වසන්තය තව දුරද – 54

0
560

“මට ගෙදරදි කතාකරන්න අමාරු විත්තිය මං කියලා තියෙද්දි මෙහෙම මට නිතර නිතර කෝල් ගන්න එපා. අනික මං කිව්වනෙ මොනාහරි පණිවිඩයක් කියන්න තියෙනම් ඉස්සෙල්ලා එස් එම් එස් එකක් එවන්න කියලා. ඇයි ඔයාට පොඩ්ඩක් මං කියන දේ තේරෙන්නෙ නැත්තෙ?”

අතුල සමරසිංහ වේගයෙන් වේගයෙන් හතිදාමින් මෙන් කියාගෙන ගියේ ගෙදරින් මදක් ඈත් වී ගේට්ටුව හරියේ කෙළවරකට වන්නට වීය.කපිල විසින් කියන්නට යෙදුණ කතාවෙන් පස්සේ ඇත්තටම අතුල කොච්චර කුමුදුනීගෙන් ඈත්වෙන්නට උත්සහ කරත් කුමුදුනී උන්නේ කූඩැල්ලෙකු මෙන් අතුලගේ ඇඟේම එල්ලීගන්නට බලාගෙනය.අතුලට ඇයගෙන් ඈත්වෙන්නට ඕනෑ වූ තරමටම ඇය අතුලගේ ජීවිතය ඇතුළට තවත් අඩියක් තබන්නට උත්සහ කළාය. ඔහු දුරකථනයෙන් කතා කිරීම පවා අඩු කළ විට ඇය වැඩි වැඩියෙන් කතා කළාය. ඔහු හෙට එන්නම් කියූ විට ඇය අදම එන්නට බල කළාය. තමන් ඇයගෙන් ගැලවෙන්නට හදන හැම පියවරක්ම ඇය තමන් වෙතට තවත් ළංවීමට භාවිතා කරන බවය අතුලට ඒ වෙද්දී හෙමින් සීරුවේ තේරෙන්නට පටන් ගෙන තිබුණේය. කපිලගේ වචන නිසා කුමුදුනී ගැන හිතේ ඇතිවූ සැකයත් එක්ක අතුල ඇය සමඟ තිබූ දුර තවත් වැඩි කරගන්නට උත්සහ කළේය. එහෙත් ඒ දුර ඇයට දුරක් වූයේ නැත. අතුල පියවරක් පස්සට ගන්නා හැම මොහොතකම කුමුදුනී ඒ පියවරට හේතුවක් හදාගෙන නැවතත් ඔහු වෙතට පැමිණියාය. 

ඇයට ඒවා පෙනුණේ තමන්ට අයිති මිනිසෙකු තමන්ගෙන් ඈත් වීමට කරන උත්සාහයන් ලෙසය. 

“ඔයාට මං කෝල් කරන්නෙ මොකක් හරි කියන්න තියෙන නිසානෙ. නිකං කතා කරන්න මං ඔයාට කෝල් කරන්නෙ නෑනෙ”

“ඒක තමයි කියන්නෙ. මොනාහරි කියන්න තියෙනවා නම් ඉස්සෙල්ලා මැසේජ් එකක් දාන්න. මං පුළුවන් වෙලාවක ගන්නම්”

“මට හැම වෙලාවෙම මැසේජ් දදා ඉන්න බෑ අතුල. හදිස්සියක් උනාම මැසේජ් දදා ඉන්න බෑනෙ. හදිස්සියකට ගන්නනෙ කෝල් තියෙන්නෙ මං මනුස්සයෙක් එක්ක කතා කරන්න ඕන වෙලාවට මං කතා කරනවා. ඔයාට බැරි නම් නොගෙන ඉන්න. එච්චරනෙ.”

“එච්චර වෙන්න තිබ්බා අපි මේ අවුරුදු දහ අටේ විස්සෙ කොල්ලො කෙල්ලො උනා නං. ඔයාට තේරෙන්නෙ නැද්ද? මෙහෙම ඔයාට හිතිච්ච හිතිච්ච හැටියෙ කෝල් කරන එකෙන් වෙන්නෙ මට ඔලුව නිදහසේ තියාගෙන ගෙදර ජීවත්වෙන්න වෙන්නෙ නැති එක විත්තිය”

“ඔයාට ගෙදර ජීවත්වෙන්න බැරි වෙන්නෙ මං කෝල් කරන හින්දද? නැත්තං ඔයාගෙ ගෙදර වෙන ප්‍රශ්නයක් තියෙනවද? ඔයා නිකං මේ කතා කරන්නෙ හරියට ඔයාලයි ගෙදර මං ප්‍රශ්න ඇති කරා වගේනෙ. අනේ මේ අතුල ගෙදර ප්‍රශ්න තියෙන විත්තිය ඔයාම නේද කිව්වෙ. දැන් නිකං මෙතන බබා හුකුං වගේ කතා කරන්නෙපා”

අතුල නිහඬ වූයේ ඒ වචන ඉදිරියේය තමන් විසින් දුර දිග නොසිතා නොබලා කියන්නට යෙදුන වචන තමන්ට පාරා වලල්ලක් වී ඇති බව තේරෙද්දී අතුල පසුතවෙන්නට විය. එහෙත් කටෙන් පිටකල වචන ආපහු කට ඇතුලට දමාගන්නට හැකියාවක් ඉතින් මෙලොව නැත.

“මං කියන දේ අහන්නකෝ කුමුදුනී”

“මං අහගෙන ඉන්නෙ. ඔයා තමයි මං කියන එක අහන්නෙ නැත්තෙ”

“මං කිව්වේ නෑනේ මට මේක මග අරින්න ඕන කියලා. ඒ වුණාට තැනක් නොතැනක් බලන්නේ නැතුව මෙහෙම හැසිරුණාම මං කොහොමද කියන දේකට හරි උත්තරයක් දෙන්නේ?”

“දැන් මොකද්ද මං හැසිරිච්ච විදියෙ තියෙන වැරැද්ද?”

“ඔයා දන්නවනෙ නේද නිකං තොත්ත බබා වගේ කතා කරන්න එපා”

“නෑ. මං දන්නෙ නෑ. කියන්නකො බලන්න”

“මේ ගෙදර ඉන්න මිනිස්සුන්ට මට ලැජ්ජ නැතුව මූණ දෙන්න පුළුවන් විදියට හැසිරෙන එක ගැන මේ කියන්නෙ.”

“මං කවද්ද ඔයාගෙ ගෙදරට ඇවිල්ලා කාටවත් මොනවා හරි පෙන්නන්න ගියේ? අනේ මට නං කාටවත් මූන දෙන්න බැරිකමක් නෑ”

“ඒක නෙවෙයි කතාව”

“එහෙනං?”

“ඔයා දන්නවනෙ මං කියන දේ”

“ඔයා හැම වෙලාවෙම ඔහොම තමයි. මං දන්නවා, ඔයා දන්නවා, එයා දන්නවා කියලා කතා කරනවා. මං මොනවා දන්නවද කියලා හරියට කියන්නෙ නෑ.”

අතුල ඇස් දෙක මොහොතකට පියාගත්තේ මේ රණ්ඩු සරුවල් වීම ඔලුවට බරක් ලෙස දැනෙන්නට වූ නිසාවෙනි. මේ වනාහී තමන්ගේ වයසට උචිත කතා බස් නොවන බව තේරුණත් තමන් නොයා යුතු මගක නොයා යුතු දුරක් පැමිණ ඇති බවක් ඒ වෙද්දිත් අතුලට තේරුම් ගොස් තිබුණේය.

“දෙයියන්ගේ නාමෙට මට පොඩ්ඩක් නිදහසෙ බත් ටිකක් කාලා ඉන්න දෙන්න. මං ඔයාට එන්නම් කිව්වනේ. මං හෙට කොහොමහරි වේලාවක් හදාගෙන එන්නම්. ඒ වෙනකල් පොඩ්ඩක් ඉවසලා ඉන්න බැරිද?”

“හෙට… හෙට… හැමදාම හෙට තමයි.”

“එහෙම නෙවෙයි මං කියන්නෙ දෙයි හාංදුරුවනේ”

“එහෙනං කොහොමද? මට ඔයාට කතා කරන්නත් බැරි නං ඔයා එන්නෙත් ඔයාට වෙලාවක් තියෙන වෙලාවට විතරයි නං මං මෙහෙ තනියම ඉන්නෙ. මටත් මොනවා හරි උනොත් මං කාටද කියන්නෙ?”

“ඔයාට මොනවා වෙන්නද?”

 “මං දන්නෙ කොහොමද. මං තනියම ඉන්න තනි ගෑනියෙක්. වජිර හිටියා නම් මට මේවා ඔයාගෙන් අහන්න ඕන නෑනෙ. මං ඒකයි මේ කතාකරන්නෙ. අනික මේ මිනිහා මැරිච්ච ගෑනුන්ගෙ ගෙවල් අස්සට රිංගුවා නම් ඔයාට දැන් මගෙ වගකිමක් තියෙන විත්තිය ඔයා උනත් දැනගන්නෝන”

“කට තිබ්බ පලියට අසමජ්ජාති කතා කියන්නේපා කුමුදුනී. ඔයා හොඳටම දන්නවා මම ඔයාලහ ආවා ගියා නං ඒ ආවෙ ගියේ සද්භාවෙන් මිසක්කා…”

“ඔයා ආවෙ ගියේ සද්භාවෙන්ද නැද්ද කියන එක දන්නෙ ඔයයි මමයි විතරනෙ. පිට ඉඳන් ඒව දකින එවුන්ට ඒව වැදගත් වෙන්නෙ නෑනෙ”

“ඒ කියන්නෙ?”

“ඒ කියන්නෙ මොකුත් නෑ. ඔයා මගේ ගෙදරට ආවා. මං ඔයාව ඇතුළට ගත්තා. අපි දෙන්නා පැය ගණන් කතා කළා. ඔයා මට උදව් කළා. මං ඔයාට මගේ දේවල් කිව්වා. මේවා පිටින් බලන මිනිස්සුන්ට ඔයා වජිරගෙ යාලුවෙක් කියලා විතරක් පේන්නෙ නෑනෙ”

“ඉතින් මිනිස්සු මොනවා හිතුවත් අපි දන්නවනෙ ඇත්ත”

“ඔයාට එහෙම කියන්න ලේසියි”

“ඇයි?”

“මොකද ඔයාට ආපහු ගෙදර යන්න පුළුවන්”

“ඒ කිව්වෙ?”

“මං ඉන්නෙ තනියම. මිනිස්සු අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න වෙන්නෙ මට. පිරිමින්ට හරි ලේසියි ජීවිතේට මූන දෙන්න. පිරිමි මොනවා කරත් සමාජෙ උන්ගෙන් ප්‍රශ්න අහන්න එන්නෙ නෑනෙ. ප්‍රශ්නවලට උත්තර දෙන්න වෙන්නෙ ගෑනුන්ට”

“කවුද ඔයාගෙන් මොනවාද අහන්නෙ?”

“අහන්න ඕන නෑ. බලන විදියත් ඇති”

“කුමුදුනී ඔයා මේ මොනවා කියනවද, මේ කතාව කොහෙටද ගෙනියන්නෙ  කියලා මට ඇත්තටම තේරෙන්නෙ නෑ”

“කතාව කොහෙටවත් ගෙනියන්නෙ නෑ අතුල. මං කියන්නෙ මට මිනිස්සුන්ගෙ කටවල් ගැන බයයි කියලා. මොකෝ මිනිස්සු කියන දේවල් අහන් ඉන්න වෙන්නෙ මටනෙ. ඔයාට නෙවෙයිනෙ”

“මිනිස්සු කතා කරයි කියලා බය වෙලා මං ඔයාට උදව් නොකර ඉඳියි  කියලද ඔයා කියන්නෙ?”

“ දැන් කොහොමත් ඔයා මේ මාව මගාරින්නනෙ නේද පටන් අරගෙන තියෙන්නෙ, ඉතින් ඉස්සරහට කොහොමත් මිනිස්සු කියන දේවල්වලට මුණ දෙන්න වෙන්නෙ මට තනියෙන් තමයි නෙ. ඒ හන්දා මං මේ කියන්නෙ උදව් කරන එකක් ගැන නෙවෙයි ”

“එහෙනං?”

“ඔයා මෙහෙ එන හැම සැරේම මොකක්ද වෙන්නෙ කියලා මිනිස්සු දන්නෙ නෑනෙ”

“මොකක්ද වෙන්නෙ?”

“ඔයා මොකටද එන්නෙ කියලා දන්නෙ ඔයයි මමයි විතරනෙ”

“ඉතින්?”

“ඒක අපි දැනගත්තට පිට මිනිස්සු දන්නෙ නෑනෙ නේද? විශේෂෙන්ම ඔයාගෙ ගෙදර උදවිය? දූයි නෝනයි එහෙම” කියා කුමුදුනී කියද්දී ඒ වචනවල තිබුනේ තර්ජනයක්ද කියා නොහිතා ඉන්න ඇත්තටම අතුලට පුළුවන් උනේ නැත.

එහා පැත්තෙන් ෆෝන් එක කට් වෙන සද්දයත් සමඟම අතුල තත්පර ගණනාවක් මෝහනය වූවෙකු මෙන් ෆෝන් එක දෙස බලා සිටියේ ඒ හැඟීමෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here