උදේ කෑමට නිකිනි මාළු බනිස් තැනුවා ය. මීට ටික දිනකට කලින් කෑම කියන්නේ ඇගේ දිවියේ නො වැදගත් ම අංගය වූයේ ය. ඈ යමක් කෑවේ අතිශය කුස ගිනි දැනුණා ට පසුව ය. කම්මැළි සිතුණොත් එ්ත් නොකා සිටියා ය. ප්‍රධාන ආහාර වේල් තුන මංජුල නිසා පිළියෙල කළ යුතු ම වූයෙන් ඈ ඒ නො වරදවා කළා ය. නමුත් ආශාවට කියා වෙනත් අතිරේක ආහාරයක් තැනුවේ ම නැති තරමි. තුන් වේලටම මංජුල ට බත් ඕනා ය. පිටි කෑම තැනුවත් ඔහු කන්නේ නැත. එක් අයෙකුට පමණක් විශේෂයෙන් මොනවා හෝ සැකසීම නිකිනි ට කම්මැළි ම කටයුත්තක් වූයේ ය. ඒ නිසා ආහාර සැකසීමේ සතුට කියන දේ ඇගේ ජීවිතයෙන් ඈතට ඈතට පලා ගොස් තිබිණි.
මංජුල නො කෑවත් අලුත් කෑම වර්ග ගෙදර දී ම හදන්නටත්, තමන් ගේ සතුට වෙනුවෙන් ඒ දේවල් කරන්නටත් නිකිනි තදින් සිතට ගත්තේ, සතුට ගැන විදත් විසින් කරන ලද දේශනයට සවන් දීමෙන් පස්සේ ය.
අප යමක් කළ යුත්තේ අනුන් සතුටු කිරීමට පමණක් ම නොවේ. මුලින් ම ඉන් අප සතුටු කළ හැකි විය යුතු ය!
මාළු පාන් කිහිපයක් බඳුනක දමා ගෙන ඉස්සරහ පැත්තේ තාප්පය ළඟට ගිය නිකිනි ‘අම්මේ’ කියා හඬ ගෑවා ය. නැන්දම්මා ජනේලයකින් බෙල්ල දැම්මා ය.
“ආ..”
මංජුල ගේ අම්මා පිටතට ආවේ ඒ තරම් උනන්දුවක් නැති බව පෙන්වා ගෙන ය. නමුත් ලේලිය ඔය විදිහට කතා කරන්නේ විශේෂ කෑමක් පිළියෙල කළ විට බව ඇය දනී. ටික වෙලාවක සිට ම තාප්පයේ මායිම් නො තකා හමා ගිය සුවඳ විසින් මේ වෙත්දීත් ඇගේ මුව තෙත් කොට තිබිණි.
“මො..නාද…”
“ෆිෂ් බන්”
“කඩේ ගියාද..”
“නෑ. හැදුව”
“දැං මාළු පානුත් හදනවද…”
“හ්ම්…කාලෙ ගත කර ගන්න මොනා හරි කරන්නත් එපැයි අම්මෙ”
“බොරු වැඩ…කන්න ආසාවක් තියෙනවනං මාළු පාන් එකක් කඩෙං ගෙනත් කන්න තිබුණනෙ”
නිකිනි මඳහසකින්, තාප්පයේ උසට නැග සිටි කෙටි බංකුවෙන් බිමට පැන්නා ය. ගේට්ටුවේ සීනුව නාද වූයේ එතකොට ම ය. මේ වෙලාවේ එන්නට කෙනෙක් ගැන සිතා ගත නො හැකි වුණත් ඕ ප්‍රශ්නාර්ථයෙන් ම පැති ගේට්ටුව විවර කළා ය. මූණත් වැසී යන තරම් පොත් ගොඩක් උස්සා ගෙන, පොත් වල වැදීම නිසා මුහුණ පැත්තකට හරවා ගෙන සිනහ වෙවී සිටියේ ගුවනි ය.
ක්ෂණික ව පපුවේ හිර වීමක් වගේ දෙයක් නිකිනි අත් වින්දා ය. මෙහෙම මොහොතක් කිසි සේත් බලාපොරොත්තු ව නො උන් ඇයට කළ යුත්තේ කුමක් දැයි එක්වන සිහි නො වුණ තරමි.
“මගෙ ළඟ තිබුණ පොත් ටිකක්. මං මිස්ට කියවන්න ගෙනාව. හැබැයි මේව සිංහල පොත්…සමහර ඒව ට්‍රාන්ස්ලේෂන්ස්…”
ගුවනි කියවා ගෙන ගියා ය. නිකිනි තව දුරටත් පුදුමය පළවා හළ නො හැකි ව බලා සිටියා ය.
“මහපොළ හම්බ වුණහම ආසාවට එක පොත ගානෙ ගත්ත. ඊට පස්සෙ සර්ගෙ ටයිප් සෙටින් වැඩ වලට සර් දෙන සල්ලි වලිනුත් පොත් ගත්තා. මිස් කියවල දෙන්නකො”
“එන්න ඇතුළට”
නිකිනි ඒ ආරාධනය කළේ විනාඩි ගණනකට පස්සේ ය. මෙතෙක් ඇය නො දැන සිටි අලුත් යමක් ගුවනි ගේ කතාවේ තිබී හමු විය. එසේ නම් මංජුල ගේ පොත් හා ටියුට් ආදියේ ටයිප් සෙටින් කටයුතු කරන්නේ ගුවනි ය!
“මෙතනින් තියන්න”
සෝෆා එක මැද්දේ වූ ලොකු වීදුරු මුහුණත් කෝපි මේසය නිකිනි නිකටින් පෙන්වූවා ය. ගුවනි පොත් ගොඩ ඒ මත තැබුවා ය.
“කොහොමද උස්සං ආවෙ…”
“ට්‍රයිෂො එකක මිස් ආවෙ. මං දන්නවනෙ මේ වෙලාවට සර් කැම්පස් එකේ කියල. ඒකයි බය නැතුව ආවෙ”
“අර…ටයිප් සෙටින් කතාවක් කිව්වෙ…”
“අ…මේකයි මිස්. අම්ම කැන්සර් එකෙන් අසාධ්‍ය වෙලා ඉන්න වෙලාවෙ මගෙ අතේ සත පහක් තිබුණෙ නෑ. ඒ පුදුම දුෂ්කර දවස් ටිකක්. සමහර දවස් වලට හොස්පිට්ල් එකෙන් ප්රිස්ක්රිප්ෂන් එක දෙනව..බෙහෙත් පිටිං ගෙනත් දෙන්න ඕනෙ. මට ඒ වෙලාවට හිතිල තියෙනව අම්මට කලිං මං මැරිල ගියානං ඉවරයි කියල. කැම්පස් එකේ දන්න ළමයි පුළුවන් හැටියට උදව් කළා. සර් ඔය විස්තර දැන ගත්තට පස්සෙ මට සර්ගෙ ටයිප් සෙටින් වැඩ ටික දුන්නා. ඒවාට සල්ලි ගෙව්ව. ඒ වෙලාවෙ මට සර්ව පෙනුණෙ දෙවියෙක් වගෙයි මිස්…”
නිකිනි ගේ ඇස් තෙත් වේ ගෙන එනු ඇයට දැනිණ. නමුත් ඕ දෙතොල් තෙරපා ගෙන ගුවනි ට සිනහවක් දුන්නා ය.
“යමු කුස්සියට. තාම කාල නැතුව ඇති නේද…”
“උදේ කෑම වේලක්නං ඇත්තෙම නෑ මිස්. දවල් වෙලා දෙකටම එක පාර කනව. දැන් ඒකට පුරුදු වෙලා තියෙන්නෙ. ඉඳ හිට වදයක් වෙන්නෙ ගැස්ට්‍රයිටිස් තමයි ඉතිං”
මේ කෙල්ල අපූරුයි කියා නිකිනි ට සිතිණි. ගුවනි ගේ වයසේ දී තබා දැන් ඇය හිඳින වයසේදී වත් කරන්නට තබා සිතන්නටවත් බය හිතෙන දෙයකි අද ඇය කිසිදු වගක් නැතිව කර තිබෙන්නේ. සිය පෙම්වතා ගේ ගෙදරටම ගොස් ඔහු ගේ බිරිඳ ට පොත් ගෙන ගොස් දීම!
“මං ෆිෂ් බන් හැදුව. කමු…”
නිකිනි මාළු බනිස් බන්දේසියත් සෝස් බෝතලයත් මේසය මතින් තැබුවා ය.
“මිස්ද මේ හැදුවෙ…”
යුවතිය ගේ ඇස් පුදුමයෙන් ද සතුටෙන් ද විසල් වී තිබිණි.
“හ්ම්…”
“ශා…මාර ලස්සනයි. කඩේ ඒව වගේමනෙ”
“කඩේ ඒවට වැඩිය රසයි හරිද…”
දඟකාර විහිළුවක් කළ නිකිනි හඬ නගා සිනාසුණා ය. තේ හදන්නට විදුලි කේතලයේ පේනුව ගැසූ ඇය, යුවතිය ට යාබද පුටුවට විත් හිඳ ගත්තා ය.
“ජීවිතේටම මෙච්චර රස මාළු පාන් එකක්නං කාල නෑ. සත්තයි. බොරුවට මිස්ව අන්දන්න කියනව නෙවෙයි”
“මට තේරෙනව ඔයා මාව අන්දනව නෙවෙයි කියල..ඉතිං…දැං ලෙක්චර්ස් මිස් වෙන්නෙ නැද්ද…”
ගුවනි සුසුමක් හෙළුවා ය.
“කොච්චරක්නං දේවල් මිස් කර ගත්ත මිනිස්සුද මිස් අපි…ලෙක්චර් එකක් එක්ක බැලුවොත්…”
නිකිනි වූ කලී මවු නැති වූවා ට ධනවත් ව්‍යාපාරික පවුලකට අයත් වූ දියණියකි. ඇය කුඩා කල සිට ම දුකක් කියා දෙයක් විඳ තිබුණා නොවේ. අතීතයේ මාවත් දිග ඇවිද යත්දී හුදෙකලාව හා අසරණකම් සහිත තැන් හමු නො වෙනවා ම නොවේ. ඒ බොහොමයක් ඒවා නිවුන් දැරියන් දෙදෙනෙක් ගෙදර දමා සැමියා ගේ මිතුරෙකු සමගින් වහන් වී ගිය අම්මා කෙනෙකු නිසා පතිත වූ කඳුළු පැල්ලම් ය. ගුවනි ගැන දැනටමත් ඇගෙන් කියැවී ඇති විදිහේ ආර්ථික අපහසුතා ගැන ඇතැම් විට නිකිනි දන්නේ ත් නැති තරම ය.
ගුවනි ගේ අම්මා බඩ වියත සරි කර ගනු වස් කළේ ප්‍රාදේශීය සභාවේ කුණු ට්‍රැක්ටරයේ වැඩ කළ එක ය. ගෙදර එත්දී හැමදාමත් අම්මා ළඟ දැනුණ කුණු වල දුගඳ ගුවනි ට කිසි දා අමතක වන්නේ නැත. සැබවින් ඒ කුණු අත පත ගෑවේ අම්මලා වූවා ට ඒ කුණු වල අයිතිකාරයන් වූයේ වැදගත් ලොකු පවුල් වල උදවිය බව ගුවනි සිතන්නේ සන්තාපයෙනි. කුණු ට්රැක්ටරය ළඟින් සිය වාහනය යත්දී නාසය හකුලා ගන්නා නෝනලා ව ඇය දැක තිබේ. ට්‍රැක්ටරයේ මඩ් ගාඩ් එක උඩ හිඳ යන අම්මලා දෙස ඒ නෝනලා බලන්නේත් ඇස් හකුළා පිළිකුලෙන් බව ගුවනි දනී. නමුත් අම්මලා ඒ එකතු කර ගෙන යන්නේ අර නෝනලා ගේ ගෙවල් ඉදිරියේ වටිනා වර්ණවත් බඳුනක දමා වසා තිබූ කුණු බව ඔවුහු අමතක කරති.
“ඉතිං…වෙන නෑදෑයො කවුරුවත් නැද්ද ඔයා ගැන බලන්න…”
ගුවනි ගේ තත්වය උඩින් පල්ලෙන් දැන ගත් නිකිනි ඈ කෙරේ උපන් අසීමිත හා අවංක කණගාටුවෙන් ප්‍රශ්න කළා ය.
“අම්මව පවුලෙං පන්නල තියෙන්නෙ මං බඩට ආපු නිසයි කියලයි මං අහල තියෙන්නෙ. මං දන්න කාලෙක අපිට නෑදෑයො හිටියෙ නෑ. මං කැම්පස් සිලෙක්ට් වුණාට පස්සෙනං අම්ම එයාගෙ නෑයො මුණගැහෙන්න ගිහිං තිබුණා. ඇඟිල්ලෙ තරමට ඉදිමියං කියලයි අම්මට ඒගොල්ලො කියල තිබුණෙ. මාව කැම්පස් යවන්නෙ ඇඩ්වකේට් කෙනෙක් කරන්නද ඇහුවලු. එදයිං එදා මැරෙනකල්ම අම්ම ආයෙ උං ගැන මතක් කළේවත් නෑ.මේ ජීවිතේ මට තියෙන්නෙ එකම එක දුකයි මිස්…”
ගුවනි ඒ අන්තිම වාක්‍යය කීවේ සුසුමක් අත්හරිමිනි. නිකිනි යුවතිය ගේ දෑසට එබී බැලුවා ය. මතුපිටින් පෙනුණේ වියළි ස්වභාවයකි. නමුත් ඇගේ නෙත් පත්ලේ, ගැඹුරු ළිඳක පතුලේ වන දිය පොදක් වන් තෙත කඳුළක් ඇයට දැක ගත හැකි විය.
“මං ඉගෙන ගෙන රස්සාවක් කරල අම්මව ගෙදර තියල කන්න බොන්න දෙන්න පුළුවන් කාලයක් වෙන්න ඉස්සරිං අම්ම යන්න ගිය එක. මගෙ අන්තිම හුස්ම හෙළනකලුත් ඒ දුකෙන් අත්මිදෙන්න මට බැරි වෙයි මිස්…”
ගුවනි ගේ අවසරයකින් තොර ව ගිලිහී වට කඳුළක් මේසය මත ‘ටක්’ ගා පතිත විය. නිකිනි යුවතිය ගේ අත් ගොබයක් පිරිමැද්දා ය.
ගැහැනියක ගේ හදවත පත්ලේ වන්නේ මොන තරම් සියුම් වූ මතක කැබලිති වන්නේ ද? ඒ කිසිත් නො දැක මතුපිටින් ඇය නිරීක්ෂණය කොට නිගමනයන් ට එළඹීම ලෝකය බිහි වූ දා සිට ම සිදු වූ දේ ය. මංජුල ට වෙනත් පෙම් සබඳකමක් තිබෙනවා යි දැන ගත් දා නිකිනි ත් මුලින් ම කළේ ඒ ස්ත්‍රිය කෙරේ ක්‍රෝධය පෙරදැරි ව සිතීමයි. නමුත් ඇය ට තිබෙන්නේ මොන තරම් සියුම් වූ හදවතක් ද? ප්‍රේමය කියා දෙයක් මවා පෙන්වා මංජුල ලා වගේ අය ඒ අසරණ බිඳුණු සිත් පිරියම් කළ නො හැකි තරමින් බිඳ දමනවා නොවේදැයි නිකිනි සන්තාපයෙන් සිතුවා ය.
ඉඟුරු දමා තැනූ තේ වල කහට සුවඳ මුළුතැන්ගෙයි පැතිරිණි. කඳුළු අතරින් සිනහ වෙමින් ම ගුවනි තේ බීවා ය.
“මටත් පිස්සු. මිස්ට මොකටද ඕව කියන්නෙ…”
“සර් ඔයාට වියදමට ඇති වෙන්න සල්ලි දෙනවද…”
ඒ වචන ටික ගුවනි ගේ කර්ණිකා කෝෂිකා බිත්ති වල හැපී දෝංකාර දුනි. ඇගේ ඇස් මඳක් විසල් වී තිබුණේ ය. තත්පර ගණනාවක් යන තෙක් ම ඇසි පිය සැලීම අමතක කළ ඕ නිකිනි දෙස ම බලා උන්නා ය.
“මං ඇහුවෙ…ටයිප් සෙටින් වැඩ වලට…”
ගුවනි යමක් වරදවා වටහා ගත්තා දැයි සැළුණු නිකිනි වහා නිවැරදි කළා ය.
“අනේ මං කොහොමද මිස් සමා වෙන්න කියලවත් මිස්ට කියන්නෙ…මිස් වගේ කෙනෙක් ළඟදි…අපි ගෑනුද කියල හිතෙනව”
ගුවනි එක් වන ම දෝතෙහි මුහුණ හොවා ගත්තා ය. සිය ඉරණම ඈ අභියසට මෙහෙව් මොහොතක් සම්ප්‍රාප්ත කරාවියි නිකිනි නිකමට හෝ සිතා තිබුණේ නැත. එක ම පිරිමියෙකු නිසා මේ ස්ත්‍රීන් දෙදෙනාට ම යම් යම් මතකයන් තිබුණේ ය. නමුත් අනෙකා සිටින නිසාවෙන් ඔහු ගේ ජීවිතයට තමන් සමීප නොවී හිටියා නම් කෙතරම් හොඳ දැයි ඔවුහු දෙදෙන ම සිතූහ.
“මං මේ කිසිම අහිතක් නැතුව කියන්නෙ…ස්ටඩීස් ඉවර වෙනකල් ඔයා මෙහෙ ඇවිත් නතර වෙන්න. වියදං ප්‍රශ්නයක් නෑනෙ එතකොට…”
ගුවනි මඳහසක් නගා ගත්තා ය. නිකිනි වූ කලී විසල් හදවතක් ඇති ගැහැනියකි. නමුත් අත්දැකීම් අතින් ළදැරියකි.
“එහෙනං සර් මාව මරල හංගයි. මගෙ මිනියවත් හොයා ගන්න බැරි වෙන්න. ඇයි මිස් අහන්නෙ නැත්තෙ මට ඊයෙ මිස් ව හම්බුණා කියල සර් දන්නවද කියල…”
“එහෙම අහන්න මට අයිතියක් නෑ නේද කියල හිතුණා”
“මිස්ට නැත්තං වෙන කාටද එහෙම අයිතියක් තියෙන්නෙ…මං කිව්වෙ නෑ මිස්”
“ඇයි…”
“කිව්වනං අද මට මෙහෙම ඇවිත් මිස් එක්ක කතා කරන්න හම්බ වෙන්නෑ”
එපමණක් කියා, මුවට ආ අනිත් වාක්‍ය කිහිපය ගුවනි ගිල ගත්තා ය.
” සර් හැමදාම උත්සාහ කළේ මගෙ හිතේ මිස්ව බිඳවල තියන්න. මිස් යක්ෂණියක් කියන ප්රතිරූපෙ මගෙ හිතේ ඇඳල තියන්න. එහෙම කරපු තරමට සර්ට වාසියි කියල එයා දැනං හිටිය. ඒ ඇත්ත මං තේරුං ගත්තෙ ටිකක් ප්‍රමාද වෙලා”
කෙසේ වෙතත් හිතට එන හැම දේ ම කියා මංජුල කෙරේ නිකිනි ගේ හිත රිදවන්නට, බිඳවන්නට ගුවනි ට ඕනෑ වූයේ නැත.
දවල් ට කෑම කා යන්න කියා කෙතෙක් ඇවිටිලි කළත් ගුවනි නතර වූයේ නැත.
“මං වෙන දවසක එන්නං මිස්. මේ ගත කරපු පැය මට කල්පයක් වගේ මතකෙ තියෙයි”
කියා ඕ නික්ම ගියා ය. ඈ ගියත් තව දුරටත් නිකිනි ඇය ව හිතේ නතර කර ගෙන සිටියා ය. ගුවනි වෙනුවෙන් සාධාරණය ඉටු විය යුතු යයි වෙන කවදාටත් වඩා ඇගේ හිත ඇය ට කියමින් තිබිණි.