කාන්තාවන්ගේ ජීවිත අමිහිරි කරන පිරිමින් ළඟ දක්නට ලැබෙන අහිතකර පුරුදු 9 ක්.

දෙදෙනෙකුගේ එක්වීමක් තුළින් ගොඩනැගෙන විවාහ ජීවිතයක වටිනාම දේ තමයි දෙදෙනා අතර ඇතිවන අන්‍යෝන්‍ය අවබෝධය. ඔහු ගැන ඔබටත් ඔබ ගැන ඔහුටත් හොඳ අවබෝධයක් පවතිනවානම් බොහෝ ගැටළු ඇතිවන්නේ නැහැ. කෙනෙක් ව තේරුම්ගන්න එක තරම් අමාරු වැඩක් මේ ලෝකෙ තවත් නෑ කියල ඔබට හිතෙන්න පුළුවන්. ඇත්තටම සමහරවිට තමා තුළ සිටින පුද්ගලයා පවා හරිහැටි තේරුම්ගන්නට අපට නොහැකියි.

හැම කෙනෙකුගේ ම මනෝභාවයන් ක්ෂණයකින් වෙනස් වන සුළුයි. කෙනෙක් ගැන හොඳයි හෝ නරකයි කියලා පූර්ව නිගමනවලට එළඹෙන්න අපහසුවන්නෙත් ඒ නිසාමයි. කොහොමවුණත් විවාහයක් ඇතුළෙ වෙන්න ඕනේ ගැළපීමක්. ගැළපීම කියන්නෙ ඔබ හිතන විදියට ම එයත් හිතන්න ඕනේ කියන එක නම් නෙවෙයි. ඔබ අයිස්ක්‍රීම් කනවිට ඔහුත් අයිස්ක්‍රීම් කන්නේ සමහරවිට ඔබේ කැමැත්තට ඉඩදීමක් හැටියට විතරක් වෙන්න පුළුවනි. හැබැයි ඒ කරන කැපකිරීම ගැන ඔහු ඉන්නේ පසුතැවිල්ලකින් නම් එය සාර්ථක වෙන්නේ නැහැ.

අනුගතවීම, කැපකිරීම, හුරුවීම විවාහ ජීවිතයක දී සැහැල්ලුවෙන් අත්විඳින්න ඕනෑම කෙනෙක් සූදානම් විය යුතු බව තමයි මගේ පෞද්ගලික හැඟීම. ඉතින් මේ සැහැල්ලු අනුගතවීම් දිගින් දිගටම කරන්න අපහසු වෙන්නෙ සැමියන්ගේ හෝ බිරින්දෑවරුන්ගේ සමහර පුරුදු, දිගින් දිගටම කරන වැරදි වළක්වා ගන්නට බැරි වන අවස්ථාවල දීයි. බිරිඳක් හැටියට ඔබ තුළ ඇති සැමියන් නොඉවසන පුරුදු ඉදිරි ලිපියකින් අපි සොයා බලමු. සැමියන් විසින් අත්හැරිය යුතු යැයි හෝ පාලනය කරගත යුතු යැයි ඔබ හිතන, ඔබේ ඉවසීම පරදනසුළු සැමියන්ගේ නරක පුරුදු ගැන මේ ලිපියෙන් ඉදිරිපත් කරන්න මම හිතුවා. මේක ඔබ හරිම පරිස්සමින් මුහුණදිය යුතු තත්වයක්. ඉවසලා බැරිම තැනදිත් ඉවසීම තමයි ඉවසීමේ සීමාවේ ඔබ සිටිය යුතු හොඳම තැන වෙන්නේ. ඉතින් කෙනෙක් මුළුමනින් ම අපට ඕනෑහැටියට හැඩගස්වන්න යාම හෝ එසේ කළ හැකියැයි සිතීම අනුවණ කටයුත්තක්. ඒත් ඔබේ සැමියා සමඟ විවාහ ජීවිතය නොබිඳී ඉදිරියට පවත්වාගෙන යන්නට නම් ඔහුගේ සමහර පුරුදුවලින් අත්මිදෙන ලෙස ඔහුට ඇරයුම් කළ යුතුයි.

අසීමිත දුරකථන භාවිතය

සමහර රැකියාවල හෝ ව්‍යාපාරික කටයුතුවල ස්වභාවය එක්ක සැමියන්ට දුරකථනයේ රැඳෙන්නට සිදුවන වාර ගණන හා එක් ඇමතුමක රැඳෙන්නට සිදුවන වේලාව අසීමිත විම ප්‍රායෝගිකව නතර කළ නොහැකි තත්වයක් පවතින්නට පුළුවනි. ඉතින් එහෙම අවස්ථා තේරුම් නොගෙන ඔහුට වරද පටවන්න එපා. හැබැයි කාලය නිකරුණේ නාස්ති කරමින් මිතුරන්, නෑදෑයින් හෝ වෙනත් හිතවත් පිරිස් සමඟ නිතර නිතර දුරකථන ඇමතුම්වල කාලය ගතකරනවානම් ඒ වැය වන්නේ ඔබ දෙදෙනාට ඔබේ දරුවන්ට ඔහුට වෙන්කරන්නට තිබුණු වටිනා කාලය විය හැකි බව ඔහුට ආදරෙන් කියා දෙන්න. එය ඔබේ මානසික ආතතිය වැඩිකරගන්නා තනි ප්‍රශ්නයක් කරගන්න එපා. ඔහු සමඟ ඒ ගැන විවෘත ව හොඳින් කතාකරන්න.

අසීමිත සමාජ ජාලා පරිහරණය

සමාජ ජාලාවල සැරිසරන්නේ නැති කෙනෙක් හොයාගන්නට බැරි තරමට සමාජ ජාලා හැම කෙනෙක්වම ආකර්ෂණය කරගෙන අවසන්. ඉතින් ඔහුත් එහි තවත් එක් අයෙක් විතරයි. සමාජ ජාලා පරිහරණය කරමින් ඔහු ගත කරන කාලය අසීමිත යැයි ඔබ සිතුවත් ඔහුට එය නොදැනීම හේතුව විය හැකියි. මේ ගැනත් වරදකාරී ප්‍රවේශයකින් නොවෙයි, ඉතා හොඳින් විවෘත ව ඔහු එක්ක කතාකරන්න. ඔබේ දැක්ම සුබවාදී වන තරමට ප්‍රශ්න නිරවුල් කරගන්නට පහසු බව මතක තියාගන්න.

දුම්වැටි හා මත්පැන්

බොහෝ බිරින්දෑවරුන් කිසිසේත්ම අනුබලයක් ලබා නොදෙන, බොහෝ පවුල් ආරවුල් නිවස තුළ ඇතිවන ගැටළුවක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවනි. බටහිර රටවල නම් මත්පැන් හා දුම්වැටි භාවිතය බොහෝ කාන්තාවන්ගේ විරෝධයට ලක්වන්නේ නැහැ. එහෙත් අපේ සංස්කෘතික සමාජ වටපිටාව තුළ තවමත් පිරිමින් දුම්වැටි භාවිත කිරීම මත්පැන් පානය කිසිසේත් අනුමත කරන්නේ නැහැ. කෙසේ වෙතත් ඔබේ සැමියා මේ පුරුද්ද කරගෙන යනවානම් එය පාලනය කරන්නට හෝ නතර කරන්නට යාමෙන් එක්වර ම ඔබට ප්‍රතිඵල අත්දකින්නට පහසු නැහැ. දුම්වැටි සහ මත්පැන් සඳහා දිනපතා වැයවන මුදල, ඒ නිසා ඔහුට සහ පවුලට ඇතිවන සෞඛ්‍යමය හා ආර්ථික බලපෑම ගැන දිගින් දිග්‍ටම කතාකළත් ඔහු ඉන් මුදවාගන්නට ඔබ අපොහොසත් වී ඉන්නවා නම් මානසික පීඩනය නඩත්තු කරන්නට යන්න එපා. ඔහු සමඟ කතාකර විසඳාගන්නට උත්සාහ දරන්න. නොහැකිනම් මේ පිළිබඳ උපදේශන සේවාවක් වෙත යොමුවන්න.

පරිගණක ක්‍රීඩා

පරිගණකය අසල ඉඳගත් පසු ගෙදරට අලියෙක් කොටියෙක් ආවත් වගේවගක් නැති සැමියන් ගැන සමහර බිරින්දෑවරුන් නිතර ඉන්නේ කනස්සල්ලෙන්. ගෙදර සහයෝගයෙන් කරන්නට ඇති වැඩකටයුතු පවා මගහැරදමමින් මේ ආකාරයට වගකීම් විරහිතව කටයුතු කරන පිරිමින් නිසා පීඩා විඳින බිරිඳක් බවට ඔබත් පත්වෙන්න එපා. මිනිසුන් ජීවිතයේ තෘප්තිය අපේක්ෂා කරන විවිධ ස්වභාවයන් තියෙනවා. කාලයෙන් කාලයට මිනිස් ආශාවන් සහ ඒවා සංතෘප්ත කරගන්නා ආකාරයන් විවිධ වෙන්නට පුළුවනි. ඉතින් ඔහුට යම් කාලයක් ඒ සඳහා ලබා දී බලන්න. එහෙත් පුරුද්ද ඇබ්බැහියක් වන්නට පෙර එයින් අත්මිදෙන්නට ඔහුට යෝජනා කරන්න.

පොත්/පත්තර/රූපවාහිනී/චිත්‍රපට වෙත ඇලී සිටීම

ගෘහ කටයුතුවල වැඩි වගකීම බිරින්දෑවරුන් ගත යුතු යැයි සිතන සාම්ප්‍රදායික පිරිමින් තවමත් ඉන්නවා. ඒ නිසාම ඇයට සහාය වීම පිරිමිකමට මදිපුංචිකමක් හැටියට හිතමින් ඇය නිවසේ ඉවුම් පිහුම් කරන කාලය, රෙදි , වළං සෝදන කාලය, දරුවන්ගේ කටයුතු කරන කාලය ඔහු රූපවාහිනී නරඹන්නට, පොත්පත් බලන්නට යොදාගන්නවා. ඉතින් මේ නිසා බිරින්දෑවරුන් සිත්පීඩා නඩත්තු කරගෙන වැඩවල යෙදීම විවාහ ජීවිතයට සෞඛ්‍යසම්පන්න වන්නේ නැහැ. ඔහු තමන්ට සහාය වනවාට බොහෝ සහකාරියන් කැමතියි. පොත්පත් බැලීම හෝ රූපවාහිනී නැරඹීම නරක පුරුද්දක් නොවුණත් එය අමිහිරි කටුක දසුනක් ලෙස බිරිඳට දැනෙන්නේ ඒ නිසයි. ඉතින් සහයෝගයෙන් මේ ගැටළු ලිහාගන්න. චෝදනා, රැවුම් ගෙරවුම්වලින් ප්‍රතිචාර දක්වනවා වෙනුවට සුහද කතාබහ වැඩි කරගනිමින් ඔහුගේ පුරුද්ද ටිකෙන් ටික වෙනස් කරන්න.

සමාජ ශාලාවලට යාම

සැමියන් රාත්‍රී කාලයේ සමාජ ශාලාවලට යාම පුරුද්දක් කරගැනීම නිසා පීඩා විඳින කාන්තාවන් බොහෝ දෙනෙක් අප අතර ඉන්නවා. දරුවන් ගැන තමන්ගේ දෙමව්පියන් ගැන, බිරිඳ ගැන වගකීම්සහගතව හිතන්නට හෝ ඔවුන් වෙනුවෙන් දවසේ වෙන්කරන්නට එවැනි පිරිමින්ට කාලයක් ඇත්තේ ම නැහැ. ඉහළ සහ මධ්‍යම පාන්තික නාගරික පිරිස් අතර මේ පුරුද්ද ඇබ්බැහියක් බවට පත්ව ඇති තැන් බොහෝ තිබෙනවා. ඇතැම් පිරිමින් මේ හරහා තමන්ගේ ව්‍යාපාරික සම්බන්ධතා නඩත්තු කිරීම සහ සමාජ පන්තිය රැකගැනීම වෙනුවෙන් මේ පුරුද්ද හිතාමතා ඇතිකරගන්නා අවස්ථා ද තිබෙනවා. කෙසේවෙතත් පවුල් ජීවිතයක් සාර්ථකව පවත්වාගෙන යාමේ දී බිරින්දෑවරුන් අකමැති පුරුදු දිගින් දිගටම නඩත්තු කරගෙන යාම කොහොමටවත් යහපත් වන්නේ නැහැ.

අධික මිතුරන් ඇසුර

නිවසේ රැඳී සිටිනවාට වඩා වැඩි කාලයක් මිතුරන් සමඟ ගත කරන්නට සැමියන් යොමුවීමත් බිරින්දෑවරුන්ට ඇතිවන තවත් පීඩාවක්. විවාහ වන්නට පෙර ඔහුට සිටි මිතුරන් ජාලය අඩුකරගන්නට ඔහුගේ අකමැත්ත ඊට හේතුව විය හැකියි. එහෙත් විවාහ ජීවිතයක දී යම් යම් සීමාවන් තුළ රැඳී සිටිමින් මිතුරන් නඩත්තු කරන්නට සිදුවන බව ඔහු අවබෝධ කරගත යුතුයි. ඒ ගැන ඔහු සමඟ හොඳින් කතාකරන්න. පවුල් ජීවිතයේ වගකීම ඔහුට තෝරා දෙන්න.

මුදල් නාස්තිය

අවශ්‍ය දේවල් බොහෝ මගහැර දමමින් අනවශ්‍ය දේ වෙනුවෙන් මුදල් නාස්තිකිරීම ඔහු පුරුද්දක් කරගෙන ඉන්නවාද? සමාජ සම්බන්ධතා නඩත්තු කරන්නට හෝ මිතුරන් නඩත්තු කරන්නට හෝ තමන්ගේ පෞර්ෂත්වය නඩත්තු කරන්නට හෝ අධිකව මුදල් වියපැහැදම් කිරීම ඔබේ ආර්ථික ශක්තියට ඔරොත්තු නොදෙනවානම් පවුලේ අඩදබර ඇරඹෙන තැන එතැන විය හැකියි. ඔහු පුරුද්දක් වශයෙන් නිකරුණේ මුදල් නාස්ති කරන බව ඔබට හැඟෙනවානම් ඒ ගැන ඉක්මණින් ම කතාකරන්න. ඔහුට නොවැටහෙන කරුණු සිහිගන්වන්න. ඔබ නාස්තිකිරීමක් හැටියට සලකන කරුණක් ඔහු ඉතා වැදගත් කොට හුවා දක්වනවානම් මධ්‍යස්ථව තීරණයක් ගන්න.

මත්ද්‍රව්‍ය භාවිතය

මත්ද්‍රව්‍ය භාවිතය, මත්පැන් දුම්වැටිවලටත් වඩා අතිශයින් ම හානිකර ප්‍රතිඵල පවුල් ජීවිතයට එක්වෙන පුරුද්දක්. ඇත්තෙන්ම මේ කාරණාවේ දී ඔබේ සැමියා ගැන ඔබ මානසික පීඩාවකට පත්වීම වැළැක්විය නොහැකි තත්වයක්. දරුවන්ට පවුලේ අනික් අයට වගේම ඔබ දෙදෙනාගේ පවුල් ජීවිතයට අතිශයින්ම අමිහිරි බලපෑමක් මේ නිසා ඇතිවන අවදානමක් තියෙනවා. ඉතින් පීඩා විඳීම වෙනුවට උපදේශනයට සහ වෛද්‍ය ප්‍රතිකාර වෙත ඔබේ සැමිය ඉතා ඉක්මණින් ම යොමු කරවන්න. මේ තත්වය ඔහුගෙන් ඉවත් කළ හැකියි. අනවශ්‍ය ලෙස කලබල වීම වෙනුවට වගකීම්සහගතව ප්‍රශ්නයට මුහුණ දෙන්න.

එකිනෙකාගේ ජීවිතවල කැමැති සහ අකැමති දේ විවිධාකාරයි. ඒවාට සීමා පනවන්නට, කොන්දේසි දමන්නට හෝ උදුරා දමන්නට අපහසුයි. එහෙත් එක්ව ගතකරන පවුල් ජීවිතයක් තුළ එකිනෙකා වෙනුවෙන් බැඳෙනවා යන්නෙන් අදහස් කරන්නේ අනෙකා වෙනුවෙන් සීමාව ඉවසීමයි. කැපවීම දරාගැනීමයි. ආතතියෙක් තොර පවුල් ජීවිතයකට ආදරය කරනවානම් ඔබ ඊට හුරු විය යුතුමයි.

Related Articles

Don't Miss


Latest Articles