5th Avenue – 52

0
275

ශෙනෝලි එදින නිවසට පැමිණියේ වෙනදාට වඩා නොසන්සුන්වය. නිහඬවය. කුලී රථයෙන් බැස නිවස තුළට පැමිණි පසුවත් ඇගේ සිතේ රැඳී තිබුණේ අශේන් ස්ටූඩියෝවේදී අවසන් වරට පැවසූ වචන කිහිපයමය. ඔහු තම තීරණය ලේසියෙන් අතහැර නොදමන බව පැවසූ ආකාරය ඇගේ සිතට ගෙන ආවේ පැහැදිලි කළ නොහැකි තරමේ නොසන්සුන් බවකි. අවුරුදු ගණනාවක් කණ්ඩායම් හැඟීමෙන් යුතුව වැඩ කරමින් එකිනෙකා කෙරෙහි ගොඩනැගී තිබූ ගෞරවයත් විශ්වාසයත් නිසා ඔහු කෙරෙහි තමන් සම්පූර්ණයෙන්ම බියක් තබාගත යුතු නැති වුවත් මින් මතුවට යම් දුරස්ථභාවයක් තබාගත යුතු බව ඇය සිතුවාය. නමුත් මෙම කාරණාව ඉදිරියේදී කුමන අතකට හැරේවිදැයි සිතාගත නොහැකි වූ බියක්ද ශෙනෝලි තුළ නොඅඩුවම තිබිණි.

අශේන් තම මිතුරා වූ නිමේශ් හමුවීමට පැමිණියේ ඔහුට අයත් වූ අවන්හලටය.එම අවන්හලේ ඉහළම මාලයේ වූ රූෆ්ටොප් බාර් එක තුළ කෙළවර මේසයක අශේන් තනිවම වාඩි වී උන්නේය. ඔහු ඉදිරියේ තිබූ වීදුරුව කිහිප වතාවක්ම පිරෙමින් සහ හිස් වී තිබුණද, ඔහුගේ මුහුණේ තිබූ නොසන්සුන් බව බිඳක් වත් පහව ගොස් තිබුණේ නැත. සාමාන්‍යයෙන් අන් අය අතර සිටින විට විහිළුවකින් හෝ සිනහවකින් තම සිතුවිලි පාලනය කර ගැනීමට  පුරුදු වී සිටි ඔහු එදින ඒ කිසිවක් කිරීමට උත්සාහ නොකළේය.

ඔහුගේ සිත තුළ නැවත නැවතත් මතු වූයේ එකම කාරණාවකි.

ඒ ,ශෙනෝලි වෙතින් දෙවැනි වතාවටත් තමන් ප්‍රතික්ෂේප වීමය.

ඇය පැවසූ වචන වලට වඩා ඒවා පැවසූ සන්සුන් බව අශේන් හට දරාගත හැකි වූයේ නැත. ඇය කෝපයෙන් තමන්ට බැණ වැදුණේ නම්, ඔහුට ඒ කෝපය සමඟම තම වේදනාවත් පිට කරගැනීමට හැකිව තිබුණි. එහෙත් ඇය එසේ නොකළාය. සෑම වචනයක්ම සෙමෙන් සිතා බලා, කිසිදු අකාරුණික බවක් නොපෙන්වා, තම තීරණය වෙනස් නොවන බව පමණක් ඇය පැහැදිලි කළාය. එය අශේන් හට දැනුණේ තමන්ට විරුද්ධව වසා දැමූ තවත් එක් දොරටුවක් ලෙසය.

අවන්හලෙහි කාර්ය බහුලත්වය මදක් පහව ගිය මොහොතක නිමේශ් පැමිණ අශේන් අසලින් අසුන් ගත්තේ ඔහුව ඒ මොහොතේ තනි නොකර තැබීමටය. ඒ වන විටත් කිහිප දෙනෙකු පැමිණ ඔහු සමග වරින් වර ඡායාරූප ගන්නා ආකාරය දුටුවද අශේන් ක්‍රම ක්‍රමයෙන් පියවි සිහියෙන් පලා යන බැව් පෙනෙන්නට ඇති නිසා නිමේශ් තම සේවකයන් වෙත වැඩ පවරා අශේන් වෙත පැමිණ උන්නේය.

“උඹ දන්නවද නිමේශ්, මට කෙල්ලෝ හම්බෙලා නැත්තේ නෑ.”

අශේන් තමන් ඉදිරියේ තිබූ වීදුරුව දෙස බලාගෙන කතා කළේය. ඒ වන විට ඔහුගේ හඬ තුළ ඇති මත් බව පැහැදිලිවම දැනෙන්නට තිබුණි.

“ඒක මම නොදන්න දෙයක් නෙමෙයි බං.”

නිමේශ් ඔහු ඉදිරියේ තිබූ ශක්ති ජනක පානයෙන් බිඳක් පානය කළේය.

“නෑ, උඹ දන්නෙ නෑ. මං කිව්වොත් ඕන දෙයක් කරන කෙල්ලෝ හිටියා. මං පස්සෙන් එන්න කියන්න ඕනෙත් නෑ. පිස්සුවෙන් වගේ මගේ පස්සෙන් ආවා. සමහරු මට කැමති වුණේ මම කවුද කියන එකට. මගේ සල්ලිවලට. මගේ නමට. මගේ ජනප්‍රියකමට ” 

අශේන් කෙටි සිනහවක් පෑවේය. එහෙත් ඒ සිනහව තුළ කිසිඳු සතුටක් නොතිබුණි.

“ඒත් ශෙනෝලි එහෙම නෑ “

ඔහුගේ හඬ එවර මඳක් පහත් විය.

“ඒකිට ඒ කිසිම දෙයක් ඕනෙ නෑ. මං කවුද, මට කොච්චර සල්ලි තියෙනවද, මං කොච්චර ජනප්‍රියද, ඒකිට ඒ එක දෙයක්වත් වැඩක් නෑ.”

නිමේශ් ඔහු දෙස බලා නිහඬව උන්නේය. අශේන් ඒ මොහොතේ කතා කරන්නේ ශෙනෝලි පිළිබඳව පමණක් නොවන බව ඔහුට වැටහෙමින් තිබුණි. ඔහු කතා කරමින් උන්නේ තමන්ට කිසිදා හිමි කර ගත නොහැකි වූ දෙයක් පිළිබඳවය.

“ඒකි හරිම හාර්ඩ්වර්කින් බං “

අශේන් නැවතත් වීදුරුව අතට ගත්තේය.

“අම්මයි තාත්තයි දෙන්නම නැතුව තනියම මේ ලෝකෙ ජීවත් වෙන එක කොච්චර අමාරුද කියලා අපි දන්නෙ නෑ. ඒත් බලපං ඒකි දිහා. කොන්ද කෙළින් තියාගෙන වැඩ කරනවා. කිසිම කෙනෙක්ගෙන් අනුකම්පාවක් ඉල්ලන්නෙ නෑ. ඒකි අපේ බෑන්ඩ් එකේ බැක්බෝන් එක වගේ බං. එකෙකුටවත් ඒකි. නැතුව මොකක්වත් කරගන්න බැහැ. අඩුම  ගානේ අපේ මැනේජර් වෙච්ච මේඝට වත් “

“ඒක ඇත්ත “

නිමේශ් සෙමින් පිළිතුරු දුන්නේය. අශේන් තුළ පවතින වේදනාව පිට කිරීමට ඔහුට අවස්ථාව ලබා දෙමින් ඔහු කතාවට සහයෝගය දුන්නා මිස අදහස් ප්‍රකාශ කිරීමට ඉක්මන් වූයේ නැත.

“අවුරුදු දෙකකට වැඩිය කොල්ලෝ පස් හය  දෙනෙක් එක්ක ඉහ ගහගෙන වැඩ කරන එක ලේසි දෙයක්ද? ඒත් ශෙනෝලි ඒක කළා. මං, මං කැමති ඒ හයියට බං “

අශේන් එම වචන කිහිපය පවසා මඳ වේලාවක් වීදුරුව අතැතිව ඉවත බලා උන්නේය. 

“එහෙනම් උඹට ඒකිව අතෑරලා දාන්න බැරි ඒකයි “

“අතෑරලා දාන්න?”

අශේන් හදිසියේම සිනහ විය.

” උඹ දන්නවනේ මං ලේසියෙන් දෙයක් අතාරින එකෙක් නෙමෙයි කියලා “

නිමේශ්ගේ මුහුණේ තිබූ බැරෑරුම් බව තවත් වැඩි වූයේ ඉන් අනතුරුවය.

“අශේන්, උඹ දැන් හොඳ සිහියෙන් නෙමෙයි ඉන්නේ. අද ගෙදර ගිහින් නිදාගනින්. හෙට උදේ නැගිට්ටම මේ දේවල් ගැන හිතපං ආපහු “

“හෙට වෙනකොට මොනවද වෙනස් වෙන්නෙ බං ?”

අශේන්ගේ හඬේ තිබූ වේදනාව එවර ඇසුනේ පෙරටත් වඩා පැහැදිලිවමය. 

“ඒකි අදත් මට කිව්වා මගේ තීරණය මගේ ප්‍රශ්නයක් කියලා. මං ඒකිට කිව්වම ඒක මං අමතක කරන්නෙ නෑ කියලා, ඒකිට ඒක ගැන කිසිම ගාණක් තිබ්බේ නෑ “

“ඒකිට උඹට කැමති නොවී ඉන්න අයිතියක් තියෙනවා බං. අපි කාට හරි කැමති වුණ පලියට උන් අපිට කැමති වෙන්න ඕනමයි කියලා එකක් නෑනේ සිරාවටම “

අවන්හල තුළ සිටිනා පිරිසගේ හඬත් සංගීතයේ හඬත් අතරේ නිමේෂ් පැවසුවේ සෙමෙනි. අශේන් මොහොතකට ඔහු දෙස බලා උන්නේ තමාවම පාලනය කර ගත නොහැකිවය.

“මම දන්නවා “

ඔහු එය පැවසුවේ තමන්ටම ඒ සත්‍යය පිළිගැනීමට සිදුවීමේ වේදනාවෙන් මිස කිසිදු කෝපයකින් නොවේ.

“ඒත් මෙතන තියෙන ප්‍රශ්නෙ මට ඒක පිළිගන්න බැරි එක “

නිමේශ් තවත් කිසිවක් නොකියා ඔහු ඉදිරියේ තිබූ වීදුරුව ඉවත් කළ අතර අශේන් එයට විරුද්ධ වූයේද නැත. ඔහු මොහොතක් නිහඬව සිට අනතුරුව තම ජංගම දුරකථනය අතට ගත්තේය.

“මට රිහාන් එක්ක කතා කරන්න ඕනේ.”

“දැන්?”

“ඔව්. දැන්.”

“උඹට මේ වෙලාවේ කතා කරන්න ඕනේ කියලා හිතුනට උඹ ඌට කතා කරන්න ඕනෙම නෑ. උදේට කතා කරපං “

අශේන් ඔහුගේ වචන නොසලකා දුරකථන තිරය දෙස බැලුවේය. මොහොතකට පසු ඔහු රිහාන්ගේ නම තෝරා ගෙන ඇමතුමක් ගෙන දුරකථනය කනේ තබා ගත්තේය.එවර ඔහුව නතර නොකළ නිමේශ් අශේන් ගේ වීදුරුව රැගෙන මේසයෙන් නැගිට්ටේය. 

ඒ වන විට රිහාන් උන්නේ නිවසේය. දුරකථනය නාද වූ විට ඔහු එය අතට ගත්තේ තරමක් නොසැලකිලිමත් ලෙසය. එහෙත් තිරයේ දිස් වූ අශේන්ගේ නම දුටු මොහොතේ ඔහුගේ මුහුණේ තිබූ සැහැල්ලුව ක්ෂණයකින් වෙනස් වී ගියේ  අශේන් කිසිදා මෙවැනි වේලාවක තමන්ට දුරකථන ඇමතුම් නොදෙන බැවිනි. ව

“හෙලෝ, අශේන් “

රිහාන් ඇමතුමට සම්බන්ධ වී දුරකථනය කනේ තබාගත් අතර එහා පසින් සෙමින් තිබුණේ අධික ශබ්දයකි. අශේන් ගේ නොපැහැදිලි හඬ ඇසුණේ එවැනි විවිධාකාර ශබ්ද ගණනාවක් අතරිනි.

“මට උඹත් එක්ක කතා කරන්න දෙයක් තියෙනවා “

රිහාන් මොහොතක් නිහඬව උන්නේය.

“මොකක් හරි අවුලකද අශේන් ? කොහෙද ඉන්නේ? “

” නිමේශ් ගෙ රූෆ්ටොප් බාර් එකේ “

අශේන් කතා කරන්නේ බීමතින් බව ඒ වචන කිහිපය ඔස්සේ රිහාන් තේරුම් ගත්තේය.

” උඹට ඔය විදිහට ගෙදර යන්න බැහැ නේද? මං එන්නද උඹව ගෙදර ගිහින් ඩ්‍රොප් කරන්න?”

“ගෙදර යන්න පස්සේ පුළුවන් රිහාන් “

අශේන්ගේ හඬේ එවර යම් දැඩි බවක් වූ අතර රිහාන්ට දැනුනේ තරමක අමුත්තකි.

“ඒත් මට අද මේ ගැන උඹත් එක්ක කතා කරන්න ඕනේ.”

රිහාන්ගේ සිත තුළ ඇති වූ සැකය එවර තවත් වැඩි විය. 

“මොකක් ගැනද, අශේන්?”

මොහොතකට අනෙක් පසින් කිසිදු පිළිතුරක් නොඇසුමි අතර ඉන්පසුව අශේන් සෙමින් කතා කළේය.

“ශෙනෝලි ගැන ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here