5th Avenue – 53

0
40

“ශෙනෝලි ගැන “

අශේන් පැවසූ ඒ වචන ඇසුණු මොහොතේ රිහාන්ගේ මුහුණේ තිබූ සැහැල්ලුව ක්ෂණයකින් පහව ගියේය. ඔහු දුරකථනය කනේ තබාගෙනම මොහොතක් නිහඬව උන්නේ අශේන් හට මෙවැනි රාත්‍රියකදී, එසේත් නැතිනම් මේ තරම් මත් වී සිටින මොහොතකදී ශෙනෝලි පිළිබඳව තමන් සමඟ කතා කිරීමට අවශ්‍ය වූයේ කුමක් නිසාදැයි සිතාගත නොහැකිවය. පසුගිය දින කිහිපය තුළ අශේන් ශෙනෝලි වෙත යම් ආකාරයකින් ළං වීමට උත්සාහ කළ අවස්ථා කිහිපයක් ඔහු දැක තිබුණද, ඒවා මෙතරම් දුරක් පැමිණ ඇති බවක් රිහාන් කිසිවිටෙක සිතා තිබුණේ නැත. අශේන්ගේ හඬ තුළ තිබූ බර ඔහුට එම මොහොතේ තේරුම් ගත නොහැකි වුවද, එය සාමාන්‍ය කතාබහක් නොවන බව නම් රිහාන් හට පැහැදිලිවම දැනුණි.

” මං එන්නම් “

රිහාන් එසේ පවසා ඇමතුම අවසන් කළේ අශේන් ගෙන් තවත් ප්‍රශ්න ඇසීම පලක් නොවන බව සිතූ නිසාය. පැය භාගයකට පමණ පසු රිහාන් තම මෝටර් රථයෙන් නිමේශ්ගේ අවන්හල වෙත පැමිණි අතර, කිහිපයකට පෙර රිහාන් ලබාදුන් දුරකථන ඇමතුම නිසා ඒ වන විටත් අශේන් මහල වෙත පැමිණ උන්නේය. අශේන්ගේ ඇස්වලින්ම ඔහු මේ වන විට කොතරම් දුරට මත් වී සිටින්නේද යන්න රිහාන්ට තේරුම් ගැනීමට හැකි වූ අතර රිහාන් පැමිණි බව දුටු නිමේශ් ද් ඔහු වෙත පැමිණ අශේන්ගේ තත්ත්වය ගැන කෙටියෙන් පැවසූ අතර, අශේන්ගේ වාහනය අවන්හලෙහි තබා රිහාන් හට ඔහුව කැටුව යන ලෙස පැවසුවේය

” නැගපන් මගෙ වාහනේට “

රිහාන් පැවසූ විට අශේන් ඊට විරුද්ධ නොවූ අතර ඔහු රිහාන්ගේ වාහනයට නැග දොර වසාගෙන බලාා උන්නේය. රිහාන් නිමේශ් හට ස්තූති කර පැමිණ වාහනයට නැග එය පණ ගන්වාගෙන ප්‍රධාන මාර්ගය වෙත අවතීර්ණ වූයේ සිදුවන දෑ පිළිබඳව ව්‍යාකූල වූ සිතිනි.

විනාඩි ගණනාවක් ගතවන තුරුම අශේන් කිසිවක් කතා නොකළ අතර රිහාන්ද ඔහුගෙන් කිසිවක් අසන්නට ඉක්මන් වූයේ නැත. අශේන් හට තමා සමග කතා කිරීමට අවශ්‍ය වූයේ කුමක් ගැනදැයි දැනගැනීමට ඔහු තුළ කුතුහලයක් තිබුණද, මේ මොහොතේ ඔහුගෙන් පිළිතුරු ඉල්ලා සිටීමෙන් සිදුවන්නේ ඔහු තවත් නොසන්සුන් වීම පමණක් බව රිහාන් වටහාගෙන තිබුණි. මඳ දුරක් ගිය පසු ඔහු මාර්ගය අයිනේ තිබූ කුඩා වෙළෙඳසැලක් දැක ඒ අසල වාහනය නතර කලේය.

” පොඩ්ඩක් ඉඳපන් මං ගිහින් එන්නම් “

එසේ පැවසූ රිහාන් මෝටර් රථයෙන් බැස වෙළෙඳසැල වෙත ගියේය. මිනිත්තු කිහිපයකට පසු ඔහු ආපසු පැමිණියේ දෙහි යුෂ බෝතලයක් අතැතිවය. එය අශේන් වෙත දිගු කළ රිහාන් ඔහු දෙස බලා නිහඬවම උන්නේය

” මේක බීපං “

අශේන් දෙහි යුශ බෝතලය අතට ගෙන කිසිවක් නොකියා එය දෙස බලා උන්නේය. අනතුරුව ඔහු එහි පියන විවෘත කර සෙමින් පානය කිරීමට පටන් ගත් පසු රිහාන් වාහනය නැවත පණ ගන්වා මඳ දුරක් ගොස් නැවතත් එතරම් සෙනඟක් නොවූ මාර්ගයක් අයිනේ වාහනය නතර කළේය. එවරත් ඔහු අශේන් දෙස නොබලා ඉදිරිපසින් පෙනෙන මාර්ගය දෙස බලා සිටියේ ඔහුට අවශ්‍ය තරම් වෙලාවක් ලබා දෙමිනි.

“උඹ දැන් ආපු කාරණාව මගෙන් අහන්නෙ නැද්ද? “

අශේන් අවසානයේ නිහඬතාව බිඳ දැමු අතර රිහාන් ඔහු දෙස හැරී බැලුවේය.

” කතා කරන්න කලින් මුලින්ම උඹ හොඳ සිහියට ඇවිල්ලා ඉඳපන් “

අශේන්ගේ මුවේ යන්තම් සිනහවක් ඇඳුණි. එහෙත් එය වෙනදා ඔහුගේ මුහුණේ දකින්නට ලැබෙන සැහැල්ලු සිනහවක් නොවීය. ඒ සිනහව තුළ කිසියම් අසරණකමක් ද තිබූ බව රිහාන්ට දැනුණේ ඔහු දෙස තවත් මොහොතක් බලා සිටින විටය. 

අශේන් බෝතලය නැවතත් දෙතොලට ළං කරමින් ඉතිරි දෙහි යුෂ ස්වල්පයද සෙමින් පානය කර අනතුරුව ඔහු විනාඩි කිහිපයක් කිසිවක් නොකියා අසුනේ හිස තබාගෙන උන්නේය. රිහාන්ද ඔහුට බාධා කරන්නට උත්සාහ කළේ නැත. අවසානයේ අශේන් හදිසියේම ඇස් විවෘත කර ඉදිරිය බලා මොහොතක් උන්නේය.

” මම ශෙනෝලිට හරි කැමතියි බං “

රිහාන් ඔහු දෙස බලා උන්නේ කිසිවක් නොකියාය. අශේන් ශෙනෝලි වෙත ළං වීමට උත්සාහ කළ බව ඔහු නොදැන සිටි කාරණයක් නොවුණද, ඒ ගැන මෙතරම් සෘජුවම අශේන්ගෙන් අසන්නට ලැබේවි යැයි ඔහු සිතා තිබුණේ නැත. විශේෂයෙන්ම අශේන් මෙතරම් බරපතළ ලෙස ඒ ගැන සිතා ඇති බවට ඔහු තුළ අදහසක් හෝ වූයේ නැත. 

” කැමතියිද? ආදරෙයිද?”

රිහාන් සෘජුවම ඇසු අතර අශේන් මොහොතක් ඔහු දෙස අමුතු බැල්මකින් බලා උන්නේය.

” මං එහෙම ඇහුවෙ කැමතියි කියන්නෙ එකක්, ආදරෙයි කියන්නෙ තව එකක් නිසා බං “

අශේන්ගේ මුහුණ මත නැවත ඇඳුනේ සිහින් සිනහවකි.

” මට ඔය දෙකෙන් එකක් තෝරගන්න තේරෙන්නෙ නෑ රිහාන්. ඒත් මට තේරෙනවා, මගේ ජීවිතේ මොකක් හරි විදිහකට හදන්න පුළුවන්, පිළිවෙළක් කරන්න පුළුවන් ශෙනෝලි වගේ කෙල්ලෙකුට කියලා “

අශේන්ගේ හඬෙහි තිබූ බැරෑරුම් බව එවර තවත් පැහැදිලිව ඇසුනු නිසා රිහාන් ඔහු පවසන සෑම වචනයක්ම නිහඬව අසාගෙන උන්නේය 

“මමත් හිතාගෙන හිටියේ මගේ හිතේ ශෙනෝලි ගැන තියෙන්නෙ පොඩි ක්‍රශ් එකල් විතරයි කියලා. මොකද ඉතිං අපේ බෑන්ඩ් එකේ ඉන්න එකම කෙල්ලත් ඒකි, අපිට හැමදාම දකින්න ඉන්න කෙනත් ඒකි. ඒ නිසා මං හිතුවේ ඒක එහෙම දෙයක් වෙන්න ඇති කියලා “

අශේන් නැවත විනාඩි කිහිපයකට නිහඬ වූයේය. 

” ඒත් හුඟක් දුර හිතලා බැලුවම මේක එහෙම එකක් නෙමෙයි බං “

රිහාන්ගේ බැල්ම නොකඩවාම අශේන් මත රැඳී තිබුණි.

” ඉතින් ඇයි උඹ ඕක ශෙනෝලිට කියන්නෙ නැත්තේ? “

” මං කිව්වා බං “

අශේන් සෙමින් පිළිතුරු දුන්නේය.

” එක පාරක් නෙමෙයි. දෙපාරක්ම. කොටින්ම අද හවසත් “

රිහාන්ගේ මුහුණේ පුදුමය පැහැදිලිවම දිස් විය. මේ තරම් දෙයක් සිදුවෙමින් තිබියදීත් ශෙනෝලි කිසිදු වෙනසක් නොපෙන්වා තමන්ගේ රාජකාරී කටයුතු වල නියැලී සිටින ආකාරය ඔහුට හදිසියේම සිහිපත් විය. ස්ටූඩියෝවේදී අශේන් සමඟ ඇය කතා කළේද වෙනදා මෙන්මය. ඔහු සමඟ වැඩ කළේද කිසිදු වෙනසක් නොපෙන්වාය. තම පෞද්ගලික ජීවිතයේ කිසිදු කාරණාවක් තම වෘත්තීය ජීවිතය සමඟ පටලවා නොගැනීමට ඇය කොතරම් දුරට උත්සාහ කරනවාදැයි ඔහුට එවර පැහැදිලිවම වැටහිණි.

” ඒකි අඩුම ගානේ කිසිම දෙයක් අහන්නෙවත් නැතුව මාව රිජෙක්ට් කරලා දැම්මා බං”

අශේන්ගේ හඬේ තිබුණේ පෙරට වඩා වෙනස් වූ වේදනාවකි. එය ප්‍රතික්ෂේප වීමෙන් ඇති වූ වේදනාවක් වූ අතර, ඒ වේදනාව යටින් තමන්ට සිදුවූ මදි පුංචිකමක් වැනි හැඟීමක්ද ඇතැයි රිහාන්ට සිතිණි. 

” උඹ දන්නවද ඒ ඇයි කියලා, රිහාන්?”

රිහාන් කිසිවක් නොකියා ඔහු දෙස බැලුවේ පිළිතුරක් බලාපොරොත්තුවෙන් මෙනි.

 ” උඹ හින්දා “

එම වචන දෙක ඇසුණු මොහොතේ රිහාන්ගේ දෑස් විශාල විය. කිසිසේත්ම බලාපොරොත්තු නොවූ පිළිතුරක් වූ බැවින් ඔහුට මොහොතකට කුමක් පැවසිය යුතුදැයි සිතාගත හැකි වූයේ නැත . ඒ සමඟම පසුගිය දිනවල ඉශිනි තමන් වෙත ළං වූ ඇතැම් අවස්ථාවල ශෙනෝලි  කිසිවක් නොකියා පැත්තකට වූ ආකාරය ඔහුගේ මතකයට පැමිණියේය. එසේම කිසියම් අවස්ථාවකදී ඇය අසාමාන්‍ය ලෙස නිහඬ වී තම වැඩ කෙරෙහි පමණක් අවධානය යොමු කරන්නට පටන් ගත් ආකාරයද ඔහුට සිහිපත් විය. ඒ සියලු දේ තමන් නිසා සිදුවූවාදැයි ඔහුගේ සිත තුළ පළමු වරට පැහැදිලි නොවන ප්‍රශ්නයක් මතු විය. 

” ශෙනෝලි උඹට එහෙම දෙයක් කිව්වද? “

” කෙලින් කිව්වේ නෑ “

අශේන් මඳ වේලාවක් නිහඬව උන්නේය.

” හැබැයි නොකියා කිව්වා “

රිහාන් කිසිවක් නොකියා ඉදිරිය බලා ගත්තේය.

” එහෙනම් අපිට කියන්න බෑනේ බං ශෙනෝලි මං ගැන හිතනවා කියලා. අනිත් එක ශෙනෝලි දන්නවනේ හොඳටම ඉෂිනි ගැන “

රිහාන් එය පවසන විට අශේන් ඔහු දෙස බැලුවේය.

” ඉෂිනි මෙතනට එන්න ඉස්සෙල්ලා තමයි මේක මං හිතන්නේ වෙලා තියෙන්නේ. ඒ මොක වුණත් උඹ කා එක්ක හිටියත්, කොහොම හිටියත්, ශෙනෝලි කැමති උඹට “

” අශේන්, ප්ලීස් “

රිහාන්ගේ හඬ එවර මඳක් දැඩි විය.

” මෙතනට මාව ගාවගන්නෙ නැතුව ඔය දෙන්නගේ ප්‍රශ්නෙ කතා කරලා විසඳගන්න බලන්න. අනික ඉතින් මෙතනට මාව නෙමෙයි වැදගත් වෙන්නේ. ශෙනෝලිගේ කැමැත්ත “

අශේන් ඔහු දෙස බලා උන්නේය

” ඉතින් ඒ කැමැත්ත ගන්න උඹ මෙතන මැද ඉන්න එක තමයි මට තියෙන ප්‍රශ්නේ “

රිහාන්ගේ සිත තුළ එවර අමුතු හැඟීමක් ඇති වූ අතර අශේන් තමන් සමඟ කෝපයෙන් සිටිනවාදැයි ඔහුට මොහොතකට සිතුණත් ඔහුගේ මුහුණේ එවැනි කෝපයක් පැහැදිලිව දකින්නට තිබුණේ නැත. ඒ වෙනුවට පෙනෙන්නට තිබුණේ තමන්ටම තේරුම්ගත නොහැකි තැනක සිරවී සිටින මිනිසෙකුගේ නොසන්සුන්කමකි.

” මම ශෙනෝලි එක්ක කතා කරන්නද අශේන්?”

රිහාන් අවසානයේ ඇසූ අතර අශේන් සෙමින් හිස දෙපසට වැනුවේය.

” එහෙම කතා කරලා වැඩක් නෑ බං. කවුරුත් මට ශෙනෝලිව කතා කරලා දීලා වැඩක් නෑ.මට ඕනේ ඒකි මට කැමති වෙන්න “

රිහාන් ඔහු දෙස බලා උන්නේය. කෙනෙකුගේ හදවතෙහි තවත් කෙනෙකු වෙනුවෙන් කැමැත්තක් ඇති කරවීම බලෙන් කළ හැකි දෙයක් නොවේ.එය හදවතින් ඇති විය යුතු දෙයකි. ඒ සරල සත්‍යය අශේන්ට තේරුම් කර දිය යුතු වුවද, මේ මොහොතේ එය කෙසේ පවසන්නේදැයි ඔහු නැවත නැවත සිතුවේය.

” අශේන්, ශෙනෝලිට උඹ ගැන එහෙම හැඟීමක් නැත්තම්, අපි කවුරු මොනවා කිව්වත්, අඩුම ගානේ උඹ මොනවා කිව්වත්  ඒක වෙනස් වෙන්නෙ නෑ. ඒකිගේ තීරණේට අපි ගරු කරන්න ඕනේ. එහෙම නොවෙන කොට වෙන්නේ ඒකිට උනත් එපා වෙන එක “

අශේන් කිසිවක් නොකියා ඔහු දෙස බලා උන්නේය. එවර ඔහුගේ මුහුණේ තිබූ බැල්මෙන් රිහාන්ට දැනුණේ ඔහු ඒ වචන තේරුම් ගත් බවකි.

මඳ වේලාවක් දෙදෙනා අතරම පැවතියේ නිහඬතාවයකි. මාර්ගයේ එහා පස යන වාහනවල ආලෝකය රිහාන් ගේ වාහනයේ ඉදිරිපස වීදුරුව මත වැටී ඉවතට ගියේය. අශේන් තම හිස ආසනයට තබාගෙන තවත් මොහොතක් එසේම සිට අවසානයේ සෙමින් හිස හරවා රිහාන් දෙස බැලුවේය.

“එතකොට මම දැන් මොකද්ද කරන්න ඕනේ රිහාන් ? “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here