“තාත්තා නැති ගෙදරක දරුවෙක් බව ඇත්ත. ඒ උනාට පුතේ ඔයාට ඔය දික්කසාද වෙච්ච මනුස්සයෙක් එක්කලා යාලුවෙද්දි පොඩ්ඩක් හරි හිතන්න තිබ්බා තාත්තා ඔයාට කොච්චර ආදරේද කියන එක. මේ කතන්දර ඒ මනුස්සයා දැනගත්ත දවසක පපුව පැලිලා මැරේවි” කියා අම්මා පිඟන් හෝදන ගමන් කඳුලු පෙරද්දී “නලින්ද්ර වනාහී ඩිවෝස් වෙච්ච මනුස්සයෙක්” කියා කියාගන්න පුලුවන් වීම තවදුරටත් හිතට සැහැල්ලුවක් වූ කාරණාවක් ලෙස දකින්නට නෙත්මලීට පුළුවන් උනේ නැත.ඒ වචන ටික කියාගන්නට ඇයට කලින් තරම් අපහසුවක් නොදැනුණත් ඒවා අම්මාගේ කඳුළුවලට හේතුවක් වී තිබෙනු දකිද්දී හිතේ ඉතිරිව තිබූ සැහැල්ලුවත් කොහේදෝ අතුරුදන් වී ගියේය.
“නලින්ද්ර නරක මනුස්සයෙක් නෙවෙයි අම්මෙ” කියා නෙත්මලී කියාගත්තේ උගුර හිරවී යද්දිය. අම්මා අඬද්දී දරුවෙකුට විශේෂයෙන්ම දුවෙකුට බලාගෙන ඉන්න අමාරු විත්තිය නෙත්මලීට තේරුණේ ඒ වෙලාවේය.
“නරක මනුස්සයෙක් ද නැද්ද කියන එක නෙවි ළමයො මම කියන්නෙ. මම කියන්නෙ ඔයාට ගැලපෙනවද කියන එක. මොනවයිද කියන්නකො ඒ මනුස්සයා ඔයාට ගැලපෙන්නෙ? වයසින්වත් ගැලපෙනවද? මං හිතන්නේ ඒ මනුස්සයා ඔයාව රවට්ටගෙන” කියා අම්මා කියද්දී “අනේ එහෙම නෑ අම්මේ” කියා අම්මාගේ දෙපා අල්ලා වැඳ වැටෙන්නට තරම් හිත් පීඩනයක් නෙත්මලිගේ හිත අස්සේ තිබුණාය.
අන්තිම වචන ටික කියද්දී අම්මාගේ හඬේ තිබුණේ කේන්තියටත් වඩා බයක් බව නෙත්මලීට නොදැනුණා නොවේ. ඒත් ඒ බය තමන්ව ආරක්ෂා කරන්නට ඇති වුවමනාවකින් ඇති වූවක්ද, නැතිනම් නලින්ද්ර ගැන තමන් නොදන්නා දෙයක් දන්නා බව සිතාගෙන ඇති කරගත් සැකයකින් උපන් එකක්ද කියා නෙත්මලීට තෝරාගන්නට හැකි උනේ නැත. නොඑසේනම් එසේ තෝරාගන්නට තරං නෙත්මලී ජීවිතය ගැන තෙම්පරාදු වී උන්නේ නැත.
“එයා මාව රවට්ටලා නැ අම්මේ”
“ඔයා කොහොමද ළමයො දන්නේ?ඔයා මොනවද මෙ රටේ ලෝකෙ ඉන්න පිරිමි ගැන දන්නෙ? ඔයා තාම පොඩි ළමයෙක්. ඔය වයසට මිනිස්සුන්ව තේරුම් ගන්න ඔයාට පුළුවන්ද? මේ ඒලෙවල් ඉවර වෙච්ච ගමන් රස්සාවක් කරන්නය කියලා එලියට බැස්ස පලියට ඔයාලා අපිට වඩා සමාජෙ ගැන දන්නවා කියලා හිතන්න එපා”
නෙත්මලීට ඒ වචනවලට කියන්නට උත්තරයක් තිබුණේ නැත. නලින්ද්ර ගැන කියන්නට බොහෝ දේ තිබුණ බව ඇත්තකි. ඔහු තමන්ට සලකන විදිහ, තමන් කියන පුංචි දෙයක් පවා අහගෙන ඉන්න විදිහ, තමන්ගේ හිතේ තිබෙන දේවල් කියාගන්නට ඔහු ළඟදී දැනෙන නිදහස, ඒ හැම දෙයක්ම එකින් එක අම්මාට කියන්නට ඇයට පුළුවන්කම තිබිණි. එහෙත් ඒ කිසිවක් අම්මාට තේරුම් කර දෙන්නට උත්සාහ කිරීමෙන් මේ මොහොතේ සිදුවන්නේ තවත් රණ්ඩුවක් ඇතිවීම පමණක් බව හැගුණ නිසාවෙන්ම නෙත්මලී උන්නේ නිහඬ වීය.
“මට එයාව විස්වාසයි අම්මේ.”
“විස්වාසයි” අම්මා ඒ වචනය නැවත කීවේ පිඟානක් සෝදමින් සිටි අත මොහොතකට නතර කරමිනි. “ඔයාට ඔහොම කියන්න ලේසියි. ඒත් හෙට අනිද්දා ඔය මනුස්සයා ඔයාව අතෑරලා ගියොත්? එතකොට ඔයා මොකද කරන්නේ? එදාට ලොකු අම්මා ඇවිල්ලා අද ඔය කිව්වා වගේ කතා කිව්වම අද වගේම ඔයා කට ගහන් යන්නද? පස්ස පැත්තෙන් හිනාවෙයි එදාට රටේ ලෝකෙ මිනිස්සු අපිට.
අන්තිමේ ඔයාට වෙන්නෙ නාස්ති වෙලා ගෙදෙට්ට වෙන්න සමාජෙට විහිලුවක් වෙලා. ඔය දික්කසාද වෙනවය කියලා පොඩි කෙල්ලො අල්ලගන්න පිරිමි කවදාවත් තමන්ගෙ කසාද ගෑනි අත ඇරලා දෙවනියට හම්බෙච්ච ගැනිව ජීවිතේට ලං කරගන්නෙ නෑ ළමයො. එහෙමත් වෙලාවක තමයි එහෙම දෙයක් වෙන්නෙ. තාත්තා මාව අත ඇරලා දෙවනියට හම්බෙච්ච් ගෑනිව ලං කරගත්ත පලියට ඔයාට හම්බෙච්ච මනුස්සයත් එහෙම කරාවිය කියලා හිතන්න එපා. අනික අමතක කරන්න එපා නෙත්මලී බාගදා ඔයා නොදන්නවා උනාට ඒ මනුස්සයා ඔය එයාගෙ කසාද මනුස්සයව දික්කසාද කරන්න හදන්නෙ ඔයා නිසාද කියලා කවුද දන්නේ? ඔයා කොහොමද දන්නේ ඔයා විනාස කරන්න යන්නෙත් තාත්තගෙ හොර ගෑනි විනාස කරපු අපේ පවුල වගේම තව පවුලක්ද කියන එක? තමන්ට ලැබිච්ච දුකම තව තමන් වගේම ගැනියෙක්ට ලඟා කරලා දිලා ගෑනියෙක්ට ලබන්න පුලුවන් සන්තෝසයක් ඇතෙයි කියලා හිතන්න එපා නෙත්මලි. ඔව්වා ආත්ම ගණන් සහගහන පාපකර්ම.
අනික නෙත්මලී, ඔයා දැන් හිතනවා ඇති ඒ මනුස්සයා ඔයාට ආදරෙයි කියලා. මං ඒක එහෙම නෙවෙයි කියන්නෙ නෑ. ඒත් ආදරේ කරනවා කියන එකයි, ඒ ආදරේ වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ තියෙන වගකීම්වලින් අයින් වෙන එකයි දෙකක් ළමයො. මනුස්සයෙක්ට තමන්ගෙ කසාද ජීවිතේ ප්රශ්න තියෙන්න පුළුවන්. ඒ දෙන්නා අතරෙ ආදරයක් නැති වෙන්න පුළුවන්. ඒත් ඒවා විසඳගන්න විදිහක් තියෙනවා. එහෙම නැතුව තමන්ගෙ ජීවිතේට තව කෙනෙක්ව ලං කරගෙන, ඒ මනුස්සයාගෙ හිතේ බලාපොරොත්තු ඇති කරලා, අන්තිමට ඒ මනුස්සයට මොනවා වෙයිද කියලා නොහිතා ඉන්න එක හරිද?
අද ඔයාට හිතෙන්න පුළුවන් එයා ඔයා වෙනුවෙන් එයාගෙ කසාදෙ අතාරින්න ලෑස්ති කියලා. ඒත් හෙට ඒ තීරණේ වෙනස් වුණොත්? එයාට ආයෙත් එයාගෙ ගෑනි ලඟට යන්න හිතුණොත්? එහෙම නැත්නම් ඔයාට එයාගෙ ජීවිතේට ගැළපෙන්න බැරි තරම් ප්රශ්න එන්න ගත්තොත්? එතකොට ඔයා කොහෙද ඉන්නෙ? එයාට ආපහු යන්න තැනක් තියෙයි. ඒත් ඔයාට? ඔයා ඔය වයසෙදි මේ තරම් ලොකු තීරණයක් ගන්නෙ මොනවද දැනගෙනද?
මං කියන්නෙ ඔයාට ආදරේ කරන්න එපා කියලා නෙවෙයි. ආදරේ කරනවා නම් ඒ ආදරේ ඇතුළෙ තව කෙනෙක්ට අසාධාරණයක් වෙනවද කියලා බලන්න කියලා. තමන්ගෙ හිතේ තියෙන හැඟීම ඇත්තක් වෙච්ච පලියට ඒ හැඟීමෙන් කරන හැම දෙයක්ම හරි වෙන්නෙ නෑ. සමහර වෙලාවට අපි කෙනෙක්ට ඇත්තටම ආදරේ කරනවා වෙන්න පුළුවන්. ඒත් ඒ ආදරේ නිසාම තව කෙනෙක්ගෙ හිතක් බිඳෙනවා නම් ඒ ගැනත් අපි හිතන්න ඕනෙ නැද්ද?
මං දන්නවා මගේ ජීවිතේ වෙච්ච දේවල් නිසා ඔයාටත් සමහර දේවල් ගැන ප්රශ්න ඇති. තාත්තා මට කරපු දේවල් ඔයාට අමතක කරන්න කියන්න මට බෑ. ඒත් මට ඕනෙ නෑ මං විඳපු දුක ඔයාගෙ ජීවිතේටත් එනවා දකින්න. මට ඒ ගෑනි ගැන තරහක් තියෙනවා. මං නැතෙයි කියන්නෙ නෑ. එයා නිසා මට නැති වෙච්ච දේවල් මතක් වෙද්දි අදටත් මට දරාගන්න අමාරුයි. ඒත් මං ඔයාට කියන්නෙ ඒ ගෑනිට වෛර කරන්න කියලා නෙවෙයි. එයා කරපු දේම ඔයාගෙ අතින් තව කෙනෙක්ට වෙන්න ඉඩ දෙන්න එපා කියලා.
මොකෝ කෙනෙක් අපිට දුකක් දුන්නා කියලා අපිටත් තව කෙනෙක්ට ඒ දුකම දෙන්න අයිතියක් හම්බෙන්නෙ නෑ. අපිට වෙච්ච අසාධාරණයක් තවත් කෙනෙක්ට කරන අසාධාරණයකින් හරිගස්සන්න බෑ. තමන්ගෙ හිතේ තියෙන තුවාලවලට බෙහෙත් හොයන ගමන් තව කෙනෙක්ගෙ හිතේ තුවාලයක් ඇති කරනවා නම්, අන්තිමට සනීප වෙන්නෙ කාගෙ හිතද කියලා මං දන්නෙ නෑ. ඒත් තුවාල වෙච්ච හිත් දෙකක් නම් ඉතුරු වෙනෝ.
ඔයාට මං කියන දේවල් දැන් තේරෙන්නෙ නැති වෙන්න පුළුවන්. කාලයක් ගියාම තේරෙයිද කියලත් මං දන්නෙ නෑ. ඒත් මං අම්මා කෙනෙක් විදිහට ඔයාට මේ ටික කියන්න ඕනෙ. ඔයාට ආදරේ කරන මනුස්සයෙක් තෝරගන්න. ඔයාට ගරු කරන, ඔයාගෙ ජීවිතේට වටිනාකමක් දෙන මනුස්සයෙක් තෝරගන්න. හැබැයි ඒ මනුස්සයා එක්ක ජීවිතයක් පටන් ගන්න කලින්, ඒ ජීවිතේ තව කෙනෙක්ට කඳුළු උරුම කරලා දෙනවද කියලා දෙපාරක් හිතන්න. මොකෝ අනුන්ගෙ සතුටක් උදුරගෙන හදාගන්න සතුටක් තියෙනවා නම් ඒ සතුට යාදෙන්නෙ නෑ
ඔයාට කවදාවත් මං විඳපු දුක විඳින්න වෙන්න එපා කියලයි මං හැමදාම ප්රාර්ථනා කළේ. ඒත් මට බයයි. ඔයා මේ යන පාරෙ කොහේ හරි තැනක මට නවත්තන්න බැරි තරම් දුරකට ගිහින් ආපහු හැරිලා එන්න බැරි තැනක තනි වෙයි කියලා මට බයයි. එදාට මට ඔයා ළඟ ඉන්න පුලුවන් වුණත්, ඔයාගෙ හිතට වෙච්ච දේ මට වෙනස් කරන්න බැරි වෙයි. ඒ නිසා පුලුවන් තරම් හිතලා තීරණ ගන්න. ආදරේ කරන එක වැරැද්දක් නොවෙන්න පුලුවන්. ඒත් ඒ ආදරේ වෙනුවෙන් අපි කරන දේවල්වලින් කාට හරි අසාධාරණයක් වෙනවා නම්, ඒ ගැන නොහිතා ඉන්න එක නම් වැරැද්දක්.
ආදරේ කරන කාලෙදි හැමදේම ලස්සනට පේනවා ළමයො. ඒ කාලෙදි අපිත් අන්ධ වෙලා වගේ තමයි හිටියෙ. දැන් පේනවා නේද වෙච්ච දේවල්. අනිත් කෙනාගෙ වැරදි පේන්නෙ නෑ. එයා කියන දේවල් විස්වාස කරනවා. එයා වෙනුවෙන් ඕන දෙයක් කරන්න හිතෙනවා. ඒත් කාලයක් ගියාට පස්සෙ ඒ දේවල් වෙනස් වුණොත්?
මං ඔයාට කියන්නෙ මෙච්චරයි ළමයො. ආදරේ කරනවා කියලා හිතාගෙන තමන්ට ඕන දේම කරගෙන පස්සෙ ඒකෙන් තව කෙනෙක්ට දුකක් වුණාම ඒක මගේ අතින් වුණ දෙයක් නෙවෙයි කියලා අත පිහදාගන්න අපිට බෑ. අපි කරන දේවල්වලට තව මිනිස්සුන්ගෙ ජීවිතවලට බලපෑමක් තියෙනවා. ඒක තේරුම් ගන්න ඕනෙ. ඔයාට ආදරේ කරන්න අයිතියක් තියෙනවා වගේම තව ගෑනියෙක්ටත් එයාගෙ ජීවිතේ ගැන බලාපොරොත්තු තියාගන්න අයිතියක් තියෙනවා.
ඒ නිසා ඔය මනුස්සයා කියන වචන උඩම විස්වාස කරලා අහසෙ මාලිගා හදන්න හිතන්න එපා. අන්තිමේ රැවටෙන්නෙ තමුන්මයි කියන එක අමතක කරන්න එපා”


