“මොකද, මොකද මං බැඳපු මනුස්සයෙක් නෙත්.”
ඒ වචන ටික නෙත්මලීගේ හිත ඇතුළේ කොහේ හරි තැනක වැදී නැවත නැවතත් දෝංකාර දුන්නාය.
ඇය නලින්ද්‍ර දිහාම බලාගෙන උන්නේ කිසිම දෙයක් තේරුම් ගන්න බැරි වූ කෙනෙකු මෙනි. ඔහු මොහොතකට පෙර කියූ දේ ඇගේ කනට ඇහුණත්, ඒ වචනවල තේරුම හිත කරා ගෙනියන්නට ඇයට තවමත් පුළුවන්කමක් තිබුණේ නැත.
බැඳපු? නලින්ද්‍ර?
ඒ වචනය දෙතුන් වතාවක්ම හිත ඇතුළේ කියවුණද, ඒ හැම වතාවකම හිතට එය දැනුනේත්, හිත එය පිළිගත්තේත් තමන් මෙතෙක් දිනක් දැනගෙන උන් නලින්ද්‍ර ගැන කියනවාට වඩා වෙනත් කෙනෙකු ගැන කියන දෙයක් වගේය. මෙච්චර දවසක් තමන් ඔහු ගැන හිතාගෙන උන් විදිය, ඔහු තමන්ට සැලකූ හැටි, එදා රාත්‍රියේ සිදු වූ ඒ එකම එක සිපගැනීම ඒ හැමදේම එකපාරටම නලින්ද්‍රගේ මේ හෙලිදරව්ව එක්ක වෙනත් අර්ථයක් ගන්නා බව නෙත්මලීට තේරෙන්නට පටන් ගත්ත බව ඇත්තකි. එහෙත් ඒ සියල්ලටම වඩා ඇගේ හිතේ තිබුණේ එකම එක ප්‍රශ්නයකි. ඒ ප්‍රශ්නය අහන්නටවත්, ඒක අහලා ලැබෙන උත්තරය අහන්නටවත් තමන්ට තවමත් හයියක් තිබුණේ නැති බව නෙත්මලී දැන උන්නාය. එනිසාම ඇය කළේ නලින්ද්‍ර දිහාම බලාගෙන සිටීම පමණි.
“එතකොට මට මොකද වෙන්නෙ?” ඒ ප්‍රශ්නය මුවින් වචන කෑලි කෑලිවලට කැඩී පිටවෙද්දී දෙනෙත් තිබුනේ කඳුළට උල්පතක් වෙමිනි. නලින්ද්‍ර කතා කරන්නට තමන්ව එක්කරගෙන විත් තිබුණේ වැඩිය සෙනග නැති රූෆ් ටොප් බාර් එකකට නිසා නිදහසේ කඳුලු හෙලන්නට වරම් එහි අනන්තව තිබුනද නෙත්මලී උන්නේ “මං ඇත්තටම මට අයිති නැති මනුස්සයෙක් වෙනුවෙන් අඬන්න ඕනද?” කියා හිතුවිල්ලක හිරවීගෙන කර යුත්තේ කුමක්දැයි හිතාගන්නට බැරුවය.
රූෆ්ටොප් එක වටේ තිබුණ නගරයේ ලයිට් එකින් එක දැල්වෙමින් තිබුණේය. පහළින් ඇහෙන වාහනවල හඬත්, ඉඳහිට ඇසෙන මිනිසුන්ගේ සිනහවත්, වීදුරු එකිනෙක ගැටෙන හඬත් ඒ මොහොතේ නෙත්මලීට ඇහුණේ තමන්ට බොහෝ ඈතකින් සිට ඇඳී එන හඬක් වගේය. ඉදිරියේ උන්නේ නලින්ද්‍රය. මෙච්චර දවසක් තමන්ගේ හිත ඇතුළේ තමන්ටවත් තේරෙන්නෙ නැති තරමට මහමේරු පර්වතයක ඉඩ අරගෙන උන් මනුස්සයාය. තමන් බලාගෙන උන් මනුස්සයාය. තමන්ට කතා කරයි කියා බලාගෙන උන් මනුස්සයාය. එදා තමන්ගේ අත අල්ලපු, තමන්ගේ කම්මුල සිපගත්ත මනුස්සයාය. ඒත් දැන් ඒ මනුස්සයා තමන්ට අයිති නැති කෙනෙක් බව දැනගෙන ඒ ඉදිරියේ ඉඳගෙන, ඒ වචන ඉවසාගෙන ඉන්නට සිදුව තිබුණේය.
ඇස්වලට කඳුළු පිරෙන්නට ඉතින් තත්පරයක්වත් ගියේ නැත. ඒත් ඒ කඳුළු පිස දමන්නටවත් හිතක් නෙත්මලීට තිබුණේ නැත. අඬන්නටත් හිතේ තිබුණේ බයකි. මොකද තමන් අඬන්නේ කා වෙනුවෙන්ද කියා තමන්ටවත් තේරෙන්නේ නැති නිසාය. තමන්ට අයිති නැති මනුස්සයෙක් වෙනුවෙන් මෙච්චර අඬන්න තමන්ට අයිතියක් තියෙනවාද කියා නෙත්මලී ආයෙවරක් හිතුවාය. තමන් ඔහුගෙන් බලාපොරොත්තු වුණේ මොනවාද කියා ආයෙ හිතුවාය. නලින්ද්‍ර තමන්ට කවදාවත් පොරොන්දුවක් දී තිබුණේ නැති බව ඇත්තකි. තමන්ට ආදරේ ගැන වචනයක්වත් කියා තිබුණේ නැති බව ඇත්තකි. ඒත් හිතක් කියන්නේ ඒවා අහලා ආදරේ කරන්න පටන් ගන්න දෙයක් නොවන බව නෙත්මලී ජීවිතේ පලමුවතාවට තේරුම්ගෙන උන්නාය.
එකම එක හාදුවක් නිසා තමන් මෙච්චර දුර ඇවිත් තිබුණේ ඇයි කියා නෙත්මලීටම තේරුණේ නැත. සමහරවිට ඒ හාදුවට වඩා තමන්ට වටින්නේ ඒ මොහොතේ දැනුණු “නලින්ද්‍රට මාව ඉම්පෝටන්ට්” කියන හැඟීම වෙන්නට පුළුවන්ය. දැන් ඒ හැඟීමත් තමන්ට අයිති නැති දෙයක් බව දැනෙද්දී පපුව ඇතුළේ හිස් තැනක් හැදෙන්නට පටන් ගත්ත එක ඉතින් සාධාරණය. හිතට රිදෙන්නට අයිතියක් නැති දෙයක් වෙනුවෙන් හිත මෙච්චර රිදෙන්නේ කොහොමද කියා නෙත්මලීටම තේරුණේ නැත. ඒ නිසාම ඇය කිසිවක් නොකියා, කඳුළුවලට ඔහේ කම්මුල් දිගේ වැටෙන්නට ඉඩ දීගෙන නලින්ද්‍ර දිහාම බලාගෙන උන්නාය. තමන්ට අයිති නැති මනුස්සයෙක් වෙනුවෙන් තමන්ගේ හිත මෙච්චර හයියෙන් අඬන එක නවත්තගන්න පුළුවන් විදියක් ඇයට එවෙලේ තිබුණේ නැත.
“තාරායි මමයි බැන්දෙ ප්‍රපෝසල් එකකින්. අපි දෙන්නගෙ තාත්තලා family friendsලා. ඉස්සර ඉඳන්ම එයාලගෙ families දන්නවා. ඒ හන්දා තාරා ගැන මං අහලා තිබුණා. දැකලා තිබුණා. හැබැයි අපි දෙන්නා අතර එහෙම relationship එකක් තිබුණෙ නෑ. අපි දෙන්නා එකට ගිහින්, එකට ඇවිදිලා, කතා කරලා ආදරේ කරලා බැඳපු දෙන්නෙක් නෙවෙයි. එක දවසක ගෙදරින් මට කිව්වා තාරා ගැන. “ගෙදරින් අහනවා, ඔයා කැමති නම් බලන්න” වගේ දෙයක්. මං ඒ වෙලාවෙත් ඒක ලොකු දෙයක් විදියට ගත්තෙ නෑ. හම්බෙලා කතා කරලා බලමු කියලා හිතුවා. තාරාත් ඒ විදියටම හිතන්න ඇති. ඉතින් අපි හම්බුණා. කතා කළා. එයා හොඳ ගෑනු ළමයෙක්. Educated. හොඳ family එකක්. මටත් එයා එක්ක කතා කරන එකේ ලොකු අවුලක් තිබුණෙ නෑ. අපි දෙන්නා අතර ලොකු chemistry එකක් තිබුණා කියලා මං කියන්නෙ නෑ. හැබැයි ඒ කාලෙ මටත් හිතුණා “මේකෙ ඉතින් අවුලක් වෙන්න දෙයක් නැතිවෙයි” කියලා. එයාටත් එහෙම හිතෙන්න ඇති. දෙපැත්තෙම අය සන්තෝස වුණා. අපේ තාත්තලා Family friends ලා විතරකුත් නෙවි Business Partners ලාත් වෙච්ච හන්දා එයාලා ඒවයි තිබ්බ වාසි අවාසිත් සමහරවිට බලන්න ඇති. ගෙවල්වලින් මේක හොඳ match එකක් කියලා හිතුවා. අපි දෙන්නත් “let’s give it a try” කියන තැනක හිටියා. ඉතින් අන්තිමට අපි බැන්දා.
ඒ කාලෙ මං හිතුවෙ කසාදයක් කියන්නෙ දෙන්නෙක් එකිනෙකාව දැනගෙන ඉන්න එක විතරක් නෙවෙයි කියලා. සමහරවිට එකට ජීවත් වෙනකොට ආදරේ ඇතිවෙන්න පුළුවන්. අනික් කෙනාගෙ පුරුදු දැනගන්නකොට relationship එකක් හැදෙන්න පුළුවන්. අපි දෙන්නා අතරත් එහෙම වෙයි කියලා මං හිතුවා. මං හිතුවා තාරා මාව තේරුම් ගනීවි. මං තාරාව තේරුම් ගනීවි. ටික ටික අපි දෙන්නා අපි දෙන්නාට හුරු වෙයි කියලා. ඒ වෙලාවෙ මට ඒක වැරදි අදහසක් වගේ දැනුණෙ නෑ නෙත්. ඇත්තටම මං හිතුවෙ ජීවිතේ ගොඩක් දේවල් පස්සෙ හරි යයි කියලා.
හැබැයි බැඳලා ටික කාලයක් යද්දි මට තේරෙන්න පටන් ගත්තා අපි දෙන්නාට මං හිතන තරම් ලේසියෙන් එකිනෙකාව තේරුං ගන්න බැරි වෙයි කියලා.
මුලදි ඒවා හරි පොඩි දේවල් විදියට මං දැක්කෙ. මං ඒ වෙලාවෙ ඒවා ප්‍රශ්න කියලා හිතුවෙ නෑ. එයාට එයාගෙ විදියටමයි දේවල් වෙන්න ඕන. මට ඕන මගෙ විදියට වෙන්න. මං සමහර දේවල් ගැන open වෙලා කතා කරන්න හදනවා. එයාට ඒ වෙලාවට කතා කරන්න ඕන නෑ. සමහර වෙලාවට එයාට මං කරන දෙයක් හන්දා හිත රිදෙනවා. ඒක මට තේරෙන්නෙ නෑ. මං ඒ වෙලාවට හිතනවා ඕක ඔච්චර ලොකු දෙයක්ද කියලා. ඒ වගේම මං කරන දෙයක් එයාට හරි සාමාන්‍ය දෙයක් වගේ පේනවා. ඒත් මට ඒක ලොකු දෙයක්. ඔය වගේ දේවල්. පොඩි දේවල් කියලා පෙනුනට ඒව කසාදෙ ඇතුලෙදි ලොකු දේවල්.
මුලදි අපි දෙන්නාම හිතුවෙ ඒක normal කියලා. දෙන්නෙක් බැන්දම එහෙම තමයි කියලා. මං එයාට adjust වෙන්න බැලුවා. එයාත් මට adjust වෙන්න බැලුවා. ප්‍රශ්නයක් ආවම කතා කරලා විසඳගන්න බැලුවා. සමහර වෙලාවට ඒක හරි ගියා. සමහර වෙලාවට හරි ගියේ නෑ. හැබැයි අපි දෙන්නාම ඒ වෙලාවෙත් හිතුවෙ, අපිට මේක කරන්න පුළුවන් කියලා.
මං තාරා නරක කෙනෙක් කියලා කවදාවත් හිතලා නෑ. අදටත් නෑ. එයා මට නරක විදියට treat කරපු මනුස්සයෙක් කියලා මං කියන්නෙත් නෑ. ඒ වගේම මං එයාට හොඳ husband කෙනෙක්ම වුණා කියලා කියන්නත් මට බෑ. මං කරපු වැරදි තිබුණා. එයා කරපු වැරදි තිබුණා. අපි දෙන්නාම සමහර වෙලාවට අනෙක් කෙනාගෙන් බලාපොරොත්තු වුණේ ඒ කෙනාට දෙන්න පුළුවන් දේවල්වලට වඩා වැඩි දෙයක්.
ඒක තේරෙන්න අපිට කාලයක් ගියා
සමහර කාලවල අපි හොඳින් හිටියා නෙත්. ඒකත් මං කියන්න ඕන. නැත්තම් ඔයාට හිතෙයි අපි බැඳපු දවසෙ ඉඳන්ම මේක නරක relationship එකක් විදියට තිබිච්ච එකක් කියලා. එහෙම නෑ. අපි හිනා වුණා. එකට ගමන් ගියා. එකට කෑම කෑවා. එකිනෙකා වෙනුවෙන් දේවල් කළා. සමහර දවස්වල මට තාරා ගැන ඇත්තටම හොඳ feeling එකක් තිබුණා. එයා ගැන care කළා. එයා අසනීප වුණාම බය වුණා. එයාට ප්‍රශ්නයක් ආවම මට ඒක මගේ ප්‍රශ්නයක් වගේ දැනුණා. එයාටත් එහෙම වෙන්න ඇති.
ඒත් ඒ හැමදේම තිබුණා කියලා අපි දෙන්නා ගැළපුණාමයි කියලා කියන්න බෑ.
අපි දෙන්නා අතර තිබ්බ ලොකුම ප්‍රශ්නෙ වෙන්නත් ඇත්තෙ ඒක වෙන්න ඇති. අපි දෙන්නාට දෙන්නා නරක මිනිස්සු නෙවෙයි. ඒත් අපි දෙන්නා එකට ඉද්දි අපි දෙන්නාගෙන් හොඳම දේ එළියට ආවෙත් නෑ. අපි දෙන්නාට දෙන්නා hurt කරන විදිය අපිට තේරෙන්න පටන් ගත්තා. ඒත් ඒ වෙලාවෙත් අපි වෙන් වෙන්න හිතුවෙ නෑ.
මං හිතුවෙ තව ටිකක් උත්සාහ කළොත් මේක හරි යයි කියලා. තාරාත් එහෙම හිතන්න ඇති. ඒ නිසා එක එක දේවල් try කළා. අපි දෙන්නා අතර තියෙන ප්‍රශ්න ගැන කතා කළා. සමහර දේවල් change කරන්න බැලුවා. එකට time spend කරන්න බැරි වෙන එක ප්‍රශ්නයක් නම් ඒකට time හදාගන්න බැලුවා. අපි දෙන්නාට දෙන්නාට මොනවද ඕන කියලා තේරුම් ගන්න බැලුවා. එක කාලයක් අපි දෙන්නා ඇත්තටම හොඳට හිටියා. ඒ වෙලාවට මට හිතුණා, හරි දැන් අපි හරි track එකට වැටිලා කියලා.
හැබැයි ටික කාලෙකට පස්සෙ ආයෙමත් පරණ ප්‍රශ්නම මතුවෙන්න ගත්තා.
ඒක හරිම අමුතු දෙයක්. මොකද ඒ වෙලාවට අපි දෙන්නාම දැනගෙන හිටියා මොකද්ද වෙන්නෙ කියලා. ඒත් ඒක නවත්තගන්න අපි දෙන්නාටම බැරි වුණා. ආයෙමත් කතා නොකර ඉන්නවා. ආයෙමත් තරහ වෙනවා. ආයෙමත් එකිනෙකාට දොස් කියනවා. ඊට පස්සෙ කවුරුහරි මුල්වෙලා කතා කරනවා. ඒක එකපාරක් දෙපාරක් වෙච්ච දෙයක් නෙවෙයි නෙත් අවුරුදු ගාණක් අපි ඒ cycle එකේ හිටියා. ඒ අතරේ අපි දෙන්නාම වෙනස් වුණා. අපේ ජීවිත වෙනස් වුණා. අපේ priorities වෙනස් වුණා. අපිට ජීවිතෙන් ඕන දේවල් වෙනස් වෙන්න පටන් ගත්තා. ඒ වෙලාවෙ මට තේරුණා අපි මුලදි හිතපු විදියට ආදරේ පස්සෙ හැදෙයි, එකට ඉද්දි හැමදේම හරි යයි කියන එක හැම වෙලාවෙම වෙන්නෙ නෑ කියලා. ඒත් මං ඒක පිළිගත්තෙ නෑ. මං හිතුවා කසාදයක් කියන්නෙ අමාරු වුණාම අතාරින දෙයක් නෙවෙයි කියලා. අපි දැන් බැඳලා ඉන්නේ. ඒක වගකීමක්. ඒක රැකගන්න ඕන. ඉතින් මං තව තව try කරා. තාරාත් try කරා. ඒකයි මං අදත් එයාට දොස් කියන්නෙ නැත්තෙ. එයාත් මේක පරිස්සං කරගන්න බැලුවා. මං වගේම.ඒත් සමහර වෙලාවට දෙන්නම try කරා කියලත් ඒ relationship එක බේරගන්න බැරි වෙන්න පුළුවන්. අපි දෙන්නාට ඒක පිළිගන්න ගොඩක් කල් ගියා. අන්තිමට එක දවසක තාරා මගෙන් ඇහුවා තව කොච්චර කාලයක් මෙහෙම කරගෙන යන්නද? කියලා.
එයා ඒ ප්‍රශ්නෙ මගෙන් අහපු දවසෙ තමයි නෙත් මට තේරුණේ, කසාදයක් රැකගන්න පුළුවන් කියන එකයි ඒක රැකගන්න ඕන කියන එකයි දෙකක් කියලා


