රූපලාවන්‍ය ආලේපන ගැන දැනගෙන භාවිතාකරන්න

අද රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතා නොකරන කිසිවකුත් නැහැ.ඒ වගේම විවිධ වෙළඳ නාමයන් යටතේ විවිධ මිලගණන් යටතේ විවිධ රුපලාවන්‍ය ආලේපන වෙළඳ පොළ ආක්‍රමණය කරමින් සිටිනවා.ඉතින් මේ සියල්ල අතරින් අපට වඩාත් සුදුසු ආලේපන වර්ගය කුමක්ද කියා අප තෝරාගත යුතුවන්නේ නැත්නම් අපගේ සමට ඉන් හානි සිදුවිය හැකිවන නිසා.

නිෂ්පාදනය ගැන සොයාබලන්න

නම නොදන්නා ආගන්තුක නිෂ්පාදන භාවිතා නොකිරීමට වග බලා ගන්න.පිළිගත් වෙළඳ නාමයන් තෝරාගන්න.අන්තර්ජාලය ඔස්සේ නිෂ්පාදනය පිලිබඳ එහි වගකීම් සහගත බව පිලිබඳ වැඩි දුරටත් සොයා බලන්න.නිෂ්පාදිත දිනය,කල් ඉකුත්වන දිනය,වෙළඳ පොළට ගිය දිනය පිලිබඳ සැළකිලිමත් වන්න.ඒ වගේම භාවිතයට දී ඇති උපදෙස් ගැන හොඳින් අවධානය යොමු කරන්න.

භාෂාව දන්නවාද

රුපලාවන්‍ය නිෂ්පාදනයක් තෝරාගැනීමේදී එහි භාෂාව ගැන සැළකිලිමත් විය යුතුවනවා.අරාබි,තායි,කොරියන්,චීන,ජපන් ආදී ඒ ඒ රටවලට ආවේණික භාෂාවන්ගෙන් පමණක් නිෂ්පාදනයේ තොරතුරු සටහන් කර තිබේ නම් එයින් අදහස් වන්නේ එම රටේ දේශගුණයට ගැලපෙන ලෙස නිෂ්පාදනය කර ඇතිබව වනවා. අපනයනය කිරීමට සැකසු නිෂ්පාදන වල ඉංග්‍රීසි භාෂාවෙන් හෝ එම අදාල රටේ භාෂාවෙන් තොරතුරු සටහන් කර තිබෙනවා.

සම හඳුනාගන්න

සම කියන්නේ ඉතාමත්ම සංවේදී ඉන්ද්‍රියයක්.ඉතින් අපේ සමට ගැළපෙන ආලේපන තෝරා ගැනීම පිළිබඳව අප මනාව සැළකිලිමත් විය යුතුයි.රුපලාවන්‍ය ආලේපන බොහොමයක් නිපදවන්නේ සම සහ හිසකෙස් ඉලක්කකරගෙන.ඉතින් මේ හඳුනා ගැනීම අනිවාර්යයෙන්ම වැදගත්.ඔබට තිබෙන්නේ සාමාන්‍ය සමක්ද ,තෙල් සහිත සමක්ද,වියළි සමක්ද ඒ වගේම හිසකෙස්වල ස්වාභාවය කොහොමද,හිස් හොරි වැනි රෝග කාරක තත්ත්ව තිබෙනවාද යන්න ගැන මනාව අවබෝධයකින් සිටිය යුතු වනවා.අසුරණයේ අලංකාරයට,සුවඳට,වර්ණවත් බවට ,වෙළඳ දැන්වීම වලට,නොව අනිවාර්යයෙන්ම තමාගේ සමට සුදුසු ආලේපනය තෝරාගත යුතු වනවා.

නිවැරදි නිෂ්පාදනය තෝරා ගැනීම

රුපාලාවන්ය නිෂ්පාදන අතරින් සම සඳහා නිෂ්පාදනය වන ආලේපන වර්ග දෙකකට බෙදෙනවා.ඒ මුහුණ ට නිෂ්පාදිත ආලේපන සහ ශරීරයට නිෂ්පාදිත ආලේපන ලෙසට.එම ආලේපනත් ඩේ ක්‍රීම්,නයිට් ක්‍රීම්,වයිට්නින් ක්‍රීම්,සන් ක්‍රීම්,ෆුට් ක්‍රීම්,බොඩි ලෝෂන්,ෆේස් වොෂ්,බොඩි වොෂ්,ආදී ලෙස වර්ග රැසකට බෙදෙනවා.

1.මුහුණට ගැලපෙන ක්‍රීම් වර්ගයක් ආලේප කළවිට විනාඩි 4 -5 අතර කාලයකදී තොල උඩ සහ මුහුණේ දහදිය දමනවා නම් එම ක්‍රීම් වර්ගය ඔබගේ සමට ගැළපෙන්නේ නැහැ.

2.විස්තර පත්‍රිකාවක් අඩංගු වී තිබේනම් පමණක් මිළදී ගන්න

3.සන් ක්‍රීම් වර්ගයක් තෝරා ගැනීමේදී එම ක්‍රීම් වර්ගයේ SPF අගයක් සටහන් වී තිබෙනවා.එම අගය 40 /50 අතර තිබෙන ආලේපන අප රටට වඩාත් සුදුසු වනවා.

4.බොඩි ලෝෂන් වලින් කරන්නේ සමේ තෙතමනය රඳවා ගැනීම.වයස අවුරුදු 40 පසු වූ අය සහ වායුසමීකරණ ඇසුරේ සිටින අය අනිවාර්යයෙන්ම බොඩි ලෝෂන් වර්ගයක් භාවිතා කළ යුතුම වනවා.

ගැලපෙන ෂැම්පු වර්ගයක්

පළමුව තම හිසකෙස් වර්ගය හඳුනා ගතයුතු වනවා .තෝරා ගන්නා ෂැම්පු වර්ගය PH 5.5-6.5 අතර ප්‍රමාණයක් තිබීම ඉතාමත්ම වැදගත් වනවා.

මේ සියල්ල අතරතුර නිතරම ස්වාභාවික ආලේපන වර්ගද ඔබට තෝරාගත හැකියි.ඉන් සැමට ශරීරයට වන හානිය ඉතාමත්ම අවම වනවා.

– චම්මි –

 

Related Articles

Don't Miss


Latest Articles