“ගේට්ටුව ළඟ මේ කලුවරේ මොනවද කරේ?” කියා චන්ද්‍රා තමා හිතු පරිද්දෙන්ම පිහිතුඩු වන් වචන විසි කරද්දී අතුල සමරසිංහ වරදක් කළ අයෙකු මෙන් ගැස්සුණේය.
“අහ්.. මං.. මං මේ අර කුලේ යනවද කියලා බැලුවා.”
“මේ වෙලාවෙ ඒ මනුස්සයා මොකටද මෙතනින් යන්නෙ?”
චන්ද්‍රාගේ ප්‍රශ්නයට අතුලට වහාම උත්තරයක් නොආවේය.
“වෙලාවකට ඔයත් නිකන් චන්දන සුරියබණ්ඩාර වගේනෙ චන්ද්‍රා.”
“ඒ මොකද එහෙම කියන්නෙ?”
“සිරස ලක්ෂපති එකේ ප්‍රශ්න අහනවා වගේනෙ අප්පා ප්‍රශ්න අහන්නෙ.”
“මෙහෙමයි ඉතින් ප්‍රශ්න අහන්නෙ නැතුව ඉන්න තිබ්බා සැක හිතෙන විදියට මේ ගෙදර මිනිස්සු හැසිරුණේ නැත්තං.”
“සැකෙන් බලද්දි ඉතින් කාව උනත් පේන්නෙ ඇදේට තමයි චන්ද්‍රා.”
“මට මෙච්චර දවසකට නම් එහෙම කාවවත් ඇදේට පෙනුනෙ එකක් නෑ. හැබැයි ළඟදි ඉඳලා නම් මට පේන්න පටන් අරන් තියෙන්නෙ කාට කාටත් මෙච්චර දවසක් කෙළින් යන්න ඕන වෙච්ච පාරවල්වල තවදුරටත් යන්න ඕන නැතුව ඇදේට යන්න ඕන වෙලා විත්තිය.”
කියාගෙන චන්ද්‍රා තමාව පසුකරගෙන ගේ ඇතුළට යද්දී අතුලගේ දෙනෙත් ඒ පසුපස්සේ ගොස් නැවතුනේ සාලයේ සෙටියේ වාඩි වී තමන්ගේ කතා බහට සවන් දීගෙන උන් දුව නෙත්මලීගේ තද කළු පැහැ දෑස් මතය. වෙනදාට ආදරයෙන් සෙනෙහසකින් පිරී ඉතිරී යන ඒ දෑස් අද තිබුණේ වෙනස්ම විදිහක විමසිලිමත් බවකිනි.
“පුතා පාඩම් කරලා ඉවරද?”
“නෑ… බඩගිනියි.”
නෙත්මලීගේ දෑස තිබුණේ තාත්තාගේ වෙවුලන ඇඟිලි තුඩු මතය. එවෙලේම අතුලගේ කමිස සාක්කුවේ තිබූ දුරකථනය නැවතත් කම්පනය විය.
“තාත්තට කෝල් එකක් නේද?”
අතුලගේ පපුව ඇතුළේ යළිත් මොකක්දෝ ගැස්මක් නැගුණේය.
“ඔව්… මේ කවුද මන්දා රෝන් නම්බර් එකක්. තිස්සෙම අරන් කවුද මන්දා ඉන්නවා අහනවා. මං ඒත් කිව්වා එහෙම කෙනෙක් නෑ කියලා. අහන්නෙ නෑ පුතේ.”
“බ්ලොක් කරා නම් ඉවරනෙ.”
“ඔව්… ඒක තමයි මං බැලුවෙ.”
කියාගෙනම අතුල කාමරය දෙසට ගියේය.
“කෝකටත් රෑ වෙලා වැඩිපුර නිදිමරන්න යන්නෙපා පුතේ. ඔළුව කැක්කුම ආයෙත් ඒවි.” කියාගෙන කාමරේට ගියද අතුල උන්නේ නොසංසුන් හැඟීමකිනි. කුමුදුනී කලේ තර්ජනයක් බවත් ඒ තර්ජනය ඔස්සේ තමන්ට හිතන්නට බොහෝ දේ ඇති බවත් නොහිතා ඉන්නට අතුලට පුළුවන් උනෙ නැත.
“මං ඔයාට කවදාවත් බලෙන් මොකුත් කරලා නෑ”
ඇය අවසානයේ කියන්නට යෙදුණ ඒ වචන නැවත නැවතත් ඔහුගේ කන අස්සේ රැව්දෙන්නට විය.කුමුදුනී ඇත්තටම තර්ජනය කළේ කුමකටද? තමන් ගැන චන්ද්‍රාට කියන්නයද? නැත්නම් තමන් දෙදෙනා අතර තිබුණ දේ ගැන වෙනත් කෙනෙකුට කියන්නටද?
“නෑ… එහෙම වෙන්න බෑ.” අතුල තමාටම මුමුණා ගත්තේ හිත සනසා ගනු පිණිසය. එහෙත් තමන්ටම කියාගත් ඒ වචනවල පවා ඔහුට විශ්වාසයක් තිබුණේ නැත. කුමුදුනී දැන් වෙනස් වී තිබුණ බව අකමැත්තෙ, බයෙන් උනත් පිළිගන්නට අතුලට අවසානයේ සිදුවී තිබුණේය.
කලින් වජිරගේ මරණයෙන් පසු අසරණ වී සිටි ගැහැනියක ලෙස තමන් ඉදිරියේ පෙනී සිටි ඇය දැන් තමන්ගේ ජීවිතය ගැන ප්‍රශ්න කරන්නටත්, තමන් යා යුතු තැන් ගැන තීරණය කරන්නටත්, තමන්ට කවදා කතා කළ යුතුදැයි තීරණය කරන්නටත් පටන්ගෙන තිබුණාය.
අතුල වැඩියෙන්ම බය වූයේ ඇයගේ ඒ වෙනස්වීම ගැන නොවේ. තමන් ඒ වෙනස්වීම සිදුවන තුරු බලාගෙන සිටියේ ඇයිද යන්න ගැනය.
දින ගෙවුණේ කුමුදුනීගේ වෙනස්කම් මැද්දේ අතුලගේ හිත බයෙන් සසැලෙමින්ද, ජීවිතේ බයෙන් තිගස්සවමින්ද වෙනම පාරක ගෙනයමිනි. ඒ පාරේ යන්නට පටන් ගත් පසු අතුලට වෙනදා තමන් විසින් කරන්නට යෙදුන යහපත් තාත්තාගේ හෝ සැමියාගේ භූමිකාව පෙර පරිදි රඟ දක්වන්නට හැකියාව තිබුණේ නැත. අනෙක් අතට ප්‍රශ්න එන්නේ කලින් කියා නොවන බව අතුලට තේරුණේ වැරදි කරමින් ජීවිතේ ඉදිරියට යද්දී මූණ දෙන්නට සිදු වූ දේවල් අනුවය.
“තාත්තා අද ඔෆිස් ඉවර වෙලා මරදානෙ පැත්තෙ ගියාද?”
නෙත්මාල්ගේ හඬ ඇසුණේ කිසිම බරක් නැතිවය. අතුල සමරසිංහ අතින් රාත්‍රී ආහාරය පිණිස කපමින් උන් කුකුල් පලුව ගිලිහී බිම ඇදගෙන වැටුණේ ඒ වචන අස්සේ රැඳී තිබුණ කුමුදුනී සම්බන්ධ තිත්ත ඇත්ත නිසාවෙනි.
“තව පොඩ්ඩෙන් කුකුලව නෙවෙයි කැපෙන්නෙ කකුල” කියමින් චන්ද්‍රා නොරිස්සුමෙන් කියමින් පහත් වී බිම වැටුණු පිහිය අතට ගත්තාය.
එහෙත් අතුල උන්නේ ඒ වචන ඇහෙන මානයක නොවේ. නෙත්මාල් විසින් කියන්නට යෙදුණ කතාවට දිය යුතු පිළිතුර කුමක්දැයි ඔහු හිත අස්සෙන් සොයමින් උන්නේය.
“අහ්… ඔව්. මට අද අර ඔෆිස් එකේ විමල් අංකල් එක්ක ඒ පැත්තට යන්න තිබ්බා… ඒ මනුස්සයගෙ මොකද්ද මන්දා වැඩකට.”
වචන එකින් එක එළියට ආවේ ඔහුගේම කටින් වුවද, ඒවා ඔහුගේම කනට ඇසුණේ වෙනත් මිනිසෙකුගේ හඬක් මෙනි. මැල්ලුමට කොළ ලියමින් උන් චන්ද්‍රාගේ සවන්වලට ඒ තතනීම නොතේරුණා නොවේ.
“ආහ්… ඒක තමයි.”
නෙත්මාල් සැහැල්ලුවෙන් කීවේය.
“මං තාත්තව දැක්කෙ නෑ හැබැයි.”
චන්ද්‍රාගේ දෙනෙත් අතුලව මගහැර නෙත්මාල් දිහාවට යොමු වුණේ ඒ වචන ඔස්සේය. එහෙත් නෙත්මාල් උන්නේ අම්මා දිහා බලාගෙන නොවේ. කුස්සියෙන් එළියට බහින පඩිපෙළ ළඟ හිඳගෙන, අම්මා විසින් විසි කරන්නට යෙදුණ හාල්මැස්සන්ගේ ඔළුවක් සමඟ සෙල්ලම් කරමින් උන් කිටියා දෙස බලාගෙනය.
“තාත්තාව දැක්කෙ නැත්තං උඹ කොහොමද කියන්නෙ තාත්තා මරදානෙ ගියා කියලා?”
චන්ද්‍රා මැල්ලුම් ලියන ලෑල්ල පැත්තකින් තබා නෙත්මාල් දෙසට හැරුණේ කුකුස පිරුණු තියුණු බැල්මකිනි.
“නෑ අම්මෙ. අද ඒ පැත්තට යන්න උනා මීටින් එකකට. ඒ එන අතරෙ මීටින් එකට ගිය වාහනේ ට්‍රැෆික් එකට නතර කරන් ඉන්නකොට තමයි මං තාත්තගෙ බයික්කෙක එතන කැෆේ එකක් ළඟ නතර කරලා තියෙනවා දැක්කෙ. මං ඉතින් ඒත් හිතුවා තාත්තා මොකක් හරි වැඩකට ඒ පැත්තට යන්න ඇති කියලා. එකපාරටම මතක් වුණ හන්දා නිකන් ඇහුවෙ. මං තාත්තව දැක්කෙ නෑ.”
නෙත්මාල් බිස්කට් කෑල්ලක් කඩා කිටියා දෙසට විසි කළේය.
“බයික් එක විතරද දැක්කෙ? වෙන කෙනෙක් හිටියෙ නැද්ද ඒ හරියෙ?”
චන්ද්‍රාගේ හඬේ තිබූ සැකය තදින් මුසු වූ නොරිස්සුම අතුලට පැහැදිලිවම දැනුණේය. නෙත්මාල්ගේ දෙනෙත් කිටියාගෙන් මිදී පළමුව අම්මා දෙසටත්, අනතුරුව තාත්තා දෙසටත් යොමු විය. අතුලට කරකියාගන්නට දෙයක් නොතිබුණි. බිම වැටුණු කුකුල් මස් කැබැල්ල අතට ගත් ඔහු එය නළයෙන් ගලන වතුර පාරට අල්ලාගෙන සේදුවේ කිසිවක් සිදු නොවූවාක් මෙනි.
“මං මොකටද අම්මෙ වටපිට බලන්නෙ? මං කාර් එකේ යන ගමන් නිකන් දැක්කෙ”
නෙත්මාල් තේ කෝප්පයේ ඉතිරි ටිකත් එක හුස්මට ගිල දැමුවේය.
“තාත්තා කිව්වනෙ විමල් අංකල් එක්ක ගියා කියලා. ඉතින් එච්චරනෙ. ආයෙ මොනවද ඕකෙ හාරවුස්සන්න තියෙන්නෙ?”
කියාගෙන ඔහු පුටුවෙන් නැගිට කුස්සියෙන් එළියට ගියේය.
“මං යනවා. හෙට උදේ මීටින් එකකට රෙඩි වෙන්න තියෙනවා.”
“හ්ම්”
චන්ද්‍රා එපමණක් කීවාය.
නෙත්මාල් ගිය පසු කුස්සියත් සාලයත් අතර පැතිරුණ නිහඬතාවය පෙරටත් වඩා බර විය. චන්ද්‍රා අතට ගත් ගොටුකොළ මිටිය දෙස බලා සිටියේ නළල රැළි ගන්වමිනි.
“විමල් මහත්තයා” කියමින් චන්ද්‍රා උන්නේ තමන්ටම මොන මොනවදෝ හෙමින් මුමුණා ගනිමිනි. කුකුල් පළුව එක්ක සෙල්ලම් කරමින් උන් අතුලගේ අත නතර වුනේ ඒ මිමිණුව ළඟදීය.
“මොකද?”
“ඔයා කිව්වෙ විමල් මහත්තයා එක්ක මරදානෙ ගියා කියලා නේද?”
“ඔව්.”
“අද?”
“ඔව්”
“අද හවස?”
“ඔව්”
චන්ද්‍රා මැල්ලුම් ලියන පිහිය අතින් තදි කොට අල්ලාගත්තාය.
“අතුල”
“මොකද?”
“විමල් මහත්තයා අස්වුණේ මීට මාස කීපෙකට කලින් නේද?”
අතුලගේ උගුර වියළී ගියේ චන්ද්‍රා විසින් අසන්නට යෙදුණ ප්‍රශ්නය නිසා නොවේ ඒ ප්‍රශ්නය අසන්නට යෙදුණ ස්වරය නිසාවෙනි.
“ඔව් ඇයි?”
“ඉතින් ඒ මනුස්සයා මොනවද ඔයාලගෙ ඔෆිස් එකේ තාම කරන්නෙ?” කියා චන්ද්‍රා අහද්දි අතුල උන්නේ බොරුවක් අසු වු පොඩි එකෙකු මෙන් නිහඬ වී ගොලු වීය.
“අනික එ මනුස්සයා ඔෆිස් එකෙන් අයින් වෙලා අනුරාදපුරේ පදිංචියට ගියා නේද?” කියා චන්ද්‍රා තවදුරටත් අහද්දී අතුල ඇත්තටම ගොලු විය. මීට මාස හතරකට පෙර විමල්ගේ විශ්‍රාම සාදය සඳහා තෑග්ගක් ගන්නට කියා චන්ද්‍රාගෙන් රුපියල් දහදාහක් ඉල්ලාගත් හැටි අතුලට මතක් උනේ එවෙලේය. එදා හවසම ගෙදර පැමිණි තමන් විමල් පවුල පිටින් අනුරාධපුරයට පදිංචියට යන බව චන්ද්‍රාට තමන් විසින් කියන්නට යෙදුණ බව අතුලට මතක් උනේ එවෙලේය.
“අද එතකොට මරදානෙ යන්න විමල් මහත්තයා ඊයෙවත් අනුරාධපුරේ ඉඳන් එන්නැති නේද?” කියා චන්ද්‍රා අහද්දී ඇත්තටම අතුලට දෙන්නට උත්තර තිබුණේ නැත.


