වසන්තය තව දුරද – 53

0
364

“උඹ ඇත්තටම අපිට වඩා හොඳ මිනිහෙක් හන්දා අතුල මං මේ කියන්නෙ හොඳේ. වජිරව උඹට කලින් ඉඳලා මං දන්නවනෙ. උඹ කන්නෙ බොන්නෙ නැති එකා හන්දා වජිර ඔය දුක කියන අයියා විදියට උඹව සෙට් කරගත්තට උගෙ ජීවිතේ තිබ්බ සෑහෙන තරමක් ප්‍රශ්න මචං දැනගෙන ඉඳියෙ එක බෝතලේ වටේ සෙට් එන ගජයො සෙට් එක. මාත් එයින් එකෙන් කියන එක මං උඹට ආය අලුතෙන් කියන්න ඕන නෑනෙ. උඹ හිතන තරං නම් අතුලයො ඔය කුමුදුනී අහිංසක ඩයල් එකක් නෙවෙයි හොඳේ. පුදුම රට කපටි අම්මණ්ඩියෙක්. උඹ මෝඩයා වගේ අහුවෙයි කියන බයටයි මං මේ කියන්නෙ. අමතක කරන්නේපා උඹට රත්තරං වටින දරු පවුලක් තියෙන විත්තිය.

උඹට මතක ඇති වජිරට සල්ලි නැති උනාම කාගෙන්ද ඉල්ලගන්නෙ, කොහෙන්ද ගන්නෙ කියලා ඌට ගාණක් තිබ්බෙ නෑ. ඒ වෙලාවට අපි එක්ක ඉඳගෙන ඕන දෙයක් කියලා අඬා වැලපෙනවා, ඊළඟ දවසෙ ඒක අමතක කරලා ආයෙ පරණ විදියටම බොන්න යනවා. උඹට නම් ඒ පැත්ත පේන්න නැතිව ඇති. මොකද උඹ වජිරව දැක්කෙ වෙනම පැත්තකින්නෙ. උඹට ඌ හොඳට කතා කළා, උඹ එක්ක ප්‍රශ්න කියෙව්වා, උඹ ඌ එක්ක උඹෙ ප්‍රශ්න කිව්වා, දරුවො ගැන කිව්වා, ගෙදර ගැන කිව්වා. ඒක නිසා උඹට ඌ ගැන තිබ්බෙ වෙනම අදහසක්. ඒත් අපි ඌව දන්නෙ එහෙම නෙවෙයි. ඒ නිසා උඹ හිතන තරං නම්, අතුලයො, ඔය කුමුදුනී අහිංසක ඩයල් එකක් නෙවෙයි හොඳේ. මං ඒකිට අසාධාරණයක් කරන්න හදනවා නෙවෙයි. මට ඒකි එක්ක පුද්ගලික තරහක්වත් නෑ. ඒත් ගෑනි මොන වගේද කියලා වජිරගෙ කටින්ම අපි කොච්චර දේවල් අහලා තියෙනවද. පුදුම රට කපටි අම්මණ්ඩියෙක්. හැබැයි ඒක එළිපිට පෙන්නන්නෙ නෑ. අහිංසක විදියට ඉන්නවා. අමාරුකම් කියනවා. වජිරව මතක් කරලා අඬනවා. එතකොට ඉස්සරහ ඉන්න මිනිහට ඉතින් මොනවද හිතෙන්නෙ? අනේ පව් කියලා හිතෙනවනෙ. උඹටත් දැන් වෙලා තියෙන්නෙ ඒකම තමයි. උඹ මෝඩයා වගේ අහුවෙයි කියන බයටයි මං මේ කියන්නෙ. අද ඒකි ඔෆිස් එකටම ඇවිල්ලා උඹව හම්බෙලා ගියා කියලා දැක්කම මට හිතුණෙ ඒකයි. උඹ මට කියන්න එපා ඒකි නිකං උඹව බලන්න ආවා කියලා. 

තමන්ගෙ මැරිච්ච මිනිහගෙ යාලුවො බලන්න ගෑනු කෙනෙක් ඔෆිස් එකටම එනවද බං? එහෙනං කෝ අපිව බලන්නත් එන්න එපාය. උඹට ඒක තේරෙන්න ඕන. අද එන්නෙ එක්ක දේකට, හෙට තව මොකක් හරි. මුලින් උදව්වක් වගේ පටන් ගන්න දේවල් පස්සෙ පුරුද්දක් වෙනවා. උඹ හොඳ මිනිහෙක් හන්දා ඒකි උඹගෙන් උදව්වක් ඉල්ලුවම උඹට බෑ කියන්න අමාරුයි. ඒක මං දන්නවා. ඒත් හැමෝගෙම ප්‍රශ්න උඹේ කරපිටට දාගන්න ගියොත් අන්තිමේ උඹටම ප්‍රශ්නයක් වෙනවා. 

අනික මචං, මිනිස්සු දුක කියන එකයි මිනිස්සුන්ගෙ දුක එක්ක බැඳෙන එකයි දෙකක්. උඹ දැන් ඒකිගෙ දුක අහනවා, ඒකි උඹට කියන දේවල් උඹ හිතේ තියාගන්නවා, උදව් කරනවා. ඔය දේවල් ටික ටික වැඩි උනාම උඹටත් නොදැනීම ඒකි ගැන වගකීමක් තියෙනවා වගේ දැනෙන්න පුළුවන්. අන්න ඒකට තමයි මං බය. මොකද උඹට මං දන්න තරමට ජීවිතේ නැති කරගන්න දෙයක් නෑ. උඹට ගෙදර ගෑනි ඉන්නවා, උඹේ දරුවො ඉන්නවා. උඹට රත්තරං වටින දරු පවුලක් තියෙනවා. ඒක එක පාරක් හිතලා බලපං. අනුන්ගෙ ගෙදර ප්‍රශ්නයක් විසඳන්න ගිහින් තමන්ගෙ ගෙදර ප්‍රශ්නයක් හදාගන්න තරම් මෝඩ වෙන්න එපා අතුලයො. මං මේ කියන්නෙ උඹට වැරදි දෙයක් හිතන්න කියලා නෙවෙයි. උඹ මගේ යාළුවා හන්දා කියන්නෙ. උඹ හොඳ මිනිහෙක් හන්දා උඹව කවුරුහරි පාවිච්චි කරන එක මට බලන් ඉන්න බෑ. ඒකිට උදව් කරන්න ඕනෙ නම් කරපං. හැබැයි උඹේ සීමාව උඹම තියාගනිං. ඒක අමතක කරන්න එපා.” 

කපිල විසින් කියන්නට යෙදුණ ඒ වචන අමතක කරන්නට විදිහක් අතුලට ඇත්තටම තිබුණේ නැත. කුමුදුනී තමන්ව හම්බෙන්නට ආ විත්තිය පමණක් දැක ඔයාකාර කතාවක් කුමුදුනී ගැන තමන්ට කියන්නට තරං හේතුවක් කපිලට නැති වග හොඳටම දන්න හන්දා “කපිලයා ඉරිසියාවට කිව්වද දන්නේ නෑ” කියා හිතන්න විදියක් අතුලට තිබ්බේ නැත. හිත ඒ හන්දම තිබ්බේ දෙගිඩියාවෙනි. දෙමෝලෙන් පිටි කොටමින් මෙනි.

කුමුදුනී ඇත්තටම එහෙම ගෑනියෙක්ද? ඒ ප්‍රශ්නය එහෙමම හිතට ආවත් ඒකට උත්තරයක් හිතාගන්න අතුලට පුළුවන් වුණේ නැත. පපුව ඇතුළේ මොකක්දෝ බරක් හිරවුණාක් මෙන් දැනුණ බව ඇත්තකි. අතේ තිබූ පෑන ඇඟිලි අතර නොදැනුවත්වම තද වී තිබුණ  බව ඇත්තකි. කපිල කියූ වචන ආයෙ ආයෙමත් කන ඇතුළේ ඇසෙන්නාක් මෙන් දැනෙද්දී අතුල සෙමින් හුස්මක් ගත්තේය.

ඔහු මෙච්චර දවසක් දැක තිබුණේ කුමුදුනීගේ අනිත් පැත්තකි. සැමියා නැතිව තනිවී සිටින ගෑනියෙකුගේ පැත්තය. තනිකම එක්ක ජීවිතේ ගැටගහගන්න අමාරුවෙන් උත්සාහ කරන ගෑනියෙකුගේ පැත්තය. තමන්ට තියෙන ප්‍රශ්න කියාගන්න කෙනෙක් නැතිව, වෙලාවකට තමන් ඉස්සරහා අඬන ගෑනියෙකුගේ පැත්තය. ඒ හැමදේම බොරුවක් වෙන්න පුළුවන්දැයි අතුලට එකවරම හිතාගන්නට බැරි වීම ඉතින් සාධාරණය. පිරිමි සමහර වෙලාවට තමං හිතාගෙන ඉන්නවාට වඩා පට්ට මෝඩය.

එහෙත් කපිල කියූ දේවල්ද එසේම අමතක කර දමන්නට බැරිය.

අතුල පුටුවේ පිටුපසට සෙමින් හේත්තු වුණේ ඒ සිතුවිල්ල නිසාය. නළල දෙපසට එකතු වී තිබූ දහඩිය බිඳු දෙක තුනක් අතේ පිටුපසින් පිස දැමුවේ එකී කල්පනාවේ නිමග්නවය. හිතට එකවරම දැනුණු නොසන්සුන්කම නිසා උගුරද වියළී ගොස් තිබුණ බව ඇත්තකි.

විශේෂයෙන්ම අද ඇය ඔෆිස් එකටම පැමිණ තමන්ගෙන් සල්ලි ඉල්ලූ එක කපිල කියූ කතාව එක ආයෙ ආයෙ නොහිතා ඉන්න අතුලට පුළුවන් උනේ නැත. මීට කලින්ද එවැනි උදව් කිහිපයක් තමන්ගෙන් ඉල්ලුවා නොවේදැයි ඔහුට මතක් වුණේ එහෙම කල්පනාවක හිරවී ඉදිරියට යද්දීය. ඒ හැම වෙලාවකම කුමුදුනී කියා තිබුණේ තමන්ට කියන්නට වෙන කෙනෙක් නැති නිසා තමන්ගෙන් උදව් ඉල්ලූ බවය. ඒ හැම වෙලාවකම ඇගේ කඳුළුද, අසරණකමද, වජිර ගැන කියූ දේවල්ද තමන්ව අසරණ කල බව අතුලට මතකය.

“එතකොට ඒ ඔක්කොම බොරුද?” කියා හිත ඇතුළෙන්ම ප්‍රශ්නයක් නැඟුණේය.

අතුලගේ ඇඟිලි අතර තිබූ පෑන හදිසියේම ලිස්සා මේසය මත වැටුණේය. ඒ හඬට ඔහුම මඳක් ගැස්සුණේය.

තමන් මෙච්චර දවසක් කුමුදුනී ගැන හිතාගෙන සිටි සම්පූර්ණ විදියක එක මොහොතකට සැක කරන්නට සිදුව තිබුණ බවත්, ඒ සැකය පිළිගන්නට හිතට අමාරු බවත්, පිළි නොගෙන ඉන්නටත් දැන් හිතට ඉඩක් නැති තරම් බවත් අතුල දැනගෙන උන්නේය.

අනෙක් අතට යන්නට කලියෙන් කපිල කියා ගිය කතාව අමතක කරන්නට අතුලට කොහෙත්ම පුළුවන්කමක් තිබුණේ නැත.

“සමහර වෙලාවට බං පිරිමි අපි හිතාගන්න බැරි තරමට අසරණ වෙනවා. විශේෂයෙන් ගෑනියෙක්ගෙ දුකක් දැක්කම. අඬනවා දැක්කම ඉතින් අපිටත් පව් කියලා හිතෙනවනෙ. ඒ ගෑනි මොනවා කිව්වත් ඒ වෙලාවට ඒක ගැන ආයෙ හිතන්නෙ නෑ. මොකද අර පව් කියන එක ඔලුවට ගිහින් ඉවරයි. පස්සෙ බලද්දි අපි කරලා තියෙන්නෙ මොනවද කියලවත් හිතාගන්න බෑ. මං කියන්නෙ ගෑනු ඔක්කොම එහෙමයි කියලා නෙවෙයි බං. ඒත් අපිට කෙනෙක් ගැන හිත උණුවෙලා ගියාම අපිට පේන දේවල් ටිකක් අඩු වෙනවා. ඒක මටත් වෙලා තියෙනවා. උඹටත් වෙන්න පුළුවන්. ඒකයි උඹට කියන්නෙ පොඩ්ඩක් හොඳට බලාගෙන ඉඳපං කියලා. ඉක්මනට මොකුත් කරන්න කියන්න යන්න එපා. ටික දවසක් ගියාම උඹටම තේරෙයි කවුද කින්ද මන්ද කොහොමද කියලා. හැබැයි පුතෝ සමහරවිට එදාට උඹ පරක්කු වැඩි වෙන්නත් පුළුවන්” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here