අශේන්ගේ අවධානය නැවතත් පුහුණුවීම් වෙත යොමු වීම සඳහා මඳ වේලාවක් ගත වුවද, ඉන් පසුව වැඩි අපහසුවකින් තොරව සියලු දෙනාම පුහුණුවීම් ඉදිරියට ගෙන ගියේ වෙනදා මෙන් සාමාන්ය ආකාරයටය . සවස පහ පමණ වන විට එදිනට නියමිත පුහුණුවීම් අවසන් වූ අතර, කණ්ඩායමේ සාමාජිකයන් එකිනෙකාගෙන් සමුගෙන ස්ටූඩියෝවෙන් පිටතට පැමිණෙන්නට පටන් ගත්තේ වෙහෙසකර බවිනි. ශෙනෝලි හට මේඝ සමඟ කතාබහ කර අවසන් කර ගත යුතු වැඩ කිහිපයක් යෙදී තිබූ බැවින් ඔවුන් දෙදෙනා තවදුරටත් එහි රැඳී සිටින බව පැවසූ නිසා, අනෙක් සියලු දෙනාම ස්ටූඩියෝවෙන් පිටතට පැමිණියේ ඔවුන් දෙදෙනාට සමු දීය.
රිහාන් නිවස බලා යාම වෙනුවට ඉශිනිව මුණගැසීම සඳහා පැමිණියේ ඇයගේ ප්රියතම කෝපි හලක් වෙතටය. පෙර දින රාත්රියේ අශේන් සමඟ සිදු වූ කතාබහ ඇය සමඟ පැවසීමට ඔහුට අවශ්යව තිබුණද, ශෙනෝලි තුළ තමන් කෙරෙහි යම් හැඟීමක් තිබෙන බව පැවසීමෙන් පසුව අනවශ්ය ප්රශ්නයක් ඇති විය හැකි බව ඔහුට සිතුණි.
එහෙත් ඒ සමඟම තවත් සිතුවිල්ලක් රිහාන් ගේ සිත තුළ නැවත නැවතත් මතු විය. තමන්ගේ හිතට දැනෙන ඕනෑම දෙයක් තමාට ඉශිනී සමඟ කතා කළ හැකි විය යුතු නොවේද? එතරම් අවබෝධයක් තමන් සහ ඇය අතර තිබිය යුතුව තිබුනත් යම් දේවල් පමණක් තෝරාගෙන ඇය සමඟ බෙදාගැනීමෙන් ඔවුන් දෙදෙනා අතර ඇති බැඳීම සම්පූර්ණ වන්නේ කෙසේදැයි රිහාන්ගේ සිත එවර ප්රශ්න කළේය.
ඒ සිතුවිල්ලත් සමඟම රිහාන් කෝපි හල ඉදිරියේ තම වාහනය නතර කර එයින් බැස කෝපි හලට ඇතුළු වූයේය.ඒ වන විටත් ඉශිනි උන්නේ ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙනි. රිහාන් පියවර තබා පැමිණ ඇය ඉදිරියේ වාඩි වූ පසු, වෙනදා මෙන්ම තමන්ගේ දවසේ සිදුවීම් එකින් එක ඉශිනි රිහාන් සමඟ බෙදාගන්නට පටන් ගත්තාය. රිහාන් ඇය පවසනා සියලු දේවල් වලට සවන් දෙමින් උන්නද , ඔහුගේ අවධානය සම්පූර්ණයෙන්ම ඒ කතාව තුළ රැඳී තිබෙන බව වටහා ගන්නට ඉශිනිට වැඩි වේලාවක් යන්නට පෙරම හැකියාව ලැබිණි.
” ඇයි රිහාන් ඔයාට මහන්සිද? නිකන් මූඩ් එකක් නෑ වගේ ? ”
“නෑ ඉශිනි. එහෙම දෙයක් නෑ. මොනවද ඔයා බොන්නේ ? “
රිහාන් මේසය මත වූ මෙනූ පත ගෙන දිගහැර ගත්තේ ඒතරම් උනන්දුවකින් තොරවය.ඉශිනී ඔහුගේ පිළිතුර එතරම් පහසුවෙන් පිළිනොගෙන ඔහු දෙස මොහොතක් බලා උන්නාය.සැබවින්ම ඔහුගේ බැල්ම තුළ තිබුණේ ඔහු නොකියනා යමකි.
“මොකක් හරි තියෙනවා නම් කියන්නකෝ. ඔයාට මට කියන්න බැරි දෙයක් නැහැනේ “
සේවකයෙකු පැමිණි පසු ඔහුට ඇණවුම ලබාදී රිහාන් ඉශිනි දෙසට හැරුනේ ඇයගෙන් කිසිවක් සඟවාගෙන සිටීම වෙනුවට සිදුවීමේ එක් කොටසක් හෝ පැවසීම වඩා හොඳ බව සිතමිනි.
” ස්පෙශල් දෙයක් නෙමෙයි. අශේන් පොඩි අවුලක ඉන්නේ. ඒ නිසා අද බෑන්ඩ් එකේ ප්රැක්ටිස් එකත් හිතපු තරම් හරියට කරගන්න බැරි වුණා “
“ඒ මොකද ? “
“එයා ගර්ල් කෙනෙක් ගැන හෝප්ස් තියාගෙන ඉන්නේ. ඒ ගැන පොඩ්ඩක් අවුලෙන් ඉන්න හින්දා ඊයේ රෑ ඩ්රින්ක් එකක් දාලා. ඒ නිසා අද එයා එච්චර ප්රැක්ටිස් වලට ෆෝකස් කරේ නැහැ ”
රිහාන් එසේ පවසන විට ඉශිනීගේ මුහුණේ තිබූ සැහැල්ලු බව මොහොතකට වෙනස් විය.
“අශේන් හෝප්ස් තියන් ඉන්න ඒ ගෑනු ළමයා ශෙනෝලි වෙන්න බැරිද?”
ඉශිනි එම ප්රශ්නය ඇසු සැණින් රිහාන් තිගැස්සි මෙන් සම්පූර්ණ අවධානය ඇය වෙත යොමු කළේය.
“අශේන් ඔයාට එහෙම මොනවා හරි කිව්වද, ඉශිනි?
“නෑ. මට නුවරඑළියේදී සමහර වෙලාවට එහෙම හිතුනා . ඒත් ඉතින් ඒක මගේ සැකයක් විතරයි. අනික ශෙනෝලි වගේ ගෑනු ළමයෙක් ගැන හිතනවට වඩා අශේන්ට ඕන තරම් හොඳ ගෑනු ළමයි හම්බවෙනවා ඇතිනේ “
ඉශිනීගේ අවසන් වචන කිහිපය රිහාන්ගේ සිතට නොසන්සුන් හැඟීමක් ගෙන ආවේය. ඇය එසේ පැවසීමෙන් අදහස් කළේ කුමක්දැයි ඔහුට තේරුම් ගැනීමට අපහසු වූ අතර, ශෙනෝලි පිළිබඳව එවැනි සංසන්දනයක් කිරීමට ඉශිනි හට අවශ්ය වූයේ මන්දැයි ඔහුට සිතාගත හැකි වූයේ නැත. ඒ කෙසේ වුවත් කිසිවෙකුගේ අඩුපාඩුවක් හෝ වටිනාකමක් තවත් කෙනෙකු සමඟ සසඳා තීරණය කිරීම පිළිබඳව රිහාන් තුළ කිසිදු පැහැදීමක් නොවීය.
“ඉශිනි “
රිහාන්ගේ හඬේ තිබූ වෙනස ඉශිනී හට ඒ මොහොතේදී පැහැදිලිවම දැනිනි.
“නෑ නෑ. මං කියන්නෙ අශේන්ගෙ පස්සෙන් ගොඩක් ගෑනු ළමයි එනවනේ. ඒකයි “
ඉශිනි තමා වෙතින් පිටවූ යමක් නිවැරදි කිරීමට උත්සාහ ගත්තද රිහාන් පැවසීමට සූදානම් වූ කාරණාව වෙනස් කර ගත්තේ නැත.
“අපිට අයිතියක් නෑ ඉශිනි කිසිම කෙනෙක්ව ජජ් කරන්න. කෙනෙක් හොඳයි, කෙනෙක් නරකයි කියලා අපිට කියන්න බැහැ. විශේෂයෙන් අපිට කිසිම වරදක් කරලා නැති කෙනෙක් ගැන ”
රිහාන් එසේ පැවසූ පසු ඉශිනී මඳ වේලාවක් නිහඬව උන්නාය. ඔහුගේ වචන වලින් ඇයට දැනුනේ අසන්නට බලාපොරොත්තු වූ දෙයට වඩා වෙනස් යමකි. එය ශෙනෝලි ගැන පමණක් වූ පිළිතුරක් නොවන බව ඇයට හැඟුණේ රිහාන්ගේ හඬේ තිබූ ස්ථිර බව නිසාය.
“ඔයා කැමති නෑ නේද මං ශෙනෝලිට මොනවත් කියනවට?”
ඉශිනීගේ ප්රශ්නයත් සමඟ රිහාන්ගේ මුහුණේ වූ ඉරියව් තව තවත් බැරෑරුම් විය. ඔහු මොහොතක් ඇය දෙස බලා උන්නේ මේ කතාව තමන්ට අවශ්ය තැනින් බොහෝ ඈතට ගමන් කරමින් තිබෙන බව දැනුණු නිසාය.
“මට තේරෙනවා ඉශිනි මේ කතාව යන්නේ වෙන පැත්තකට කියලා. ඒ නිසා ප්ලීස්, අපි මේක නතර කරමුද? මං අද ඉන්නේ ගොඩක් මහන්සියෙන් “
ඉශිනී ඔහු දෙස බලා උන්නේ කිසිවක් නොකියාය.
“මං කියන්නේ මට දැනෙන දේ රිහාන්. You always defend Shenoli.”
” මං කිව්වේ එහෙම දෙයක් ගැන නෙමෙයි ඉශිනි. හැබැයි අපි නිකරුනේ මිනිස්සුන්ට දොස් කියන්න හොඳ නෑ. අනික ශෙනෝලිව අපි තරංවත් ඔයා ආශ්රය කරලාා නැහැ.එහෙම එකේ ඔයාට කියන්න බැහැ එයා වටිනවද නැද්ද හොඳද නරකද කියල. අනිත් එක ශෙනෝලි කියන්නේ තමන්ගේ මහන්සියෙන් උත්සාහයෙන් එයාගෙ වටිනාකම් හදාගන්න ළමයෙක්. එහෙම ළමයෙක්ව අශේන්ගේ පස්සෙන් එන ගර්ල්ස්ලත් එක්ක කම්පෙයාර් කරන එක කිසිම තේරුමක් නැති දෙයක් “
එවර ඉශිනී ඉවත බලා ගත්තාය. ඇගේ සිත තුළට පැන නගිමින් තිබුණේ එකිනෙකට වෙනස් සිතුවිලි බොහෝමයකි. රිහාන් සහ තමන් එකිනෙකාට ආදරය කරන බවත්, ඔහු තමන් ගැන නිරන්තරයෙන් සොයා බලන බවත් සැබෑවක් නමුත් තමන් දෙදෙනාගේ සිතුවිලි මේ තරම් වෙනස් වන්නේ නම්, ඒ වෙනස කාලයත් සමඟ ඔවුන් අතර නොගැලපීමක් බවට පත්විය හැකි දැයි ඇය පළමු වතාවට ලෙස කල්පනා කළාය.
එමෙන්ම රිහාන් වැනි කෙනෙකුගේ ආදරය බලාපොරොත්තුවෙන් සිටිනා සිය දහස් ගණනක තරුණියන් අතරින් ඔහුගේ ආදරය තමන්ට පමණක් හිමිවීම පිළිබඳව ඇයට දැනුණේ සැඟවිය නොහැකි ආඩම්බරයකි. ඒ නිසාම, මේ බැඳීම තුළ තිබෙන නොගැලපීම් ගලපාගෙන ඉදිරියට යාමක් මිස අතර මගින් නතර වීමක් ගැන සිතීමට ඉශිනිට කිසිසේත්ම උවමනා වූයේ නැත.
“දැන් ඒ පාර ඇයි ඔයා මූණ එල්ලගෙන ඉන්නේ ඉශිනි?”
රිහාන්ගේ හඬින් ඇය නැවතත් ඔහු දෙස බැලුවාය.
“කාගෙවත් ප්රශ්නයක් නිසා අපි දෙන්නට හම්බවෙන්න ලැබෙන මේ පොඩි වෙලාවෙත් අපි ආගිව් කරගන්න ඕනෙ නෑනේ”
ඒ වචන ඇසුණු විට ඉශිනීගේ සිතේ තිබූ නොසන්සුන්කම මදක් වැඩි වී ගියේය. දෙදෙනාම තම තමන්ගේ වෘත්තීන් සමග කාර්යබහුලව සිටින බැවින් හමුවීමට ඉඩ ලැබෙන කෙටි වේලාවත් පිටස්තර කෙනෙකුගේ ගැටලුවක් නිසා අරුත් සුන් කරගැනීමෙන් තමන්ට ලැබෙන කිසිවක් නොමැති බව ඇයට වැටහිනි.
“සොරි, රිහාන්. සමහර දේවල් ගැන මං ටිකක් වෙනස් විදිහට හිතනවා ඇති. ඇත්තටම මට හිතෙනවා ඒකෙන් අපි දෙන්නා අතර තියෙන බොන්ඩ් එකට ටික ටික ඩැමේජ් වෙනවා කියලා “
රිහාන් ඇය දෙස මඳ වේලාවක් බලා හිඳ කිසිවක් නොකියා මේසය මත තිබූ ඇගේ අත මත ඉතා සියුම්ව අත තැබුවේය. ඔහුගේ මුවේ ඒ මොහොතේ ඇඳී තිබුණු සිනහව කෙටි වූ නමුත්, ඉශිනීගේ සිතේ තිබූ බර මඳක් ලිහිල් කිරීමට තරම් එය උණුසුම් සිනහවක් විය.
“අනවශ්ය දේවල්වලට හිත කලබල කරගන්න එපා ඉශිනි. අපි අපේ වැරදි හදා ගෙන ඉස්සරහට යමු. අඩුපාඩු වෙනවා ඕන කෙනෙක්ගේ අතින්. නොගැලපීම් තියෙනවා. ඒවා ගලපගෙන ඉස්සරහට යන එක තමයි හොඳ බොන්ඩ් එකක තියෙන්න ඕනේ “
ඉශිනී කිසිවක් නොකියා ඔහු දෙස බලා උන්නාය. ඒ මොහොතේ ඔහුගේ වචනවල තිබූ සරල බව ඇයට තදින් දැනුණද, ඒ සරල බව තුළම ඇයට තවමත් සම්පූර්ණයෙන් පිළිතුරු සොයාගත නොහැකි ප්රශ්නයක්ද තිබුණි. එහෙත් ඒ පිළිබඳව තවදුරටත් කතා කිරීමට පෙර, ඔවුන් අසලට පැමිණ නතර වූ හුරුපුරුදු රුවක් දෙස ඉශිනීගේ බැල්ම යොමු විය.
“හායි ඉශිනී “



