5th Avenue – 54

0
422

ඊළඟ දිනයේ උදෑසන රිහාන් කිසිවක් සිදු නොවූවාක් මෙන් ස්ටූඩියෝවට පැමිණියේය. පෙර දින රාත්‍රියේ අශේන් සමඟ සිදු වූ කතා බහ ඔහුගේ සිත තුළ ඒ වන විටත් පැහැදිලිවම රැඳී තිබුණද එවැන්නක් සිදු වූ බවට කිසිවෙකුටත් නොපැවසීමට ඔහු අශේන් වෙත පොරොන්දු වූ  බැවින් රිහාන් සුපුරුදු ලෙස අන් අය සමඟ පුහුණුවීම් සඳහා සූදානම් වූයේය.ඒ අතරතුර  ඔහුගේ බැල්ම විටින් විට ස්ටූඩියෝවේ අනෙක් පස හිඳි ශෙනෝලි වෙතද යොමු වූයේ පෙර දින රාත්‍රියේ අශේන් පැවසූ යම් කරුණු මතකයට පැමිණි නිසාවෙනි. 

ශෙනෝලි ඉදිරියේ පැවැත්වීමට නියමිත ප්‍රසංගයක් පිළිබඳව සංවිධායකවරයෙකු සමඟ දුරකථනයෙන් කතා කරමින් හුන් අතර, කතා කරන අතරතුරම තමන් ඉදිරියේ තබාගෙන සිටි සටහන් පොතෙහි වැදගත් කරුණු කිහිපයක් ද සටහන් කර ගත්තාය. පෙර දින සවස ඇය සහ අශේන් අතර යම් සංවාදයක් ඇති වී තිබුණද ඇය කිසිදු වෙනසක් නොපෙන්වමින් ඇයගේ අවධානය තමන් ඉදිරියේ ඇති වැඩ කටයුතු වෙත යොමු කරමින් උන්නාය.

රිහාන් තමන් දෙස බලා සිටින බවක් දැනුණු මොහොතක වුවද ශෙනෝලි හිස ඔසවා ඔහු දෙස බැලුවේ නැත. එහෙත් ඇය දෙස බලා සිටි ඔහුගේ සිත තුළ එක් සිතුවිල්ලක් නැවත නැවතත් මතු වූයේ නිරායාසයෙනි.ඒ, පෙර දින  රාත්‍රියේ අශේන් සමඟ කතා කළ පසු තමන් තේරුම් ගත් බොහෝ දේවල් අතරින් තවමත් තේරුම් ගත නොහැකි එකම දේ ශෙනෝලි යනුවෙනි. කිසිවෙකු හටවත් ඇයව හරියාකාරව කියවා ගැනීමට හෝ පහසුවෙන් තේරුම්ගත නොහැකි බව ඔහුට සිතුනේ ඇයගේ නිහඬ බව පවා බොහෝ දේ පවසමින් තිබීම නිසාය.

ටික වේලාවකට පසු ශෙනෝලි දුරකථන ඇමතුම අවසන් කර දුරකථනය පසෙකින් තැබුවාය. සටහන් කරගත් කරුණු නැවත වරක් පරීක්ෂා කර බැලූ ඇය ලැප්ටොප් පරිගණකය විවෘත කරමින් නැවතත් රාජකාරී දුරකථනය අතට ගත්තාය.අනතුරුව ඇය සියලු දෙනාටම ඇසෙන සේ කතා කළාය.

“අශේන් එන්න පොඩ්ඩක් පරක්කු වෙනවා කියලා ගෘප් එකට මැසේජ් එකක් දාලා තියෙනවා ඔයාලා දැක්කද ? “

ශෙනෝලි එසේ ඇසූ විට එතැන සිටි කිහිපදෙනාම එකිනෙකාගේ මුහුණු දෙස බැලූහ.

“මං නම් දැක්කෙ නෑ “

සිහින පිළිතුරු දුන් විට අනෙක් කිහිප දෙනාද හිස වැනුවේ එම පණිවිඩය තමන් නොදුටු බව පෙන්වීමටය.ඒ වනවිට අශේන් හැරුණු කොට අන් සියලු දෙනාම ස්ටූඩියෝවට පැමිණ පුහුණුවීම් සඳහා සූදානම් වෙමින් සිටි බැවින් දුරකථනවලට අවධානය යොමු කිරීමට කිසිවෙකුටත් අවශ්‍යතාවක් තිබුණේ නැත. එහෙත් අශේන් ප්‍රමාද වීමට හේතුව දැන සිටි එකම පුද්ගලයා වූ රිහාන් කිසිවක් නොකියා තමන්ගේ දුරකථනය ගෙන අශේන් වෙත වට්සැප් පණිවිඩයක් යැව්වේය. 

අශේන් පැමිණෙන තුරු කණ්ඩායමේ අනෙක් අය විවිධ කතාබහ වල නිරත වූ අතර ඉදිරි සතියකදී ගාල්ලේ පැවැත්වීමට නියමිතව තිබෙන ප්‍රසංගයක් පිළිබඳව මේඝ ඔවුන් හා කතාබහ කළේය. පැයකට ආසන්න කාලයක් ගතවූ පසුවත් අශේන් නොපැමිණි අතර  අවසානයේදී තවත් විනාඩි පහළොවකට පමණ පසුව ඔහු ස්ටූඩියෝවට ඇතුළු වූයේ මැලවුණු මුහුණකිනි.සාමාන්‍යයෙන් ඔහුගේ මුහුණේ තිබෙන සිනහව සහ සැහැල්ලුව එදින දකින්නට නොතිබූ අතර, ඔහුගේ පෙනුමෙන්ම පසුගිය රාත්‍රියේ නින්දක් හෝ නිසි විවේකයක් නොලැබුණු බව පෙනෙන්නට තිබුණි. 

ස්ටූඩියෝවට ඇතුළු වූ සැණින් අශේන්ගේ බැල්ම යොමු වූයේ රිහාන් වෙතය. දෙදෙනාගේ දෑස් මොහොතකට එකිනෙක හමුවූ අතර රිහාන් ඔහු දෙස බලා යන්තම් සිනහවක් පෑවේය. අනතුරුව ඔහු කිසිවක් නොකියා මයික්‍රෆෝනය තිබූ ස්ථානය අශේන් හට දෑසින් පෙන්වූයේ තමන්ගේ ස්ථානයට යන ලෙස දැනුම් දෙමිනි.

“සනීප නැද්ද උඹට?”

මේඝ අශේන් වෙත පැමිණ ඔහුගේ මුහුණ දෙස බලමින් විමසූ අතර ඔහු වෙනදා මෙන්ම සිනහවක් මුවට නගා ගත්තේය.

” මං ඊයේ මගේ කාර් එක යාලුවෙක්ගේ රෙස්ටූරන්ට් එකේ දාලා ආවා. ඒක ගන්න උදේ ගියා. අනික, අද නම් මට සිංදු කියන්න කිසිම මූඩ් එකක් නෑ වගේ “

ඔහු එසේ පවසා මයික්‍රෆෝනය අසලට යාම වෙනුවට ශෙනෝලි වාඩි වී සිටි සෝෆාව වෙත පැමිණ එහි කෙළවරකින් වාඩි වී දෑස් පියාගෙන හිස සෝෆාවේ පිටුපසට තබාගත්තේය. ශෙනෝලි මොහොතකට ඔහු දෙස බැලු අතර ඔහුගේ හැසිරීමේ යම් අමුත්තක් ඇයට දැනුණත් ඒ පිළිබඳව කිසිවක් නොවිමසා නැවතත් තමන්ගේ ලැප්ටොප් පරිගණකය වෙත අවධානය යොමු කළාය.

මඳ වේලාවකට පසු මේඝ කණ්ඩායම් සාමාජිකයන් දෙස බලා කතා කළේය.

“ඊළඟ වීකෙන්ඩ් එකේ ගාල්ල කොන්සර්ට් එකක් ෂෙඩියුල් වෙලා තියෙන නිසා අපිට ප්‍රැක්ටිස් කරන්න නම් වෙයි ගයිස් “

එය ඇසුණු විට අශේන් දෑස් විවෘත කර මොහොතක් ඉදිරිය බලා හිඳ කිසිදු විශේෂ හැඟීමක් නොපෙන්වා සෝෆාවෙන් නැගී උන්නේය

” Alright “

ඔහු එසේ පවසා මයික්‍රෆෝනය තිබූ ස්ථානය වෙත ගියේය. අනෙක් අයද තම තමන්ගේ උපකරණ සූදානම් කරගත් අතර, ටික වේලාවකට පසු සුපුරුදු පරිදි ස්ටූඩියෝව පුරා සංගීතය පැතිරෙන්නට පටන් ගත්තේය.

පුහුණුවීම් ආරම්භ වූ පළමු මිනිත්තු කිහිපය සාමාන්‍ය පරිදි ගෙවී ගියද, අශේන්ගේ අවධානය නිසි පරිදි ඒ වෙත රැඳී තිබුණේ නැත. ඇතැම් අවස්ථාවන් වලදී ඔහුගේ හඬ බිඳී ගිය  අතර, තවත් අවස්ථාවකදී ගායනය ආරම්භ කළ යුතු තැන් පවා ඔහුට මගහැරෙමින් තිබිණි. ඒ පිළිබඳව වැටහුණු සෑම අවස්ථාවකදීම ඔහු නැවතත් තම අවධානය ගීතය වෙත ගෙන ඒමට උත්සාහ කළ නමුත් පුහුණුවීම් කෙරෙහි සම්පූර්ණ අවධානය යොමු කිරීමට ඔහුට හැකි වූයේ නැත .

පෙර දින රාත්‍රියේදී රිහාන් තමන්ට පැවසූ වචන ඔහුගේ සිත තුළ නැවතත් ඇසෙන්නට වූයේ අනතුරුවය.

” පර්සනල් ලයිෆ් එකයි ප්‍රොෆෙෂනල් ලයිෆ් එකයි වෙන් කරලා තියාගන්න පුරුදු වෙයන්. මං වගේ මුලදිම අනාගන්න ලෑස්ති වෙන්නෙ නැතුව “

එම වචන සිහිපත් වූ විට අශේන්ගේ සිත තුළ යම් නොසන්සුන්කමක් ඇති වුවත් රිහාන් පැවසූ දේ වැරදි නොවන බව ඔහුට වැටහෙමින් තිබිණි. එහෙත් ඒ වචන තේරුම් ගැනීමත්, ඒ අනුව තමන්ගේ සිත හැසිරවීමත් යනු කාරණා දෙකක් නිසා අශේන් මොහොතකට සංගීතය නතර වන තෙක් බලා හිඳ අනතුරුව බිම තබා තිබූ තම වතුර බෝතලය අතට ගෙන එයින් වතුර ස්වල්පයක් පානය කළේය. බෝතලය නැවත බිම තැබූ ඔහුගේ මුහුණේ හදිසියේම කිසියම් වෙනස් අධිෂ්ඨානයක් ඇති වූවාක් මෙන් පැහැදිලි ලෙසම පෙනෙන්නට තිබුණු අතර ඊළඟ මොහොතේ ඔහු මයික්‍රෆෝනය අතට ගත්තේ අනෙක් අය සංගීතය වාදනය කිරීම ආරම්භ කිරීමටත් පෙරය. 

“ඉවත පාවෙලා යන්න සිතුනිදෝ මා කෙරෙන්

වෙන අයෙක් කෙරේ බැඳුණෙදෝ ඔයා ආදරෙන්

සිහිනයක් ලෙසින් බොඳ වෙලා නොයන් මා සිතින්

හිනැහිලා බලා සනසවන්න මා ඔය නෙතින් “

අශේන්ගේ හඬ ස්ටූඩියෝව පුරා පැතිර යන විට ශෙනෝලිගේ ඇඟිලි තුඩු ලැප්ටොප් පරිගණකයේ යතුරු පුවරුව මත මොහොතකට නතර වූ අතර ඇය හිස ඔසවා එක වරම අශේන් දෙස බැලුවාය. අශේන් ඒ ගී පද ගායනා කරමින් උන්නේ ඇය දෙසම බලාගෙනය.එය දුටු වහාම ශෙනෝලි නැවතත් තම දෑස් බිමට බර කර ගත්තේ සන්සුන් වන්නට උත්සාහ දරමිනි.

එම මොහොතේම රිහාන්ගේ බැල්මද යොමු වී තිබුණේ ශෙනෝලි දෙසටය. අශේන් ගායනා කළ වචන ඇසුණු සැනින් ශෙනෝලි ඔහු දෙස බැලූ බැල්ම තේරුම් ගැනීමට උත්සාහ කරන්නට මෙන් රිහාන් මොහොතක් ඇය දෙස බලා උන්නේය . රිහාන් තමන් දෙස බලා සිටින බව ඊළඟ මොහොතේ ශෙනෝලිට දැනුණි අතර  ඇය තුළ මද අපහසුතාවයක් ඇති වූ බැවින් ඇය දිගින් දිගටම ලැප්ටොප් තිරය දෙසම බලාගෙන දෑස් ඔසවා නොඉන්නට ප්‍රවේසම් වූවාය. 

“මේ සින්දුව ප්ලේ ලිස්ට් එකට දැම්මේ කවද්ද?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here