තම පියා වෙත පොරොන්දු වූ ආකාරයටම රිහාන් එදිනම සමාජ මාධ්‍ය ඔස්සේ අදාල පෝස්ටුව පළ කළ තරුණිය සම්බන්ධ කර ගත්තේය. සිදුවූ දේ පිළිබඳව කෙටිව කතා කිරීමෙන් අනතුරුව ඇය එම පෝස්ටුව ඉවත් කර ගැනීමට එකඟ වූ අතර, පෙර දින රාත්‍රියේ ඇති වූ තත්ත්වයත්, ඒ මොහොතේ තමන්ට දැනුණු කෝපයත් ලැජ්ජාවත් හේතුවෙන් එවැනි පෝස්ටුවක් පළකල බව ඇය රිහාන් සමග පවසා ඒ වෙනුවෙන් සමාව ද අයද සිටීමෙන් අනතුරුව එම සිදුවීම අපේක්ෂා නොකල තරමේ සාමකාමී බවකින් එතැනින්ම අවසන් විය.
ඒ අතර ඉශිනිද පෙර දින රාත්‍රියේ සිදුවූ දේ පිළිබඳව තනිවම සිතමින් හුන් අතර විශේෂයෙන්ම රිහාන්ගේ පියා පවා ඒ පිළිබඳව දැනගැනීම ඇගේ සිතට ඇති කර තිබුණේ තරමක අපහසුතාවයකි. එහෙත් තමන් කළ දේ පිළිබඳව නැවත නැවත සිතමින් සිටීමෙන් කිසිවක් වෙනස් නොවන බව ඇය ඒ වන විටත් වටහාගෙන තිබුණු නිසා එම සිදුවීම එතැනින් නතර කර ඉදිරියට යාම හැර වෙනත් දෙයක් පිළිබඳව සිතන්නට ඇය අනතුරුව උත්සාහ නොකළාය.
එම සිදුවීම එතැනින්ම නතර කර දමන්නට රිහාන් තුළද දැඩි උවමනාවක් තිබුනු බැවින් ඔහු නැවත ඉෂිනි මුණ ගැසුණු විට ඒ පිළිබඳව තේරුම් කර දීමට හෝ ඇය වෙත උපදෙස් ලබා දීමට කාලය වැය නොකළේ සිතා මතාමය.
ඊළඟ දින කිහිපය තුළදී 5th Avenue ස්ටූඩියෝව තුළ පෙර පැවති සාමාන්‍ය කාර්යබහුලත්වය නැවතත් දක්නට ලැබුණි. සිදුවූ දේ පිළිබඳව කණ්ඩායමේ කිසිවෙකු නැවත කතා නොකළ අතර, පුහුණුවීම්, ඉදිරි වැඩසටහන් සහ අනෙකුත් කටයුතු වෙනදා මෙන්ම සිදුවෙමින් පැවතුණි. ශෙනෝලිද බාහිර කාරණා පිළිබඳව තවදුරටත් අවධානය යොමු නොකර තමන්ගේ වැඩ කටයුතු සමඟ ඉදිරියට යමින් හිඳි අතර රිහාන්ද පෙර පරිදිම පුහුණු වීම්වලට සහභාගී වූ බැවින් කණ්ඩායම තුළ ඇති වූ නොසන්සුන්තාවය ක්‍රමයෙන් පහව ගියේය.
එදින සවස පුහුණුවීම් අවසන් වූ පසු කණ්ඩායමේ සාමාජිකයන් එකිනෙකා බැගින් ස්ටූඩියෝවෙන් පිටව යන්නට සූදානම් වූයේ ගෙවී අවසන් වෙමින් තිබුණේ ඉතා වෙහෙසකර දවසක් බැවිනි. එහෙත් තවත් මිනිත්තු කිහිපයක් ශෙනෝලි ස්ටූඩියෝවේ රැඳී සිටිමින් තම ලැප්ටොප් පරිගණකය විවෘත කර ගෙන අවසන් කළ යුතු කාර්යයක් වෙත අවධානය යොමු කරමින් උන්නාය.
“මට කලින් concert එකේ photos ටික upload කරන්න තියෙනවා. ඒ ටික කරලා ඉවර වෙලාම මං යන්නම්. ඔයාලා යන්න “
ඇය එසේ පැවසූ පසු කිසිවෙකු ඒ පිළිබඳව වැඩිදුර විමසුවේ නැත.යම් කාර්යයක් ආරම්භ කළ පසු අවසාන කර මිස පිටව නොයන පුරුද්ද ස්වභාවයෙන්ම ඇය තුළ වූ නිසා ඇය ශෙනෝලි ස්ටූඩියෝවේ තනිව රැඳී සිටීම කණ්ඩායම් සාමාජිකයන් හට අසාමාන්‍ය දෙයක් වූයේ නැත. අවසානයේ සියලු දෙනාම පිටව ගිය පසු ස්ටූඩියෝවේ ඉතිරිව උන්නේ ශෙනෝලි හැරුණු කොට ගැඹුරු වූ නිහඬතාවයක් පමණි.
පෙර පැවති ප්‍රසංගයක ඡායාරූප ශිල්පියෙකු විසින් ඒවා තිබුණු ඡායාරූප විශාල ප්‍රමාණයකින් ශෙනෝලි හොඳම ඡායාරූප තෝරමින් විනාඩි දහයක් පමණ ගත කළාය. තවත් විනාඩි පහකට පමණ පසු ස්ටූඩියෝවේ දොර නැවතත් විවෘත වන හඬ ඇසුණු විට ඇය හිස ඔසවා බැලුවේ තිගැස්සීය.
මොහොතකට පෙර සියලු දෙනා සමග පිටව ගිය අශේන් නැවතත් ස්ටූඩියෝවේ දොර ඉදිරියේ පෙනී උන්නේය.
“ඔයා තනියම නිසා ආපහු ආවේ “
ඔහු පැවසුවේ එහි කිසිදු විශේෂශත්වයක් නොවන ආකාරයටය. ශෙනෝලිගේ දෑස් මොහොතකට ඔහු දෙස රැඳී තිබුණු අතර ඔහු නැවත පැමිණීම පිළිබඳව ඇගේ සිත තුළ යම් අමුත්තක් ඇති වූ නමුත්, එය මුහුණෙන් නොපෙන්වා සිටීමට ඇය උත්සාහ කළාය.
“මට තනියක් නෑ අශේන්. මං ඕන තරම් මෙතන තනියෙන් ඉඳලා වැඩ ඉවර කරලා ගිහින් තියෙනවානේ . ඔයා යන්න “
“මට අද ගෙදර යන්න එච්චර හදිසියක් නෑ.”
අශේන් එසේ පවසමින් ශෙනෝලි අසුන් ගෙන හිඳි සෝෆාව වෙත පැමිණ එහි අනෙක් කෙළවරෙන් අසුන් ගත්තේය. ශෙනෝලි කිසිවක් නොකියා නැවතත් තම ලැප්ටොප් තිරය වෙත හැරුණාය. එහෙත් මීට මොහොතකට පෙර තිබූ සැහැල්ලුව ඇය හට තවදුරටත් නොදැනුනු අතර අනතුරුව ඇයට අවශ්‍ය වූයේ ඉතිරිව තිබූ ඡායාරූප ඉක්මනින් තෝරා ඒවා සමාජ මාධ්‍ය පිටුවේ පළ කර ස්ටූඩියෝවෙන් පිටව යාමට පමණි. එබැවින් ඇය වඩා වේගයෙන් තම කාර්ය අවසන් කිරීමට උත්සාහ දැරුවාය.
යම් වේලාවක් ගත කර අවසන් කරන්නට බලාපොරොත්තු වූ කාර්යය කලබලයේ අවසන් කර දැමූ පසු ශෙනෝලි ලැප්ටොප් පරිගණකය වසා දැමුවාය. ඇය තම කාර්යය අවසන් කල බව දුටු පසුව තම ජංගම දුරකථනය වෙත අවධානය යොමු කරගෙන හිදි අශේන් තම හඬ අවදි කළේය.
“ශෙනෝ , ඔයා ගත්ත තීරණයක් සාමාන්‍යයෙන් වෙනස් කරන්නෙ නැද්ද?”
laptop පරිගණකය බෑගයකට දමමින් සිටි ශෙනෝලි මොහොතකට නතර වූවාය. අශේන් මේ අවතීර්ණ වන්නේ කුමන කාරණාවකට දැයි ඇයට යන්තමින් වැටහුණේ ඒ මොහොතේය.
“මං තීරණයක් ගත්තොත් සාමාන්‍යයෙන් ඒක වෙනස් කරන්නෙ නෑ අශේන්. මොකද මං තීරණයක් ගන්නකොට ඒ ගැන ගොඩක් හිතලා බලනවා “
ඇය පිළිතුරු දුන්නේ සන්සුන්වය. අනතුරුව ලැප්ටොප් පරිගණකය බෑගයට දමා ඇය එය වසා දැම්මාය. අශේන් මොහොතක් ඒ දෙස බලා උන්නේය.
“රිහාන් දැන් ඉශිනි එක්ක තියෙන affair එකේ ගොඩක් දුර ගිහින් ඉවරයි. ඒකෙත් කොහොමත් වෙනසක් වෙන්නෙ නෑ. ඒ නිසා ඔයාත් ඔයාගේ තීරණය වෙනස් කර ගත්තොත් ඔයාට ඔයිට වඩා හොඳ විදිහකට ජීවත් වෙන්න පුළුවන් වෙයි ශෙනෝ “
ශෙනෝලිගේ මුහුණේ කිසිදු වෙනසක් සිදු නොවුණද, ඔහුගේ වචන ඇසූ මොහොතේ ඇගේ සිත තුළ මතු වූයේ සුළු නොරිස්සුමකි. විශේෂයෙන්ම සියල්ලන්ම පිටව ගිය පසු අශේන් නැවත මෙලෙස ස්ටූඩියෝව වෙත නැවත පැමිණීම ඇයට ගෙනවිත් තිබුණේ අපහසුව මුසු හැඟීමකි.
“මං දැනටමත් හොඳින් ජීවත් වෙනවා අශේන්. බාහිර මිනිස්සු නිසා මගේ peace එක මං නැති කරගන්නෙ නෑ. මට දැන් එහෙම කරගන්න උවමනාවකුත් නැහැ. මොකද මං දන්නවා මගේ අම්මටයි තාත්තටයි හැමදාම ඕන වුණේ මම ලස්සනට ජීවත් වෙනවා දකින්න “
ශෙනෝලි පිළිතුරු දුන්නේ හැකිතාක් තම හඬ සන්සුන්ව තබාගෙනය. අශේන් ඇය දෙසම බලාගෙන සෝෆාවේ පිටුපසට හේත්තු වූයේය.
” හරි. ඒත් ඔයාට තාමත් හිතෙන්නෙ නැද්ද මං ගැන ගත්ත තීරණය ඔයා වෙනස් කරන්න ඕනේ කියලා?”
ශෙනෝලි කිසිවක් නොකියා ඔහු දෙස බැලුවාය.
“මොකද මං නම් තාමත් ඔයා ගැන එහෙම හිතාගෙන ඉන්නවා.”
එවර ශෙනෝලිගේ මුහුණේ තිබූ සන්සුන් බව නොරිස්සුමකට පෙරළුනු නමුත් ඇය ඒ නොරිස්සුම වචන වලට පෙරළුවේ නැත. ඇය ලැප්ටොප් බෑගය අතට ගෙන සෙමින් අශේන් දෙස බැලුවාය.
“අපි ගන්න තීරණවලටයි, අපි හිතාගෙන ඉන්න දේවල් වලටයි අනිත් මිනිස්සු පලි නෑ අශේන්. මං ඔයාට එදාම පැහැදිලිව කිව්වනේ මගේ තීරණය මොකක්ද කියලා. ඒ නිසා ඒකේ කිසිම වෙනසක් නෑ. ඉස්සරහට වෙන්නෙත් නැහැ. අපි එදාම ඒ ගැන කතා කරන එක නැවැත්තුවානේ. ඉස්සරහටත් ඒක එහෙමම තියාගන්න එක අපි දෙන්නටම හොඳයි “
ඇගේ වචන අවසන් වූ පසු ස්ටූඩියෝව තුළ නැවතත් මොහොතකට දැඩි නිහඬතාවයක් පැතිර ගිය අතර විනාඩි කිහිපයකට පසුව අශේන් සෙමින් නැගී සිටියේය. ඔහුගේ මුහුණේ තිබූ සිනහව පෙර මෙන්ම සන්සුන් වුවද, ඔහුගේ දෑස් වල වූයේ ඊට වඩා වෙනස් හැඟීමකි. එය වටහා ගැනීමට ශෙනෝලි උත්සාහ කළද ඇයට එවැන්නක් කිරීමට ඒ මොහොතේදී නොහැකි විය.
“ඔයා හිතනවද මං ඒක ලේසියෙන් එහෙම අත ඇරලා දායි කියලා? මං අහන්නේ, ඔයා හිතනවද මං ඒක ලේසියෙන් අමතක කරයි කියලා. මම තීරණයක් ගත්තොත් ඔයා වගේම තමයි. වෙනස් කරන්නෙ නැති තරම් “
අශේන් ගේ ස්වරයේ වූ වෙනස හඳුනා ගැනීමට එවර නම් ශෙනෝලි හට අපහසු වූයේ නැත.ඇය බෑගය ගෙන නැගී සිටියේ එම නීරස කතාබහට තිත තැබීමේ අපේක්ෂාවෙනි.
” එහෙනම් ඒක ඔයාගේ ප්‍රශ්නයක් මිසක් මගේ ප්‍රශ්නයක් නෙමෙයි අශේන්. ඔයාගේ තීරණ අයිති ඔයාට “
ශෙනෝලි මද සිනහවක් පා ස්ටූඩියෝවේ දොර අසලට පැමිණ නතර වූවාය.
” ඒත් ඒ තීරණය ඔයා ගැනනම් ? “


