5th Avenue – 37

0
158

” එතකොට ඔයා කියන්නේ මේ වෙලාවෙත් අපි දෙන්න අතර කිසිම දෙයක් නෑ කියලද රිහාන්? “

ඉශිනිගේ පැනයත් සමඟ රිහාන් මොහොතකට නිහඬ වූ අතර එයට පිළිතුරක් දීම ඔහු බලාපොරොත්තු වූවාට වඩා අපහසු බව ඔහුට ඒ මොහොතේම දැනුණි. ඔහු ඉශිනිගේ දෑස් දෙස බැලූ විට ඇය බලා සිටියේ ඔහුගෙන් තවත් පැහැදිලි කිරීමක් බලාපොරොත්තුවෙන් නොව, ඇයට ඔහුගේ ජීවිතයේ විශේෂ ස්ථානයක් හිමි වී තිබේද යන්න පැහැදිලිවම  දැන ගැනීමටය.

” මං එහෙම කිව්වෙ නෑ “

” එහෙනම් ? “

ඉශිනිගේ හඬෙහි එවර තිබුණේ පෙර තිබූ ස්වරය නොවූ අතර එහි වූයේ පිළිතුරක් ඉල්ලා සිටින අවංක බවක් පමණකි.තත්පර කිහිපයක් කල් වේලා ගත් රිහාන් දිගු හුස්මක් ගත්තේ අනතුරුවය.

” මං කියන්නේ අපි දෙන්නා ගැන මට තාමත් හිතලා තීරණයක් ගන්න ඕනේ කියලා. ඔයාට බලාපොරොත්තුවක් දීලා, ඊට පස්සේ ඒක ඉෂ්ට කරන්න බැරි වෙන සිටුවේෂන් එකකට මට යන්න ඕනේ නැහැ ” 

ඉශිනිගේ දෑස් බිමට බර වූයේ නිරායාසයෙනි.එහි වූයේ බලාපොරොත්තු කඩ වූ හැඟීම් ගොන්නකි.

” ඒ කියන්නේ ඔයාට මං ගැන විශ්වාසයක් නැද්ද රිහාන් තාම ? ” 

“ඒක ඔයා ගැන තියෙන විශ්වාසය ගැන ප්‍රශ්නයක් නෙමෙයි ඉශිනි. මට මගේ හිත ගැන තාමත් සම්පූර්ණයෙන්ම විශ්වාසයක් නැතිකම”

රිහාන් ඒ වචන පැවසූයේ අසීරුවෙන් නමුත් ඔහුට තවදුරටත් ඉශිනිව නොමඟ යැවීමට අවශ්‍ය වූයේ නැත. ඇය තමා වෙත සමීප වූ සෑම මොහොතකම තමා හා ගොඩනැගෙමින් පවතින සම්බන්ධතාවයට නමක් ලබා දීමට බලා සිටි බව ඔහු ඒ වන විටත් දැන උන්නේය. එහෙත් ඔහුගේ සිත ජීවිතය පිළිබඳ එවන් තදබල තීරණයක් ගැනීමට තරම් සූදානම් වී උන්නේද නැත.

” මං ඔයාට බොරු කියන්නෙ නෑ ඉශිනි. මට ඔයා ගැන වෙන කෙනෙක් ගැන දැනුනේ නැති විශේෂ දෙයක් හිතේ තියෙනවා.ඒකත් එක්ක ඔයා මට මගේ ජීවිතේ වැදගත් කෙනෙක්. ඒක මං පිළිගන්නවා. ඒත් ඒක relationship එකක් කියලා කියන්න තරම් ඇත්තටම මං තාම ready නෑ “

ඉශිනිගේ දෙතොල් අතරින් මදහසක් මතුවූ නමුත් ඒ තුළ කිසිදු සතුටක් නොවීය. ඇගේ දෑස් කඳුළින් බරව යාමට බොහෝ ආසන්නව තිබුනත් ඇය ආයාසයෙන් එය පාලනය කරගත්තාය.

” හරි. මට තේරුණා “

ඉශිනි එවන් පිළිතුරක් දුන්නත් තමා පැවසූ කිසිවෙකුත් ඇය සම්පූර්ණයෙන් තේරුම් ගත්තා වැනි හැඟීමක් රිහාන් හට කිසිසේත්ම දැනුනේ නැත.

” මං හිතුවා අද මෙහෙට ආවම ඔයා එක්ක මේ ගැන හොඳ තීරණයකට එන්න පුළුවන් කියලා.මොකද ඔයා හොඳටම දන්නවා මං ආවේ ඔයා නිසාමයි කියලා. ඒක අනිත් හැමෝමත් දන්න එකේ ඔයා විතරක් නොදැන ඉන්න විදිහක් නැහැ රිහාන්. මං හිතාගෙන හිටියේ හෙට මං ආපහු Colombo යනකොට මේ ලෝකෙ සතුටින්ම ඉන්න ගෑනු ළමයා විදිහට මට යන්න පුළුවන් වෙයි කියලා. මට දැන් තේරෙනවා ඒක වැරදි බලාපොරොත්තුවක් වෙන්න ඇති කියලා “

” මං ඔයාට එහෙම බලාපොරොත්තුවක් දුන්නා නම් සොරි ඉශිනි ” 

රිහාන් පිළිතුරු දුන්නේ දෙගිඩියාවෙනි. සතුටුදායක දවසක් අවසානයේ මෙවැන්නක් සිදුවේ යැයි තමා කිසිසේත්ම බලාපොරොත්තු වී තිබුණේ නැත. එහෙත් සියල්ලක්ම සිදු වන්නේ සිදුවිය යුතු ආකාරයට මිස කිසිවෙකු බලාපොරොත්තු වන ආකාරයට නොවේ.

” මේ ගැන අපි Colombo ගිහින් ආයෙත් කතා කරමු “

රිහාන් අවසානයේදී පැවසුවේ එම නීරස කතාබහ තවදුරටත් ඉදිරියට ගෙන නොයා යුතු බව සිතූ බැවිනි.

” අපි තව දවස් දෙක තුනකින් ආයෙ Colombo එනවනේ. මං හිතන්නේ ඒ වෙනකොට අපි දෙන්නටම මේ ගැන තව ටිකක් හිතලා කතා කරන්න පුළුවන් “

ඉශිනි මොහොතක් නිහඬව බලා උන්නාය.

” ඔයාට ඇත්තටම මේ ගැන ආයෙත් කතා කරන්න ඕනද? “

” ඔව් “

එය එකම එක වචනයක් වුවත් එය ඉශිනිගේ සිතට රිහාන් මොහොතකට පෙර පැවසූ සියලු වචන වලට වඩා වෙනස් හැඟීමක් ගෙන ආවේය.

5th Avenue කණ්ඩායම නැවත හෝටලය බලා  පැමිණෙන විට වේලාව අලුයම දෙකට ආසන්න වී තිබුණි. දිගු ගමනත්, දවස පුරා පැවති පීඩනය සහ වෙහෙසත් නිසා කිසිවෙකුටත් වැඩි කතාබහක යෙදීමට තරම් ශක්තියක් ඒ වන විට ඉතිරිව තිබුණේ නැත. සියල්ලෝම එකිනෙකාට සුභ රාත්‍රියක් පවසමින් තම තමන්ගේ කාමර වෙත ගියේ හැකි ඉක්මනින් නින්දට වැටීමේ බලාපොරොත්තුව සහිතවය.

ඉශිනි නවාතැන් ගෙන සිටියේ ශෙනෝලි ගේ කාමරයට යාබද කාමරයක නිසා ඇය කාමරයට පැමිණි දොර වසා ගන්නට පෙර ඉශිනි හට සුභ රාත්‍රියක් ප්‍රාර්ථනා කළේ ඉතාම සාමාන්‍ය ලෙසය. එහි කිසිදු කහටක් හෝ ශෝකයක් හෝ වේදනාවක් හෝ නොවීය.

කාමරයට ගොස් නිදන්නට සූදානම් වුවද ඉශිනි කෙරෙහි නින්ද නොපැමිණි අතර රිහාන් පැවසූ සෑම වචනයක්ම ඇගේ සිත තුළ නැවත නැවතත් ඇසෙමින් තිබුණි. ඔහු තමාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප නොකල නමුත් තමා බලාපොරොත්තු වූ තැනටද ඔහු තවමත් පැමිණ නැතැයි ඇයට සිතිණි.

උදෑසනම කොළඹ බලා නැවත පිටත්ව යාමට තීරණය කළ ඉශිනි පසුදා උදෑසන අවදි වී රිහාන් හට කෙටි පණිවිඩයක් තබා සූදානම් වූයේ බර වූ සිතකිනි. සියල්ල සූදානම් කරගෙන අවසානයේ කාමරයෙන් පිටතට පැමිණි ඉශිනි  කොරිඩෝවේ  නතර වී කාමරයේ දොර අගුල දමා පිටව යන්නට සූදානම් වී හැරෙන විට දුටු දසුනින් වඩා පුදුමයට පත් වූවාය.

” රිහාන්? “

රිහාන් ඇගේ කාමරයට මදක් එහායින් කොරිඩෝවේ නැවති බලා උන්නේය.

” මං ඔයා එනකම් හිටියේ “

” ඇයි? “

රිහාන් මොහොතක් නිහඬව හිඳ හඬ අවදි කළේය.

” ඊයේ මං ටිකක් panic වුණා ඉශිනි ,ඔයා දන්නවනේ මං මේ ෆීල්ඩ් එකේ මගේ personality එක කොහොමද maintain කරගෙන ඉන්නෙ කියලා. මං මගේ personal life එක මේ හැමෝම ඉස්සරහට අරගෙන එන්න කැමති කෙනෙක් නෙමෙයි. ඒක නිසා ඊයේ ඔයා ඒ විදිහට කිව්වම මං එකපාරටම panic වුණා “

ඉශිනිගේ හදවතේ වූ බර ක්‍රම ක්‍රමයෙන් අඩු වන්නට පටන් ගත්තේ අනතුරුවය.

” මාත් ඔයාට සොරි කියන්න ඕනේ රිහාන්. මොකද වැරැද්ද කළේ මමනේ.මට ටිකක් වැඩිපුර හිතලා කතා කරන්න තිබුණා. ඒකෙන් ඔයාට uncomfortable වෙයි කියලා මට ඇත්තටම හිතුනේ නැහැ “

රිහාන් ඇය දෙස බලා හිස සෙමින් සොලවා සිනාසුණේය.

” අපි ඕක තව දිගට අරගෙන යන එකේ කිසිම තේරුමක් නෑ ඉශිනි “

ඉශිනි මඳක් නිහඬව බලා උන්නාය. ප්‍රශ්නයක් ඉතිරි කර තබා නික්ම යාමට ඇයට කිසිසේත්ම උවමනා වූයේ නැත.

“ඔයා දන්නවද රිහාන්, මං හරි කැමතියි ඔයාගේ මේ personality එකට. ඔයාගේ talent එකට. ඔයාට ඔයා ගැන,ඔයාගේ වැඩ ගැන තියෙන proudness එකට. ඔයාට ඔයා ගැන තියෙන confidence එකට. ඔයා හැමෝම එක්ක එකම විදිහට ඉන්නෙ නැති එකට. ඒ හැම දෙයක්ම මං ගොඩක් කාලෙක ඉඳන් බලාගෙන ඉන්නේ. මං කැමැති වුණේ ඒ හැමදේටම “

රිහාන් යන්තමින් සිනාසුනේය.ඒ සිනහව තුළ ඉශිනි කෙරෙහි කිසිදු අපැහැදීමක් නොවූ අතර එහි වූයේ සම්පූර්ණ අව්‍යාජ බවක් පමණි.

” මං හිතන්නෙ පළවෙනි වතාවට කෙල්ලෙක් මාව මේ තරම් හොඳට observe කරලා තියෙන්නෙ “

” ඉතින්?”

ඉශිනි ඔහු දෙස බලා ඇසුවේ බලාපොරොත්තු සහගතවය.

” මං හිතන්නෙ, මං ඒකට ආදරේ වෙන්න පටන් අරගෙන කියලා ” 

ඉශිනිගේ දෑස් පුදුමයෙන් විශාල වූයේ රිහාන් කෙරෙන් එවැන්නක් බලාපොරොත්තු නොවූ නිසාය. 

” Really? “

රිහාන් සිනාසුණේය.

” මටත් ඒක අද තමයි හරියට තේරුණේ “

ඉශිනිගේ මුහුණේ සැබෑ සතුටක් මුසු සිනහවක් මතුවූයේ තප්පර කිහිපයක් ඇතුළතදීය. ඇය තවත් මොහොතක් රිහාන් දෙස බලා හිඳ තවත් අඩියක් ඉදිරියට පැමිණ  වෙත පැමිණ ඔහුව තදින් වැළඳගත්තේ අනපේක්ෂිතවය. එය කිසිසේත්ම බලාපොරොත්තු නොවූ වැළඳ ගැනීමක් බැවින් රිහාන්ගේ දෑස් මොහොතකට විශාල විය. නමුත් ඇයව ඉවතට තල්ලු කරන්නටද ඔහුට අවශ්‍ය වූයේ නැත.

ශෙනෝලි තම කාමරයේ දොර විවෘත කරගෙන පිටතට පැමිණියේ ඒ මොහොතේදීමය. ඉශිනි ගේ කාමරය අසල ඇති විශාල ගමන් බෑගයත්, ඒ අසල හිඳ ඇය රිහාන්ව තදින් වැළඳගෙන සිටින දසුනත් ඇගේ නෙත ගැටුණේ එක් නිමේෂයක් තුළදීය.

ඇගේ පියවර කොරිඩෝවේම නතර වූයේ ඉශිනි සහ රිහාන් එකිනෙකාව තදින් වැළඳගෙන සිටින ආකාරය ඇගේ දෑස් ඉදිරියේ පැහැදිලිව නතර වුනු මොහොතේය. ඉදිරියට තැබූ පියවර පසුපසට ගත් ශෙනෝලි අනෙක් තප්පරයේම නැවත කාමරයට ඇතුළු වී ශබ්දයක් නොනැගෙන සේ දොර වසා ගත්තේ වේගයෙන් ගැහෙන හදවතිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here