Chat with Smartlady – අප්සාරි සිංහබාහු තිලකරත්න

0
13202

අද Chat with smart lady අපේ කතා බහට එකතු වෙන්නෙ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ අපට අමතක නොවන ජනප්‍රිය ක්‍රීඩකයකුගේ ආදරණීය බිරිඳ.ගුවන් සේවයට සම්බන්ධ වී කටයුතු කල ඇය කාන්තා ක්‍රිකට් සම්බන්ධයෙන්ද කටයුතු කරන අතරම ආදරණීය මවක් ද වෙනවා.ඇය අප්සාරි සිංහබාහු තිලකරත්න මහත්මිය

ඔබේ ජීවිතය පටන් ගත්ත හැටි ගැන කතා කරමු?

මගේ ළමා කාලය ඉතාමත් සොඳුරුයි.මට ඉතාම ගුණ යහපත් දෙමව්පියන් දෙන්නෙක් හිටියා.ඔවුන් දැනට ජීවතුන් අතර නෑ.ඉතින් ඒ දෙන්නාගේ ආභාෂයෙන් අපි ළමා කාලයේ ගුණ දම් වලට අනුකූලව ,රටට සහ සංස්කෘතියට ආදරය කරන්න ,අපේ දේ අගය කරන්න පුරුදු උනා .ඒ වගේම ආගම මුල් කරගත් පරිසරයක තමයි මම හැදුනේ.මම සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයෙන් ඉගෙන ගෙන පහේ ශිෂ්‍යත්වය සමත් වෙලා මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයට ගියා.උසස් පෙළට මම Bio science කලේ.උසස් පෙළට මාස කීපයකට වගේ කලින් මට ශිෂ්‍යත්වයක් ලැබුනා ජපානයට යන්න.මගේ ගමන් මාර්ගය එතනින් වෙනස් උනා.ඒක අහම්බෙන් වෙච්ච දෙයක්.මම ජපානෙට ගිහින් ජපන් පවුලක් එක්ක ජීවත් උනේ.හිරෝශිමා වල ඉතාම හොඳ පෞද්ගලික පාසලක මම මගේ උසස් අධ්‍යාපන කටයුතු කලා.මාත් එක්ක ජීවත් උන ජපන් පවුල මගේ අධ්‍යාපන කටයුතු වලට වියදම් කලා, එයාලට එයාලගේ දුවෙකුට වගේ සලකලා හැමදේම මට දුන්නා.ඒත් මගේ එදිනෙදා වියදම් වලට මගේ අම්මලාට බරක් වෙන්න මට හිතුනේ නෑ.මම මගේ උත්සහයෙන් Part time jobs කලා.මට ජපන් භාශාව ටිකක් පුලුවන් වීගෙන එන කාලේ පොඩි දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්නුවා .ඒ වගේම එහෙ ආපන ශාලාවකත් සේවය කලා.මගෙ අම්මා පුංචි කාලේ උගන්නලා තිබ්බ කේක් හදන්න.ඉතින් මම කේක් හදන්න ගත්තා.මගෙ යාලුවෝ උපන්දින වලට මට කියලා කේක් හදව ගත්තා. මට යම්කිසි මුදලක් ඒකෙන් ලැබුනා.මගේ කටයුතු කරගන්න මට ඒ මුදල් හොඳටම ප්‍රමාණවත් උනා.මට එහෙදි ඇමරිකාවට යන්න ශිෂ්‍යත්වයක් ලැබෙනවා මං ඉගෙන ගත්ත පාසලෙන්.හැබැයි ඒක අම්මලා දරුවන්ව පිටරට යවන යුගයක් නෙමෙයි.හරිම පොඩි දෙනයි එහෙම ගියේ.අපේ දෙමව්පියන් සාම්ප්‍රදායික අය නිසා දැන් ඇති හිටියා ,ලංකාවට එන්න කියන මතයේ තමයි හිටියේ .මොකද අපේ අම්මලාට හිතෙන්න ඇති මම එහේම පදිංචි වෙයිද දන්නෑ කියලා .නමුත් එහෙ ඉන්න මගේ අම්මලා මාව එවන්න කැමති උනේ නැ.දවසක් අම්මා මට කතා කරලා කිව්වා ඔයාට ඔහේ දාලා එන්න බැරි ප්‍රශ්නයක්නේ තියෙන්නේ ,පත්තරේ දැන්වීමක් දැක්කා Air Lanka ආයතනයෙන් දැන්වීමක් දාලා තියනවා ගුවන් සේවිකාවන් බඳවා ගන්නවා කියලා.ඉතින් මගෙ අම්මා තමයි මට මුලින්ම යෝජනාව කරන්නේ ඔයා Air Hostess කෙනෙක් වෙන්න , ඒකට apply කරන්න එතකොට ඔයාට නිතරම ජපානේ යන්න පුලුවන් කියලා සහ ඉගෙන ගත්ත භාශාවෙනුත් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් කියලා .ඊට පස්සෙ මම දන්න විදියට A4 ශීට් එකක් අරගෙන ,අර දුන්න ඇඩ්‍රස් එකට මම මං ගැන ලියලා Air Lanka එකට එව්වා application එකක්.ඊට පස්සෙ මම ලංකාවට එනවා.එයලා මට කියනවා Air lanka එකට අමතර සුදුසුකමක් තමයි හෝටල් ක්ශේත්‍රයේ අත්දැකීම් තිබිම කියලා.මම ලංකා ඔබරෝයි , දැන් සිනමන් ග්‍රෑන්ඩ් ඒක, මම ඒකට සම්බන්ධ වෙනවා trainee කෙනෙක් විදියට.ගොඩක් වෙලාවට එයාලා මාව භාවිතා කරනවා ජපන් translater කෙනෙක් විදියට, එන guest ලා එක්ක කතා කරන්න.එතනදි, මම කියන්න ලැජ්ජ වෙන්නෙ නෑ අපිට මුලින්ම හම්බුනේ සර්වියට් නවන්න.ඒ වගේම හෝදලා ගේන වීදුරු පිහදාන්නත් උනා.ඒ වගේ දේවල් වලින් තමයි පටන් ගත්තෙ එතන.පසුකාලිනව මට එතනින් විශාල අත්දැකීමක් ලැබුනා.මට මාස පහක් හයක් වගෙ තමයි එතන ඉන්න ලැබුනේ.ඒ අතර මට කැඳවීමක් ලැබෙනවා air lanka ආයතනයෙන්, interview එකකට එන්න කියලා.ඒ කාලේ Air lanka එකට සම්බන්ධ වෙනවා කියන්නෙ එහෙම ලේසියෙන් කෙරෙන දෙයක් නෙමෙයි.ඉතින් interview තුනකට පස්සෙ එයාලා මාව බඳවාගන්නවා ගුවන් සේවිකාවක් විදියට.මම හරිම සතුටින් රැකියාව කලා.මොකද මම ජපානෙට නිතරම යනවා. ඔය අතර මගේ තාත්තාට දරුණු පිළිකාවක් හැදිලා තාත්තා ලෙඩ වෙනවා.ඉතින් මම තමයි මගේ තාත්තාව , අම්මව සහ නංගිව බලාගන්නේ.මම හිතනවා දැන් මට ලොකු වගකීමක් තියනවා, මම මෙතනින් තවත් එහාට යන්න ඕනේ කියලා.ගුවන් සේවිකාවකට එතනින් එහාට යනවා කියන්නේ ලෝකේ තියන ලොකුම Air line එකකට සම්බන්ධ වෙන එක තමයි.ඒ මොහොතේ ලෝකේ තිබ්බ ලොකුම Air line එක තමයි Emirates Air Line එක .මම එතනට සම්බන්ධ වෙන්න උත්සහ කලා.ඊට පස්සෙ මට එතන රැකියාව ලැබෙනවා ගුවන් සේවිකාවක් විදියට.

දක්ශ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ඔබේ සැමියා හා ඔබේ හමුවීම ගැන මතක් කලොත් ?

එතකොට මම ඩුබායි වල පදිංචි වෙලා හිටියේ.මගේ යාලුවෙක්ගේ මාර්ගයෙන් මම දැනගන්නවා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සාජා වල tournament එකකට ඇවිල්ලා ඉන්නවා, එයාගේ ගෙදර තියන පාටි එකකට එනවා කියලා.යාලුවා මට ඉන්වයිට් කරනවා ඒ පාටි එකට.එතනට ගියාම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඇවිල්ලා හිටියා.එතනදි තමයි මුලින්ම අපි දෙන්නා මුණගැහිලා කතා කරේ.ඒ හමුවීම තමයි පසුකාලීනව ඉතා කෙටි කාලයකින් විවාහයක් බවට පත්වුනේ

සැමියෙක් සාර්ථක වෙන්න අනිවාර්යයෙන්ම බිරිඳකගේ තේරුම් ගැනීම සහ සහයෝගය අවශ්‍ය වෙනවා.නිතර තරඟ වලට සහභාගිවුන ඔබේ සැමියාට ඔබ දුන් සහයෝගය මොන වගේද ?

මට හශාන්ව මුණගැහිලා අපේ සම්බන්ධය තියන කාලේ මට තේරෙනවා හශාන් රට වෙනුවෙන් විශාල කැපවීමක් කරන , රට වෙනුවෙන් ක්‍රීඩා කරන මේ රටේ හැමෝටම අයිති වස්තුවක් කියලා.එතනදි මම තේරුම් ගන්නවා එයාට මගේ සහයෝගය ගොඩක් අවශ්‍ය කාලයක් කියලා.ඒ වෙනකොට World cup එකට කලින් අවුරුද්දෙ හරි පීක් එකේ එයාලා හිටියේ.එ වෙලාවෙ හශාන් මගෙන් ඉල්ලීමක් කරනවා එයා කරගෙන යන දේවල් ඒ විදියට කරන්නම් ,මට රැකියාවෙන් අයින් වෙලා එන්න කියලා.මොකද මම ඩුබායි වල හිටියේ.ඉතින් මම ඉස්සර ඉඳලම හිතන් හිටියා මගේ අම්මවයි තාත්තාවයි දැකලා , කවදහරි ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා කියලා.ඒ නිසා මට අමාරු උනේ නෑ මම කරගෙන හිටපු දේවල් දාලා , ඒ සැප සම්පත් දාලා මෙතනට එන්න.නමුත් දෙමව්පියන් ගෙන් ඇහුවම හශාන් මට මෙහෙම යෝජනාවක් කලා ,මෙහෙම එන්න කියලා අස් වෙලා, මගෙ දෙමව්පියන් මට කිව්වේ ඔයා අපි වෙනුවෙන් ගොඩක් දේවල් කරපු දුවෙක් ,අපිට ඇතිවෙන්න කරලා තියනවා,ඔයා දැන් ඔයාගෙ ජීවිතේ බලන්න ඔයාට හොඳයි කියලා හිතෙන දේ කරන්න කියලා .ඒ ආශිර්වාදයත් එක්ක මම රැකියාවෙන් අයින් වෙලා එනවා ලංකාවට.ඊට පස්සෙ මම හශාන්ට දෙන්න පුලුවන් උපරිම සහයෝගය දෙනවා බිරිඳක් වශයෙන්.මොකද ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියන්නේ මානසික සුවය ඉතාම අවශ්‍ය කෙනෙක් එයාලගේ ක්‍රීඩාවට focus වෙන්න.ඉතින් කිසිම බරක් දෙන්නෙ නැතුව එයාව හොඳට අවබෝධ කරගෙන ,ඒ විශ්වාසය එක්ක මම බිරිඳක් හැටියට එයාට දෙන්න පුලුවන් හැම උදව්වක්ම දුන්නා

ඔබේ සැමියා කාර්‍යබහුල වෙද්දි ඔබ ඔබේ දරුවන්ගේ වගකීම් වෙනුවෙන් තනිවම කැපවුනේ කොහොමද ? මවක් හැටියට ඔබේ කාර්‍යභාරය මොන වගේද ?

බබාලා හම්බ වෙන්න කලින් හැම tour එකකට අපි දෙන්නා එකට ගියා.හශාන් මට රැකියාවෙන් අස් වෙන්න කියපු වෙලාවේ මම ඉල්ලීම් දෙකයි කලේ.එකක් මම දෙමව්පියන්ව බලාගත්ත විදිය එයා දන්නවා, ඉතින් එයා පොරොන්දු උනා ඒක දිගටම කරගෙන යන්න.ඒ එක්කම මම ඉල්ලීමක් කලා කවදාවත් මට තනියෙන් නම් ඉන්න බෑ කියලා.මොකද පොඩි කාලේ ඉඳන් මම ගොඩක් තනියෙ න් ඉඳලා මට ඇතිවෙලා හිටියේ ඒ ජීවිතේ .එයා කිව්වෙ ඒක නම් කවදාවත් වෙන්නේ නෑ කියලා ආපහු.අදටත් අපි දෙන්නව හැමවෙලේම එකටනේ දකින්නේ, එයා ඒ දීපු පොරොන්දුව ඒ විදියටම රකිනවා.සමහර වෙලාවට මට වදයකුත් වෙලා තියනවා,මොකද මම හැමදේටම එයා එක්ක එකට ඉන්න ඕන.ඉතින් ලෝක කුසලානය අවසන් තරඟය බලන්න යද්දි මගේ දරුවන් දෙන්නා කුසේ තියාගෙන තමයි ගියේ.ඊට පස්සෙ හශාන්ලා හරියට කාර්‍යබහුල උනා ලෝක කුසලානයට දිනුවත් එක්කම.එයාලට ගොඩක් tours ආවා, ඒ වගේම ආරාධනා ආවා වෙන රටවල් වලට Exhibition matches, Fundraisers , Dinner dances වලට.ඉතින් හරි කාර්‍යබහුලයි.නමුත් අපි හැම වෙලේම බැලුවේ පවුලක් විදියට එකට ඉන්න.මොකද මම දන්නවා හශාන්ට එයා කොහෙහරි ගියාම අපි ළඟ ඉන්නවා කියන්නේ එයාට ඒක ශක්තියක්.Tours දෙකක් විතර මට යන්න හම්බුනේ නෑ බබාලා හම්බ වෙච්ච අලුත.එයාට ඒක මානසික කරදරයක් උනා එයා එහෙ අපි මෙහෙ නිසා.මොකද එයාට එහෙම වෙන්වෙලා ඉන්න බෑ.ඊට පස්සෙ බබාලට මාස හතරේ ඉඳලම හැම සංචාරයකටම ,හැම තරඟයක් නරඹන්නම ගිහින් තියනවා ලංකාවෙත් පිටරටවල් වලත්.දරුවන්ගේ බර සම්පූර්ණයෙන්ම මං වෙත තමයි පැවරුනේ.හැබැයි හශාන්ගේ දෙමව්පියන් ,මගේ දෙමව්පියන් ,මගේ නංගි ගොඩක් උදවු උනා මගේ බබාලා දෙන්නා හදන්න.ඉතින් ඒ උදවුත් එක්ක මම මගේ උපරිම සහයෝගය හශාන්ට දුන්නා ඒක දැනටත් එහෙමයි.

කාර්‍යබහුල සැමියෙකුගේ බිරිඳක් හැටියට ඔබ මොනවද මුහුණ දුන් අභියෝග ?

මම අම්මා කෙනෙක් විදියට මගේ පුතාලා දෙන්නා එක්ක ඒ කාලේ දිගටම මම හිටියා.දරුවන්ගේ කටයුතු ඇර වෙන කිසිම දේක යෙදුනේ නෑ.ඉතින් හශාන් ගොඩක් වෙලාවට කාර්‍යබහුලයි.බබාලගේ මොන්ටිසෝරි වැඩ , ඉස්කෝල වැඩ මට පුලුවන් විදියට ශක්තිමත්ව කලා.මම එතකොට ගොඩක් තරුණ නිසා ඒ ජවය ඇගේ තිබ්බා.ඒ ජවයත් එක්ක කොහොම හරි හැමදේම මැනේජ් කරගත්තා.

කාන්තාවක් රැකියාවක නියැලීමේ වැදගත්කම ඔබ දකින්නෙ කොහොමද ? විශේශයෙන්ම විවාහක කාන්තාවක්?

එදා සමාජ මතය තිබුනේ අම්මා ගෙදර ඉන්නවා, තාත්තා තමයි ගෙදරට හැමදේම ලබා දුන්නේ .කාන්තාවන් ගොඩක් අඩුවෙන් රැකියා කලේ.හැබැයි දැන් මේ මුදල් මූලික වෙච්ච සමාජයේ අපි ලොකු රේස් එකක් දුවන්නේ ,ජීවත් වීම හරි අපහසුයි.ගොඩක් වෙලාවට ගෙදර ඉන්න අම්මට , බිරිඳට වෙලා තියනවා තමන්ගේ පවුලට සහ සැමියට ශක්තියක් වෙන්න.ඉතින් එතනදි මුදල්ම නෙමෙයි , සමහරු රැකියාවක් කරන්න තෝරගන්නවා තමන්ගේ මානසික තෘප්තියට.සමහරු තමන් ඉගෙන ගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්නත් රැකියාවක් කරනවා විවාහයෙන් පස්සෙත්.ඒ වගේම සමහර කාන්තාවන් ගෙදර ආර්ථිකයට ශක්තියක් වෙන්න තමයි රැකියාවට යන්නේ.මම ඒකේ කිසි වරදක් දකින්නේ නෑ.නමුත් දරුවන් ඉන්න අම්මෙක් නම් දරුවන්ට මූලිකත්වය දෙන්න ඕන සහ ඒක කළමනාකරණය කරගන්න ඕනේ.රැකියාවෙන් පස්සේ කාලය දරුවන් වෙනුවෙන් යොමු කරන්න පුලුවන් නම් හොඳයි ,මොකද අම්මා කෙනෙකුට කරන්න පුලුවන් ලොකුම දේ තමයි තමන්ගේ දරුවෝ සමාජයට හොඳ පුරවැසියන් වගේ බිහි කරන එක.

ඔබ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැංවීම සම්බන්ධව කැපවීමෙන් කටයුතු කරන කෙනෙක්.ඒ ගැන කතා කලොත් ?

මම කිසිම රැකියාවක් කලේ නෑ විවාහයෙන් පස්සේ.නමුත් මට එක අවස්ථාවකදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිතුමාගෙන් කැඳවීමක් එනවා මුණගැහෙන්න එන්න කියලා.ඔහු කිව්වා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් අපිට ඉස්සරහට ගේන්න ඕන, මොකද මේක clubs කීපයකට විතරයි සීමා වෙලා තිබ්බේ , ඒකත් කොළඹ ආසන්නයේ .ඉතින් සභාපතිතුමා කිව්වා මේ රටේ ඉන්න දක්ශ දරුවන්ට කාන්තා ක්‍රිකට් වල යෙදෙන්න අපිට මේක හොඳ තත්වයකට ගේන්න ඕනෙ , අපිට හිතෙන්නේ අප්සාරිට තමයි ඒ දේ කරන්න පුලුවන් කියලා , ඉතින් ඒ දේ කරන්න පුලුවන්ද කියලා . මට ඒකට හශාන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුනා , ඔයාට මේක කරන්න පුලුවන් ඔයා මේක කරන්න කියලා.හශාන් නිතරම කියන දෙයක් තමයි මේ රටේ මහජනතාව අපේ ජයග්‍රහණ වලදි සතුටු උනා වගේම , පරාජය උනාම හැමෝම දුක්වුනා ,නිතරම ආශිර්වාද කලා , ඒ නිසා අපි මේ රටේ ඉන්න මිනිස්සුන්ට ණයයි කියලා.ඒ නිසා අපි එයාලා වෙනුවෙන් මොනහරි කරන්න ඕන කියලා.මම හිතනවා මේක වෙස් වලාගෙන ආව ආශිර්වාදයක් කියලා.මොකද හශාන් දැනුත් ක්‍රිකට් වල නිරත වෙලා එයාගෙ දැනුම බෙදා හරිනවා දරුවන්ට.හශානුත් මමත් විවාහ වෙලා අවුරුදු 25 ක්.ඉතින් මට හිතුනා ඒ අවුරුදු ගාන මම ලබා ගත්ත දැනුම මේ හරහා රටේ ඉන්න දූවරුන් අතර ප්‍රචලිත කරන්න පුලුවන් කියලා.

ඔබ දකින හැටියට සාර්ථක පවුල් ජීවිතයකට කාන්තාවකගේ දායකත්වය මොන වගේද?

ඕනම පවුලක බිරිඳ, අම්මා අතේ තමයි ඒ පවුලේ සාර්ථකත්වය තියෙන්නේ.මොකද මම දැකලා තියන දෙයක් තමයි අම්මා කෙනෙක් අසාර්ථක උනොත් ආර්ථික වශයෙන් කොච්චර ශක්තිමත් උනත් ඒ පවුල කඩා වැටෙනවා.ඒ පවුල ශක්තිමත් නෑ.ඉතින් ඒක තියෙන්නේ කාන්තාව අතේ.කාන්තාව කියන්නේ ගොඩක් ශක්තිමත් ,ඕනම දෙයක් දරාගන්න පුලුවන් කෙනෙක්. අපේ ආගමට අනුව ගෙදර බුදුන් කියන්නෙ අම්මා.සම තැන නිසි තැන නෙමෙයි හරි තැන ලබා දීලා තියෙන්නේ.අපි ඒ හරි තැන අවබෝධ කරගෙන කටයුතු කරනවා නම් , වගකීම් හරියට ඉශ්ට කරනවා නම් මම හිතනවා ඒක තමයි ඒ පවුලේ තියන සාර්ථකත්වය .ඉතින් ඒක තියෙන්නෙ අපේ අතේ.

තමන්ගේ සිහින හඹා යන කාන්තාවන්ට ඔබට මොකද්ද කියන්න තියෙන්නෙ?

බුද්ධ දර්මයට අනුව මේ ලෝකේ කිසි දෙයක් ස්තීර නෑ.අපිට ඕනේ විදියට සියල්ල සිදුවෙන්නේ නෑ. ඒ නිසා කිසිම දෙයකට දැඩිව බැදෙන්නේ නැතිව අර්තවත් ලෙස ජීවිතය ගොඩ නගා ගැනීමයි වැදගත්.හැබැයි ජීවිතයේ විවිධ කාලවල විවිධ අයුරින් විවිධ වූ අවස්තාවන් opportunities එනවා අපේ ඉදිරියට . අන්න ඒ එන අවස්තාවන් හොදින් හදුනාගෙන තමන්ට ඒ දේ කෙතරම් සුදුසුද කියා වටහාගෙන ජීවිතයට අරුතක් එක් කරගන්න පුලුවන් . තමන් ඉදිරියට opportunities නිතර එන්නේ නෑ. ඒවා හදුනාගැනීමයි වැදගත්. සමහර විට අපි එකම සිහිනයක් ඔස්සේ ගමන් කරනකොට මේ අප ඉදිරියට එන අපට ජීවිතය ජයගත හැකි අවස්තාවන් නොපෙනී මගහැරී යන්න පුලුවන්. සිහින බොදවූ අවස්තාවකදී ආපසු හැරී බලද්දී වැටහෙන විට ප්‍රමාද වැඩිවෙන්න පුලුවන් .මගේ ජීවිතයෙත් හීන තිබුනා.නමුත් මම ඒ හීන තුල නොපෙනෙන අනාගතයක් තුල ජිවත් වුනේ නෑ.එක් රාමුවකට පමනක් කොටු වුනේ නෑ.මගේ ඉදිරියට ආශිර්වාදයන් සේ ආ සෑම හොද අවස්තාවකටම මැනෙවින්, අවබෝධයෙන් යුතුව ක්‍රියා කලා.අභියෝග භාරගත්තා.ඒ අවස්තාවන් බොහෝමයක් මගෙ ජීවිතය ඉදිරියට ගෙනගියා, සාර්ථක කලා. අනාගතයේදීත් ඒ දේ එලෙසම වේවී.

අද අපේ කතා බහට එකතු වුන අප්සාරි සිංහබාහු තිලකරත්න මහත්මියගේ අත්දැකීම් ඔස්සේ ඔබ ඔබේ ජිවිතයට හරවත් යමක් එකතු කරගන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා.
Chat With Smart Lady කතා බහට අද එකතුවුනු ඇයටත් , ඇගේ ජිවිතේ සියලු කටයුතු සාර්ථක වෙන්නට Smart Lady අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here