දවල් එකොළහත් පසුවී තිබුණේය. ඔෆිස් එකේ උදේ තිබූ කලබලය ටිකෙන් ටික අඩු වී තිබුණද අතුලට නම් තවමත් උදේ සිට එකතු වූ වැඩවලින් නිදහස් වීමට ඉඩක් ලැබී තිබුණේ නැත. මේසය මත එක පිට එක තබා තිබූ ෆයිල් කිහිපයක්ද, අත්සන් කළ යුතු ලිපි කිහිපයක්ද, උදේම බලන්නට තබාගත් ලේඛන කිහිපයක්ද තවමත් එලෙසම තිබුණේය.
අතුල උන්නේ ඒවා එකින් එක අතට ගෙන බලමිනි. එක ෆයිලයක් අවසන් කළ පසු ඊළඟ එකට යන්නට පෙර මඳ වේලාවක් පුටුවේ පිටුපසට හේත්තු වී හිස පිරිමදින්නට සිදුව තිබුණේ ඔළුව උසට ඒ තරං වැඩ කන්දක් පිරවී තිබුණ නිසාවෙනි. උදේ සිටම එක දිගට කතා කරමින්, අත්සන් කරමින්, තීරණ ගනිමින් ගෙවුණු පැය කිහිපය නිසා හිසද ටිකක් බර වී තිබුණ බව ඇත්තකි. උණු උණු තේ කෝප්පයක් දකුණු අතට ළඟින්ම තිබුණද අතුල උන්නේ ඒ බව අමතක කර තේකට ඇල්වෙන්නට ඉඩ හැරය.
ජනේලයෙන් ඇතුළට වැටුණු දවල් ඉර එළිය මේසය මත තිබූ ෆයිල්වල සුදු පිටු මත වැටී තිබුණේය. පිටතින් කාර්යාලයේ පරිගණක කී බෝඩ මතට තට්ටු කරන හඬත්, දුරකථන නාද වන හඬත්, කෙනෙකු තවත් කෙනෙකුට යමක් කියන හඬත් විටින් විට ඇසුණද අතුල උන්නේ ඒ කිසිවක් ගැන අවධානයක් නොදක්වමිනි.
එක් ෆයිලයක අවසන් පිටුවට අත්සන තබා පෑන මේසය මත තැබූ අතුල මඳ වේලාවක් ඇස් දෙක පියාගෙන සිටියේ විඩාපත් දෙනෙතට විවේකයක් දෙන්නට මෙනි.
කාමරයේ දොරට දෙවරක් තට්ටු කරන හඬක් ඇසුණේ අන්න එවෙලේය.
“එන්න” කියා අතුල කීවේත් දොර මඳක් ඇරී කාර්‍යාල කාර්‍ය සහයකවරයෙකු හිස ඇතුළට දමා බැලුවේත් එකම මොහොතකය.
“සර්”
“මොකද?”
“සර්ව හම්බෙන්න විසිටර් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා” කියා ඔහු කියද්දී අතුලගේ ඇහිබැම මඳක් රැළි වුණේ කුතුහලයෙනි.
“මාව හම්බෙන්න?”
“ඔව් සර්”
“කවුද?”
“ගෑනු කෙනෙක් සර්. නම කිව්වෙ නෑ. සර්ව හම්බෙන්නම ඕනෙ කිව්වා”
අතුල අතේ තිබූ පෑන නැවතත් අතට ගත්තේ කල්පනා බරවය. එහෙත් අත්සනක් තබන්නට නොගොස් එය ඇඟිලි අතර කරකවමින් මඳ වේලාවක් උන්නේද ඒ කල්පනාවේ බරවය.
ගෑනු කෙනෙක්? මේ වෙලාවේ?
ඒ කවුරුන් වෙන්න පුළුවන්දැයි සිතාගන්නට බැරුව අතුල උන්නේ දෙගිඩියාවෙනි.
“Appointment එකක් දාලාද ඇවිත් තියෙන්නෙ?”
“නෑ සර්”
“හදිස්සියක් කිව්වද?”
“එහෙම නම් කිව්වෙ නෑ. ඒත් සර්ව හම්බෙන්නම ඕනෙ කියලා කිව්වා.”
අතුල පියන්වරයා දෙස තවත් මොහොතක් බලා සිටියේ දෙනෙත් අස්සේ කුතුහලයක ජායාවන් ඇඳගෙනය.
“හරි. ඉන්න කියන්න. මං එන්නම්”
“හරි සර්”
දොර නැවත වැසුණි. අතුල පුටුවේම වාඩි වී තවත් මොහොතක් උන්නේය.
හදිසියේ තමන්ව හම්බෙන්න පැමිණි ඒ කාන්තාව කවුදැයි අතුලට සිතාගන්නට නොහැක. හිත තිබ්බේ හැබැයි කරදර වෙමිනි. “මෙච්චර මේ වැඩ කන්දරාවක් අස්සේ තව කවුද මේ කරදර කරන්න ආවේ?” කියන සිතුවිල්ල තිබුණේ නිතැතින්ම හිතට පැමිණ වද දෙමිනි.
අන්තිමේ “ඕන මගුලක් වෙච්චාවෙ” කියා තමන්ව හම්බෙන්නට ආ කෙනෙකු ලොබියේ වාඩි වී සිටියදී තවත් වෙලාවක් මේසය උඩ ෆයිල් දිහා බලාගෙන ඉන්න එක තේරුමක් නැති බව හිත කිව්ව නිසාවෙන්ම අතුල පුටුවෙන් නැගිට කමිසය මඳක් සකසාගෙන දොර හැර පිටතට පැමිණියේය.
කොරිඩෝව දිගේ ලොබිය දෙසට යන අතරතුරත් හිතේ තිබුණේ එකම ප්‍රශ්නයකි.
“කවුද මේ ඇවිත් තියෙන්නෙ? ගෙදර කෙනෙක් වෙන්න බෑනෙ. එහෙම නං කෝල් එකක් දෙනවනෙ චන්ද්‍රා හරි පුතා හරි”
ලොබිය පෙනෙන තැනට පැමිණි විට පියවර තවත් ටිකක් වේගවත් වුණෙ හිතේ තිබුණ කුතුහලය නිසාවෙනි. එහෙත් එතැන සිටි කිහිප දෙනෙකු අතරින් එක් කාන්තාවකගේ රුව දෙනෙතට හසුවූ මොහොතේ ඒ පියවර එතැනම නතර විය.
අතුලට එක මොහොතකට තමන් දුටුවේ කුමුදුනීද, නැතිනම් තමන්ට පෙනුණේ එසේද කියා පවා හිතාගන්නට බැරි වුණ බව ඇත්තකි
“මෙයා මොකද මේ වෙලාවේ මෙතැන? මොකටද අපේ ඔෆිස් එකට ආවෙ? අනික මාව හම්බෙන්න? කියලවත් නෙවිනෙ ආවෙ”
පපුව තිබුණේ අලුතෙන්ම ගැහෙන්නට පටන් අරගෙනය.
ඒ ගැස්මට හේතුව කුමුදුනීව දැකීම පමණක් නොවන බව අතුල දැන උන්නේය. අතුල වහාම වටපිට බැලුවේ වටපිටේ ඉන්නෙ කවුරුන්දැයි දැනගන්නටය.
Reception එක ළඟ කාර්යාල සේවකයෙකු දෙදෙනෙකු කතා කරමින් සිටියහ. තවත් කෙනෙකු දුරකථනයකින් කතා කරමින් සිටියේය. කාර්‍යාල කාර්‍ය සහයකවරුන්ද තමන්ගේ මේස අසලය.
“කවුරුහරි මෙයාව දැක්කද දන්නෙ නෑ? වජිරගෙ වයිෆ් කියලා දන්න අය ඉන්නවනෙ මේ ඔෆිස් එකේ. හයියෝ පුදුම මරාල තමයි මට සෙට් වෙන්නෙ”
හිත තිබුණේ එයාකාර ප්‍රශ්න පත්තර ඉදිරිපත් කරමිනි.එහෙත් ඒ කිසිවක් මුහුණෙන් පෙන්වන්නට අතුලට අවශ්‍ය වූයේ නැත. විශේෂයෙන්ම කුමුදුනී ඉදිරියේ තමන් කලබල වූ බවක් පෙන්වන්නට අතුලට සිතුණේ නැත. එනිසාම අතුල වහාම සාමාන්‍ය මුහුණක් හදාගෙන ඇය දෙසට ඇවිදගෙන ගියේය.
“නංගි” කුමුදුනී හිස උස්සා අතුල දෙස බැලුවේ ඒ හඬ ඇසුණ සැණින් ය.
“අයියෙ” කියමින් ඇය නැගිට්ටේ සාය සකසාගනිමිනි.
අතුල ඇය ළඟට ගොස් මඳ සිනාවක් පෑවද දෙනෙත් තිබුණේ චංචල වෙමින් එහෙ මෙහෙ දිව යමිනි.
“මෙහෙ මොකෝ?”
“අයියා ෆෝන් එකට ආන්සර් කරේ නෑනෙ”
“ආ?”
වැඩ කන්දරාවක හිරවී උන්න නිසා ෆෝන් එක බලන්නට අමතක වූ බවත් ෆෝන් එක සයිලන්ට් දැම්ම බවත් අතුලට මතක් වුණේ අන්න එවෙලේය.
“මං දෙතුන් පාරක් ගත්තා”
“වැඩක හිටියෙ නංගි. ෆෝන් එක silent කරලා තිබ්බෙ.”
“ඒකයි මං මෙහෙට ආවේ”
“මොකක් හරි ප්‍රශ්නයක්ද?”
“ප්‍රශ්නයක් තමයි අයියෙ”
ඇය එසේ කියා බිම බලාගත්තාය. අතුලට ඉතිරිය අනුමාන කරගන්නට අමාරු වූයේ නැත.එහෙත් ලොබියේ තවත් තත්පරයක්වත් මේ විදියට සිටීම නුසුදුසු බවත් ඒ තප්පරයේම ඔහුට මතක තිබුණේය
“එන්න. අපි එළියට ගිහින් කතා කරමු”
“ඇයි?”
“මෙතන මිනිස්සු වැඩියිනෙ. නිදහසේ කතා කරන්න බෑනෙ”
ඒ කියද්දීත් අතුලට ඇත්තටම කියන්නට අවශ්‍ය වූයේ වෙන දෙයකි.
“මෙතන කවුරුහරි අපි දෙන්නා දැක්කොත් හොඳ නෑ”
එහෙත් ඒ වචන කුමුදුනීට කියන්නට ඔහුට සිතුණේ නැත.
“එළියට යමු නංගි” කියා අතුල ඉදිරියට ඇවිද ගියේ ඒ අනුවය.
“අර මිනිස්සු ආය සල්ලි ඉල්ලන් ආව අයියෙ” කියා කියමින් කුමුදුනී ඇස්වල කඳුලු පුරවගනිද්දී ඒ මගහැර නොදැක්කා සේ ඉවත බලාගන්න විදිහක් අතුලට තිබ්බේ නැත. අසරණකම පෙන්නා වැඩකර ගන්න ඇත්තටම ගෑනු දක්ශ බව මේ තලස්තැනි මිනිහා දැන උන්නේ නැත. එහෙම නැත්තං පිරිමින්ට සමහරවෙලාවට ගෑනු මායං ඉස්සරහා ජීවිතයෙන් ලද පරිචයද අත්දැකීම්ද අමතක කරන්නට හේතු වෙති.
“කීයක්ද නංගි?” අතුල ඇහුවේ එච්චර හිතා බලලා නොවේ. අනෙක් අතට අතුලට එවෙලෙ ගැලවෙන්නට ඕන උනේ කුමුදුනී මේ ආව ගමනෙන් ය. මිනිස්සු දකින්න කලින් කුමුදුනීව මෙතනින් පිටකරගැනීමේ ලොකු උවමනාවක් අතුලට තිබුණේය. ඒ නිසාම අතුල උන්නෙ ප්‍රශ්නයට ඉතා ඉක්මනින් අවතිර්ණ වීමේ දැඩි උවමනාවකය.
“විසිදාහක් අයියෙ”
විසිදාහක් යනු අතුලට මහා ලොකු ගාණක් ය. රජයේ රැකියාවක් කරන්නෙකුට විසි දාහක් මහ ලොකු ගාණකි. අනික් අතට පවුලේ හතර දෙනෙකු නඩත්තු කරන උසස් පෙළ හදාරන අතිරේක පංතිවලට සහභාගි වන දරුවන් ඉන්න පියෙකුට ඇති වියදම් අපමණය. එහෙත් අතුලට එවෙලේ ඒ කිසිවක් මතක් වුණේ නැත. අනික ඇය මේ විදියට කඳුළු පුරවගෙන කියද්දී නෑ කියා යවන්නටද ඔහුට හිත දුන්නේ නැත.
“හරි මං බලන්නම්”
“අයියටත් කරදරයි කියලා මං දන්නවා. ඒකයි මං අයියට කියන්නත් බය උනේ. ඒත් මට වෙන කාට කියන්නද කියලා හිතාගන්න බැරි උනා අයියෙ. මේක එන්නෝන ගමනක් නෙවෙයි කියලා මං දන්නවා. ඒත් මං වෙන කාගෙන් කියලා පිහිටක් ඉල්ලන්නද අයියෙ. ඒකයි මං මේ ගමන ආවෙ”
“ඒකට කමක් නෑ නංගි. ඔයා ගෙදර යන්න. මං මොකක් හරි කරන්න බලන්නම්” කියා අතුල කියද්දි කුමුදුනී හිස සෙමින් සලා අතුලට තම සුවච කීකරු කම ප්‍රකාශ කරාය.
“මං අයියට කරදරයක් වෙන්න නෙවෙයි…”
“හරි හරි. මං දන්නවා”
“අනේ බෝම පිං අයියෙ.”
“හරි නංගි එහෙනම් දැන් පරිස්සමට යන්න” කියා කිව් පසු කුමුදුනී එතැනින් ඉවත්ව යන තුරුත් අතුල ඇය දෙස බලාගෙන උන්නේය. ඇය ගේට්ටුවෙන් එළියට ගොස් නොපෙනී ගිය පසු පමණක් ඔහු ආයෙමත් ඔෆිස් එක ඇතුළට එන්නට හැරුණේය.
කොරිඩෝව දිගේ ඇවිද එද්දීත් අතුල උන්නෙ මහ බර කල්පනාවකය. හිතන්නට බොහෝ දේ කුමුදුනීගේ මේ ආගමනයේ තිබුණ බව අතුල දැනගෙන උන්නේය. එහෙත් ඒ සිතුවිලිවලට බොහෝ දුර ඇදි යන්නට නොහැකි වුණේ පියවර කිහිපයක් යන්නටත් කලින් මිතුරෙකු පිටට තට්ටුවක් දැම්ම නිසාවෙනි.
“අතුල”
“ආහ් මචං කියපං”
“අර වජිරගෙ ගෑනි නේද ඇවිත් හිටියෙ?”
“ආ… ඔව්.”
“වජිරගෙ ගෑනි මොකටද බං උඹව හම්බෙන්න ආවෙ?”
කට උත්තර නැතුව ගොලු උනේ අන්න එතනදීය.
දැන් ඉතින් කියන්නේ මොකද්ද?


