තුශානිගේ අම්මයි තාත්තයි කලේ තේ දලු කඩපු එක. අම්මගෙයි තාත්තාගෙයි ජීවිත වල එකම හීනේ වෙලා තිබුනේ තුශානිට හොඳට උගන්නන එක.
“ අපි මේ ලැයිමේ ඉපදුනා.. මේ ලැයිමේම මැරිලා යාවි.. ඒත් උඹට එහෙම වෙන්න බැහැ පුතේ …. උඹ මේ කාමර කෑල්ලෙන් එලියට යන්න ඕනි .. උඹ ශිෂ්‍යත්වේ විභාගේ පාස් වෙච්ච දවසේ ලොකු මහත්තයා කිව්වා, බඩට නොකා හිටියත් උඹව ඉස්කෝලේ එවන්න ඕනි කියලා.. තාත්තයි මායි අවුරුදු ගානක් ඒ වචනේ රැක්කා… කෝමහරි මහ විහාගේ පාස් වෙලා උඹ පෙරකදෝරු නෝනෙක් වෙන්නම ඕනි මගේ රත්තරනේ..”
තුශානිගේ අම්මා දවසට වතාවක් දෙවතාවක් කට පාඩමින් වගේ එහෙම කියනවා. ඒ හැම වෙලාවකම තුශානිට අම්මයි තාත්තයි ගැන හරිම ආදරයක් දැනෙනවා වගේම, තමන්ගේ වගකීම බරට දැනෙනවා.
තුශානි සාමාන්‍ය පෙළ සමත් වුනේ පාසැලේ එදා මෙදා තුර ඉහලම ප්‍රතිපල එක්ක. ඉන් පස්සේ තුශානිට ලැයිමේ ඉස්කෝලෙන් ටිකක් එලියට යන්නත් වාසනාව හම්බවුනා.
“ දෙය්යන්ගෙම පිහිටයි මගේ දෙයියාට..”
තේ දළු කඩලා අව පැහැ ගැන්වුණු ඇඟිලි අග්ගිසි හරි සනීපෙට තුශානිගේ හිසකේ අස්සෙන් හිස් මුදුන පිරිමැද්දා.
ඊට පස්සේ තුශානි උදේ හයට ගෙදරින් පිටත් වුනා. ආයෙම ගෙදර එනකොට හවස හතර වුනා. ගෙදර ආවට පස්සේ අම්මාලා එන්න කලින් රෑට රොටී පුච්චලා ඉගෙනගන්න වැඩ කරන එක තමයි තුශානි කලේ. අමතර පන්ති යන එක ගැන ඒ තරමේ විශ්වාසයක් නොතිබුණ නිසා තුශානි එදිනෙදා වැඩ හරි හරියට එදාම එදාම කලා. ඒ අතරෙදි තුශානිගේ තාත්තා ඉගෙනගන්න වැඩ පහසු වෙන්න තුශානිට ජංගම දුරකතනයන් අරගෙන දුන්නේ වත්තේ මහත්තයාගෙ උදවුවත් එක්ක.
“ අනේ ඔය පෝන් කෙරුවාවල් නම් මම දන්නේ නෑ..”
අම්මටයි තාත්තටයි ජංගම දුරකතනය ගැන කියල දෙන්න උත්සාහ කල හැම වතාවකම අම්මලා එහෙම කියලා පැත්තකට වුනා. ඒ නිසා ජංගම දුරකතනය තුශානිගේ තනි වස්තුවක් වුනා.
කොහොමහරි, ජංගම දුරකතනය නිසා තුශානිගේ වැඩ කටයුතු පහසු වුණා. දැනුම හොයාගෙන යන එක කොහොමටත් තුශානිගේ ජීවිතේ හුරුවක් වෙලා තිබුන නිසා අන්තර්ජාලයට පිවිසෙන්න ලැබුණු ඉඩෙන් තුශානි තව තව දැනුමෙන් පොහොසත් වුනා.
දොළහ වසරේ පලවෙනි වාර විභාගෙන් තුශානි පන්තියේ දෙවෙනියා වුන ආරංචිය තුශානිගේ අම්මටයි තාත්තටයි අරගෙන ආවේ මහා සන්තෝශයක්. ඒ දෙන්නා හැසිරුනේ තුශානි උසස්පෙළ සමත් වෙලා වගේ.
“ මේක වාරේ අග විභාගේ අම්මා ..එහෙම ලොකු දෙයක් නෙවෙයි ..”
“ එහෙම තමයි .. අඩියෙන් අඩිය නේන්නම් ..ඉස්සරහට යන්න ඕනි මගේ දෙයියෝ… ඔහොමම ඉස්සරහට යන්න ඕනි මගේ පුතේ ..”
අම්මගෙයි තාත්තාගෙයි ඒ සතුට දිහා බලාගෙන තුශානි තව තව මහන්සි වුනා. ඉගෙනගන්න එක ඇරෙන්න තමන්ගේ ජීවිතේට තව ඉලක්ක නැති බව හිතාගෙන ඉස්සරහටම වැඩ කලා. අවුරුද්ද, දෙක ගෙවුනා.
ඒත් හැමදේම වෙනස් වුනේ තුශානිගේ ජංගම දුරකතනයට වැරදිලා ආව ඇමතුමක් නිසා. නන්නාදුනන අංකයට ආයෙම තුශානි ගත්ත ඇමතුමෙන් පස්සේ , තුශානිගේ ජීවිතේ වෙනස් වුනා.
නන්නාඳුනන ඇමතුමේ අයිතිකාරයා තුශානිගේ ජීව්තේ වැඩි ඉඩක් අයිති කරගත්තා. ඉගෙනගන්න එක දෙවෙනි තැනට වැටුණා. හැම වෙලාවෙම නන්නාඳුනන අංකයෙන් එන ඇමතුමක් , කෙටි පණිවිඩයක් වෙනුවෙන් තුශානි මඟ බලන්න ගත්තා. අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් හිතක් නැති තරමටම තුශානිගේ හිත කලබල වුනා. හිත ඇතුලේ පිරුණේම ඉගෙනගැනීම ඉවතට කරන දේවල් කියන එකවත්, තුශානිට සිහියට ආවෙ නැ.
“ කාත් එක්කද ළමයා ඔච්චර කතාව ?..”
අම්මා එහෙම අහන එකත් පුරුද්දට ගියා.
“ මේ පාඩමක් අහනවා අම්මේ..”
තුශානි එහෙම කියන එකත් පුරුද්දට ගියා.
උසස්පෙළට කිට්ටු වෙන වගක්වත් තුශානිට නොදැනෙන තරමට තුශානි අන්ධ වෙලා , බීරි වෙලා වගෙයි හැසිරුනෙ.
උසස්පෙළ ප්‍රතිපල ආවාට පස්සේ තුශානි පියවි සිහියට ආවා. නන්නාදුනන ඇමතුමේ අයිතිකාරයාට තුශානිව ටික ටික එපා වෙන්න ගත්තා.
“ අනේ මට හරි දුකයි .. මම විෂයන් දෙකකම ෆේල් කරගනීවි කියලා අපේ අම්මලා හීනෙකින්වත් හිතුවේ නැහැ …….. අම්මා දුක පෙන්නන්නේ නැහැ. ඒත් අම්මයි තාත්තයි ඉන්නේ හරිම දුකෙන්… මට පේපරේ වෙලාවේ මුකුත්ම මතක් වුනේ නෑ අප්පා.. මට තේරුනේ නැහැ මට මොකක් වෙලාද කියලා …”
පෙම් බස් වෙනුවට, පොළඹව ගැනීම් වලට අනුගත වෙමින් නොවෙමින් කියවන චාටු කතා වෙනුවට දිගින් දිගටම අවලාද, අඳෝනා අහන්න සිද්ද වෙනකොට නන්නාදුනන ඇමතුම හෙමි හෙමින්ක්ෂය වුනා.
“ මොන කරුමයක්ද ඕයි .. මට ආයේ ගන්න එපා…”
මුලදි එහෙම ඇහුණා.
“ තමුසේ ඇයි මගේ හස්බන්ට කෝල් ගන්නේ.. ලැජ්ජ නැද්ද ඕයි ළමයි ඉන්න තාත්තලාගේ කරේ එල්ලෙන්න…”
ඉන් පස්සේ නන්නාදුනන ගැහැණු කට හඬක් එහෙම කිව්වා.
තුශානි පියවි සිහියට එලැඹුනේ ඉන් පස්සේ. හැමදේම කොයි තරම් නම් පැටලිලාද කියලා තුශානිට වැටහුණා.
ඒත් තුශානිට ඒ ගැන පාපොච්චාරණය කරන්න තරම් කෙනෙක් හිටියේ නැහැ.
තුශානිගේ ඇස් ඇරුනේ ඊට පස්සේ.
දවස් ගානක් වැය කරලා තුශානි සටහන් ආයෙම කලමණාකරණය කර ගත්තා.
මඟ ඇරිලා තිබුණ සටහන් හොයාගත්තා. කාමරේ අස් කලා.
“ ආයෙම පන්ති යන්න මගේ රත්තරන් පුතේ….තාත්තයි මායි පන්ති සල්ලි දෙන්නම් …”
“ එහෙම ඕනි නැහැ අම්මේ .. මේ සටහන් ඔක්කොම තියෙනවානේ… ඕනි වුනොත් මම ඔන්ලයින් රිවිශන් එකකට ජොයින් වෙනවා… මඟට වියදම් වෙන කාලෙත් අපරාදේ නේ .. මම ගෙදෙට්ට වෙලා පාඩම් වැඩ කරන්නම් ….”
ඉන් පස්සෙත් කිහිප වතාවක්ම නන්නාඳුනන අංකයෙන් ඇමතුම් ආවත්, තුශානි ඒ එකකටවත් පිළිතුරු දුන්නේ නෑ. අන්තිමේදි හිත හයිය කරගෙන ඒ අංකය අවහිර කරලාම දැම්මා. ඊට පස්සේ තිබුණ මාස හතරේ තුශානි එක හැල්මේ වැඩ කලා. අරමුන පැහැදිලි කරගත්තා. අම්මගෙයි, තාත්තාගෙයි හිනාව මවා ගත්තා.එහෙන් මෙහෙන් ඇහෙන හිත රිදෙන කතා මායිම් නොකරම අතෑරියා.
දෙවෙනි වතාවට උසස්පෙළට මුහුණ දුන්නේ, අතිශය හයිය ගැහැණු ළමයෙක්.
මාස කිහිපයක් ගත වුනා. දෙවෙනි වතාවේ උසස්පෙළ ප්‍රතිපල ආවා. අම්මලාගේ අකමැත්තෙන් උනත් ඒ වෙද්දි තුශානි තේ ෆැක්ටරි එකේ රස්සාවකුත් කරමින් උන්නේ. රස්සාවේ ඉන්න වෙලාවේදි තමයි විභාග ප්‍රතිඵල ආවා කියන කතාව දැනගන්න ලැබුණේ.
“ අම්මේ …. මම විභාගේ උඩින්ම පාස් වෙලා ….”
අම්මලාට වඩා පැහැදිලිව තේරෙන්න එහෙම කියාගෙන තුශානි තේ පඳුරු අස්සෙන් දිව්වා.
.
.
.
අවුරුදු අටක් ගෙවුනා. දැන් තුශානි කොත්මලේ නීතීඥ්වරියක් ළඟ රැකියාව පුරුදු වෙන ගමන් ඉන්නේ. ඒ ලැබෙන වැටුපෙන් ඇය ඉස්සෙල්ලාම කලේ අම්මලාව නගරයේ ඇනෙක්ස් එකකට එක්ක ගිය එක.
“ අනේ අපට මෙව්වා මොකටද පුතේ .. අපි මෙහෙම මේ කාමරේ ඉන්නම් … අනෙක තේ කෑල්ලේ වැඩට නොගිහින් ඉන්නේ කොහොමද අපි ?..”
“අනේ අම්මේ.. ආයේ තේ කෑල්ලේ වැඩට අම්මා යන්න ඕනි නෑ .. අම්මලා ගෙදෙට්ට වෙලා ඉන්න …. ආයේ කොහෙත්තම යන්නේ නෑ වැඩට …”
අම්මලාට තුශානිගේ කීම ඉක්මවා යන්න ලැබුනේ නැහැ.
තව අවුරුදු තුනක් යද්දි තුශානි අඳුරගත්ත තරුණ විදුහල්පතිවරයෙක් එක්කල විවාහ වුනා.
“ දැන් නම් මම මැරිලා ගියත් කමක් නැහැ..”
තුශානි පෝරුවෙන් බහින වෙලාවේ අම්මා එහෙම කිව්වා බව තුශානිට කිව්වේ යාලුවෙක්. ජීවිතේට වස්සානය එන්න ගත්තේ විවාහයෙන් පස්සේ. තුශානි ධනාත්මක චින්තනය ගැන දේශන පවත්වන්න ගත්තේ පාසැල් දරුවන් වෙනුවෙන්, සමාජ සේවයක් විදියට හිතලා.
“ පලවෙනි වතාවේ විභාගේ කරන්න ගිහින් මගේ හිතේ අනාගතේ ගැණ තිබුණ හැම බලාපොරොත්තුවක්ම නැති වුනා… ඒත් දෙවෙනි වතාවේ මම මහා ධෛර්යයකින් නැගිට්ටා. ඒ මාස කිහිපය නොතිබුණා නම්, අද මම මෙතන මෙහෙම නැහැ… පුතාලත් ජීවිතේ අත් හැර ගන්නේ නැතුව පුරුදු කරන්න වටින හොඳම දේ තමයි ධෛර්යය කියන්නේ… ”
නිතීඥ තුශානි එහෙම කියනකොට විදුහල්පති සැමියා හරි ආඩම්බරෙන් ඒ දිහාව බලාගෙන උන්නා.











