ගමෙන් නගරයට එන බොහෝ කෙල්ලන් මග වරදා ගන්නා බව මා අසා තිබිණි. පිරිමින් ගේ නේකාකාර මවා පෙන්වීම් ආදරය යයි තේරුම් ගෙන ඔවුන් සිය ජීවිත දරුනු අවාසනාවකට ඇද දමා ගන්නා බව මා අසා තිබුණි. මේ ටික දවසට සුරනි ද පිරිමින් ගේ මායාවන් ගැන මා දැනුවත් කොට තිබුණා ය. ඒ හින්දා ආදරය විෂයේ ප්‍රවේසම් සහගත විය යුතු බව මම දැන උන්නෙමි. සුරැකිය යුත්තේ පිරිමින් ගෙන් නොවේ. තමන් ගේ ම සිතෙනි. ඒ, බොහෝ ගැහැනුන් රැවටෙන්නේ ඇගේ හිත පිරිමියෙකු හට පෙම් කරන්නට ගැනීම නිසා ය. පෙම් නො කරන පිරිමියෙකු වෙතින් එළඹිය හැකි අතවරයකින් ගැලවීම පහසු විය හැක. නමුත් සිය හදවත පෙම් කරනා මිනිසෙකු වෙනුවෙන් ඕනෑ ම දෙයක් පාවා දී අවසන රැවටෙන්නට වීමෙන් ගැලවීම පහසු නැත.
“එපා සුරනි”
තත්පර ගණනාවක හුදෙකලා කල්පනාවකට පස්සේ මම කොඳුළෙමි. සුපර්වයිසර් වරයා එක්ක සෙල්ලමට යාම ඇඟ ට ගුණ විය නො හැකි බව මගේ ගැහැනු ඉව ට සංවේදනය වෙමින් තිබිණි.
“මේ වෙලාවෙ එක පාරට ම ජොබ් එකක් හොයා ගන්න අමාරුයි නිසා මට ඔය රස්සාව වටිනව. සුපර්වයිසර් ට දැනුණොත් මං එයාව විහිළුවට ගත්තයි කියල…මිනිහට කේන්ති යයි”
මගේ වචනය ට සුරනි මෙල්ල වූවා ය.
“හැබැයි ඔය යකාට අහු වෙන්න එහෙම එපා”
ඇය තීරණාත්මක ලෙස කීවා ය.
“පිස්සුද අනේ…මං එච්චර බොළඳ කෙල්ලෙක් නෙවෙයි”
“අපි කවුරුත් අපි ගැන එහෙම හිතං ඉන්නව තමයි මෙව්නා…ඒත් පිරිමියෙක් ආදරේ අඟවල වචනයක් කතා කළොක් අපි නිකං බටර් වගේ දියවෙලා යනව. අපි හිතනව මේ මිනිහ තරං අපිට ආදරේ කරන කෙනෙක් තව නෑ කියල. හුඟාක් කෙල්ලො…විශ්ව විද්‍යාල වලට එල්නෙ උගත් කියල සම්මත උන්නෙ. උංගෙං කී දෙනෙක් පිරිමි කතා වලට අහු වෙනවද කියල ඔයා දන්නවද…කැම්පස් එකේ මැදි වයසෙ ලෙක්චරර්ස්ල නිසා ගෑනු ළමයි කී දෙනෙක් විනාස වෙනවද…මේ සමාජෙ එළි පිට කතා නො කරන ඇත්ත තමයි ඒ. අන්තිමට හැමෝම කෙල්ලට ම දොස් කියල නිකං ඉන්නව. ගෑනු වුණාම දැන ගන්න එපැයි කියල”
සුරනි කොළඹ ට පැමිණ තිබෙන්නේ මට වඩා වසර දෙක තුනකට කලිනි. ඒ හින්දා ම ඕ අත්දැකීම් අතින් පරිනත වී සිටියා ය. මට ඍජු ව ඒවා අත් විඳින්නට නොදී ඉන් ගලවා ගැනීමේ අවංක චේතනාවක් ද ඇය ට තිබිණි.
“මොකද අපේ මැසේජ් වලට රිප්ලයි නැත්තෙ…”
උදේ සුපර්වයිසර් වරයා මට ලං ව කිසිවෙකු ට නෑසෙන්නට විමසුවේ ය. මම මඳ සිනහවක් නගා ගතිමි.
“බයද…”
ඔහු වඩාත් රහසිගත ස්වරයකින් පිළිවිසී ය. මොකක්දෝ අප්‍රසන්න හැඟීමක් මට දැනිණ. නමුත් මගේ යටි සිත සිනහ වුණේ ය.
“ඔයා හරි ලස්සනයි”
“අනේ සර් අපි වගේ හේන් වල අව්වට කර වෙච්ච කෙල්ලන්ගෙ මොන ලස්සනක්ද..”
“ඒ ලස්සන පේන්නෙ අපේ ඇස් වලටනෙ”
මම පිළිවදන් දෙන්නට නො ගියෙමි. මගේ පාඩුවේ වැඩ ටික කර ගෙන රැකියාව රැක ගැනීම දැන් මගේ ඒකායන අරමුණ වී තියේ.
එදා සන්ධ්‍යාවේ මා පිරිසිඳු කිරීම් කළ ස්ථානයේ සිට යළි ආයතනයට පිවිසෙත්දී සුපර්වයිසර් වරයා ගෙන් නැවත පණිවිඩයක් ආවේ ය.
“එළියෙදි හම්බ වෙමුද”
කියා එහි විමසා තිබුණේ ය. මා ප්‍රතිචාර නො දැක්වූයෙන් ඔහු ගේ මූණේ හොඳක් වූයේ නැත.
“මොකද අනේ මැසේජස් වලට රිප්ලයි කරන්නෙ නැත්තෙ…”
“නෑ ඉතිං මං ඔෆිස් එකට එන ගමන්නෙ හිටියෙ. කියන්න තියෙන දේ සර්ට මෙහෙදි කියන්න පුළුවන් නිසයි රිප්ලයි කළේ නැත්තෙ”
මා කතා කළේ ගමේ ගොඩේ මෝඩ කෙල්ලකගේ ලීලාවෙනි.
“පිස්සු කෙල්ල”
හෙතෙම ජයග්‍රාහී සිනහවකින් කීවේ ය.
“ඔයා යන්න. බස් හෝල්ට් එකේ ඉන්න. මං එන්නංකො”
ඒ ඇස් වල වූයේ රාගයේ උල්පතකි. මා උත්සාහ කළේ එවැන්නක් නො දැනුණ සෙයින් ඉන්නට ම ය.
“ඉතිං සර් දැන් කියන්නකො”
“මට ඔයාගෙ ලස්සන බලන්න ඕනෙ. තේරෙන්නැද්ද මං ඔයාට ආදරෙයි කියල”
අත දිග හැර ඔහු ගේ කම්මුල් මතට පහරක් එල්ල කරන්නට මට නො සිතුණා නොවේ. නමුත් ගොනා හැරෙන්නේ පොල් පැළයට බව මුල සිට ම දැන සිටි බැවින් මම ඉවසා ගතිමි.
“සර් බැඳලනෙ..”
එවර ඔහු සුසුමක් හෙළුවේ ය.
“බැඳලනං තමයි. නමට…”
සුපර්වයිසර් වරයා දක්ෂ නළුවෙකු බව වටහා ගත හැකි ලෙස ඔහු සිය මුහුණේ ශෝකාකූල ඉරියව් ඇඳ ගත්තේ ය.
“ඒ කසාදෙ ඇතුළෙ මං විඳින දුක මං විතරයි දන්නෙ. ඔයාව දැක්කහම මට හිතුණා ඒ සේරම දමල ගහල ඔයා ළඟට එන්න ඇත්තං කියල”
ඒ රංගනයට කෙල්ලක රැවටීම ගැන කිසි සේත් පුදුම නො විය යුතු ය. ඒ විදිහට ජීවිතයේ දුක ගැන කියා කෙල්ලන් ගේ අනුකම්පාව දිනා ගෙන, ඔවුන් ගේ ජීවිත විනාශය කරා ඇද දැමීම මෙවන් පිරිමින් පුරුද්දක් බවට පත් කර ගෙන ඇති සැටියකි. සුපර්වයිසර් වරයා ට ද මේ රංගනය ගැන මනා පුහුණුවක් ඇති බව පෙනෙන්නට තිබුණේ ය.
“ඔයාට කියන්න ලොකු කතාවක් තියෙනව මෙව්නා. ඒක ඇහුවහම ඔයා අඬයි. අපි එළියෙදි කතා කරමු. ම්…”
“සර්…මට පරක්කු වෙලා මං ඉන්න තැනට යන්න බෑ. ඒ ප්‍රින්සිපල් සර් බලනව යන එන වෙලාව”
ඔහු ගෙන් ගැලවීමට ම බැරි තැන මම බොරුවක් කීවෙමි.
“මොකද්ද ළමයො. මං වෙනුවෙන් ඔයාට පොඩි බොරුවක් කියන්න බැරිද…යමු…ම්…මං පව් කියල හිතෙන්නැද්ද…”
ඒ මවා පෙන්වන සියල්ලට රැවටී ඔහු වෙත යන කෙල්ලකට පළමු වතාවේ දී ම ඔහු මග වරදා ලනු ඇත. ඒ විනාශය මෙතනට ආ ගැහැනුන් කී දෙනෙකු හට සිදු වන්නට ඇත් ද?
“අනේ සොරි සර්. ප්‍රින්සිපල් සර් වසයි. එයා අපේ ගෙදරටත් කියයි වැඩ ඇරිල මං වෙලාවට එන්නෑ කියල”
මා ඔහු ගෙන් ගැලවී ආවේ බොහෝ අමාරුවෙනි. නමුත් හදවත තුළ අමුතු සතුටක් කැළමෙින් තිබිණි. දැන් මම පිරිමි මායාවන් ගැන අත්දැකීම් සහිත අවබෝධයක් ලබා ගෙන හිඳිමි.
මා වැඩ කළ පිරිසිඳු කිරීමේ සේවා සපයන ආයතනය පිහිටියේ කොහුවල පසු කොට මඳක් කොළඹ දෙසට යන කල ය. එකසිය විස්ස බසයක නැගී වුඩ්ලන්ඩ් හන්දියෙන් බහින්නට පුළුවන. නමුත් ඒ වෙලාවට බස් වල වන්නේ අධික තද බදයකි. ඒ තදබදය වාසියක් කර ගෙන සිය හැඟීම් සපුරා ගන්නට තැත් කරන පිරිමින් ගේ ගොදුරු බවට පත් වන්නට දෙවතාවක් ම මට සිදු විය. එහෙම මිනිසෙකු ට අතුල් පහරක් එල්ල කරන්නට හෝ දණහිස නවා ඔහු ගේ පහළ උදර පෙදෙසට පහරක් එල්ල කරන්නට ගැහැනියකට අයිතිය ඇති බව මා තේරුම් ගත්තේ පමා වී ය. මේ කරදර වල ජුගුබ්සාජනක අප්‍රසන්න බව උහුලා ගත නො හැකි තැන මා කළේ විදුහල්පති නිවසට ම පයින් එන එක ය. දවස පුරා වෙහෙසී හිඳින නිසා ඉක්මනට නවාතැන ට ගොස් නා ගන්නට ඇත්නම් කියා සිතී නැතිවා නොවේ. නමුත් හේනේ කුඹුරේ කය වෙහෙසා වැඩ කර ඇති පුරුද්ද නිසා ඒ ටික පයින් යාම මට ඒ හැටි අසීරුවක් වූයේ ද නැත. අනිත් අතට බස් ගාස්තුව ඉතිරි කර ගැනීමේ වාසිය ගැන ද මම සිතුවෙමි.
දවසක් මා එසේ පා ගමනේ එමින් සිටිය දී, කොහුවල හන්දියේ දී ත්‍රීරෝද රථයක් නැවතිණ. ඉන් බැස මදෙස විමසුම් බැල්මෙන් මුදල් ගෙව්වේ බුම්මට්ටා ය. මම මොහොතකට ගමන් වේගය බාල කළෙමි.
“කොහෙද මේ පයිං…”
ඇස් කුඩා කොට ඔහු විමසූයේ මඳහසක් නැති වතිනි. නමුත් මම ලා සිනහවක් පෑවෙමි. ඒ සිනහව, දවස පුරා වැඩ කොට අවරට යන හිරු මෙන් මළානික වූවා ද කියා මම නො දනිමි.
“පයිං යන එක ඇඟට ගුණයිනෙ”
මම කොහුවල පදික වේදිකාවේ ඇතිරූ කොංක්‍රීට් ගල් දෙස බලා ගෙන මිමිණුවෙමි.
“ආ…එක්සර්සයිස් ද…ඉතිං ජොගිං ගියානං හරිනෙ”
ඒ වෙලාවේ සිතිජ ගේ මුහුණේ මම සිත් ඇද ගන්නා සිතිජයක් දුටුවෙමි. ඉතා කළාතුරකින් ඒ වත මතට පිවිසෙන සිනහව කෙතරම් නම් ආකර්ෂණීය ද? මා ඔහු දෙස බලා සිටියා වැඩි යයි සිතුණේ, හදිසියේ ම හැරී ඔහු මා දෙස බැලූ බැවිනි.
“අනේ එහෙමම නෙවෙයි අයියෙ. අපිට ඉතිං මොන එක්සසයිසස් ද…බස් වල මහ කරදරේ අප්ප”
“කරදරේ…”
“හ්ම්. සමහර පිරිමිංගෙං. ඇඟට හේත්තු වෙන්නමයි බලන්නෙ. ඊට මීට වැඩිය හොඳයි ඔය ටික පයිං යන එක. මේ ඔෆිස් ටයිම් නිසා සෙනග වැඩීනෙ”
මම හෙමිහිට පැහැදිලි කළෙමි. ඒ මුළු කාලය පුරා ඔහු මදෙස බලා උන් බව මගේ අඩැසට දැනුණේ ය.
“අයිය ත්‍රීවීලර් එකෙන් බැස්සෙ…”
මට එය සිහි වූයේ පමා වී ය.
“ඇඟට හොඳයිනෙ…එක්සර්සයිසස්…”
මගේ මුහුණ මගහරිමින් ඔහු කීවේ ය. දෙහිවල මුහුද දෙසට බැස යමින් තිබි හිරු ගේ තැඹිලි පාට කිරණ කදම්බයක් ඔහු ගේ දකුණු කොපුල මත පතිත වී මඳ රත් පැහැයක් ඇති කොට තිබුණේ ය. පොදුවේ බහුතරයක් පිරිමින් ගැන සිතනාකාරයට මා සිතිජ ගැන නො සිතන්නේ මන්ද යන ප්රශ්නය සිත මගෙන් ම නො ඇසුවා නොවේ. නමුත් මම ඊට නිශ්චිත පිළිතුරක් නො දැන සිටියෙමි. සුපර්වයිසර් වරයා ගේ ඇස් වල වන කාමාශාව කැළතුණ සරාගී බැල්ම සිතිජ ළඟ නැත. ගෑනු ළමයින් ට දෙබිඩි අරුත් ඇති විහිළු කරන පිරිමින් ගණනාවක් ම මෙතෙක් මා රැකියාව කළ ස්ථාන වල දී මට හමු වී තිබේ. නමුත් සිතිජ කිසි විට එබඳු ආකාර වලින් වීර චරිතයක් රඟපාන්නට උත්සාහ කොට නැත. අනිත් අතට ඉතා කලාතුරකින් පමණක් දැකිය හැකි ඔහු ගේ මිලාධික සිනහව, ඔහු වටිනා පුරුෂයෙකු බව මට නො කියා කියයි. තරමක අහංකාරයකින් යුතු පිරිමි පෞරුෂ කෙරේ ගැහැනු හදවත් වල වන්නේ නිසඟ ඇල්මක් බව දැන් දැන් මට අවබෝධ වන්නට ද ගෙන තිබේ.
“ගෙදරිං කෑම කන්නෙ නැත්තෙ ආඩම්බර කමට නේ…”
උන් හිටි ගමන් ඔහු ඇහුවේ මා කිසි සේත් බලාපොරොත්තු නොවූ ප්රශ්නය කි. කැරකී අතෑරී ගියා සේ විශ්මයෙන් මම හිස නගා බැලුවෙමි.
“අනේ එහෙම නෑ අයියෙ…අනික ආඩම්බර වෙන්න මට මොනාද තියෙන්නෙ… ප්‍රින්සිපල් සර් මට මෙහෙ ටික කලකට නවතින්න දීපු එක ම ලොකු උදව්වක්. තව කරදර කරන්න ඕන නෑ. කන්නනං ඔය මොනා බැරිද අයියෙ…අනික අපි වරද්දන්නැතුව තුන් වේල කාපු මිනිස්සු නෙවෙයි. අපි එහේ ගෙවන ජීවිතේ ගැන මෙහෙ ඉන්න ඔයාලට හිතා ගන්නවත් බෑ”
“මොනාහරි ඕන දෙයක් තියනවනං කියන්න”
මගේ උගුර රිදී ගෙන ආවේ ය. ආඩම්බර වුණත් ඔහු මේ අහංකාර නගරයේ මිනිස් හදක් ඇති තරුණයෙකි. මම යටි තොල් පට සපා ගෙන බිම බලා ගතිමි. ඇස් තෙත් වී ගෙන ආවේ ආත්මානුකම්පාවකට ම නොවේ. ඒ හැඟීම කුමක් ද කියා මා දන්නේ නැත.