5th Avenue – 35

0
399

” Good evening Nuwaraeliya !!!! “

අශේන් ගේ උද්‍යෝගිමත් හඬ ප්‍රේක්ෂකාගාරය සිසාරා පැතිර ගියේ ගෙවී යන සන්ධ්‍යාව සුන්දර සහ උත්කර්ෂවත් එකක් බවට පත් කරමිනි.

ප්‍රේක්ෂකාගාරයේ වූ අසුන් කිහිපයකින් එකක ඉශිනි අසුන් ගෙන සිටියේ සංවිධායකවරුන්ගේ පවුල් වල සාමාජිකයන් කිහිප දෙනෙකු සමගිනි. 5th Avenue සාමාජිකයන්ගේ සංගීතයෙන් රසවත් වූ ප්‍රසංග බොහෝමයක් මින් පෙර නරඹා තිබුණත් ඉදිරිපස අසුනක සිට නරඹන මෙම ප්‍රසංගය ඉශිනි වෙත ගෙන එමින් තිබුණේ සුවිශේෂී වූ හැඟීමකි.

මේඝ පැමිණ රිහාන් ව වේදිකාවට කැටුව ආ පසුව රිහාන් තම සම්පූර්ණ අවධානය ප්‍රසංගය වෙත යොමු කරමින් උන්නේය. අනතුරුව වේදිකාව මත සංගීතය ගලා යමින් තිබුණේ කිසිදු බාධාවකින් තොරවය. ප්‍රේක්ෂකයන්ගේ හඬත්, ගීතවල රිද්මයත් එකිනෙක සමඟ මුසු වෙද්දී, රිහාන් තමන්ගේ වාදනයට අවධානය දීමට උත්සාහ කළ නමුත් ඔහුගේ සිත ඒ තරම් පහසුවෙන් ඔහුට ඇහුම්කන් දුන්නේ නැත.

ශෙනෝලි ගේ හැසිරීම සාමාන්‍ය එකක් නොවන බවත් ඇය එය ආයාසයෙන් මවාගත් එකක් බවත් පැහැදිලිය.ඇය පෙර මෙන්ම කණ්ඩායමේ අනෙක් අය සමඟ කතා කරමින්, සිනාසෙමින් සහ වැඩකටයුතු වල නියැලෙමින් , අවශ්‍ය දේවල් කරමින්, කිසිදු වෙනසක් සිදුවී නැති ආකාරයෙන් හැසිරෙමින් සිටියාය. ඒ සියල්ල අතරේ තමාව පමණක් ඇය මගහරිමින් සිටින්නේ ඉශිනි ගේ පැමිණීම නිසා බව රිහාන් හට අමුතුවෙන් කිව යුතු වූයේ නැත.තේරුම් ගත යුතුව තිබුණේ ඒ හැසිරීමට මුල් වූ හේතුව පමණි.

” ගිම්හානේ ගිනි දැල්ල
ආවත්‌ කමක්‌ නෑ
අපට බාධා නොදී
උන්මාද මිහිදුමද
නොයනා තැනක්‌ නෑ
රැඳෙයි අප තුරුලේ

සීතලේ..
උණුසුම ඇති මේ තරම්
දරාගන්න හිත හයිය නම්
දෑතේ..
ඉඩකඩ ඇති ඒ තරම්
අපගේම යහනක.. සිහින හේදාවකී “

අශේන් ගේ ලයාන්විත ස්වරය ප්‍රේක්ෂකාගාරයේ සිටි සියලුම දෙනාවම වෙනම ලොවකට රැගෙන ගියේ නිරායාසයෙනි. ගීත පහකට පමණ පසුව වේදිකාව වෙත තවත් තරුණ ගායකයකු පිවිසීමට නියමිත වූ බැවින් අශේන් ඔහු හට වේදිකාව භාර දී වේදිකාවේ වම් පස වූ පඩිපෙළෙන් බැස ආවේ සැහැල්ලුවෙනි.

එම පඩි පෙළ පාමුල සංවිධායකවරුන් දෙදෙනෙක් සමග ශෙනෝලි ද සිටි අතර අශේන් පඩිපෙළ බැස ගොස් නතර වූයේ ඇය අසලය. ඔහු පුරුදු සිනහවෙන් ශෙනෝලි ගේ උරහිස මත අතක්ද තබාගෙන සිනාසෙමින් සංවිධායකවරුන් දෙදෙනා සමග කතාවට වැටෙනා ආකාරය රිහාන් දුටුවේ වේදිකාව මත සිට තම ගිටාරය වාදනය කරන අතරතුරය. හේතුවක් නැතිවම ඔහුගේ හදවතට දැනුනේ සියුම් වේදනාවකි.


ශෙනෝලි ගේ මුහුණේ සටහන්ව තිබුණේ ඇගේ පුරුදු අව්‍යාජ සිනහවමය. උදෑසන සිට ඇය වෙතින් දක්නට නොලැබුණු ඇගේ සැහැල්ලුවය. ඇගේ මුහුණේ තිබූ ඒ සැහැල්ලු සිනාව රිහාන් හොඳින් දැන සිටියේය. අශේන් යමක් පැවසූ විට ඇය හිස පහළට කර සිනාසුණු අතර ඔහුද ඇයට පිළිතුරු දෙමින් සැහැල්ලුවෙන් සිටියේය.

එය සාමාන්‍ය සිදුවීමක් බවට සිතන්නට රිහාන් උත්සාහ දැරුවේය. ඕනෑම අයෙකු සමග සිනාසීමට සහ කතාබහ කිරීමට ශෙනෝලි ට හැකියාව පැහැදිලිවම ඇති අතර සමහර විට ඇය උවමනාවෙන්ම තමාව මඟ හරිනවා යැයි දැනීම ද සිතුවිල්ලක් පමණක්ම වනවා විය හැකිය.

රිහාන් නැවත වේදිකාව දෙසට හැරුණේ කිසිවක් නොදුටු මිනිසෙකු මෙන්ය.එහෙත් ඔහුගේ සිත මොහොතකට පෙර දුටු දසුන අමතක කළේ ද නැත.

ඉශිනි උන්නේ මුළු ලෝකයම හිමිව ඇතිවා මෙන් සතුටකිනි.වේදිකාව මත සිටින රිහාන් ගිටාරය වාදනය කරමින්, තරුණ ගායකයා සමග ඉතා කෙලිලොල් ආකාරයෙන් වේදිකාව මත සැරිසරන ආකාරය බලා සිටි ඇයගේ මුහුණේ ඇඳී තිබුණේ ආලෝකමත් සිනහවකි. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති ප්‍රසංගයකදී පළමුවරට රිහාන්ව දුටු මොහොතේ පටන් මේ මොහොත දක්වාම බොහෝ මතකයන් ඉශිනි ගේ මතකයේ එකින් එක පෙළ ගැස්වෙන්නට විය. රිහාන් ඇතුළු කණ්ඩායම සහභාගී වන ප්‍රසංග බොහෝමයක් නැරඹීමට ගියේ ඔහු දැක ගැනීම පිණිස වුවත් අද තමා මේ ප්‍රසංගයට සහභාගී වන්නේ ඔහුගේ ජීවිතයේ විශේෂ ස්ථානයක් අත්පත් කරගෙනය යන හැඟීමෙහි ජීවත් වන්නට ඉශිනි ට උවමනා විය.

රිහාන් ඇය දෙස බැලූ එක් මොහොතක, ඇය දුරින් සිටම අත ඔසවා කුඩා ඉඟියක් කළ අතර රිහාන්ද සිනාසෙමින් හිස සෙලවූයේ ඇයව දුටු බව හඟවන්නටය.එය ඉතා සරල සහ සාමාන්‍ය  මොහොතක් වුවත්, දවස පුරා ඔහුගේ සිතේ පැවති නොසන්සුන් බව නිසා ඒ කුඩා මොහොත ඔහුට ගෙන ආවේ තරමක අස්වැසිල්ලකි.

සුන්දර පැය ගණනාවකට පසුව ප්‍රසංගය අවසන් වීමට ආසන්න වෙද්දී, නැවත වේදිකාව මතට පැමිණි අශේන් සංගීත කණ්ඩායම් සාමාජිකයන් සමඟ වේග රිද්ම ගී කිහිපයක්ම ගායනා කලේ අසුන් ගෙන සිටි බොහෝ ප්‍රේක්ෂකයන්ව අසුන් වලින් නැගිටුවා තබමිනි. අවසාන ගීතයද ගයා අවසන් වූ පසු ඔහු මයික්‍රෆෝනය අතට ගෙන ප්‍රේක්ෂකයන් දෙස බැලුවේය.

” Thank you for being with us tonight.We are 5th Avenue !!!! “

ඔහුගේ හඬ සමඟම ප්‍රේක්ෂකයන් වෙතින් නැවතත් නැගුනේ විශාල අත්පොළසන් හඬකි. අශේන් සිනහවක් සමග වේදිකාවේ තැන තැන සිටි කණ්ඩායමේ සියලු දෙනා දෙස බැලූ අතර ඔවුන්ද ප්‍රේක්ෂකයන්ට ආචාර කළේ තවත් සාර්ථක ප්‍රසංගයක් නිමා වීමේ සතුට හදවත් වල දරාගෙනය.

ඒ රාත්‍රියේ සියල්ල අවසන් වූයේ ඔවුන් බලාපොරොත්තු වූ ආකාරයටම සහ කිසිදු අඩු පාඩුවකින් හෝ අතපසුවීමකින් තොරවය.

කණ්ඩායමේ සාමාජිකයන් වේදිකාවෙන් පහළට පැමිණියේ තවත් මඳ වේලාවකට පසුවය. අතිශය වෙහෙසක් දැනෙමින් තිබුණද සියලු දෙනාම එම වෙහෙස අමතක කර දමමින් උන්නේ ප්‍රසංගය සාර්ථක වීමේ සතුට වෙහෙසට වඩා දැනිමින් තිබුණු බැවිනි.

වේදිකාවෙන් බැස පහළට පැමිණි කණ්ඩායම් සාමාජිකයන් වටා කිහිප දෙනෙකු එක්රැස් වන්නට පටන් ගත්තේ ඡායාරූප ගැනීමට සහ කතා බහ කිරීමටය.එය ප්‍රසංගයක් අවසානයේ සාමාන්‍යයෙන් සිදු වන දෙයක් නිසා කිසිවෙකුටත් එය අලුත් දෙයක් වූයේ නැත.විශේෂයෙන්ම අශේන් සහ රිහාන් සමඟ ඡායාරූප ගැනීමට පැමිණි රසිකයන් කිහිප දෙනෙකු නිසා එම ස්ථානය නැවතත් කාර්යබහුල වන්නට පටන් ගත්තේ විනාඩි කිහිපයක් ඇතුළත ඇතුළත දීය.

රිහාන් එකිනෙකා සමඟ ඡායාරූප ගනිමින්, සිනාසෙමින් ඔවුන් සමඟ කතා කළේය.අශේන්ද ඒ ආකාරයෙන්ම තමා වෙනුවෙන් පැමිණි රසිකයන් සමඟ සතුටු දායක විනාඩි කිහිපයක් ගත කරමින් සිටියේය.

ප්‍රේක්ෂකාගාරගේ රැඳී සිටි ඉශිනි වේදිකාවෙන් බසින පඩිපෙළ අසලට පැමිණියේ ඒ අතරතුරය.

” You rocked the stage Rihan “

ඉශිනි පැවසුවේ සතුටෙනි. අසල සිටි ශෙනෝලි හට එවදන් ඇසුණත් ඇය එය නෑසුනා සේම උන්නාය.කිසිදු හිඩසකින් තොරව තම රාජකාරිය අකුරටම ඉටු කර අවසන් කිරීමේ සතුට පමණක් ඇය හදවතින්ම විඳිමින් උන්නාය.

” Thank you Ishini “

රිහාන් පිළිතුරු දුන්නේ සිනාසෙමිනි. ඉශිනි ඔහු අසලට පැමිණ මඳක් පසෙකට වී සිටියදී, පිරිස අතර සිටි තරුණියක් රිහාන් අසලට පැමිණියේ දුරකථනයද අතැතිවය.

” Hi Rihan , Can I have a photo with you? “

කිසිම විටෙකක් ප්‍රේක්ෂකයන්ගේ ආදරය පසෙක නොදමන රිහාන් හිස සොලවමින් සිනාසුනේ අව්‍යාජ ලෙසය.

” Sure “

තරුණිය ඔහු අසලට පැමිණ ඇය අතේ තිබූ දුරකථනය ඉශිනි වෙත දිගු කළාය.

” Can you please take one for us?”

ඉශිනිගේ මුහුණේ සිනාවක් ඇඳුනු අතර ඇය දුරකථනය අතට ගත්තේ ඉතා සාමාන්‍ය ලෙසය.
තරුණිය රිහාන් අසලින් සිට ගෙන ඡායාරූපයට සූදානම් වූයේ තම ප්‍රියතම බේස් ගිටාර් වාදන ශිල්පියා සමග ඡායාරූපයක් ගැනීමට හැකියාව ලැබීමේ උද්‍යෝගයෙනි.

එහෙත් ඉශිනි ඡායාරූපය ගැනීමට පෙර මොහොතකට ඔහු දෙසත්, තරුණිය දෙසත් බලා සිනාසුණාය.

” He’s lucky to have a girlfriend like me who takes his photos with fan girls “

ඒ වචන ඇසුණු මොහොතේ රිහාන් ගේ මුහුණේ තිබූ සිනාව ක්ෂණයකින් මැකී ගිය අතර ඡායාරූපයට සූදානම් වෙමින් සිටි තරුණියගේ දෑස් ද විශාල විය.

” Girlfriend? “

ශෙනෝලි ,අශේන් සහ කණ්ඩායම් සාමාජිකයන් කිහිපදෙනා උන්නේ ඔවුන්ට පියවර කිහිපයක් ඈතින් නිසා එවදන් ඔවුන් හට පැහැදිලිවම ඇසිණි. සියලු දෙනාම පාහේ ඔවුන් වෙත හැරුනේ එකවරමය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here