වසන්තය තව දුරද – 45

0
115

“හිත් ඇතුළේ පිරිලා යයි පෙම් බස්

මතකේට එන්නේම ඔය ඇස්

අපි ආසාවේ හැදු මාළිගා අහස්

මුහුණ දැකගන්න ඉවසුම් නැති හවස්

එහෙමයි අපෙ ආදරේ මුල් දවස්”

කියා නෙත්මලී නලින්ද්‍රට හා හා පුරා කිය ඇත්තටම ආදරේ කරන්නට පටන් ගත්තෙ මේ එන්නේ කටුක ගිම්හානය බව ඉතින් දැන දැනය.

“ඔයා ඔය පනින්න හදන්නෙ තඩි වලක් කියලා දැන දැනමයි” කියා සාරා කියූ වදන් කිසි කණකට නොගෙන නලින්ද්‍රගෙන් දකින්නට ලැබුණ “තාත්තාමය හැඟීමට” ආදරෙ කරන්නට පටන් ගත්තාය. කොපමණ මිතුදමෙන් වුවල් සාරා කියූ වචනද, ඒවායේ ඇතුළේ තිබුණු අනතුරු ඇඟවීමද නෙත්මලී ඒ වන විට නොසලකා හැර තිබුණාය. 

ආදරේ ඉතින් එහෙමය. හිත ගිය තැන මාළිගාවය. ඒ මාළිගා හැදෙන්නේ කුණු ගොඩේද කටු ගොඩේද කියා අදාල නැත.හිතට ඕනේ මාළිගාවක් විතරමය. ඒකේ දොර ජනෙල් තියෙනවාද, වහලයක් තියෙනවාද, හෙට දවසේ ඒ මාළිගාව ඉතුරු වෙයිද කියා හිතන්නට හිතට වෙලාවක් නැත. නෙත්මලීටත් ඒ ආදර න්‍යාය ඉතින් එහෙමම විය.

නලින්ද්‍ර එක්ක ආදරේ පටන් ගත්තේ කොතැනින්ද කියා නෙත්මලී උන්නේත් හිතාගන්න බැරුවය. “මං ඔයාට ආදරෙයි” කියා කවුරුත් කාටවත් මුලින්ම කියා තිබුණේද නැත. එහෙම වචනයක් ඔවුන් අතරට එන්නටත් කලින් ඒ ආදරේ දවසේ පොඩි පොඩි තැන්වල හැංගී තිබුණ බව නම් නෙත්මලීට විශ්වාසය.

“කෑවද?” කියා නලින්ද්‍ර අහන එක නෙත්මලීට අනුව නම් බොස් කෙනෙක් තමන්ගේ සේවිකාවකගෙන් අහන සාමාන්‍ය ප්‍රශ්නයක් නොවේ. අනෙක් අතට තමන්ගෙත් හිතේ ආදරයක් නැත්තත් “ඔව් මං කෑවා ඔයා කෑවද?” කියා reply එකක් යවන්නට තරම් දෙයක් තියෙන්න විදියක් නැති බවද නෙත්මලී දැන උන්නාය.  ගෙදර ගිය පසු “ගියාම කියන්න” කියා නලින්ද්‍ර කියන එකත්,  ගෙදර ගිය පසු නලින්ද්‍රට message එකක් දාන එකත් දැන් දෙන්නාටම නොදැනී දවසේ කොටසක් වී තිබුණේ ඕන්න ඔය ආදර න්‍යායට අනුවය.

සමහර දවස්වල කතා කරන්නට කිසිම විශේෂ දෙයක් තිබුණේ නැති එක ඇත්තකි. Office එකේ වෙච්ච පොඩි දෙයක් ගැන කියන එකත්, ගෙදර උයන දේද, බලන දේද, කරන දේද, ඔලුවෙ තෙල් ගාන ඒවාද, අම්මා එක්ක පොලේ යන ඒවාද කියන එක ඉතින් නෙත්මලීට අනුව නම් ආදරේට කරන ඒවාය. හිතට සතුටක් ගේන දෙයක් උනත්, දුකක් ගේන දෙයක් උනත් මුලින්ම කියන්නේ ඉතින් එකිනෙකාටය.

ඒවා ආදරේ කියා නම් කර තිබුණේ නැති බව ඇත්තකි. ඒත් ආදරේට හැම වෙලාවෙම නමක් ඕනේ නැතැයි කියා හදවත පුරා ලියා තබා ගන්නට දක්ෂ සිංහල කොපි රයිටර් කෙනෙක් වූද, ආදරේ ඉස්සරහා ඕනවටත් වඩා බොලඳ වූද කෙල්ලකට මහ දෙයක් වුණේ නැත. 

කෙනෙක් එවන“තවම නිදි නැද්ද?” කියන message එකක් ඇතුළේද, “හෙට උදේ meeting එක තියෙනවා, දැන් නිදාගන්න” කියන තරවටුවක් ඇතුළේද, දවසේ මැදක කිසිම හේතුවක් නැතුව “මොකද කරන්නෙ?” කියා අහන එක ඇතුළේද, සමහරවිට ආදරේ හෙමින් හෙමින් නවාතැනක් හදාගන්නවා විය හැකි බව නෙත්මලී තේරුංගත්තේ ඒ අනුවය. නෙත්මලී ඒ නවාතැනට ඇතුළු වූයේද එහෙමය. තමන් ඇතුළු වෙන්නේ කොහෙටද කියා නොදැනමය.

නෙත්මලීට අනුව නලින්ද්‍ර එක්ක ඉන්න එක සැනසීමකි. Office එකේ කොච්චර වැඩ තිබුණත් ඔහු ළඟින් ගිය විට හිත ටිකක් සැහැල්ලු වෙනවාය. වැඩේ වැරදුණු දවසක ඔහු “හරි, ආයෙ බලමු” කියන එක ඇයට වෙන කෙනෙකුගේ වචනවලට වඩා සැහැල්ලුවකි. ඇය ගැන විශ්වාසයක් නැති දවස්වල ඔහු ඇය ගැන විශ්වාස කරන බව දැනීම හිතට සැහැල්ලුවකි.

ඒ හැමදේම අතරේ නෙත්මලීට අමතක වු දෙයක්ද තිබුන බව ඇත්තකි.

සමහර සැනසීම් අපි හොයාගන්නේ අපිට ඕනම තැනකින් නොවෙන්නට පුළුවන. සමහර මිනිස්සු අපේ ජීවිතයට එන්නේ අපිට හිස්වෙලා තිබුණු තැනක් පුරවන්නට වුවද, ඒ හිස් තැන පුරවන්නට ඔවුන්ට හැකියාවක් තිබේද කියා අපි ඒ වෙලාවේ හිතන්නේ නැත. නෙත්මලීත් හිතුවේ නැත. ඇය දැනගෙන උන්නේ නලින්ද්‍ර ඇය ළඟ ඉන්නවා කියා පමණය. ඒ නිසා ඒ දවස්වල ඇයට හෙට ගැන බයක් තිබුණේ නැත.

“අද ආදරේ කරද්දි හෙට ගැන හිතන්නෙ මොකටද? කල් හෝ නහෝ” නෙත්මලීද හිතුවේ ආන්න එහෙමය.

දවස් ගෙවුණේ දෙදෙනාව තව තව ළං කරමිනි. එළියේ මිනිස්සුන්ට පේන්නට ළංවෙලා කතා කරන්නට බැරි නිසා දෙදෙනාගේම වට්සැප් තිබුනේ නිතරම එකිනෙකා වෙනුවෙන් විවර වී කොල පාට එලි දල්වමිනි. හිනා මූණු එමොජිද, හාදු එමොජිද එහෙට මෙහෙට යවමිනි. පුංචි පුංචි කවි මේ පැත්තෙන් යැවෙද්දී, ඒ පැත්තෙන් ඒවාට ලස්සනයි, ස්වීට්, හ්ම්ම්ම් කියා කෙටි පිරිමි උත්තර එවන්නට කටයුතු කරමිනි.

එදා රෑ නෙත්මලී උන්නේ දෙනෙත් විඩාපත් කරගෙන නලින්ද්‍ර එක්ක වට්සැප් සංවාදයකය. නලින්ද්‍ර උන්නේ යාලුවන් සමග එළියට ගොසිනි. Artemis II නැග හඳට ගිය Victor Gloverත් තමන්ගේ කසාද ඉස්තිරියාවට මැසේජ් එකක් යැව්ව එකේ තමන් ඩිවෝස් වෙන්න ඉන්න මිනිහෙක් විත්තිය දැන දැනම තමන් එක්ක යාලුවෙච්ච කෙල්ලට මැසේජ් එකක් දාන්න බැරිකමක් යාලුවො එක්ක එලියට ආව නලින්ද්‍රට තිබ්බේ නැත.

ඒ නිසාම ඇහැරී නලින්ද්‍ර “පරිස්සමෙන් ගෙදර යනතුරු” බලා ඉන්න හේතුවක් නෙත්මලීට තිබුණාය.

“දැන් අද නිදාගන්නෙ නැද්ද ළමයා?”

“ඔයා පරිස්සමෙන් ගෙදර ගියාට පස්සෙ නිදාගන්නම් ඉතින්”

“දැන් බැන්දට පස්සෙන් ඔහොම මං ගෙදර එනකං බලන් ඉන්නවද?”

“බැන්දට පස්සෙ කිව්වෙ?”

“අපි දෙන්නා බැන්දට පස්සෙ?” ඒ වචන වලට ඉතින් උත්තර දෙන්න ටිකක් වෙලා යනවාය. ඒ ඉතින් කෙල්ලට ලැජ්ජ හිතෙන හන්දාය. කම්මුල් රතු වී පොඩි දේටත් ඇස් අස්සේ කඳුලු පිරී මුව ගොලු වෙන හන්දාය.

“නෑ”

“ඇයි?”

“එතකොට මං ඔයාට එලියට යන්න දෙන්නෙ නෑ. ගෙදරට කරලා හිරකරලා බදාගෙන බදාගෙන බදාගෙන ඉන්නවා”

“බැරිද ඔය කියුට්නස් එකෙන් ටිකක් මට දෙන්න?” 

“ටිකක් ඕන නෑනෙ ඉතින්. මං ඉන්නවනෙ සම්පූර්ණයෙන්ම”

“හැමදාම ඉන්නවද?”

“ඒකම තමයි බය”

“මොකක්ද?”

“ඔහොම කතා කරන එක”

“ඇයි?”

“මං මේවාට හුරු වෙයි කියලා බයයි”

“දැන් හුරුවෙලා නැද්ද ඉතින්?”

“ම්ම්ම්ම්”

“ම්ම්ම්ම්ම්” කියා අනතුරුව ඇතිවෙන නිහඬතාවය ඉතින් නෙත්මලීට දැන් පුරුදුය. ඒ වනාහී දෙයක් කියන්නට බැරුව ඇතිවන නිහඬතාවයක් නොව කියන්නට බොහෝ දේ ඇති තැනක ඇතිවෙන නිහඬතාවයක් බව නෙත්මලී දැන් නලින්ද්‍රව දන්න නිසාම දනී. 

“ඔයා එක්ක ඉන්නකොට මට හරි පරිස්සම් කියලා දැනෙනවා” කියා නෙත්මලී නිහඬතාවය බින්දේ ඒ නිසාය.

“මං ළඟ ඉන්නකොට විතරද?”

“නෑ. ඔයා මං ළඟ නැති වෙලාවටත්”

“ඒ කොහොමද?”

“දන්නෙ නෑ. ඔයාව මට හරි විශ්වාසයි වගේ දැනෙනවා”

“ඇයි මාව ඔච්චරට විශ්වාස?”

“අනේ මන්දා”

“එහෙනම්?”

“ඔයාව මට හරි හුරුපුරුදුයි වගේ දැනුණා මුල ඉඳන්ම”

“අපි හම්බෙලා තාම පොඩි කාලයයි නෙ?”

“එහෙම නෙවෙයි අනේ. සමහර මිනිස්සු එක්ක අවුරුදු ගාණක් දැනගෙන හිටියත් හුරු නෑ වගේනෙ. ඔයා එහෙම නෙවෙයි”

“ඇයි ඒ?”

“මට ඔයාට ඕන දෙයක් කියන්න පුළුවන්. මං මොන පිස්සුවක් කිව්වත්, මොන වැරැද්දක් කළත්, ඔයා මං දිහා වෙනස් විදියකට බලන්නෙ නෑ වගේ මට දැනෙනවා.”

“නෙත්”

“ම්ම්?”

“ඒක මට ලොකු දෙයක්.”

“ඇයි?”

“මං ඒ විශ්වාසෙට වටිනා කෙනෙක් වෙන්න බලන්නම්.”

“ඔයා දැනටමත් එහෙම තමයි ඉතින්”

“හරි එහෙනම්. දැන් නිදාගන්න.”

“ඔයා ගෙදර ගියාම නිදාගන්නම් ඉතින්”

“හරි ළමයෝ මං තව ටිකකින් යනවා. ප්‍රොමිස් මං ගෙදර ගිහින් රිං කට් එකක් දෙන්නම්”

“ම්ම්ම්ම්. ප්‍රොමිස්?”

“ප්‍රොමිස්”

“පරිස්සමෙන් යන්න එහෙනම්”

“Love you.”

“ම්ම්ම්ම්”

“මට කියන්නෙ නැද්ද?”

“Love you too”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here