වස්සානය ඇරඹී තිබිණි. දෙතුන් දිනක සිට පැවති පොද වැසි තත්වය උන් හිටි ගමන් එහි උච්චතම අවස්ථාවට එළැඹියේ ය. මහ වැස්ස ඇද හැලෙන්නට පටන් ගෙන දැන් හෝරාවකට වැඩිය ගත වී තියේ. විසල් වීදුරු ජනේලයෙන් වැසි ඇද හැලෙන පරිසරය දෙස බලාගෙන සනත් හිතුවේ, හෙට දින පාසලෙන් හරි අඩකට වඩා සිසුන් නො පැමිණෙනු ඇත කියා ය.
“වැස්ස බලන්නකො…පුදුම වැස්සක්නෙ”
කියාගෙන මොරීන් කාමරයට ආවා ය.
“හ්ම්. හැම දා නියං එක දා වැහි වලාවේ කිව්වලු”
“මේ…ඒක නෙමෙයි. උදේ ඔයා කිසල්ට කතා කළේ නැද්ද…අර කෙල්ල ගැන…”
මොරින් හොර ගල් අහුලන්නේ ඔතැනට එන්න බව සනත් දැන සිටියේ ය.
“නෑ”
සනත් ගේ සන්සුන් කම කෙතෙක් වී ද, එපමණට ම මොරීන් නො සන්සුන් වූවා ය.
“ඇයි…”
“මොරීන්…අපි නිකං කලබල වෙලා දඟලන්න ඕන නෑ”
“ඔයා කියන්නෙ අර හිඟන කෙල්ලෙක්ව ගෙදරට අරං එනකල්ම අපි නිකං බලං ඉන්න ඕන කියලද…ඔයාට තේරෙන්නෑ සනත්. මට ලැජ්ජයි. මට හොඳටම ලැජ්ජයි. මුළු කැම්පස් එකම දන්නව මේ සම්බන්දෙ ගැන. මමයි ඒ කෙල්ලට ස්කොල් එකක් දුන්නෙ. එතකොට ඕන කෙනෙක් හිතන්නෙ මේ සම්බන්දෙ දැනගෙන මං එහෙම දෙයක් කළා කියල. මගෙ තත්වෙට මොකද්ද වෙන්නෙ සනත්…”
“මොරීන්. මට ඔයාව නොතේරෙනව නෙවෙයි. ඒත් අපි මේ වයස තේරුං ගන්නත් උත්සාහ කරමු. මං අත්දැකීමෙංම දන්නව ඔය කොලු වයසට කරන දේවල් ජීවිතේදි ගන්න වැදගත් තීරණ වෙන්නෙ නැහැයි කියල”
මොරීන් මුව අයා බලා උන්නේ සනත් නම් කිසි දා ඇගේ හැඟීම් හා බලාපොරොත්තු වටහා ගන්නේ නැති ය යන නොරිස්සුම ඇතිව ය.
“ඔයාමනෙ කිව්වෙ අපේ හාදය එක ගෑනු ළමයෙක් එක්ක තිබිච්ච සම්බන්දෙ නතර වෙලා දවස් දෙක තුනක් යන්න කලිං ඔය සම්බන්දෙ පටං අරගෙනයි කියල. ඉතිං ඒකෙංම තේරෙනවනෙ මොරීන්…ඕව ඉස්තිර සම්බන්දකං නෙවෙයි. නිකං කොලුකමට…දන්නැද්ද…ඔයා කලබල නොවී ඉන්න. කොටිංම කියනවනං අපි මුකුත් දන්නෑ වගේ ඉමු. බලන්නකො දවසක ඕකා මැරි කරන්නෙ ඔය කෙල්ලවද කියල”
සනත් කතා කළේ මොන තරම් සැහැල්ලුවකින් ද? ඔහු ගේ මුවග නලියන සිනහවක් විය. එය එසේ වෙනවා නම් හොඳ ය. කිසල් විහිළුවට වගේ ශිෂ්‍යත්වලාභී යුවතිය ඇසුරු කරනවා නම් හොඳ ය. නමුත් මොරීන් ගේ සිතට සනත් ට දැනෙනාවූ සැහැල්ලුව දැනෙන්නේ නොවේ. ඇය දිගට ම සිටියේ අවිනිශ්චිත ගැස්මකිනි. නමුත් සනත් කියනවා සේ ටික දවසක් කලබල නොවී ඉවසා ඉන්නට ඕ අමාරුවෙන් හිත හදා ගත්තා ය.
එක රැයක් තුළ මහ වැස්ස බොහෝ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කොට තිබිණි. පාලමක් අසල දී පාර ට වතුර දමා තිබුණෙන්, පළිඟු ලා ගේ ගෙදර සිට නගරයට යන මාර්ගය මුළුමනින් ම අවහිර වී තිබිණි. ඒ ජල කඳ අඩි කිහිපයක් උස් වූයෙන් බස් ධාවනය කෙරුණේ පවා නැත. උදේ පාන්දරින් ම වත්සලා කෑම ද ගෙන අවන්හල වෙත යන ත්‍රීරෝද රථයේ රියදුරු කතා කොට කීවේ වතුර මට්ටම පහළ බහින තෙක් තව හෝරා කිහිපයකටවත් මාර්ගය ඔස්සේ ගමන් කළ නොහැකි බවයි. වෙනත් අතුරු මාර්ග ද පහළ බිම් හරහා ගමන් කරන තැන් ජලයෙන් වට වී ඇති බව පැවසිණි. වත්සලා කම්මුලේ අත තියාගෙන කියවන්නට වූවා ය.
“අනේ ඔන්නොහෙ නිදාගමු පුංචා. සොබා දහම මේ වගේ වැස්සක් හරි දෙන්නෙ මිනිස්සුන්ට ටිකක් වැඩිපුර නිදාගන්න කියලයි”
පළිඟු කොට්ටයේ මූණ ඔබා ගනිමින් යහනේ ගුලි වූවා ය.
“උඹ නං කියයි. මෙහෙම එක දවසක පාඩුවක් ඇති…මාස ගාණකට පියවගන්න බැරි වෙන්න”
“බිස්නස් කියන්නෙ එහෙම තමයි. ලාබ වෙනවා…පාඩු වෙනවා…”
මේ සීතල නම් කදිම ගුලි වී නිදන්නට ම ය. පළිඟු ගේ සිතේ ඈත කොනක හදිසියේ ම අකුණක් පුපුරා ගියේ ය. කිසල්! ඔහු දැක ගැනීමේ ආශාව හිතේ ගැඹුරක සිට ඉස්මතු ව ආවේ ය. මේ පළිඟු ජීවිතයේ ප්‍රථම වතාවට එවන් හැඟීමක් අත් විඳින අවස්ථාවයි. කවරාකාරයෙන් හෝ විශ්ව විද්‍යාලය වෙත යා යුතු ය. ඕ යහනෙන් බිමට පැන්නා ය.
“මාත් යන්නම ඕනෙ පුංචා”
වත්සලා නෝක්කාඩු බැල්මක් හෙළුවා ය.
“අද මිස් කරගන්න බැරි ලෙක්චර් එකක් තියෙනව”
වත්සලා ගේ මූණේ වූ බැල්මෙන් කියවෙන්නේ කිසල් ගැන කතාවක් බව වැටහෙත්දී, ඕ වහා හේතුවක් ඉදිරිපත් කළා ය.
“උඹේ ලෙක්චර් එකට වඩා මට බිස්නස් එක කරගන්න ඕනෙ. ඒත් ඉතිං පීනල යන්නයැ. බසුත් යන්නැති එකේ මේ ඉබ්බෙක් වගේ කොට ත්‍රීවීලර් වලට පුළුවන්යැ ඔය වතුරෙ යන්න…උඹේ කොල්ලට කියහං දකින්නැතුව ඉන්නම බැරිනං බෝට්ටුවක් එවන්න කියල”
“අනේ මේ. හැම එකටම එයාව අල්ලගන්න එපා හරිද…මං කිව්වෙ ලෙක්චර් එක ගැන”
“අනේ මං නොදන්න උඹේ ලෙක්චර් එක”
කියාගෙන වත්සලා නිදන කාමරයෙන් නික්මුණා ය. පළිඟු සන්සුන් ව නිදන්නට උත්සාහ කළා ය. වෙනදාට නම් වැහි පොදයක් ගියත් ඇති ය. පැය කිහිපයක නින්දක් ලබන්නට ඒ ඇය ට හොඳ හේතුවකි. නමුත් හෝරා ගණනක් ඇඳේ ගුලි වී සිටියත්, නො සන්සුන් කම අද ඇය වෙත නින්ද පැමිණීම වැළැක්වූයේ ය.
හදවත මේ අත්විඳින නො සන්සුන්කම වූ කලී අමුතු මිහිරකැයි ඇය ට සිතිණ. ප්‍රේමය කියන්නේ උගුලකැයි ඇය වටහා ගනිමින් සිටියා ය. ඒ උගුලට හසු වූ කල ගැලවීමක් නොමැති තරම ය. ගැලවෙන්නට දඟලත්දී සිදු වන්නේ තව තවත් උගුලේ පැටලෙන එකයි. හදවත මට්ටු කළ යුතු යයි පළිඟු සිතුවා ය. කිසල් වූ කලී කිසි දා ඇයට හිමි වීමට නියමිත වස්තුවක් නොවේ. ඔහු පෙම් කරනා කෙල්ලක හිඳී. ඇය පෙම් කළත් නැතත් ඔහු ගේ ප්‍රේමය මුළුමනින් අත්පත් කර ගෙන ඇත්තේ ඇයයි. ගසක් බදා වැළඳ එහි ම වෙළෙන ලතාවක් සේ දැන් දැන් සිත ඔහු වෙත ම ඇලෙන්නට හදනයුරු පළිඟු ට දැනේ. ඒ කියන්නේ මේ පාඨමාලාව අවසානයේ ඇයට ගෙදර එන්න වෙන්නේ ජීවිතය පුරාවට තුරුලු කර ගෙන හඬන්නට වන මතක කන්දක් හදවතින් දරා ගෙන ය.
“දුක් විඳින්න හදන්න එපා. එයාගෙ හිතේ ඉන්නෙ වෙන කෙනෙක්. අනුන්ට අයිති කෙනෙක්ට ආදරේ කරනව කියන්නෙ මුළු ජීවිතේම ආදරයක් විඳින්නැතුව විඳව විඳව ජීවත් වෙන්න සිද්ද වෙනව කියන එකයි. ඔයිට වැඩිය හයිය වෙන්නකො”
පළිඟු ඇගේ සිතට ම කීවා ය. යහන පසෙක වූ ජංගම දුරකතනය හැඬවුණේ ඈ කල්පනා ලෝකයෙන් තිගස්සා ඇහැරවමිනි.
“කිසල්…”
“මොකද ආවෙ නැත්තෙ…”
ඔහු කතා කළේ සැරෙනි. පළිඟු ත් නෝක්කාඩුවක් මවා ගත්තා ය.
“වැස්සනෙ”
“ඉතිං වැස්සට දිය වෙයි කියලද…තමුන්ට ඕන ඕන හැටියට එන්නැතුව ඉන්න බෑ හරිද…මේක මාර වැඩක්නෙ අප්ප”
“මමයි කියන්න ඕන මේක මාර වැඩක්නෙ කියල. මට එන්න බැරි දවසට ගෙදර ඉන්නත් කාගෙංවත් අවසර ගන්න ඕනද…”
“කාගෙංවත්…කාගෙංවත් නෙවෙයි මගෙං. පර්මිෂන් ගන්න කොහොම වුණත් මට කියන්න හරි තිබුණනෙ එන්නෑ කියල”
“මං වැඩ කරන්නෙ කාල ගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙ නෙවෙයිනෙ. ඒක නිසා මං දැනං හිටියෙ නෑනෙ මුළු රෑම වැහැල ඇල උතුරල පාරට වතුර දායි…ඊට පස්සෙ බස් වැඩ කරන්නෙත් නැති වෙයි කියල. එච්චරට මාව ගෙන්න ගන්නම ඕනනං අනිත් දවසෙ ට්‍රාන්ස්පෝට් එකක් එවන එකයි. මල විකාර”
“කටනං ඉතිං…අර උතුම්ටම තමයි හරියන්නෙ”
“හරිගියාට ඉතිං මක් කරන්නද…මං උගුලකට පැටලිල ඉවරනෙ”
පළිඟු ඒ ටික කීවේ සිනහවෙනි. තමන් ඔහු එක්ක රණ්ඩු වෙන්නේ ආදරේ පෙන්වන්නට බැරි කමට නේදැයි ඇය හූල්ලමින් සිතුවා ය.
“මට තේරෙනව ඒක”
“මොකද්ද..”
“දුක් වෙනව කියල…උතුම්ට ලං වෙන්න බැරි එකට”
“අනේ මේ කිසල්”
ඒ වෙලාවේ නම් ඇත්තට ම පළිඟු ගේ කේන්තිය ඉහ වහා ගියේ ය.
“මට උතුම්ටවත් ඔයාටවත් ලං වෙන්න ඕන කමක් නෑ හරිද…එක දවසකුත් කිව්වනෙ. මං බලං ඉන්නෙ මේ කෝස් එක ඉවරයක් වෙන දවසක් වෙනකල්. මේ කෙහෙල්මලෙං ගැලවෙන්න”
එහෙම කියා ඕ කේන්තියෙන් ම දුරකතන සම්බන්ධය බිඳ දැමුවා ය. නැවතත් කතා කොට ඇයට බණින්නට කිසල් ට ඕන විණි. නමුත් උතුම් ඔහු වෙත පැමිණියෙන් ඒ කිරීමෙන් ඔහු වැළකිණි.
“පළිඟුට කතා කළාද…”
“පාරට වතුර දාලලු. කෝල් කරල කියන්නෙපැයි බං එහෙම දෙයක්නං. පේස්ට්‍රි ශොප් එකත් වහල තියෙද්දි අපි බය වෙනවනෙ”
“අපි නෙවෙයි. උඹ. මං මොකටද උඹේ කෙල්ල ආවෙ නෑ කියල බය වෙන්නෙ”
උතුම් හඬ නගා හිනහුණේ ය.
කෙසේ වෙතත් යන්තම් වතුර බැස ගිය පසු වත්සලා අවන්හල ට යන්නට ත්‍රිරෝද රිය ගෙන්වා ගත්තා ය. ඒ වෙත්දී ඇගේ දේශන නිම වෙමින් තිබි නිසා විශ්ව විද්‍යාලයට යාමේ අවශ්‍යතාවයක් නොවුණෙන්, පළිඟු වත්සලාගේ උදව්වට අවන්හල වෙත ගියා ය. ඈ එහි පැමිණි බව කිසල් ට කියන්නට හිත නලියෑවත්, තමන් ව පාලනය කර ගන්නට පළිඟු උත්සාහ කළා ය. මේ සෙල්ලම වෙන කිසිත් සමග නොව ගින්දරත් එක්ක බව යටි හිත ඇයට යළි යළිත් සිහිපත් කරවන ලදී.
පේස්ට්‍රි ශොප් එක ඇර තිබෙනු කිසල් දුටුවේ අවසාන දේශනය අත්හැර දමා, කම්මැළි නිසා ගෙදර යන්න මගට බසිත්දී ය. ඇයි දෝ මන්දා ඔහු ගේ මුව සිනහවකට ඇද විය. යෞවනයා හිතුවක්කාර ලෙස අවන්හල වෙත ආවේ ය. මේ වැහි මන්දාරම අතරින් හදිසියේ ම හිරු රැස් පොදක් වැටුණා සේ ය පළිඟු ට දැනුණේ. ඔහු දුටු ඇගේ හදවත ගැස්ම මොහොතකට නතර විය. මුළු දවස පුරා ම හදවත පෙළු වෙහෙස එක නිමේෂයකින් අතුරුදන් වූ බවක් දැනිණ. ඇය දෑසින් ම ඔහුව සිය ආත්මය වෙත ඇද ගත්තා සේ ය.
“මොකද…”
කිසල් නොමනාපයක සරින් විමසී ය. පළිඟු පියවි සිහිය එළඹවා ගත්තේ එවිටයි.
“මොකද…”
ඇයත් නෝක්කාඩුවෙන් ම ඇසුවා ය. අවන්හල විවර වී තිබෙනු දුටු මොහොතේ ඔහු ගේ දෙතොල් මතට ආ මන්දස්මිතය පිටමං වෙන්නට තැනක් හොය හොයා ඉන්නට ඇත. ඒ සිනහව වශීයක් සේ පළිඟු ට දැනිණි.
“බඩගිනියි”
“පිටිනං ගිලින්නෑ ඔන්න”
“බත් කොහෙන්ද අපිට ඉතිං…”
හදවත හෝස් ගා දැවෙනු පළිඟු ට දැනිණි. කෑම රුචියක් නොවූ නිසා දවල් ට නොකා ඔතා ගෙන ආ බත් මුල ඇය ට සිහි විය.
“මාත් කෑවෙ නෑ. එහෙනං කමුද…”
ඔහු සැලුවේ එකඟතාවය හඟවන්නටයි. පළිඟු ඉක්මනින් බත් මුලත් ගෙන කෙලවර මේසයකට ගියා ය. මේ විදිහට ඇත්තට ම ඔහු ත් එක්ක ජීවිතය බෙදා ගන්නට ඇති නො හැකියාව ගැන ඇය මේ මොහොතේ අමතක කර දැම්මා ය.