“ප්ලීස් නෙත්මලී අඬන්න එපා. මං දන්නවා මං කිව්ව දේ ඔයාට දරාගන්න අමාරු දෙයක් වෙන්න ඇති.
මං එදා බීලා උන්න නිසා ඔයාව කිස් කරපු එක වැරදියි. ඒක මං පිළිගන්නවා. ඒකට නිදහසට කාරණා කියන්න මට ඕන නෑ. මට එදා එහෙම කරන්න නොතිබුණා. ඒක මං දන්නවා. ඒත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ මං එහෙම කරේ ඔයා ගැන කිසිම feeling එකක් හිතේ නැති හන්දා කියලා.
මගේ හිතේ ඔයා ගැන feeling එකක් තිබුණා නෙත්. තාම තියෙනවා. නැත්තෙ නෑ. මං මේක ඔයාට කියන්නෙ ඔයාට බලාපොරොත්තුවක් දෙන්න නෙවෙයි. ඇත්තටම මට බලාපොරොත්තුවක් දෙන්න ඕන නම් මං මෙච්චර දවසක් ඔයාගෙන් ඈත් වෙලා ඉන්නෙ නෑ.
මං එදායින් පස්සෙ ඔයා එක්ක ඒ ගැන කතා නොකර හිටියෙත් ඒ හන්දා. මං හිතුවා ටික දවසක් ඔයාගෙන් ඈත් වෙලා හිටියොත් මේක නිකන්ම අඩු වෙයි කියලා. ඔයාටත් ඒක අමතක වෙයි කියලා. අපි දෙන්නටම ආයෙත් වෙනදා වගේ වැඩ කරන්න පුළුවන් වෙයි කියලා. ඒක තමයි මං හිතුවෙ. හැබැයි ඒක එහෙම වුණේ නෑ. මං ඔයාගෙන් ඈත් වෙන්න වෙන්නයි මට තේරුණේ මට ඔයාව අමතක කරන්න ලේසි නෑ කියලා. ඔයා එක්ක කතා නොකර ඉන්න පුළුවන් වුණාට, ඔයාව නොදැනෙන ගානට ඉන්න මට බැහැයි කියලා. ඔයා මගේ ළඟින් ගියත් මං බලන්නෙ නැති ගානට හිටියට මං ඔයා යන දිහා බලන් හිටියා නෙත්. ඔයා මට කතා නොකළාම ඒක හොඳයි කියලා මට හිතුණත්, ඇත්තටම මං බලාගෙන හිටියෙ ඔයා ආයෙ මට කතා කරයිද කියලා. ඒක මටම තේරුම් ගන්න අමාරු දෙයක් වුණා.
මං ඔයාට ඒ විදියට රූඩ් විදියට සැලකුවේ ඔයා මට වැරැද්දක් කරපු හන්දා නෙවෙයි. ඔයාට දොස් කියන්න මට කිසිම හේතුවක් නෑ. ප්‍රශ්නෙ තිබුණේ මගේ පැත්තෙ. මට මගේම හිත තේරුම් ගන්න බැරි වුණා. මගේ personal life එක ගැන ඇත්තටම ඔෆිස් එකේවත් කවුරුවත් වැඩිය දන්නෙ නෑ නෙත්. මට ඒක කාටවත් කියන්න ඕනකමක් තිබ්බෙත් නෑ. මං ඒ ගැන කතා නොකර ඉන්න පුරුදු වෙලා හිටියෙ. මොකද කියන්න දේවල් නැති හන්දා නෙවෙයි. කියන්න පුළුවන් විදියෙ දේවල් මගේ ළඟ තිබුණෙ නැති හන්දා. සමහර දේවල් මිනිස්සුන්ට කියන්න තරං ලේසි නෑ. විශේෂෙන්ම තමන්ට තමන්ගෙ ජීවිතේ ගැනම ඇක්සෙප්ට් කරන අමාරු දේවල් වෙන කෙනෙක් ඉස්සරහා කියන එක තවත් අමාරුයි.
මං කවදාවත් හිතුවෙ නෑ මෙච්චර modelsලා, creatorsලා, ලස්සන ගෑනු වැහි වැහැලා ඉන්න industry එකක අවුරුදු ගාණක් වැඩ කරපු මට, මට වඩා අවුරුදු දහයක් දොළහක් බාල ගෑනු ළමයෙක් ගැන මේ වගේ feeling එකක් ඇති වෙයි කියලා. ඇත්තටම මට ඔයා ගැන එහෙම දෙයක් දැනෙන්න පටන් ගත්තෙ කොයි වෙලාවෙද කියලා මටවත් කියන්න බෑ. ඒක එක දවසක එකපාරටම වෙච්ච දෙයක් නෙවෙයි. මුලින්ම මට ඔයා පෙනුණේ පොඩි ළමයෙක් වගේ. වැඩට අලුතෙන් ආපු, හැමදේම ගැන ප්‍රශ්න අහන, තමන් කරන දේ හරිද කියලා දහපාරක් හිතන, වැරදුණාම මූණෙන්ම ඒක පේන, පොඩි දේටත් හිත රිද්දගෙන අඬන කෙල්ලෙක් විදියට. මට ඔයා ගැන තිබුණෙ ඒ වගේ feeling එකක් විතරයි. ඔයාට උදව් කරන්න ඕන වුණා මට. ඔයාට මේ වැඩේ පුළුවන් කියලා ඔයාටම තේරෙන්න උදව් කරන්න ඕන වුණා. මං ඒක හිතුවෙ ඒ තරම්ම simple විදියට.
හැබැයි කොහේදිද මොන වෙලාවකද ඒක වෙනස් වුණේ කියලා මං දන්නෙ නෑ. ඒක එහෙම වෙලා තිබුණා ඔයා මට කතා කරන විදිය, පොඩි දේකටත් ඔයා සතුටු වෙන විදිය, ඔයාට හොඳ idea එකක් ආවම ඒක කියන්න තියෙන උනන්දුව, වැරදුණාම ඒක හදාගන්න ඔයා ට්‍රයි කරන විදිය මං ඒ දේවල් නෝට් කරන්න පටන් ගත්තා. ඔයා මට ස්පෙශල් කෙනෙක් වගේ පේන්න පටන් ගත්තා. ඒක මං හිතලා කරපු දෙයක් නෙවෙයි. ඒක චොයිස් එකක් වුනාද කියන්න මං දන්නෙ නෑ ඒත් ඒක වෙලා තිබුණා. ඒක තමයි මට බය හිතිච්ච දේ. මොකද මං දන්නවා මේක simple දෙයක් නෙවෙයි කියලා. මං ඔයාට වඩා වැඩිමල්. මං ඔයාගෙ boss. ඔයා තාම මේ industry එකට අලුත්. ඔයා මං කියන දේවල් විශ්වාස කරන කෙනෙක්. මං ඔයාට වැඩේ කියලා දෙන්න ඕන කෙනා. ඒ හැමදේම තියෙද්දි මං ඔයා ගැන මේ විදියට හිතන එක මටම හරිද වැරදිද කියලා හිතාගන්න බැරි වෙච්ච දෙයක්.
ඒ නිසා මං හිතුවා මේක නවත්තන්න ඕන කියලා. මං හිතුවා ඔයාට මං ගැන තියෙන respect එකත්, මං ඔයාට මුලින් දුන්න ඒ confidence එකත්, ඒ හැමදේම මේ feeling එකත් එක්ක mix වෙන්න කලින් මං පස්සට යන්න ඕන කියලා. ඒකයි මං ඔයාට වෙනස් වෙලා පේන්න පටන් ගත්තෙ. ඒකයි මං ඔයා එක්ක වැඩ ගැන විතරක් කතා කරන්න පටන් ගත්තෙ. ඒකයි ඔයා මං දිහා බලනකොට මං අහක බලන්න පුරුදු වුණේ. මං ඒක කළේ ඔයාට රිද්දන්න නෙවෙයි නෙත්. මං හිතුවෙ ඔයාට ඒකෙන් මිදෙන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මං ඒකෙන් ඔයාට මොන තරම් රිද්දුවද කියලා මට පස්සෙයි තේරුණේ. ඔයාගෙ ඇස් අස්සෙ තිබිච්ච ලයිට් එක චුට්ට චුට්ට අඩුවෙලා යද්දියි මට තේරුණේ මං ලොකු වරදක් කරලා තියෙන විත්තිය. ඔයා දන්නෙ නෑ මට කොච්චර ගිල්ටි ෆීලින් එකක් දැනුනද කියන එක. ඒක තේරුණේ ඔයා මට “මට ඔයා එක්ක කතා කරන්න පුළුවන්ද?” කියලා මැසේජ් එක දාපු වෙලාවෙ. ඒක කියවපු වෙලාවේ මට තේරුණා මං ඔයාගෙන් ඈත් වෙලා හිටියට මං හිතපු විදියට ප්‍රශ්නෙ විසඳලා නෑ කියලා. මං ප්‍රශ්නෙ තවත් ලොකු කරලා තියෙනවා කියලා. ඒත් මට ඒ මැසේජ් එකට එවෙලෙම reply කරන්නත් බැරි වුණා.
මොකද මං දැනගෙන හිටියා ඔයාට කියන්න ඕන දේවල් ගොඩක් තියෙනවා කියලා. ඒත් ඒ දේවල් කියලා ඉවර වුණාට පස්සෙ අපි දෙන්නා මොන තැනක ඉඳීවිද කියලා මං දැනගෙන හිටියෙ නෑ. මං ඔයාට කියන්නෙ මට ඔයා ගැන feeling එකක් තියෙනවා කියලා. ඒක කියලා ඔයාට තවත් ලං වෙන්න කියන එකක්ද? නැත්තං මං ඔයාගෙන් තවත් ඈත් වෙන්න ඕනද? මට ඒ දෙකෙන් එකක්වත් හරියට තීරණය කරගන්න බැරිවුණා. ඒකයි මං මේ දවස් ටිකේ ඔයාට මෙච්චර රූඩ් විදියට සැලකුවේ. ඒකයි මං ඔයාට කිසිම දෙයක් නොකියා හිටියෙ. මං හිතුවා සද්ද නැතුව ඉන්න එකෙන් මේක ඇල්මැරිලා යයි කියලා. හැබැයි සමහර දේවල් ඉස්සරහා සද්ද නැතුව ඉන්න එක හිතාගෙන ඉන්න තරං ලේසි නෑ නෙත්. ඔයා ගැන මට දැනෙන දේත් එහෙම එකක්. ඒක මට ඕන විදියට switch එකක් දාලා off කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මං අද මේක ඔයාට කියන්නෙ මං ඔයාට සලකපු විදියට ඔයාගෙ හිතේ මං ගැන ඇඳිච්ච image එක වෙනස් කරන්න හිතාගෙන නෙවෙයි. මං කරපු දේවල්වලට ඔයාට හේතුවක් දැනගන්න අයිතියක් තියෙන හන්දා. එදා මං ඔයාව කිස් කරපු එක ගැන ඔයාට මොනවා හිතෙනවද කියලා මං දන්නෙ නෑ. ඒක ඔයාට වරදක් වගේ දැනුනා නම් මට සමාවෙන්න.
ඒත් ඒක මගේ පැත්තෙන් බොරුවක් නෙවෙයි. මං ඒ වගේ දේවල්වලට බොරු කරන කෙනෙක් නෙවෙයි. මට ඔයා ගැන feeling එකක් තිබුණා. තාම තියෙනවා. මං ඒක නැහැ කියලා ඔයාට බොරුවක් කියන්නෙත් නෑ. හැබැයි ඒ feeling එක තියෙනවා කියලා ඒකෙන් පස්සෙ අපි මොනවා කරන්න ඕනද කියන උත්තරේ මං ළඟ තාම නෑ. ඒක තමයි මට ඔයාට කියන්න තියෙන ඇත්තම දේ නෙත්මලී.
ඒ එක්කම මං තව දෙයක් කියන්න ඕන. මං වරදක් තමයි ඔයාව කිස් කරලා කරේ. ඒක මං පිළිගන්නවා. හැබැයි ඒක වරදක් වෙන්නෙ ඔයා මට වඩා අවුරුදු ගාණක් බාල හන්දා නෙවෙයි. මං ඔයාගෙ boss කෙනෙක් හන්දා විතරක් නෙවෙයි. ඔයා එක්ක මේ ගැන හරියට කතා නොකර, ඔයා මොනවද මං ගැන හිතන්නෙ කියලාවත් දන්නෙ නැතුව මං එහෙම දෙයක් කරපු හන්දා විතරකුත් නෙවෙයි.
මං ඒක වරදක් කියන්නෙ ඊට වඩා වෙන හේතුවක් හින්දා.”
“මොකක් හින්දද?”
නෙත්මලි එසේ ඇසුවද නලින්ද්‍ර මොහොතක් කිසිවක් නොකියා උන්නේය. ඇත්තටම ඔහු උන්නේ වචන නැතුව සිතුවිලි අතර අතරමංවය.
“ඒක මට ඇත්තටම ඔයාට මුලින්ම කියන්න තිබිච්ච දෙයක්. ඒත් මට ඒක කියන්න ඕන කොයි වෙලාවෙ කොයි විදියටද කියලා හිතාගන්න බැරිඋනා නෙත්. මොකද මං ඒක කියපු ගමන්, එදා සිද්ධ වුණ දේ විතරක් නෙවෙයි, මේ දවස් ටිකේ මං ඔයා එක්ක හැසිරුණු හැටිත් ඔයා වෙන විදියකට දකින්න පුළුවන් කියලා මට හිතිච්ච හන්දා”
නෙත්මලී ඔහු දෙසම බලාගෙන උන්නේ නලින්ද්‍ර මේ කියන්නට යන්නේ කුමනාකාරයේ කතාවක්දැයි තේරුම්ගන්නට බැරිකම නිසාවෙනි.
“ඒත් ඒක නොකියා මං ඔයාට මේ ගැන සම්පූර්ණ ඇත්ත කියලා තියෙනවා කියන්නත් මට බෑ.”
එසේ කියා නලින්ද්‍ර නැවතත් මඳ වේලාවක් නිහඬ විය.
“මං දන්නවා මේක අහලා ඔයා මං ගැන මොනවා හිතාවිද කියලා මට control කරන්න බෑ කියන එක. සමහරවිට ඔයාට මාව තේරුම් ගන්නත් බැරි වෙයි. ඒත් මං මේක නොකියා ඉන්න තරමට මං ඔයාට තවත් බොරුවක් කරනවා වගේ තමයි මට දැනෙන්නෙ”
“ මොකක්ද ඔයා මේ කියන්න යන්නෙ මට ඇත්තටම තේරෙන්නෙ නෑ?”
නලින්ද්‍ර ඇය දෙස කෙළින් බලාගෙන තවත් මොහොතක් සිටියේ එය කියන්නට පෙරාතුවය. ඒ මොහොත නෙත්මලීට දැනුනේ කල්පාන්තය මෙනි.
“මොකද, මොකද, මං බැඳපු මනුස්සයෙක් නෙත්”


