කිසි විටෙකත් ඔබේ බිරිඳව මග හැරෙන්න දෙන්න එපා

“ආදරේ විවාහයෙන් අවසන් වෙනවා”

ඒ කතාව මුලින්ම අහපු දවසේ අමා ඒක විහිළුවකට ගත්තා.ආදරේ විවාහය නිසා තව වැඩි වෙනවා.ඇය හිතුවේ ඒ විදියට.අවුරුදු ගාණක් පුරා ආදරේ කරපු සහන් එක්ක විවාහ වුණාට පස්සේ ජීවිතය තවත් සුන්දරව ගලන්න පටන් ගත්තා.සහන් හැමදෙයකටම අමාට උදව් වුණා.හැම වැඩක්ම අපේ වැඩක් මිසක් අමාගේ වැඩ කියලා නොහිතන සහන් නිසා ජීවිතය කවියක් වගේ සුන්දර බව අමාට හිතුණේ.

පුංචි නෙතුකිගේ ඉපදීම කැදැල්ලේ සතුට තව වැඩි කළා.අමා හැම මොහොතක්ම ගත කළේ කම්මුල් පිපිරෙන තරමට සන්තෝසෙන් හිනා වෙවී. හැම අලුත් දවසක්ම ජීවත් වෙන්න හේතු සපයද්දී අනාගතය තව වර්ණවත් කරගන්න සහන්ට හිතුණා.සහන් රැකියාවේ උසස්වීමක් අපේක්ෂාවෙන් වැඩ කරන්න පටන් ගත්තා.

කන්දක් නගින්නේ පල්ලමක් බලාපොරොත්තුවෙන්. මහන්සි වෙලා විභාග ලියද්දී වෙනදා තරම් අමාට උදව් වෙන ඉඩකඩ සහන්ගෙන් දුරස් වුණා.ඒත් අමා හැමදෙයක්ම තනිවම කරගත්තා.තේ කෝප්පයක් හදා ගන්න පවා වෙනදට උදව් වෙන සහන්ට දැන් කතා කරන්නවත් වෙලාවක් නෑ. ඒත් මේ හැමදෙයක්ම අනාගතය වෙනුවෙන් කියලා අමා දැනගෙන හිටියා.

ඒ සහන්ට අමා මඟ ඇරෙන්න ගත්ත පළමුවෙනි වතාව.

උසස් වීම එක්ක මාරුවීමක්.සහන් ගෙදරින් ඈත පළාතකට යනවට අමා පුංචි කැමැත්තක්වත් දැක්කුවේ නැහැ.

“සහන්, අපිවත් එක්ක යනවද? ඇය අයදින්න පටන් ගත්තා.

“ඔයාට පිස්සුද අමා..අම්පාරේ ඉන්න පුලුවන්ද ඔයාට? අනික අපේ නෙතූ ඒ වගේ කාෂ්ටක පරිසරයක හැදෙන්නේ කොහොමද?”

සහන් සැරෙන් ඇහුවේ ඇත්තටම ඔහු ඒ තීරණයට අකමැති වුණු නිසා.ළාබාල වයසෙදිම තමන්ට පෙම් කරපු අමා තමන්ගෙන් ඈත් වෙන මුල්ම අවස්ථාව මේ බව ඔහුට මතක් වුණේ නෑ.

ඒ දෙවැනි අවස්ථාව.

සහන් අම්පාරෙදි බොහොම කාර්යබහුල වුණා.කන්න බොන්නවත් වෙලාවක් නැතිව ඔහු රාජකාරිය ඉෂ්ට කරන්න පටන් ගත්තා.වෙනදා වගේ අමා එවන මැසේජස් වලට උත්තර ලියන්න ඔහුට වෙලාව තිබුණේ නෑ.අමා ඇමතුම් දෙනවිට පවා ඔහු තව වැඩ අතරමග පිළිතුරු දුන්නා. සති දෙකකට වතාවක් ගෙදර ගියත් ඔෆිස් එක ගෙදර අරන් ගිය සහන්ට අමාට දෙන්න වෙලාව නැති වුණා.වෙනදා ලස්සනට ඇඳුම් අඳින අමා දැන් ඕනෑවට එපාවට අඳින බව,අමාගේ කෑම වෙනදා තරම් රහ නැති බව, අමා ඉස්සර වගේ හිනා නොවෙන බව සහන්‍ට පෙනුණේ නෑ.

ඒ ඔහුට අමා මඟ ඇරුණු තුන්වෙනි අවස්ථාව.

අමා වෙනදාතරම් තමන්ට අමතන්න උත්සාහ නොගන්නා බව, කතා කළත් වැඩි ඇගෑලුම් කමක් නැති බව සහන්ට තේරෙන්න පටන් ගත්තේ අහම්බයකින්. අමාගේ මල්ලි අමල් සහන්ව මුණ ගැහෙන්න ආවේ ඒ අතරේ.

“අයියට අපේ අක්කගෙ වෙනසක් තේරෙනවද?”

අමල් කතාව පටන් ගත්තේ එහෙම.අමා ෆේස්බුක් මිතුරෙක් එක්ක පවත්වන ඇගෑලුම්කම දුරදිග යනවා වැඩි බව අමල්ට ඉව වැටිලා තිබුණා.අක්කාගේ පවුල කැඩෙන්න නොදී රැක ගන්න ඔහුට උවමනා වුණා.අමල් මස්සිනාව මුණ ගැහෙන්න ආවේ ඒ නිසා.

“අපි අතින් එයාලව මඟ ඇරුණම ප්‍රශ්න කෝටියක් එනව.දුක අහන අයියලයි මල්ලිලයි දුක අහන්න ලෑස්ති වුණාම සේරම ඉවරයි.අක්කා දන්නව වෙන්නේ වැරද්දක් කියලා.එයා තාමත් ඔයාට ආදරෙයි.තවත් එයාව මඟ ඇර ගන්න එපා කියලා අයියගෙන් ඉල්ලන්නයි මට ඕන..”

සැමියෙකුට තමන්ගේ ගෙදර මඟ ඇරෙන තැන් ඕන තරම් එනවා. සහන් අතීතය දිගේ ඇවිද්දේ තමන් අමා එක්ක ගත කරපු සුන්දර දවස් මතක් කරමින්.
ආදරය කරද්දී දවසට පාරක් මුණ ගැහුණු හැටිත් එහෙමෙහෙ ඇවිදින්න ගිය හැටිත් ඔහු මතක් කළා.විවාහයට සූදානම් වුණෙත් පුදුම එකමුතුකමකින්.අමාට කිසිම දෙයක් තනියම කරගන්න සහන් ඉඩ දුන්නේ නෑ. නෙතුකි ලැබෙන්න හිටිය දවස්වලත් හැමවෙලාවෙම හෙවණැල්ල වගේ අමා ළඟ ඉන්න සහන් වග බලා ගත්තා.

හැමදෙයක්ම වෙනස් කළේ අලුත් රස්සාව.

“එච්චර මහන්සි වෙන්නේ ඇයි සහන්.අපිට මේ දේවල් ඇතිනෙ.දැන් දූ ඩේ කෙයා යන නිසා මාත් රස්සාවකට යන්නම්.එතකොට අපිට සල්ලි ප්‍රශ්න ඇත්තෙම නෑ..”

අමා එහෙම කියද්දී ඒ තීරණයට එකඟ වෙන්න තිබුණා කියලා සහන්ට හිතුණා. ඒ නැත්නම් අමාටත් අම්පාරට එන්න ඉඩ අරින්න තිබුණා.

දැන් අමා පුංචි නෙතුකිව පෙර පාසල් එක්ක යන්නේ තනියම,මාකට් යන්නේ තනියම.නෙතුකි ලෙඩ වුණාම බෙහෙත් ගන්න යන්නේ තනියම.උදව්වට අමාගේ අම්මා ආවත් සහන් එක්ක ගතකරපු නිදහස් ජීවිතය දැන් අමාට නෑ.ඉස්සර මාසයකට පාරක් ට්‍රිප් එකක් ගිය හැටි සහන් සිහි කළා.දැන් මාස හතර පහකින් අමාව කෑමකට එළියට එක්ක යන්නවත් පුලුවන් වෙලා නෑ.ඉස්සර අමා කෑවද අහන්න පවා ඇමතුමක් දුන්නට දැන් ඇය හොඳින්ද අහන්න වෙන්නෙත් දවසකට වතාවයි.

“මගේ යාලුවෙක් ගේම්වලට මාර විදියට ඇඩික්ට් වෙලා හිටියා.වයිෆ් පැනල යනකම් දන්නේ නෑ..”

අමල් කියපු තව කතාවක් සහන්ට සිහියට ආවා.

ඔන්ලයින් ක්‍රීඩා ඇබ්බැහිය,ෆේස්බුක් නිසා ගෙදර අමතක වීම,සහන් වගේ ඔෆිස් එක ජීවිතය කර ගැනීම,අම්මා සහ තමන්ගේ පවුලේ අය කියන දේවල් අහන්න යාම, ආදරණීය වීම පිරිමිකමට සුදුසුනැති බව හිතීම වගේ කාරණා ගොඩක් පිරිමින්ට තමන්ගේ පවුල අහිමි කරනවා.බිඳුණු බඳුනක් පිළියම් කරන්න පුලුවන් වෙන්නේ එහෙමත් වෙලාවකට.බොහෝ වෙලාවට ඉවත දාන්න වෙන ඉඩකඩ තමයි වැඩි.පවුලකට සැමියා කාලය නොදෙන හින්දා පවුල අතෑරලා දාන්න හිත හදාගන්න බිරින්දෑවරු ඕනෑතරම් ඉන්නවා.හැමදෙයක්ම සාර්ථක කරගෙන හැරිලා බලනකොට ඔබේ පවුල සහ බිරිඳ ඔබව එපා කියනවා නම් ඒක මහ අපරාධයක් නේද?

බැඳීමක් නැවත පිළිසකර කරනවාට වඩා පරිස්සම් කරගන්න ලේසියි.කාලයට බැඳීම් විනාශ කරන්න දෙන්න නරක අන්න ඒ හින්දා.

සහන් අම්පාර නගරයෙන් පොඩි ගෙයක් කුලියට අරගෙන අමාවත් දූවත් එක්කගෙන ආවා.දැන් ආයෙම සහන් කුස්සියෙ පොඩ්පොඩි දේවල් වලට අමාට උදව් කරනවා.නෙතුකිව බලාගන්න නිවාඩු දවසට හරි උදව් කරනවා.මහන්සියෙන් ගෙදර ආවත් නින්ද යනකම් අමා එක්ක කතා කරනවා.
පවුල කියන්නේ ලෝකයේ තියෙන වටිනාම දේ කියලා දැන් සහන් තදින්ම විශ්වාස කරනවා.

ඒ විශ්වාසය ආපහු ඔවුන්ගේ ජීවිතයට වසන්තය අරන් ආවා.පුංචි නෙතුකි දැන් සින්දු කියන්නේ ළඟදි ඉපදෙන මල්ලි බබාටත් ඇහෙන්න.

ජීවිතය බිඳෙමින් ගොඩ නැගෙනවිටත් සුන්දරයි.ගංගාවක් තැනිතලා බිම් වගේම හෙල් කඳු මතින් ගලා යනවා.ජීවිතයත් අභියෝග සහ තේරුම් ගැනීම් අරගෙන ඒ වගේ ඉදිරියට යනවා.

හැම පවුලකම ආදරය සුරැකේවා!

More Stories

Don't Miss


Latest Articles