අහංකාර නගරේ -25

1
2263

සිතිජ මට රැකියා කිහිපයක් ම බලා තිබුණේ ය. නමුත් ඒවා ට මගේ ඉංග්‍රීසි දැනීම ප්‍රමාණවත් වූයේ නැත. ඈත එපිට ගම් දනව් වල ළමයින් ගේ ඉංග්‍රීසි දැනීම වැඩි දියුණු කිරීම පිළිබඳව, බලයට පැමිණි කිසිදු රජයක් වගකීම් සහගත ව ක්‍රියා කොට තිබුණේ නැත. නිසි ක්‍රම වේදයක් ඉදිරිපත් කොට තිබුණේ ද නැත. එවන් දුෂ්කර පාසල් වලත් ඉංග්‍රීසි කියා විෂයක් තිබුණා ට, එය උගන්වන්නට ගුරුවරු හිටියේ බෝ කලාතුරකිනි. පැමිණෙන ගුරුවරු පැමිණියේ මාරු වීමක් ලැබෙන දවසක් ගැන ඇඟිලි ගනිමිනි. ඒ නිසා උගන්වන්නට ඔවුන් ට උනන්දුවක් වූයේ නැත. උගන්වන්නට සූදානම් කෙනෙකු හිටියත්, ඇරඹුමේ සිට ම ඒ විෂය අත් හැර දැමීම නිසා හෝ කවර හෝ හේතුවකට අප්‍රසන්න විෂයක් වීම නිසා හෝ ළමයින් ඉංග්‍රීසි ඉගෙන ගත්තේත් නැත. සමහර විට ඔවුන් ට එය විහිළුවක් වූයේ ය. 

මම ඉංග්‍රීසි කතා කිරීමේ ආශාවක් ඇති ව සිටියෙමි. විෂය උගන්වන්නට පැමිණි ඇතැම් ගුරුවරියක පොත කියවූ ආකාරය දෙස මා බලා සිටියේ ආශාවෙනි. ඒ වගේ භාෂාව හසුරුවන්නට ඇත්නම් යන සිහිනය පෙරදැරිව මම හැකි තාක් උනන්දුවෙන් ඉංග්‍රීසි පාඩමට සම්බන්ධ වීමි. නමුත් පාසල් විෂය නිර්දේශයේ ඉංග්‍රීසි විෂයට අදාල විනාඩි හතළිහක කාල පරිච්ඡේදය, දරුවන් ට වෙනත් භාෂාවක් ඉගැන්වීම සඳහා කෙසේ යොදා ගන්න ද කියා කිසිවෙකු දැන සිටියා යි නො සිතමි. උපකාරක පන්තියකින් ඒ කටයුත්ත කර ගන්නට තරම් අපට වත්කමක් වූයේ නැත. 

පාසල් විෂය නිර්දේශය තුළ දරුවන් ට නිසි ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලැබෙනවා ද කියා කිසිවෙකු විමසිලිමත් නො වුණත්, රැකියා සඳහා ඔවුන් සතු දැනුම ප්‍රමාණවත් දැයි හැම කෙනෙක් ම සලකා බලති.

“මං දැං ටිකක් හරි සැලුන් වැඩ දන්න එකේ ආයෙත් එහෙම තැනකට ගිහිං බලන්නද…”

මා සිතිජ ගෙන් එසේ ඇසුවේ ඒ සඳහා අවශ්‍ය පාඨමාලා හැදෑරීම ගැනත් ඔහු මා උනන්දු කොට තිබි නිසා ය.

“අපෝ එපා එපා”

ඔහු ගත් කටට ම කීවේ ය. 

 “උපන් දා ඉඳල එක ගෙදරකම හිටිය අම්මව අඳුර ගන්නත් බැරි වෙච්ච එකේ…කොහොමද ඔය අනිත් සැලූන් වල කෙරෙන්නෙ මොනාද කියල විශ්වාස කරන්නෙ”

“හැම තැනක්ම එහෙමයි කියල කියන්න බෑනෙ”

“ඒක හරි. ඒත් අපි දන්නෙ නෑනෙ හොඳ තැන අඳුරගන්නෙ කොහොමද කියල. මං හිතන්නෙ  ඔයා ඉක්මන්ටම ඉංග්ලිෂ් ඉම්පෲව් කර ගන්න ඕන මෙව්නා. ජොබ් එකක් කළත් නො කළත් ඒක අපතේ යන්නෙ නෑ. මොකද අපේ දරුවන්ට යමක් කියල දෙන්න හරි දවසක ඒක ප්‍රයෝජනවත් වෙනව…”

සිතිජ වැඩ කළේ සැලසුමක් ඇති ව බව පෙනෙන්නට තිබුණේ ය. නමුත් බාහිර උපාධියක් ද කරන ගමන් ඉංග්‍රීසි පාඨමාලාවක නියැළෙන්නට තරම් මට මාසික වේතනයක් ලැබිය හැකි දැයි සැක සහිත ය. එපමණක් නොවේ. බෝඩිමට හා ආහාර පාණ සඳහා ද මුදල් වෙන් කොට ගත යුතු ය.

“ඉංග්‍රීසි ටිකක්නං මටත් හදා ගන්න ඕනෙ මෙව්නා. ඉතිං අපි දෙන්නම යංකො ක්ලාස් එකකට”

මගේ ප්‍රශ්නය දැන ගත් වෙලේ සුරනි කීවා ය. වෘත්තිකයන් සඳහා වන  රාත්‍රී ඉංග්‍රීසි පන්තියක් ගැන ඇය විපරම් ද කළා ය. 

“මොකක් හරි හරියනකල් නිකං කාලෙ ගත වෙන එකේ ඒ ක්ලාස් එකට යන්න. මං ඒකෙ ෆී එක ගෙවන්නං. ඔයාට ජොබ් එකක් හරි යනකල්”

සිතිජ යෝජනා කළේ ය. ඔහු ගෙන් මුදල් ගැනීම ගැන කිසිදු කැමැත්තක් නැතත්, මේ වෙලාවේ එසේ කිරීම මැනවැයි මම තීරණය කළෙමි. ඒ අතරේ බෝඩිමට යාබද නිවසක ජාත්‍යන්තර පාසලක ඉගෙන ගන්නා ළමයින් දෙදෙනෙකු සඳහා සිංහල උගන්වන්නට මට අවස්ථාව උදා වූයේ ය.

දවල් කාලයේ මා මිදුලේ බංකුව මත හිඳ පාඩම් කරත්දී, ඒ ළමයින් දෙදෙනා ගේ මව කිහිප දිනක් සිනහ වී ගියා ය. තවත් දවසක මා රෙදි සෝදා වනත්දී, වතු දෙක වෙන් වෙන කෙටි තාප්පයට එපිට සිට ‘නෑවද නංගි’ කියා ඇසුවා ය. වචනයකින් දෙකකින් එසේ ඇරඹුණ කතා බහ, මා උපාධියක් හදාරන්නියක බව දැන ගත්තා ට පස්සේ ඇගේ දරුවන් ගේ අධ්‍යාපන කටයුතු තෙක් ඇදී ගියේ ය.

“මේ ගොල්ලො සිංහල වලට හරිම දුර්වලයි නංගි. ඉන්ටනැෂනල් ස්කූල්ස් දැම්මහම ඉතිං ඇකි වෙන ප්‍රශ්නෙ තමයි. මොනා කරන්නද ඉතිං…අපිට හොඳ ඉස්කෝල හම්බ වුණෙ නැති නිසානෙ ළමයිංව ඉන්ටනැෂනල් ස්කූල්ස් යවන්න වුණේ”

කියවන්න :  අහංකාර නගරේ -05

දුප්පත් පාසල් වල ළමයින් ට ඉංග්‍රීසි පිළිබඳව වන ගැටළුව, ඔවුන් ට සිංහල පිළිබඳව වූයේ ය.

“එන්නකො මං දන්නැති දෙයක් කියල දෙන්න”

කියා මම කීවෙමි. ළමයින් දෙදෙනා මගෙන් දිගට ම සිංහල ඉගෙන ගත යුතුයි කියා තිබෙන්නේ එසේ දෙතුන් විටක් පැමිණි පසු ය.

“මං මාසෙට ගාණක් ගෙවන්නං නංගි. ළමයි දෙන්න සිංහල පන්ති කීයකට ගියාද…තේරෙන්නෑ කියල නතර වෙනව. කැමැත්තෙංම ඔයා ළඟට එන්න අහන එක මට සැනසීමක්”

ළමයින් ගේ මව වැට ළඟ හිඳ ඇසුවා ය. 

“සල්ලි වලට නෙවෙයි අක්කෙ. මං ඒ දෙන්නට මට පුළුවන් විදිහට කියල දෙන්නං”

“එහෙම කොහොමද…ඔයත් ඉගෙන ගන්න ළමයෙක්නෙ”

ඒ විදිහට ඔවුන් ගේ ගෙදර ඉස්තෝප්පුවේ පටන් ගත් සිංහල පන්තියට, පසුව එම ජාත්‍යන්තර පාසලේ ඔවුන් ගේ පන්ති වල ළමයින් කිහිප දෙනෙක් ම එකතු වූහ. සිංහල විෂය ඉගැන්වීමේ හැකියාවක් මට වෙතැයි ඊට පෙර මා දැන සිටියේ නැත. උසස් පෙළ ට සිංහල ඇතුළු කලා විෂයන් හදාරා පාසලෙන් ඉහළ ම ප්‍රතිඵල ලැබුවත් විශ්ව විද්‍යාල වරම් අහිමි ව සිටි මා, උගන්වන්නට පටන් ගත් පසු ආවේශයකට පත් වෙනවා සේ මට දැනුණේ ය. මා ඔවුන් ට ඉගැන්වූයේ කිසි දා ක ඉගැන්වීමේ ශිල්ප ක්‍රම හදාරා තිබී නොවේ. නමුත් නිසඟයෙන් ම මා තුළ ඒ සඳහා හැකියාවක් ගැබ් වී තිබෙන්නට ඇත.

ජාත්‍යන්තර පාසලේ සිට පන්තියට සම්බන්ධ වූ සිසුන් ගණන දිනපතා වැඩි වූවා පමණකුදු නොව, නිලන්ති අක්කලා ගේ ගෙදර ඉස්තෝප්පුවේ පන්ති කරනවා දුටු ඒ මාවතේ තවත් ගෙවල් කිහිපයක ළමයින් ද පන්තියට එකතු වන්නට වැඩි දවසක් ගියේ නැත. පළමු පන්ති දිනයේ ම සියලු ම සිසුන් මුදල් ගෙවූයෙන් මා අතට බලාපොරොත්තු නොවූ වෙලාවක මුදලක් ද ලැබුණේ ය. එය මගේ උනන්දුව වැඩි කළ අතර, මම විශාල කැප වීමකින් හා තව දුරටත් විෂය කරුණු හදාරමින් ඉගැන්වීමේ කටයුතු කළෙමි. ඒ නිසා ම දරුවන් ට ත් ඔවුන් ගේ දෙමාපියන් ට ත් මා ගැන වූ පැහැදීම වැඩි විය.

“තව ඉස්සරහට සෑහෙන්න ළමයිංව අමාරුවෙ දාන්න පුළුවන් වෙයි වගේ”

අප හමු වූ වෙලාවක සිතිජ බලාපොරොත්තු සහගත දෑසකින් මගේ ඇස් වලට එබී කීවේ ය. මහියංගනයෙන් කොළඹ බස් එකට නැගි අරමුණක් නො දැන සිටි කෙල්ල අවිහිංසක ලෙස හිනැහුණා ය.

“මේක මං නිකමටවත් හිතං හිටපු දෙයක් නෙවෙයි. දැනං හිටිය දේකුත් නෙවෙයි”

“එහෙම තමයි මෙව්නා. ඉරණම ලියවිලා තියෙන්නෙ කොහොමද කියල කොහෙත්ම නො දැනයි සමහර වෙලාවට අපි අපේ ගමන පටං ගන්නෙ. ඒත් අපි නො දැනුවත් ව ම යන්නෙ අපේ ඉරණම හඹාගෙන. ඔයත් මේ ඇවිත් තියෙන්නෙ එහෙම ගමනක්”

“එහෙනං ඒ ඉරණමේ ම ඔයාව මුණ ගැහෙන්නත් ලියවිලා තියෙන්න ඇති”

“ඔව්…ඔයා අපේ ගෙදරටම එව්වෙත් ඒ නිසා වෙන්නැති”

“එහෙනං ඒ ඉරණමෙං මට දෙයක් ඉල්ලන්න ඕනෙ”

“ඉල්ලන්න….”

“හ්ම්…ඊළඟ ආත්මෙත් ඔයා මුණගැහෙන විදිහට මගෙ ඉරණම ලියන්නයි කියල”

ටික වෙලාවක් මගේ වත දෙස ම බලා උන් ඔහු සිය බෑග් එක ඇද ලිපි ගොනුවක් ගෙන මට දුන්නේ ය.

“මොකද්ද…”

“ටීචර්ස් ට්‍රේනිං කෝස් එකකට ඇප්ලිකේෂන්ස්. ඕක ෆිල් කරල ගිහිං බාර දෙමු. මං හිතන්නෙ ඔයාට හොඳ ම දේ ටීචිං”

උගුර රිදී මගේ ඇස් කඳුළු බර වී ගෙන ආවේ ය. ඉස්සර ඉස්කෝලේ දී, නගරයෙන් ගමට ආ ගුරුවරියන් දෙස බලා ගෙන මා සිහින මවා ගත් අසිරිමත් ලෝකය දැන් මේ මා ඉදිරියේ හැබැහින් පහළ වීමට සැරසෙනවා ද? 

“ඕක කළාම ඔයාට ඉන්ටනැෂනල් ස්කූල් එකක ටීචින් ඉල්ලන්න පුළුවන්. හවසට ටියුෂන් කර ගන්නත් පුළුවන්නෙ”

පිරිමින් ගේ රැවටිලිකාරකම් ගැන මම ඕනෑ තරම් අසා ඇත්තෙමි. මගේ අම්මා ද එසේ රැවටුණ ගැහැනියකි. මා වූ කලී එහෙව් රැවටීමක ප්‍රතිඵලයකි. ගම දී මාත් එක්ක හාද වන්නට තැත් කළ පිරිමින් කිහිප දෙනෙකි. ඒ කිසි කෙනෙක් එක්ක ගෙවන්නට නියමිත අනාගතයක් ගැන මට කිසිදු හැඟීමක් නො දැනුණ නිසාවෙන් මම ඒ යෝජනා ප්‍රතික්ෂේප කළෙමි. කොළඹ දී මා මුලා කර ගන්නට තැත් කළ පිරිමින් ට ද සාපේක්ෂව ගත හොත් සිතිජ කියන්නේ පිරිමියෙක් ද නැත්නම් දෙවියෙක් ද කියා සිතිය යුතු ය. සාමාන්‍ය ජීවිතයේ එවන් පිරිමි මුණ ගැහෙන්නේ කලාතුරකින් විය හැක. සමහරෙකු ට මුණ නො ගැසෙන්නට ම වුව බැරි නැත. නමුත් මට එවැන්නෙක් මුණ ගස්වන්නට තරම් දෛවය කාරුණික වී තිබේ. මගේ අනාගතය කෙසේ විසඳුනත් මේ අසිරිමත් පිරිමි ආත්මය මේ විදිහට මා පසෙකින් හිඳ පාර කියා දීම ගැන, මම මගේ ටෙදවය වැළඳ ගෙන ආචාර කරමි.

කියවන්න :  අහංකාර නගරේ - 24

“ඒක මාරයි මෙව්නා. මාර ම මාරයි. ඔයා නතර වෙන්න ඕන හොඳ ම තැන සිතිජ දිවැසින් වගේ දැකපු එක…එක අතකට ඒක මාර පුදුමයක්”

සුරනි ඒ අයදුම් පත බලා සතුටු සිනා රැඳි ඇස් වලින් කීවා ය. 

“ඇයි පුදුම…”

“ගමේදි මං යාළු වෙලා හිටිය කොල්ලා මට කැම්පස් යන්න එපා කිව්ව. ඒ ඌ කැමපස් සිලෙක්ට් වුන්නැති නිසා. මං යන්න ඕනම කිව්වහම එහෙනං සම්බන්දෙ නතර කරමු කිව්ව. ඒක තනිකර ම ඊරිසියාව. හුඟක් කොල්ලො කැමති නෑ උංගෙ කෙල්ලො ඉගෙන ගන්නවට. රස්සාවල් කරනවට. සල්ලි හම්බ කරනවට. කොටිංම තමංගෙ කෙල්ල හරි වයිෆ් හරි තමන්ට වඩා වැඩි සැලරි එකක් ගන්නවට හුඟක් පිරිමි කැමති නෑ. උං හිතන්නෙ ඒක උන්ට බාල්දුවක් කියල. අවනම්බුවක් කියල. ඒකයි තටු කපල මුලදිම බිම දාන්න බලන්නෙ. ඉහලට ඉගෙන ගන්න ඕන නෑ…ජොබ් කරන්න ඕන නෑ. මොනා කළත් අන්තිමට වෙන්නෙ ළමයි බලා ගෙන ගෙදරට වෙලා ඉන්නනෙ අරව මේව කිය කිය. ඒ වගේ පිරිමි එක්ක බලද්දි සිතිජ වගේ එවුං හොයන එක කළු නික හොයනවටත් වැඩිය අමාරු වැඩක්. එහෙම කොල්ලො මේ ලෝකෙ නෑ කියල හිතන්න තරං අපි දැ පුරුදු වෙලයි ඉන්නෙ. ඒ අතිං ඔයා මාර වාසනාවන්තයි මෙව්නා. මාරම වාසනාවන්තයි. ඒ වාසනාව හැමදාම ඔයාගෙ මිටේ ගුලි කරං තියා ගන්න බලන්න. සමහර කෙල්ලන්ටත් තැනකට ගියාට පස්සෙ අං එනව. ඊට පස්සෙ උං කොල්ලව නෙවෙයි අම්මා තාත්තව ගණං ගන්නෙවත් නෑ. තමන්ට වැඩිය කෙනෙක් නෑ කියලයි හිතන්නෙ. මොන තැනකට කොහොම ගියත් සිතිජව නැති කර ගන්න එපා. එයා කොච්චර වටින කොල්ලෙක්ද කියන එක අමතක කරන්නත් එපා. මට ඔයාට කියන්න තියෙන්නෙ එච්චරයි”

සුරනි මගේ ඇසට කඳුළු නංවන දේශනයක් කළා ය. සිතිජ වාගේ පෙම්වතෙකු නොව සුරනි වාගේ යෙහෙළියක ද ලෙහෙසියෙන් හමු නො වන බව මම දනිමි. ජීවත් වීම වඩාත් පහසු කරන්නේ එවැනි මිනිසුන් ය.

උපාධියත්, ගුරු පුහුණු පාඨමාලාව ත්, සිංහල පන්තිත් අතරේ මා කාර්ය බහුල වූයේ ය. පන්තියට ළමයි වැඩි වැඩියෙන් සම්බන්ධ වූහ. මේ අතරේ දවසක් රෝස් මැඩම් මට දුරකතනයෙන් කතා කළා ය.

“මෙව්නාට දැං හොඳට තේරිල ඇති නේද…පොඩි රස්සාවල් කර කර කට්ට කනකොට. ඔයා ආපහු එන්න. ලැජ්ජ වෙන්න ඕන නෑ”

ඇය ට මා තවමත් අමතක වී නැති අරුමය මගේ උගුර ටික වෙලාවකට ගොළු කරවන ලදී. 

“ළමයො. මේක කොළඹ. ගමට ගියාම එහෙ කවුරුවත් දන්නෙ නෑනෙ ඔයා මෙහෙ මොනාද කළේ කියල. ලැජ්ජ වෙන්න ඕනෙ හිඟා කකා වගේ ජීවත් වෙන්නයි ළමයා. අනික අපිට සල්ලි හම්බ කරන්න පුළුවන් රස්සාව මොකද්ද කියල තීරණේ කරන්න ඕනෙ අපි. රටේ මිනිස්සු නෙවෙයි”

“මැඩම්”

මා කතා කළේ තරමක් තදින් විය යුතු ය. 

“ඒක ඇත්ත. කවුරු හරි කෙනෙක් කැමැත්තෙන් ඔය රස්සාව කරන එක ගැන මට කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි මං ඒ වගේ රස්සාවකට කැමති නෑ. මං එහෙම කිව්වහම ඇති නේද මැඩම්”

“මෙව්නා. ඔයාගෙ ඔය රූපෙං වැඩක් ගන්න ළමයො. ඔයා දන්නවද ඔහොම රූපෙකිං මොන තරං සල්ලි හම්බ කරන්න පුළුවන් ද කියල..”

“මැඩම් කරුණාකරල ආයෙ මට කතා කරන්න එපා” 

ඇය සිතිජ ගේ මව වූයෙන් මා තව දුරටත් ඉවසා ගත යුතු ව තිබිණ. නමුත් ඕ තොමෝ මගේ ඉවසීමේ සීමා පන්වමින් සිටියා ය.

“හරි. මං ඔයාට මුලිංම සල්ලි ටිකක් දෙන්නං. සල්ලි අතට එනකොට ඔයාට තේරෙයි සල්ලි හම්බ වෙනවනං මොනද කරන්න බැරි කියල”

5 1 vote
Article Rating
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Chamira
14 days ago

👍