ඉශිනි ගෙන් පිටවු එවදන් සමඟ මොහොතකට එතැන පැවති සියලුම කතාබහ නතර වූවාක් මෙන් සියලු දෙනාම හට දැනුණි. රිහාන්ගේ දෑස් ඉශිනි වෙත නතර වී තිබුණේ ඇය පැවසූ දෙයෙහි සැබෑ අර්ථය තේරුම් ගැනීමට උත්සාහ කරගන්නටය. ඉශිනිගේ මුහුණේ ඒ වනවිටත් සිනහවක් රැඳී තිබුණත් තමන් කළ ප්‍රකාශය එතැන සිටි කිහිපදෙනෙකුගේ අවධානයට ලක්ව ඇති බව ඇය හටද පැහැදිලිවම දැනෙමින් තිබිණි.
“ඉශිනි “
රිහාන්ගේ හඬෙහි තිබුණේ පුදුමයත්, මඳ අපහසුතාවයකුත් පමණි. එහෙත් ඔහු ඊට පසු කුමක් පැවසිය යුතුදැයි තීරණය කර ගැනීමට පෙරම ඉශිනි සිනාසුණාය.
” ඇයි ?”
ඉශිනි නැවතත් සිනාසුනේ කිසිවක් සිදු නොවුණු ආකාරයේ සැහැල්ලු බවකිනි. අවට සිටි කිහිප දෙනාද ඉවත බලා ගත්තේ එය තවදුරටත් අවධානය යොමු නොකළ යුතු කාරණාවක් යැයි සිතාය.
“ඔයා මොකක්ද ඒ කිව්වේ?”
රිහාන් ඇය දෙස බලා ඇසුවේ පහත් හඬකිනි. ඔහුට අවශ්‍ය වූයේ එතැන සිටි සියලු දෙනා ඉදිරියේ දී ඒ පිළිබඳව වැඩිදුර කතා කිරීමට නොවුණත්, ඉශිනිගේ වචන එතරම් පහසුවෙන් නොසලකා හැරිය හැකි එකක්ද නොවීය.
“ඇයි? විහිළුවක් කළේ.”
ඉශිනි නැවත වතාවක් ඉතා සැහැල්ලුවෙන් පිළිතුරු දුන්නාය. එහෙත් ඒ පිළිතුරෙන් රිහාන්ගේ සිතට ලැබුණේ ඔහු බලාපොරොත්තු වූ පැහැදිලි කිරීම නොවේ.
“ඒක එහෙම කියන්න ඕනේද?”
ඔහු එවර ඇසුවේ මඳක් සිනාසෙමින් වුවත්, එම සිනහව තුළ පෙර තිබූ සැහැල්ලුව ගැබ් වී නොතිබුණි.
ඉශිනි මොහොතක් ඔහු දෙස බලා සිටියාය. අනතුරුව ඇය අවට සිටි පිරිස දෙස බැලුවේ කිහිප දෙනෙකුගේ අවධානය තවමත් තමන් දෙදෙනා වෙත ඇති බව තේරුම් ගනිමිනි.
“හරි හරි. එච්චර සීරියස් වෙන්න එපා. Photo එක ගමු අනේ “
ඇය අත තිබූ දුරකථනය සමඟ නැවත තරුණිය දෙසට හැරුණු අතර තරුණියද සිදුවූ දේ පිළිබඳව මඳ අපහසුතාවයකින් සිටියත්, සිනහවක් සමඟ රිහාන් අසලින් නැවතත් සිට ගත්තේ ඔවුන්ගේ පෞද්ගලික කතාබහ තමා හට අනවශ්‍ය දෙයක් බව සිතමිනි . රිහාන්ද දෙගිඩියාවෙන් යුතුව වුවත් ඇය සමඟ ඡායාරූපයට පෙනී සිටි නමුත් මීට මොහොතකට පෙර ඔහු තුළ තිබූ සැහැල්ලු ස්වභාවය ඒ වන විටත් වෙනස් වී තිබුණි.
ඔවුන් දෙදෙනාට මඳක් ඈතින් සිටි ශෙනෝලි ඒ සියල්ල බලා සිටියේ කිසිවක් නොපෙනෙන ලෙස තමන්ටම හැඟවීමට උත්සාහ කර ගන්නා අතරේය . ඇය ඉශිනි පැවසූ දෙය ඇසූනු මොහොතේම තම හදවත තුළ ඇති වූ කුඩා කම්පනය පවා පිටතට නොපෙන්වීමට වග බලා ගත්තාය. ඒ මොහොතේදී රිහාන්ගේ මුහුණේ ඇති වූ වෙනස ශෙනෝලි පැහැදිලිවම දුටු අතර ඔහු ඉශිනි පැවසු දෙය පිළිගත්තේ නැති බවත්, එය ඔහු බලාපොරොත්තු වූ දෙයක් නොවන බවත් පැහැදිලිවම තේරුම් ගෙන උන්නාය.
එහෙත් ඒ පිළිබඳව සතුටු වීමට තරම් ශෙනෝලි ගේ සිත ද සැහැල්ලු නොවීය.
“ශෙනෝලි,කට්ටිය Equipment ටික pack කරගෙන යන ගමන්. Van එක ආවම loading එක බලන්න පුළුවන්ද?”
ශෙනෝලි ගෙ අවධානය යොමු වූයේ මේඝ ගේ හඬ වෙතය.
“හරි. මම බලන්නම්.”
ඇය පිළිතුරු දුන්නේ වෙනදා මෙන්ම සාමාන්‍ය ස්වරයකිනි.
“ඔයාට ගොඩක් tired වගේ.”
ශෙනෝලි සිනහවක් පෑවේ ආයාසයෙනි.
” වැඩේ successful නේ. ඒ හොඳටම ඇති”
මේඝ තවත් කිසිවක් නොකියා හිස සොලවා සිනාසුනේ ඇය වැඩකටයුතු පිළිබඳව අවධානය යොමු කරනවා මිසක කිසිම මොහොතක වෙහෙස මහන්සිය පිළිබඳව මැසිවිලි නොනඟන බව හොඳින් දන්නා වසර ගණනාවක අත්දැකීමෙනි.
අශේන් ඒ අතරතුර රසිකයන් කිහිප දෙනෙකු සමඟ ඡායාරූප ගෙන අවසන් කර ශෙනෝලි වෙත පැමිණියේ මොහොතකට පෙර සිදුවූ සිදුවීම ඇයව තරමක හෝ කම්පනයට පත් කර ඇතැයි සිතමිනි.උදෑසන සිට ඇයගේ හැසිරීමේ වෙනස ඔහුට දැනී තිබුණත්, ඒ පිළිබඳව ඇයගෙන් කිසිවක් අසන්නට ඔහු උත්සාහ නොකළ නමුත් ඇය දෙස බැලූ විට ඔහුට හැඟී ගියේ ඇය තවමත් ඇය තුළ තිබෙන හැඟීම් සඟවාගෙන සිටින ආකාරය ය.
“ශෙනෝලි.”
අශේන් ඇය අසලට පැමිණ නතර වූයේය.
” Are you alright? ”
” Yes I am “
ඒ සමගම සංවිධායක මණ්ඩලයේ කෙනෙක් පැමිණ ඔවුන්ගේ වෑන් රථය පැමිණ ඇති බවට දැනුම් දුන් බැවින් ශෙනෝලි ඔහු සමග පිටව ගියේ අශේන් වෙත නැවතත් මදහසක් පාන අතරේය.
රසික රසිකාවියන් කිහිප දෙනෙකු සමග ඡායාරූප ගැනීම අවසාන කළ රිහාන් ඉශිනි වෙත පැමිණ නතර වී බලා උන්නේ පෙර සිදු වූ සිදුවීම පිළිබඳව පැහැදිලි කර ගැනීමට යමක් තවදුරටත් ඇති බව ඉශිනි වෙත වටහා දෙමිනි. ඒ බව ඇය ද තේරුම් ගත්තේ රිහාන් වචනයක් හෝ පවසන්නටත් පෙරමය.
” එන්න, මට කතා කරන්න ඕනේ “
රිහාන්ගේ හඬෙහි වූයේ සෘජු බවකි.එය පෙර මෙන් මෘදු හෝ ආදරණීය වූයේද, මිත්‍රශීලී හෝ සන්සුන් වූයේද නැත.
“ඇයි?”
“කතා කරන්න ඕනේ.”
ඇය කිසිවක් නොකියා ඔහු පසු පසින් වේදිකාවේ පිටුපස කෙළවරකට ගොස් නතර වූවාය. වේදිකාව පිටුපසට වෙන්නට නවතා තිබූ වෑන් රථයට උපකරණ පටවන ආකාරය පරීක්ෂා කරමින් සිටි ශෙනෝලි හට ඒ දෙස නොබලා සිටීමට අවශ්‍ය වූවත්, ඇගේ දෑස් කිහිපවරක්ම ඔවුන් වෙත යොමු වූයේ නොදැනුවත්වමය.
” ඉශිනි, අපි ටිකක් වැඩිපුර හිතල බලල කතා කරන්න ඕන වෙලාවල් තියෙනවා. විශේෂයෙන්ම මේ වගේ පබ්ලික් තැනකදි.මං හිතනවා ඔයාට මං කියන දේ තේරෙනව ඇති කියලා “
රිහාන් පහත් හඬින් පවසාගෙන ගිය අතර ඉශිනි මොහොතක් නිහඬව බලා උන්නාය.
“මට ඒක එච්චර ලොකු දෙයක් වෙයි කියලා හිතුනෙ නෑ රිහාන් “
“ඔයාට විහිළුවක් වගේ වෙන්න ඇති ,ඒත් අනිත් අයට ඒක විහිළුවක් නෙමෙයි ඉශිනි “
” සොරි “
ඇය එය පැවසුවේ සැබෑ ලෙසම කනගාටු වෙන ආකාරයෙන් බැවින් රිහාන්ගේ මුහුණේ තිබූ සෘජු බව මඳක් අඩු විය.
“මට ඔයා එක්ක තරහක් නෑ ඉශිනි. ඒත් අපි දෙන්නා ගැන මිනිස්සු දැනගන්න ඕනේ දේවල් මොනවද, නැති දේවල් මොනවද කියලා අපි දෙන්නා තීරණය කරමු. අපේ ජීවිත මිනිස්සු ඉස්සරහ නිකරුණේ විහිළුවක් කරගන්න ඕන නැහැ නේ “
රිහාන් බැරෑරුම් ලෙස පැවසූ අතර ඉශිනි ඔහු දෙස බලා උන්නේ දෙගිඩියාවෙනි. ඔහු තවමත් සම්බන්ධතාවය පිළිබඳව පැහැදිලි තීරණයකට පැමිණ නොමැති බව පමණක් ඇය ඒ වචන වලින් තේරුම් ගත් අතර ඒ අවබෝධය ඇගේ මුහුණේ ඇඳී තිබුණු සිනහව බොහෝ දුරට අඩු කර දැම්මේය.
“හරි.”
ඇය එපමණක් පවසා නතර වූවාය.
ඈතින් හිඳ මේ සියල්ල දෙස බලා සිටි ශෙනෝලි තම අත තිබූ ලිපිගොනුව වසා දැමුවේ ඇගේ රාජකාරිය ද අවසන් කර තවත් මොහොතක් එතැන රැඳී සිටීමට ඇයට හේතුවක් නොවූ බැවිනි.
” මට තේරෙනවා මගේ අතින් උනේ ලොකු වැරැද්දක් කියලා. සමහරවිට මෙහෙට ආපු එකත් මගේම වැරැද්දක් වෙන්න ඇති රිහාන් “
ඉශිනි උන්නේ සිත රිදවා ගෙනය.පැය ගණනාවක් පුරාවට උද්යෝගයෙන් සහ සන්තෝෂයෙන් පිරී තිබූ සිත ඒ වන විට කැබලි ගණනාවකට බිඳෙමින් තිබෙන බව ඇයට දැනෙමින් තිබිණි.
” ඉශිනි , ප්‍රශ්නෙ තියෙන්නෙ ඔයා මෙහෙට ආපු එකේ නෙවෙයි. එතන ඒ වෙලාවේ වෙච්ච දේ එක්ක. ඔය දේවල් එළියට යන්නේ වෙන වෙන විදිහට.ඔයා ඒ දේවල් ගැන නොදැන ඉන්නවා වෙන්න බැහැ ඔයාගේ ජොබ් එකත් එක්ක.අනික, එතන අපේ මෙම්බර්ස්ලා හිටියා.ඔයා දන්නවා මෙච්චර කාලයක් මං එයාලා ඉස්සරහ උනත් මගේ පර්සනල් දේවල් කතා කරපු කෙනෙක් නෙමෙයි කියලා “
රිහාන් සන්සුන් වන්නට උත්සාහ කළේය. කණ්ඩායම් සාමාජිකයන් ඉදිරියේ මෙතෙක් කාලයක් තිස්සේ තමා රැකගෙන පැමිණි ආත්ම ගෞරවයට බිඳක් වත් හානි කර ගැනීමට ඔහුට උවමනා වූයේ නැත.
” ඒ වුණාට ඒ හැමෝම දැනටමත් දන්නව නේද මං මෙහෙට ආවේ ඔයා හින්දා කියලා ?”
ඉශිනි අනෙක් අතට ඇසුවේ සියල්ල පැහැදිලි කර ගැනීමටය.
” එයාලා හැමදේම දන්න බව ඇත්ත. හැබැයි ඒක එතනින් එහාට යන්න ඕනේ නැහැ. ඉශිනි මම දන්නෑ ඔයාට කොහොමද කියලා.ඒත් මට රිලේෂන්ශිප් එකක් කියන්නේ සරල දෙයක් නෙමෙයි “
” එතකොට ඔයා කියන්නේ මේ වෙලාවෙත් අපි දෙන්න අතර කිසිම දෙයක් නෑ කියලද රිහාන් ?”


