වසන්තය තව දුරද – 62

0
715

එදා රෑ ඉතින් සමරසිංහ ගෙදර බතක් ඉදුනේ නැත. ගෙදර ගිනි තබන්නට දරද, ගිනිද ලං කර ලොකු අම්මා ගින්න අවුලුවා ඔහේ ගින්නට දැල්වෙන්නට හැර හදවත් දෙක තුනක් ගිනි තබා ගියා මිසක ඒ ගෙදර තුන් දෙනා කන්නේ බොන්නේ කොහොමද කියා හිතුවේ කරේ නැත. එනිසාම පික් මී ඕඩරයක් දමා ගැම් ගෙදරින් ඉඳි ආප්පත්, කිරි හොදිත්, පොල් සම්බෝලත්, චිකන් පීකුදු කරියත් ඕඩර් කරන්නට මුල් උනේ නෙත්මාල්‍ ය.

තමන් වෙනදාට ගෙදර ප්‍රශ්නවලදී කර ඇර ඉන්න බව ඇත්තක් උනද, තාත්තා නැති ගෙදරක එකම පිරිමියා විදියටද, අයියා සහ පුතා විදියටද තමන් ගෙන් මීට වඩා ඉටු විය යුතු වගකීමක් තියෙන විත්තිය නෙත්මාල්ට හොඳටම තේරුණේ නංගී අද ලොකු අම්මා එක්ක කතා කල විත්තිය දැක්ක වෙලේය. 

නංගී හිඳියේ මල් පෙත්තක් මෙන් සුදු මුදුව බවත්, ඒ සුදු මුදු බව බොහෝ සෙයින් වෙනස් වී, නංගී මේ සමාජය අස්සේ බොහෝ දේ ඉගෙන ගත් පරිණත, එඩිතර කෙල්ලක වී ඇති බවත් නෙත්මාල්ට තේරුණේ අදය.වෙනදා නම් නංගීගේ හිත රිදෙන වචනයක් කවුරුන් හෝ කියන විට ඇගේ මුහුණ වෙනස් වන හැටිත්, ඇස්වලට කඳුළු පිරෙන හැටිත් ඔහු දැක තිබුණේය. එහෙත් අද ඇය ඒ වචන ඉදිරියේ නොසැලී සිටි බවත් තමන් ගැන කියන දේවල්වලට තමන් වෙනුවෙන්ම උත්තර දුන් බවත් නෙත්මාල්ගේ නෙත් නොගැටුණා නොවේ.

ඒ දසුන නෙත්මාල්ගේ හිතේ කොහේදෝ තැනක නතර වී තිබුණේය. නංගී මෙච්චර දුරක් තනියම ඇවිත් තිබියදී තමන් තවමත් පරණ පුරුදු අස්සේ හිර වී සිටින බව දැනුන එක ඉතින් සාධාරණය. ගෙදර ප්‍රශ්නයක් ඇති වූ විට එතැනින් ඉවත්ව යන්නටත්, අම්මාත් තාත්තාත් අතර සිදුවන දේවල් තමන්ට අදාල නැතැයි සිතන්නටත් තමන් පුරුදු වී සිටි බව නෙත්මාල්ට මතක් වුණේය. සමහර දේවල්වලට මැදිහත් නොවී සිටීම පහසුවක් වුවත්, ඒ නිහඬකම නිසා තවත් කෙනෙකුට හැම දෙයක්ම තනිවම දරාගන්නට සිදුවන බව තමන් හිතා තිබුණේ නැති බව නෙත්මාල්ට මෙවෙලේ මතක් වුණේය.

 ඒ තේරීමත් එක්ක තමන් පිරිමියෙක් විදියට ජීවත් වී තිබෙන්නේ නමට පමණක් බව තේරුං ගොස් හිත ලැජ්ජ වුණ නිසාවෙන්ම වෙනස් වෙන්නට නෙත්මාල් හිතුවේය.

කෑම ටික භාජනවලට දමා භාජන ටික මේසයට ගෙන ආව නෙත්මාල් නංගීටත් අම්මාටත් කෑම කන්නට කතා කරේය. ප්‍රශ්නයක් වෙච්ච තැන ගෑනු කරන්න දන්නේ අඬන එකත්, නොකා ඉන්න එකත් බව පිරිමියෙක් විදියට කෙල්ලො තුන හතරක් පාස් කරගෙන ආ නිසා දැනගෙන උන්නයින්ම නෙත්මාල් පෙරත්ත කරගෙනම දෙන්නාවම මේසයට එක්කරගෙන ආවේ මේ ප්‍රශ්න විසඳෙන්නේ කතා බස් කරොත් පමණක් බව දැන් උන් නිසාය.

“අම්මේ යන් කන්න” කියා පුතා පැමිණ කතා කරද්දී චන්ද්‍රා ඇත්තටම පුදුම වුණාය. නෙත්මාල් කියන්නේ මලාට උයන්න තියා කුස්සිය පැත්ත පලාතේ නොඑන එකෙක් බව දන්නවා උනත් “ඔයා ඉව්වද?” කියා අහනවා ඇරෙන්න වෙන අහන්න දෙයක් චන්ද්‍රාට තිබ්බේ නැත.

“මං උයන්න දන්නෙ නෑනෙ අම්මෙ. ඉඳිආප්ප කරි එක්ක ඕඩර් කරා. කාලා ඉමු. යන්”

“මට බඩගිනි නෑ. ඔයාලා කාලා භාජන සින්ක් එකෙන් දාන්න. මං හෙට හෝදන්නම්”

“දැන් ඔයා නොකා නිදාගත්තා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නෑනෙ. අපි මේක කතා කරන්නෝන. අම්මා එන්න කන්න. මං නංගිටත් කතා කරන්නම්. දෙයක් තියෙනම් අපි කතා කරමු. කතා කරලා විසඳගමු” කියා නෙත්මාල් කියද්දී චන්ද්‍රාට ඒ වචනවලට විරුද්ධ වෙන්න, මුරණ්ඩු වෙන්න හැකියාවක් තිබ්බේ නැත. අනෙක් අතට මේ නෙත්මාල් මෙහෙම ගෙදර ප්‍රශ්නෙකට කට්ටෙන් එලියට ආව පලවෙනිම වතාවය. එහෙමෙකේ ඒ වචන මගහරින්න චන්ද්‍රාට උවමනා උනේ නැත. අනෙක් අතට සැමියා තමන්ව අතැර ගිය තැනක ඕනම ගැහැනියක දරුවන් මත යැපෙන්නට හිත හදාගන්න එක පොදු කරුණකි. 

ගෑනුන් දෙදෙන මේසයට ආවේ එකිනෙකාගේ දෙනෙත් මග අරිමිනි. එකිනෙකාට වරදක් කරගත්තේ නැති උවද “තමන් අතින් අනෙකාට වරදක් විනැයි” යන හැඟීමක් හිත අස්සේ බුබුළු දමමින් තිබුණ නිසාම ඒ දෙනෙත් මග ඇරිල්ල කෑම මේසයට එන ගමන ලේසි කරාය.

කෑම මේසය වටා තුන්දෙනාම වාඩි වී සිටියද, කෑම බෙදාගන්නා අතරේ කිසිවෙකුත් කතා කළේ නැත. හැන්ද පිඟානක වදින හඬ හැරුණු විට කෑම කාමරය පුරාම පැතිර තිබුණේ අමුතු නිහඬකමකි. 

චන්ද්‍රා උන්නේ කෑම කන්නට වාඩි වූවාට හිත තිබුණේ වෙන තැනකය. නෙත්මලී හිස පහත් කරගෙන තමන්ගේ පිඟානට කෑම බෙදාගත්තාය. ලොකු අම්මා ගෙදරට පැමිණ ගිය පසු හිතේ ඇති වූ තුවාල තවම වේලී ගොස් තිබුණේ නැත. ඒ මදිවාට අම්මා ඉදිරියේ නලින්ද්‍ර ගැන කතා කරන්නට සිදුවීමත් ඇයට පහසු වූයේ නැත. තමන් ආදරය කරන මිනිසා ගැන අනුන්ගේ කටින් අහන්නට සිදුවීම කොතරම් රිදෙන දෙයක්දැයි ඇය දැන සිටියාය. ඒත් තමන්ගේම අම්මා ඉදිරියේ ඒ ආදරය වෙනුවෙන් පෙනී සිටින්නට සිදුවීම ඊටත් වඩා අමාරු දෙයක් බව නෙත්මලිට තේරුණේ මේ ප්‍රශ්නයට ඇත්තටම මූණ දෙන්නට වූ මොහොතේය. කොයි මොහොතක හෝ “එයා ඩිවෝස් වෙච්ච කෙනෙක්” කියා අම්මාටත් අයියාටත් කියන්න වේය යන බය තිබ්බේ නෙත්මලිව හිත අස්සෙන් තිගස්සවමිනි. ලොකු අම්මා ඉදිරියේ මොන තරං ලොකු කතන්දර කීමේ හැකියාව තිබ්බත් තමන්ගේ අම්මාට පෙම්වතා ගැන කියන්නට යන ඕනම දියණියකට ඒ බව පොදු බව නෙත්මලී දැන උන්නේ නැත.

“අම්මේ තව පීකුදු ටිකක් දාගන්න” කියා නෙත්මාල් පීකුදු භාජනය අම්මා දෙසට තල්ලු කළේය. චන්ද්‍රා ඔහු දෙස බැලුවේ පුදුමයෙනි. පුතා කෑම මේසයේදී මෙහෙම තමන් ගැන සොයා බලන එක චන්ද්‍රාට දැනුනේ අලුත් දෙයක් විදියටය. වෙනදට තිබුණේ තමන් හැමෝටම කෑම බෙදන පුරුද්දකි. තමන්ට කවුරුත් කෑම බෙදූ මතකයක් චන්ද්‍රාගේ මතක ගබඩාවේ කොහේවත් තැනක තැන්පත් වී තිබුණේ නැත. එනිසාම කිව යුත්තේ කුමක්දැයි හිතාගන්නට චන්ද්‍රා උන්නේ අපහසුවෙනි.

“මට ඇති පුතේ.”

“ඇති වෙන්නෙ කොහොමද? බත් කාලත් නෑනෙ අද. තව ටිකක් ගන්න.”

“මට බඩගිනි නෑ ළමයො”

“බඩගිනි නැති වුණාට කන්න ටිකක්. අපි හැමෝම අද ඉන්නෙ හොඳ මූඩ් එකක නෙවෙයිනෙ. ඒකට කෑම නොකා ඉඳලා හරියන්නෙ නෑනෙ. ඔක්කොම කරන්නෙ කන්නෙන්”

නෙත්මාල් එසේ කීවේ සැහැල්ලුවෙන් වුවත්, ඒ වචන ඇතුළේ තිබූ අදහස නෙත්මලීට නොදැනුණා නොවේ. අයියා වෙනදාට ගෙදර ප්‍රශ්නවලදී මෙහෙම කතා කළේ නැත. ප්‍රශ්නයක් ඇති වූ විට ඔහු හැකි තරම් ඒවායෙන් ඈත්ව සිටියේය. ඒත් අද අයියා උත්සාහ කරමින් සිටියේ මේ නිහඬකම මැදින් කතාබහකට ඉඩක් හදාගන්නටය.

නෙත්මලීට තාත්තාව මතක් නොවුණා නොවේ. අතීතයේ මෙහෙම කතා කරේ තාත්තාය.  ගෙදර කාට හරි හිත රිදුණු විට, කවුරුත් කතා නොකර පැත්තකට වී සිටින විට, කෑම කන්නට කතා කරමින්, තේ එකක් හදාගෙන එන්නට කියමින්, එහෙමත් නැත්නම් කිසිම සම්බන්ධයක් නැති කතාවක් ඇදගෙන එමින් සියල්ලන්ම එක්කහු කලේ තාත්තාය. ඒ පුංචි දේවල්වලින් හැම ප්‍රශ්නයක්ම විසඳුණේ නැතත්, ගෙදර මිනිසුන් අතර තිබුණු දුර ටිකකට හෝ අඩු වුණ එක ඇත්තකි.

අද අයියා දකිද්දී නෙත්මලීට මතක් උනේ අන්න ඒ හුරුපුරුදු බවය. ඒත් ඒ මතකයත් එක්ක හිතට ආවේ සතුටක් නොවේ. 

“කන ගමන් කතා කරන එක නරක පුරුද්දක් උනාට අපේ ගෙදර ඉතින් ඒක ඉස්සර ඉඳලා අනිත් පැත්ත හන්දා අදත් ඒ නීතිය කැඩුවට අවුලක් නෑ කියලා මං හිතනවා..

ලොකු අම්මා ඇවිල්ලා කිව්ව කාරණේ හරිද වැරදිද කියලා මං කියන්නේ නෑ. හැබැයි ලොකු අම්මා අපේ ගෙදර තියෙන ඕන දේටයි එපාදේටයි හැම එකටම ඇඟිල්ල ගහන්න එන එකනං වැරදියි කියනෙක ඉතින් අපි ඉස්සර ඉඳලා දන්නවනෙ. අම්මගෙ අක්කා හන්දා අපි කට වහං උන්නට නංගි අද එයාට එහෙම කතා කර එක හොඳයි” 

“ඔයා හරි කතාවක්නෙ කියන්…”

“ඔව් අම්මේ ඒක හරි කතාවක් තමයි. අම්මේ අපි අමතක කරන්න නරකයි මේ අපේ ගේ. ලොකු අම්මා ඇවිල්ලා ඔය විඩෙන් විඩේ දෝස් මුර දාලා ගිය අයගෙන් එක්කෙනෙක් අපේ තාත්තා. අනික් කෙනා අපේ නංගි. ලොකු අම්මා ඇවිල්ල ගින්නට පෙට්‍රල් දාලා හතරවටේ ගිනි තියන්න කලින් අපිට මීට වඩා මේ ප්‍රශ්නෙට එන්ටර් වෙන්න තිබ්බා. එහෙම උනා නම් අම්මේ සමහරවිට තාත්තා උනත් අපි එක්ක තාම ඉන්න තිබ්බා.

මිනිස්සු වැරදි කරනවා අම්මේ. මිනිස්සු අතෙන් වැරදි වෙනවා. හැබැයි මිනිස්සු අතෙන් කරන ලොකුම වැරැද්ද තමයි තමන්ගෙ ගෙයි ගිනි අනුන්ට බලාගන්න එලියට දාන එක”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here