5th Avenue – 46

0
166

ශෙනෝලි වෙනස් වෙමින් උන්නාය. සැබෑවටම හෝ මවා පෑමට හෝ ඇය කිසිවක් නොතකන, තමන්ගේ හැඟීම්වලට වඩා රාජකාරියට සහ තමන් වටා සිටින මිනිසුන් වෙනුවෙන් කළ යුතු දේවලට මුල් තැන දෙන්නට පුරුදු වෙමින් සිටින තරුණියක් බවට පත්වෙමින් උන්නාය. මින් පෙර ඇයගේ සිත රිදුණු විට එය ඇගේ දෑස්වලින් හෝ හැසිරීමෙන් හඳුනාගත හැකි වූවත්, දැන් ඒ කිසිවක් පහසුවෙන් හඳුනාගත නොහැකි තරමට ඇය තමන්වම පාලනය කරගනිමින් උන්නාය.

“මම strong නෑ කියලා හිතන නිසා තමයි ගොඩක් අය හිතන් හිටියේ මගේ හිත රිද්දන්න පුළුවන් කියලා “

ශෙනෝලිගේ ඒ වදන් රිහාන් හට අමතක කළ නොහැකි විය. ඇය එසේ පැවසූ මොහොතේ ඇගේ දෑස්වල තිබූ ස්ථිර බව ඔහුට නැවත නැවතත් සිහිපත් වූ අතර, ඒ වචන පිටුපස ඇය සඟවාගෙන සිටි කතාව කුමක්දැයි සිතන්නටද ඔහු වෙහෙසුනේය. දැනුවත්ව තමා ඇයට රිදවූයේ නැති බව ඔහු හොඳින්ම හුන් අතර නොදැනුවත්ව එසේ වී ඇත්නම් ඒ කුමන අවස්ථාවකදී දැයි ඔහු බොහෝ වේලාවක් කල්පනා කළද, එවැන්නක් මතකයට නගා ගැනීමට ඔහුට හැකි වූයේ නැත.

ඒ ගැන තවත් ඇගෙන් විමසා ඇගේ සිත නැවතත් වේදනාවට පත් කිරීමට ඔහුට අවශ්‍ය වූයේ නැති බැවින් එදින වැඩිහිටි නිවාසයෙන් පිටව යන තුරුම ඔහු නැවත එවැනි කිසිවක් නොකියා උන්නේය. නමුත් ශෙනෝලි පෙරට වඩා වෙනස්ව හැසිරෙන ආකාරය කිහිප වරක් ම ඔහුගේ අවධානයට ලක්වූයේය.

අනතුරුව එළඹුණු දින කිහිපයකදීම ඉශිනිගේ  වැඩසටහන වෙනුවෙන් නියමිත පුහුණුවීම් සාමාන්‍ය පරිදි පැවැත්වුණි.එය මෙතෙක් ඔවුන් සහභාගී වූ ප්‍රසංග වලට වඩා වෙනස් අත්දැකීමක් වීමට නියමිත වූ බැවින්, ගීත තෝරා ගැනීමේ සිට වැඩසටහන අතරතුර වැඩිහිටියන් සමඟ සම්බන්ධ වන ආකාරය පිළිබඳව පවා ඔවුන් වැඩි අවධානයක් යොමු කළහ. මේඝ සහ ශෙනෝලි වැඩසටහනේ පිළිවෙළ නැවත නැවතත් කණ්ඩායම සමඟ සාකච්ඡා කළ අතර, ඉශිනිද තමන්ට අවශ්‍ය වූ ආකාරය පිළිබඳව අවශ්‍ය වෙනස්කම් කිහිපයක්ම යෝජනා කළාය.

වැඩසටහන පැවැත්වීම සඳහා සැලසුම් කරගෙන හුන් දිනය උදා වූයේ ඔවුන් බලාපොරොත්තු වූවාටත් වඩා ඉක්මනිනි. රැකියාවේ නියැලෙන මාධ්‍ය ආයතනය විසින්  වැඩිහිටියන් වෙනුවෙන් දහවල් ආහාරයද සූදානම් කර තිබූ බැවින් වැඩසටහන උදෑසන සිටම ආරම්භ කිරීම සැලසුම වී තිබිණි . 5th Avenue කණ්ඩායම නියමිත වේලාවට වැඩිහිටි නිවාසයට පැමිණෙන විට, ඉශිනිගේ මාධ්‍ය ආයතනයේ කණ්ඩායමද ඒ වන විටත් එහි පැමිණ සිටියේ දැනුම් දී තිබුණු වේලාවටත් පෙරය.

කැමරා කිහිපයක් සූදානම් කරමින් සිටි පිරිසක් ශාලාවේ විවිධ ස්ථාන වල සිටි අතර, තවත් කිහිප දෙනෙක් වැඩසටහනට අවශ්‍ය දේවල් සකස් කරමින් සිටියහ. ඉශිනි සියල්ල අවසාන වරට පරීක්ෂා කරමින් සිටියදී මේඝද කණ්ඩායමේ සාමාජිකයන් සමඟ ඔවුන්ට අවශ්‍ය පරිදි සියල්ල සූදානම් කරගත්තේ සියල්ලන්ටම පහසු වන ආකාරයෙනි. ශෙනෝලිද අවශ්‍ය කටයුතු කිහිපයක් සොයා බලමින් සිටි අතර, රිහාන් තම බේස් ගිටාරය සමග සූදානම් වී අවසන ශාලාව පුරා දෑස් යොමු කළේය.

වැඩසටහන ආරම්භ වූයේ කිසිදු විශේෂ උත්සවයක තිබෙන අතිශයෝක්තියකින් තොරව නමුත් ඔවුන්ගේ පළමු ගීතය ආරම්භ වූ මොහොතේ සිටම වැඩිහිටියන්ගේ මුහුණු වල වෙනසක් දැකගත හැකි විය. ඇතැමුන් තමන්ට හුරුපුරුදු ගීතයක තාලයට හිස සොලවමින් සිටි අතර, තවත් කිහිප දෙනෙක් මඳ සිනහවකින් යුතුව ඉදිරියට පැමිණ ගීත ගායනා කරන අශේන් දෙස බලා සිටියහ.

” මං හිතන්නේ මේ සින්දුව ඔයාලා දන්නවා “

අශේන් මයික්‍රොෆෝනය අතැතිව පළමු පෙළ අසුන් ගෙන සිටි වැඩිහිටියන් කිහිපදෙනා අසලටම පැමිණ නතර වූයේය.

” මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර

මිහිරාවිය වෙතටයි 

ඔබ සිහි කර කර ඔබට ලියන එක

මට ඇති එක සතුටයි ” 

වැඩිහිටියන් කිහිප දෙනෙකුම ගීතය මුමුණන ආකාරය දැකගත හැකි වූයේ වැඩසටහන සංවිධානය කළ සියලුම දෙනාගේ සිත් වලට සතුටක් නංවමිනි.

” අපි ඔක්කොම සින්දුව කියමු “

අපමන සිතුවිලි බිහිවි තෙරපී

එකිනෙක පැටලෙන්නේ

කොහොම පටන්ගෙන මොනව ලියන්නද 

නැත මට වැටහෙන්නේ

කෙටියෙන් පවසමි මගේ ආදරියේ 

කීමට ඇති සැමදේ

පරෙවි රැජිනියේ එදා වගෙ අදත් 

ඔබට තවම මම ආදරෙයි

ඔබට තවම මම ආදරෙයි

අශේන් ලයාන්විතව ගීතය ගායනා කරනා විට ටිකෙන් ටික තවත් හඬවල් කිහිපයක්ම එම ගීතයට එකතු විය. ශාලාවේ තිබූ සරල නිහඬ බව වෙනුවට සුළු මොහොතකින් පසුව එය පරම්පරාවන් දෙකක් එකම තැනකට එක් වූ උණුසුම් හැඟීමකින් පිරී ගියේය.

ඉශිනි මඳක් ඈතින් සිට ඒ සියල්ල දෙස බලා උන්නාය . ඇගේ මාධ්‍ය ආයතනයේ කණ්ඩායම එම අවස්ථා කැමරාවල සටහන් කරගනිමින් උන්නද, ඇයගේ අවධානය කැමරාවලට වඩා වැඩිහිටියන්ගේ මුහුණුවල තිබූ සතුට වෙත යොමු වී තිබුණි.අනතුරුව ඇය මේඝ දෙස බලා මඳ සිනහවක් පෑ අතර, මේඝද කිසිවක් නොකියා හිස සොලවා ඇගේ අදහස තේරුම් ගත් බව පෙන්වීය.

වැඩසටහන අවසන් වූයේ සැලසුම් කළ වේලාවටත් වඩා බොහෝ වේලාවකට පසුවය.ගීත කිහිපයක් ගායනා කිරීමෙන් පසුව වැඩිහිටියන් සමඟ කතා කිරීමටත්, ඔවුන්ගේ අතීත මතකයන් අසන්නටත් කණ්ඩායමේ සාමාජිකයන් කිහිප දෙනෙක් තවදුරටත් එහි රැඳී සිටියේ ස්ව කැමැත්තෙනි. කෙනෙකු තම තරුණ කාලයේ ප්‍රිය කළ ගීත පිළිබඳව පවසද්දී තවත් කෙනෙකු තම පවුලේ පැරණි මතකයක් පිළිබඳව සිහිපත් කරමින් උන්නේය.

” අපි හිතුවට වඩා වැඩේ හොඳට ගියා නේද? “

මේඝ අවසානයේ ඉශිනි අසලට පැමිණ විමසුවේ තෘප්තිමත් හදවතිනි.

” ඔව්. මට ඕන වුණෙත් මේකම තමයි. මේක performance එකක් විතරක් වෙන්න ඕනේ නැහැ කියලා මං කිව්වේ ඒ නිසා මේඝ “

ඉශිනිගේ මුහුණේ ද සටහන් වී තිබුණේ වැඩසටහන සාර්ථක වූ බව දැනුණු සැහැල්ලුවකි. ඒ අතරතුර රිහාන්ද ඒ අසලට පැමිණියේ එවැනිම වූ සතුටක් හදවතේ දරාගෙනය.

” ඇත්තටම අපිටත් හිතුවට වඩා මාර වෙනස් experience එකක් හම්බ වුණේ “

ඉශිනි ඔහු දෙස බලා සිනහ වූයේ හදවතිනි.

” ඒක තමයි මටත් ඕන වුණේ “

වැඩසටහන අවසන් වූ පසු සියලු දෙනාම සූදානම් වූයේ දහවල් ආහාරය ගැනීම සඳහාය. ශාලාවේ එක් පසෙක දිගු මේසයක් මත ආහාර වර්ග කිහිපයක් සහිත බුෆේ එකක් සූදානම් කර තිබූ අතර, කණ්ඩායමේ සාමාජිකයන් එකිනෙකාට ඉඩ දෙමින් තමන්ට අවශ්‍ය ආහාර බෙදාගන්නා විට වැඩිහිටි නිවාසයේ කාර්ය මණ්ඩලයද ඔවුන්ට අවශ්‍ය දේවල් පිළිවෙළින් සපයමින් සිටියහ.

සාර්ථක වැඩසටහනක් අවසන් කිරීමේ සතුට නිසා එතරම් කුසගින්නක් නොවූවද ශෙනෝලි බත් කුඩා ප්‍රමාණයක් සමග ව්‍යංජන කිහිපයක් බෙදාගෙන කණ්ඩායමේ අනෙක් සාමාජිකයන් සිටි ස්ථානයකට ගොස් වාඩි වූ අතර අශේන් සහ මේඝ ඇතුළු තවත් කණ්ඩායම් සාමාජිකයන් කිහිප දෙනෙකු ඒ වන විටත් ආසන්නයේ ආහාර ගනිමින් සිටියහ. ඒ අතර රිහාන් සහ ඉශිනි යන දෙදෙනාද එකට ආහාර බෙදාගෙන පැමිණ අසුන් ගත්තේ කණ්ඩායම් සාමාජිකයන් හට මුහුණලා ඔවුන්ව පෙනෙන ආකාරයටමය.

ඔවුන් දෙදෙනා කතා කරමින් ආහාර ගනිමින් සිටින අතරතුරේදී ඉශිනි තම පිඟානෙන් බත් ස්වල්පයක් අනා අනතුරුව රිහාන් දෙස බැලුවාය. ඇය කුමක් කරන්නට යන්නේදැයි රිහාන් වටහා ගැනීමට පෙරම ඇය එය ඔහු වෙත දිගු කළාය.

” කන්න “

ඉශිනි සරලවම පැවසූ අතර රිහාන් මොහොතකට කිසිවක් නොකියා ඇය දෙස බලා උන්නේය. පසුව ඔහුගේ දෑස් නිරායාසයෙන්ම අවට බැලුවේ කවුරුන් හෝ ඔවුන් දෙස බලා සිටිනවාදැයි බලන්නාක් මෙනි. තමන් එසේ කිරීම ගැනම මඳක් අපහසුතාවයට පත් වූ ඔහු අවසානයේ කිසිවක් නොකියා ඉශිනි දිගු කල බත් පිඬ කෑවේය.

එම සිදුවීම කණ්ඩායමේ කිහිප දෙනෙකුගේම නෙත ගැටුණු අතර මේඝ මඳ සිනහවක් සමඟ රිහාන් දෙස බැලූ බැලුවේය. අශේන්ද ඒ දෙස බලා කිසිවක් නොකියා හිස සොලවා සිනහ වූයේ ඔහු හට එය අලුත් දෙයක් නොවුණත්, ඔවුන් ඉදිරියේ එවැනි දෙයක් සිදු වූ පළමු අවස්ථාව එය වූ නිසාය.

” මොනා වුණත් අපේ රිහාන් නම් relationship එකක් ඇතුළේ මාර loyal කොල්ලෙක් “

මේඝ සිනහවක් සමඟ පැවසූ විට අසල සිටි කිහිප දෙනාද ඒ සිනහවට එකතු වූ අතර ශෙනෝලි කිසිවක් නොකියා තම බත් පත දෙස අවධානය යොමු කර ගෙනම උන්නාය.

” ඒක නම් ඇත්ත. මට සමහර වෙලාවට හිතෙනවා මේ කොල්ලා single වෙලාම හිටියා නම් කොහොම තියෙයිද කියලා “

සිහින පැවසූ විට මේඝ නැවතත් සිනහ වූයේය. 

” උඹ දන්නවද, අපේ social media pages වලටත් සමහර වෙලාවට messages එනවා. ‘Rihanව personally contact කරගන්න පුළුවන්ද?’ කියලා. කෙල්ලෝ මාර විදිහට මුගෙ පස්සෙන් එන්නේ ” 

” ඔව් ඉතින් බොරු කියන්න ඕනේ නැහැනේ.බෑන්ඩ් එකේ වොකලිස්ට් මම උනාට කෙල්ලෝ වැඩිපුර බලන්න පිටිපස්සට වෙලා ගිටාර් ප්ලේ කරන රිහාන් දිහ “

අශේන් එය පැවසුවේ හදවතිනි.

” එච්චර කෙල්ලෝ පස්සෙන් එන එකේ මූව ඉශිනි මෙහෙම වෙනස් කරපු එක තමයි වැඩේ”

අශේන් ගේ කතාවට මේඝ අඩු වැඩිය එකතු කළේ ආහාර ගෙන අවසන් කරනා අතරේය.ආහාර ගෙන අවසන් වූ පසු එකිනෙකා නැගිට ගොස් අත් සෝදා ගැනීම සඳහා පිටතට ගියේ වරින් වරය. ශාලාවෙන් මඳක් ඈතට ගොස් අත් සෝදා ගැනීමට යමින් සිටි ශෙනෝලිට පිටුපසින් පැමිණි අශේන් ඇය අසලට පැමිණ නතර වූයේ ඒ මොහොතේදීය.

ඇය අශේන් දෙස බැලුවේ කිසිවක් නොකියාය. නමුත් ඔහුගේ මුහුණේ වෙනදා දක්නට තිබෙන සැහැල්ලු සිනහව ඒ මොහොතේ නොතිබුණි. මොහොතක් ඇය දෙස බලා සිටි ඔහු අවසානයේ දෑත් සෝදමින් සිටි ශෙනෝලි වෙත නැඹුරු වූයේ යමක් පවසන්නටය.

” නොකිව්වට නොපෙන්නුවාට හිත රිදෙනව නේද ශෙනෝලි? “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here