වසන්තය තව දුරද – 49

0
96

අතීත කතාව

“මනුස්සයෙක් මැරුණම ගෑනියෙක් කොච්චර අසරණ වෙනවද කියලා මට තේරුණේ වජිර මැරිච්ච වෙලේ නෙවෙයි අයියෙ. ඇත්තටම අර්ථ සාධක අරමුදල් එහෙම හදාගන්න යන්න වෙච්ච වෙලාවල්වල තමයි. අයියවත් උන්නෙ නැත්තං ඇත්තටම මට හිතාගන්න බැරි වෙනවා අයියෙ ඔය කන්තෝරු අස්සෙ මොනා කරන්නද කියලා”

කුමුදුනී එහෙම කියද්දී අතුල මඳ සිනහවක් පෑවේය.

“ඕක මොකක්ද කුමුදුනී. මට පුළුවන් දෙයක්නෙ මං කළේ”

“මං ඉතින් මෙලෝ දෙයක් දන්නෙ නෑනෙ අයියෙ. වජිර ඉන්න කාලෙ එයානෙ ඔය ඔක්කොම බලලා කරේ. බැංකුවට යන්න ඕනෙ උනත් ඒවට ගියේ එයා. ලියකියවිලි මොනවාහරි වැඩක් තිබ්බත් ඒවට ගියෙත් එයා. ගෙදරට මොනවා ගේන්න ඕනෙද, කීයක් තියෙනවද, කීයක් වියදම් කරන්න පුළුවන්ද කියලා මං හරියට දැනගෙන හිටියෙවත් නෑ. මට ඕන දෙයක් උනොත් වජිරනෙ ඒ ඔක්කොම බලලා කරල කරේ.  දැන් කාගෙන් අහන්නද අයියෙ?

මනුස්සයෙක් මැරෙන්නම ඕනෙ අයියෙ, ඔය හිතවත් කියලා පෙන්නගෙන ඉන්න මිනිස්සුන්ගෙ හැටි තේරෙන්න. වජිර ජීවත්වෙලා ඉන්න කාලෙ බුදු අම්මේ බොන්න සෙට් වෙන්න කියාගෙන යාලුවො කී දෙනෙක් නං මේ ගෙවල්වල යන්න එන්න තියාගත්තද. කන්න බොන්න දෙයක් තිබ්බොත් උන් ඔක්කොම ඉන්නවා. වජිරට සල්ලි තිබ්බ දවස්වල කවුරුත් උන්නේ වටේ එක්‍ රැස් වෙලානෙ. ඒත් අන්තිමේ බීලා බීලා වජිර මැරිලා ගියාම කෝ අයියෙ ඔය මහ ලොකු යාලුවො? එක්කෙනෙක්වත් අඩුම ගානෙ මේ ගෑනි තනියම ඉන්නවද, කන්න බොන්න තියෙනවද කියලා බලන්න ආවද? ආව අයත් ආවෙ දවස් දෙක තුනක් මෙහෙ ඉඳලා, කාලා බීලා, අපි යනවා නංගි කියලා යන්න. සමහරු නම් මළගෙදරට ආවෙත් මේ ඇපෙන් බේරෙන්න වගේනෙ. අන්තිමේ මං විතරයිනෙ අයියෙ ඉතුරු වුණේ. මේ ගෙදරයි, ඒ මනුස්සයගෙ මතක ටිකයි එක්ක.

වජිරගෙ සරමක් තාමත් අල්මාරියෙ තියෙනවා අයියෙ. එයා අඳින කමිස දෙක තුනකුත් තියෙනවා. සමහර දවස්වල මං ඒවා අතට අරගෙන නිකං බලන් ඉන්නවා. ඒ මනුස්සයා ආයෙ දොර ඇරගෙන ඇතුළට එයි කියලා හිතෙනවා. උදේට මං පුරුද්දට තේ කෝප්ප දෙකක් හදන වෙලාවල් තියෙනවා. එකක් අතේ තියාගෙන අනිත් එක අරගෙන යන්න හැරුණම තමයි මතක් වෙන්නෙ අනේ දැන් මේක කාටද දෙන්නෙ කියලා. එතකොට ඒ කෝප්පෙ අරන් ආයෙ කුස්සියට ගිහින් තියනවා. සමහර දවස්වල තේ එක එහෙම්ම තියෙනවා. මට බොන්න හිතෙන්නෙත් නෑ.

අනේ මන්දා අයියෙ මට ඇත්තටම හිතාගන්න බෑ අයියෙ ඉස්සරහට මොනා කරන්නද කියලා. හම්බෙච්ච සල්ලි ටිකෙන් ඉතින් කවද වෙනකම් පිරිමහං ජීවත්වෙන්නද කියලා හිතාගන්න බෑ. වජිර ඉන්නකං අපිට දරුවෙක් මල්ලෙක් නෑ කියලා දුක් උනාට ඇත්තටම මේ වෙලාවට තමයි අයියෙ හිතෙන්නෙ දරුවෙක් උන්නෙ නැති එකම හොඳ විත්තිය. උන්නා නම් මං කොහොමද කියන්නකො අයියෙ රස්සාවක් වත් නැතුව වජිරත් නැතුව දරුව එහෙමත් බලාගන්නේ නේද? මට කියලා මොකෝ කවුරුත් ඉන්නවා කියලද? තව දරුවෙකුත් උන්නා නං මං පුදුම අසරණ වීමක් අයියෙ අසරණ වෙන්නෙ” කියා කුමුදුනී කියාගෙන කියාගෙන යද්දිත් අතුල උන්නේ වජිරගේ ගෙදර ඉස්තෝප්පුවට වී කුමුදුනී විසින් හදා දුන් තේක බොන අතරවාරයේ කල්පනා කරමිනි. වජිරත් අතුලත් එකිනෙකා අඳුනාගත්තේ කාර්‍යාලයේදීය. එකට වැඩ කරන තැනක ඇතිවෙන පිරිමින්ගේ යාලුකම් දුර දිග යන්න ඉතින් එච්චර කල් යන්නේ නැත. අරක්කු වීදුරුවටත්, සිගරට්ටුවටත් පෙම් බැඳි වජිර ඉන් බොහෝ වෙනස් වුණ අතුල එක්ක මිතුරුකමෙන් බැඳුණෙ ඇත්තටම අතුල වනාහී නමට පමනක් යාලුකම් පවත්වන්නෙකු නොවන බවට හිතට දැනිච්ච හැඟීම නිසාවෙනි.

වජිරට ඕනෑම වෙලාවක කතා කරන්නට හැකි මිතුරෙකු වූයේ අතුලය. අතුලටත් එය එසේම විය. වැඩ ඇරී දෙන්නා එකට යන ගමන් තේකක් බොන්නට, පරාටයක් කන්නට නතර වූ අවස්ථා මෙන්ම, වජිරගේ ගෙදරට ගොස් පැය ගණන් කතා කරමින් උන් දවස්ද ඒ අතර නොවුණා නොවේ. වජිර මැරුණු පසු අතුලට දැනුණේ යාලුවෙකු නැතිවීමේ අඩුව පමණක් නොවේ. කලක් තිස්සේ තම ජීවිතයේ පුරුද්දක්ව තිබූ මිනිසෙකු එකවරම නැතිවී ගිය හිස්කමකි.

කුමුදුනීගේ කතාව අහගෙන උන් අතුලට ඒ මොහොතේත් මතක් වූයේ වජිරය. වජිරගේ මරණයෙන් පසුවත් අතුලට කුමුදුනීට උදව් කරන්නට මෙහෙයවූයේ ඒ හිතවත්කමය. එහෙත් එවන් හිතවත්කම දෙස ලෝකය බලන්නේ වැරදි ඇසකින් බවත්, ඕනම සබඳතාවයක් වැරදි ඉසව්වකට යන්නට මහා වෙලාවක් යන්නේ නැති බවත් අතුල ඇත්තටම එවෙලේ දැන උන්නේ නැත.

ඉන් පසුවත් කුමුදුනීට අවශ්‍ය වූ හැම වැඩකටම වගේ අතුල හැකි පමණින් උදව් කළේය. බැංකුවේ වැඩක් තිබුණත්, කන්තෝරුවකට යන්න තිබුණත්, වජිරගේ ලියකියවිලි සම්බන්ධයෙන් මොනවාහරි දෙයක් හොයාගන්න තිබුණත් කුමුදුනීට තනිවම කරගන්නට බැරි දේවල් තිබුණේ නම් ඇය අතුලට කතා කළාය. වජිර නැතිවූ පසු ඒ ගෙදරට අඩුවක්ව තිබූ මිනිසා වෙනුවට අතුලට ඒ දේවල් කර දෙන එක මුලදී කිසිම අමුත්තක් ලෙස දැනුණේ නැත.

වජිර තමන්ගේ යාලුවෙකු වූ නිසා කුමුදුනීව එලෙස තනි කර දමන්නට අතුලටද සිතුණේ නැත. සමහර දවස්වල වැඩ ඇරී ගෙදර යන අතරතුර කුමුදුනීට අවශ්‍ය යමක් තිබුණේ නම් එයත් අරගෙන ගොස් දුන්නේය. සල්ලි සම්බන්ධයෙන් මොනවාහරි ප්‍රශ්නයක් තිබුණොත් ඒ ගැන බැලුවේය, හැකි පමණ උදව් කරේය. 

ඒ හැම දෙයක්ම අතුල කළේ වජිර වෙනුවෙනි. අඩුම තරමේ ඒ වන විට ඔහු එසේ සිතා උන්නේය.

එහෙත් කුමුදුනීට නම් අතුලගේ ඒ උදව් ටිකෙන් ටික වජිරගෙන් පසු තමන්ට ඉතිරි වූ එකම විශ්වාස කළ හැකි මිනිසා බවට පත්වෙමින් තිබුණේය.

අනෙක් අතට චන්ද්‍රාට ඒ ගැන කියන්නට අතුල අමතක කර දමා තිබුණේය. දවස් ගෙවුණේ අන්න එයාකාරයෙනි. වජිර නැතිවීමේ දුක තුනී වී යද්දි කුමුදුනී ජීවිතයට ටිකෙන් ටික පුරුදු වුණාය. පුරුදු වෙන්නට සිද්ද වුණාය. අනෙක් අතට අතුල ජීවිතේ බොහෝ දේට උන්නේ නිසාවෙන් කුමුදුනීටත් තනියම හැමදේම කරගන්නට සිදුවුණේ නැත.

බැංකුවේ වැඩක් තිබුණොත් අතුලට කතා කළාය. ගෙදර මොනවාහරි වැඩක් තිබුණොත් අතුලගෙන් අසා බැලුවාය. සල්ලි සම්බන්ධයෙන් මොනවාහරි ගැටලුවක් ආවොත් ඒ ගැනත් අතුලගෙන්ම අහන්නට පුරුදු වුණාය. මුලදී වජිර වෙනුවෙන් අතුල කළ ඒ උදව් කාලය ගත වෙද්දී කුමුදුනීගේ ජීවිතයේ සාමාන්‍ය දෙයක් බවට පත්වෙමින් තිබුණේය.

“අයියෙ මේක බලලා දෙන්නකො”

“අයියෙ මට මේක තේරෙන්නෙ නෑ”

“අයියෙ ඔයාට පුළුවන්ද මාත් එක්ක බැංකුවට යන්න එන්න?” වැනි කුඩා කුඩා දේවල් සඳහා පවා කුමුදුනී කතා කළේ අතුලටය.

අතුලටද ඒ කිසිවක් ගැන ඒ වන විට විශේෂයෙන් සිතන්නට දෙයක් තිබුණේ නැත. මිතුරා මිය ගිය වැන්දඹුව තමන්ගෙන් උදව්වක් ඉල්ලන විට පුළුවන් දෙයක් කර දීම ඔහුට සාමාන්‍ය දෙයක් විය. ඇතැම් දවස්වල වැඩ ඇරී ගෙදර යන අතරමග කුමුදුනීට කතා කර අවශ්‍ය මොනවාහරි තිබේදැයි ඇසුවේද අතුලමය.

“නංගිට මොනවාහරි ඕනද? මං එන ගමන් අරගෙන එන්නම්”

“නෑ අයියෙ. අද නම් මුකුත් ඕන නෑ”

“හරි. ඕන උනොත් කියන්න”

එපමණය. එහි වරදක් ඇතැයි අතුල සිතුවේ නැත. ශාරීරික සම්බන්ධයක් හෝ වාචිකව කිසිත් වරදක් එහි නොතිබූ නිසාවෙන් තමන් තමන්ගේ දරු පවුලට තමන් වරදක් කරනවා යැයි අදහසක් අතුලගේ හිතේ තිබුණේ නැත. එහෙත් වැරදි වෙන්නට මුල් වන්නේ සිතුවිල්ලය. ක්‍රියාවය. ඒ දෙක අතර ඇති සීමාව නොදැනීමය. 

එහෙත් කුමුදුනීට නම් අතුල එසේ නිකන්ම වජිරගේ යාලුවෙකු ලෙස දකින්නට පුළුවන් වුණේ නැත. වජිර නැතිවූ පසු තමන්ගේ වැඩකට කතා කරන්නට සිටි මිනිසා වූයේ අතුලය. තමන් කියන දේ අහගෙන සිටින මිනිසා වූයේද අතුලය. එයත් සමගම කාලයක් තිස්සේ තනිකමට හුරු වෙමින් සිටි කුමුදුනීගේ ජීවිතයට අතුලගේ පැමිණීම ටිකෙන් ටික පුරුද්දක් වෙමින් තිබුණ බව ඇත්තකි.

අතුල ඒ වෙනස දැන උන්නේ නැත.

චන්ද්‍රාටද ඒ ගැන කියන්නට ඔහුට තවමත් මතක් වූයේ නැත.

මතක් වූ දවසක කියන්නට පුලුවන් යැයි සිතා ඔහු ඒ කතාව එදිනෙදා ජීවිතයේ අනෙක් දේවල් අතරම කොහේ හෝ තැනක දමා තිබුණේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here