උත්සාහ කළාය. ඔහු online ද කියා බලන්නට පවා තමන්ට අවශ්‍ය නැති බව හිතට කියාගත්තාය. හැබැයි ඒ හැම උත්සාහයකම අවසානයේ ඇයටම හොරෙන් ඇය කළේ එකම දෙයකි.

ඒ ඔහු තවමත් තමන්ව මතක් කරනවාදැයි, තමන් දිහා බලනවාදැයි බලා සිටීමය.

ඒක තමන්ටම තේරුණ දවසේ නෙත්මලීට තමන් ගැනම දුක හිතුණ එක ඇත්තකි.

කෙනෙක්ව අමතක කරන්න හදන එකත්,  කෙනෙක් තමන්ව අමතක කරලාද කියලා බලාගෙන ඉන්න එකත් එකම දේ නොවන බව නෙත්මලීට හරියටම තේරුං ගියෙ එදාය. ඒත් ඒ තේරුණා කියා හිතට ඒ මිනිසාව අමතක කරන්න පුළුවන් වූයේ නැත.

එදා රෑ නෙත්මලී ඇඳේ වැතිරීගෙන සිවිලිම දිහා බලාගෙන උන්නේ එවන් සිතුවිලි සමුදායක් හිත අස්සෙ පුරවගෙනය.

“නලින්ද්‍ර” ඇය ඇයටම නොඇසෙන තරම් හෙමින් ඔහුගේ නම කිව්වාය. ඇස් පියාගෙන ඔහුගේ රුව හිතෙන් මවාගත්තාය. උදේට තමන්ට ඔහුව අමතක කරන්න උදව් කරන්නැයි දෙයියන්ගෙන් ඉල්ලන ඒ හිතම රෑට ඔහුව හීනෙන්වත් පෙන්වන්නැයි ඒ දෙයියන්ගෙන්ම ඉල්ලන එක ගැන නෙත්මලීට ඒ මොහොතේත් කිසිම ලැජ්ජාවක් තිබුණේ නැත.

මොකද සමහර වෙලාවට අපිට අමතක කරන්න ඕන පුද්ගලයාවම අමතක වෙන්න එපා කියලා අපේ හිතෙන්ම ඉල්ලන තරමට අපිට ඒ පුද්ගලයාවම ඕන වෙලා තිබෙන බව පිළිගන්න එක තරම් අමාරු දෙයක් තවත් නැති නිසාය.

හිතේ තිබ්බ වේදනාව අමතක කරන්නට මෙන් නෙත්මලී සති අන්තයේ ගෙදර වැඩවලට වෙනදාට වඩා අම්මාට උදව් දුන්නාය. උයන්න පිහන්න කටයුතු කරාය. පොලට ගොස් එලවලු මාලු අරගෙන ආවාය. අම්මාගේ මැහුම් ඕඩර් වලට උදව් කරාය. අම්මාට මැහුම් ඕඩර් ගන්න ෆේස්බුක් පිටුවක් හදා දුන්නාය. අම්මාත් දුවත් අලුත් විදියකට තමන්ගේ බැඳීම අලුතෙන් ලියන්නට පටන් ගෙන තිබුණේ ජීවිතේ කටු ඉඹුල් මතිනි.

එහෙත් ඒ දවස් කිහිපය තුළ අම්මාත් සමඟ ගෙවුණු ඒ පුංචි පුංචි වෙලාවන් අතරින්, නෙත්මලීගේ හිතේ කාලයක් තිස්සේ වසා තිබූ තවත් දොරක් හෙමින් හෙමින් ඇරෙන්නට පටන් ගත්තේය.

තාත්තා ගැන අම්මාගෙන අහන්නට ඇයට පළමු වතාවට හිතුණේ එදාය.

“අම්මේ”

“ම්ම්?” කියද්දීත් චන්ද්‍රා උන්නේ රෑ කෑමට හාල්මැස්සන් බැදුමක් හදන්න හාල්මැස්සන් ඔලු කඩමිනි. නෙත්මාල් එදා ගෙදර නොඑන බව කලින්ම කියා තිබ්බ නිසා උයන්න තිබ්බේ අම්මාටත් දුවටත් විතරක් නිසා හාම් මැස්සන් බැදුමක් හදා පරිප්පු තෙම්පරාදු කර බත් උයන්න අම්මාත් දුවත් කතා කරගත්තෝය.

“ඔයාට තාත්තව මතක් වෙන්නෙ නැද්ද?”

චන්ද්‍රා මොහොතකට නිරුත්තර වුණේ ඒ ප්‍රශ්නය ඇදී ආවේ අනපේක්ශිත මොහොතක වූ නිසාවෙනි.

“මතක් වෙනවා” කියා කියද්දීත් අම්මාගේ හඬ තිබුණේ බිඳි යමින් බව නෙත්මලීට නොතේරුණා නොවේ, මේ සංවාදය මෙතකින් නිමාකරන්න තිබුනා නම් කොතෙක් හොඳ බව තේරුණද හිතේ හිරකරගෙන ඉන්නා හැඟුම් එලියට දමන එක අම්මාට උවද සැනසුමක් වෙන්නට හැකි බව හිතුන නිසාම නෙත්මලී කතාව අතරමග නවත්තන්න හිතුවේ නැත.

“තාමත්?”

“ඔව්”

“අම්මා කොහොමද තාත්තා නැතුව ඉන්නෙ?”

“පුරුදු වුණා”

“ඒක ලේසිද?”

“නෑ කවදාවත් ලේසි වුණේ නෑ.”

“එහෙනං?”

“කෙනෙක්ව අතාරින එකයි, කෙනෙක්ව අමතක කරන එකයි දෙකක්. මං එයාව අමතක කරලා නෙවෙයි ජීවත් වුණේ. එයා නැතුව ජීවත් වෙන්න ඉගෙන ගත්ත එකයි කරේ.”

“තාත්තා ආපහු එයි කියලා අම්මා බලාගෙන හිටියෙ නැද්ද?”

“හිටියා.”

“ගොඩක් කල්?”

“ගොඩක් කල්. තාම සමහර දවසට මං බලන් ඉන්නවා”

“ඔයාට තරහ ගියේ නැද්ද?”

“ගියා” කියූ චන්ද්‍රා අනතුරුව තප්පරේකට නිහඬ වූයේ ඊලඟ කතාව කියන්නට පෙරාතුවය

“ගොඩක් ගියා”

“දැන්?”

“දැන් තරහට වඩා මට තේරෙන දේවල් වැඩියි. මං ඒ දවස්වල හිතුවෙ ආදරේ තියෙනවා නම්, කසාද බැන්දානම්, ළමයි හැදුවා නම් මිනිස්සු කොහොමහරි එකට ඉන්න ඕන කියලා. දැන් මං දන්නවා එහෙම උනා කියන එකයි, කෙනෙක් එක්ක ජීවිතේ ගෙනියන්න පුළුවන් වුණා කියන එකයි දෙකක් කියලා. කෙනෙක්ට අපි ගැන ඇත්තටම හැඟීමක් තියෙන්න පුළුවන්. අපිව ආදරෙන් මතක් වෙන්න පුළුවන්. අපිව නැතිවුණාම දුක හිතෙන්නත් පුළුවන්. ඒත් ඒ හැඟීම තියෙන එක විතරක් සමහර වෙලාවට ජීවිතයක් එකට ගෙනියන්න ඇති වෙන්නෙ නෑ.”

“ඇයි?”

“මොකද ජීවිතේට ආදරේ විතරක් නෙවෙයි ඕනෙ. තීරණ ඕන. වගකීම ඕන. ඉන්න ඕන කියලා තීරණය කරන හිතක් ඕන. අමාරු දවසකත් පැනලා යන්නෙ නැතුව ඉන්න පුළුවන්කම ඕන

මං දන්නෙ නෑ අතුලගෙ හිතේ හරියටම මොනවද තිබුණෙ කියලා පුතේ. මං හිතනවා තාත්තා අපිට ආදරේ කරන්න ඇති කියලා. ඒත් ඒ ආදරේ වෙනුවෙන් ජීවිතේ අමාරුකම් එක්ක ඉන්න තරම් එයාට පුළුවන්කමක් තිබුණෙ නැතුව ඇති.

ඔයාට උනත් කසාද බැන්ද කාලෙක මං කිව්ව දේ තේරෙයි.

මං තාත්තව තේරුම් ගත්තෙත් නෑ. එයා මාව තේරුම් ගත්තෙත් නෑ. අපි දෙන්නම අපි දෙන්නා ගැන හිතාගෙන හිටපු කතා දෙකක් ඇතුළෙ ජීවත් වුණා. මං හිතුවා එයාට මං ගැන තේරෙනවා ඇති කියලා. එයාත් මං කියන්නෙ නැතුවම මට තේරෙයි කියලා හිතන්න ඇති.

ආදරේ තිබුණා. ඒත් සමහර වෙලාවට ආදරේ තිබුණා කියන එක විතරක් මදි. කෙනෙක්ව තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. එයාගෙන් අහන්න ඕන. තමන්ට දැනෙන දේ කියන්න ඕන. අපි ඒ දේවල් කළේ නෑ.

ඒ නිසා මට දැන් හිතෙන්නෙ, කෙනෙක් ගැන අපේ හිතේ කතාවක් හදාගෙන ඒක ඇත්ත කියලා හිතාගෙන ඉන්න එක තරම් නරක දෙයක් තවත් නෑ කියලා.

මොකද අපි කෙනෙක් ගැන කොච්චර ආදරෙන් හිතුවත්, එයාගේ හිත ඇතුළේ තියෙන දේ අපිට අනුමාන කරලා දැනගන්න බෑ.

සමහර දේවල් අහන්න අමාරුයි. සමහර උත්තර අහන් ඉන්න, පිළිගන්න ඊටත් වඩා අමාරුයි. ඒත් නොඅහා ඉඳලා අපිම හදාගන්න උත්තර එක්ක ජීවත් වෙන එක ඊටත් වඩා අමාරුයි”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here