ඇයට තව තවත් ආදරයෙන් ළං වෙන්න

0
1070

(ඔබේ ජීවිතයට ලැබුණු හොඳම තෑග්ග අරගෙන ආවේ ඇයයි. බිරිඳට ආදරය කරන සදාචාරශීලී මිනිසෙක් හැටියට ඔහු සමාජගත කළේ ඇයයි. ඔහු නිසා ඔහු වෙනුවෙන් සිය ජීවිතය දෙවැනි තැනට දැමූ එකම ගැහැනිය ඇයයි. දැන් ඇය ඔහුගේ පමණක් නොව ඔබේත් ආදරණීය මවයි. ඇය හොඳින් හඳුනාගන්න. ඇයට තව තවත් ආදරයෙන් ළංවෙන්න.)

ජීවිතය අලුතින් පටන්ගන්න

විවාහ ජීවිතේට ඇතුළු වුණාට පස්සෙ හැම යුවතියකටම තමන්ගෙ ජීවිතය අලුතින් පටන්ගන්න එක ගැන හොඳ සූදානමක් තියෙන්න ඕනේ. විශේෂයෙන් ම තමන්ගේ ස්වාමි පුරුෂයා නිසා අලුතින් සම්බන්ධතා ගොඩනඟාගන්නට සිදුවන නෑදෑයින්, හිත මිතුරන් වගේම  අසල්වැසියන් ගැනත් ඇය හොඳ අවධානයකින් කටයුතු කරන්න ඕනේ.

සාමූහිකව කටයුතු කරන්න

ඔබ පදිංචි වෙන්නේ මහගෙදර නම්, ඒ කියන්නේ ඔබේ සැමියාගේ මව්පියන්, සොයුරු සොයුරියන් සියලු දෙනා සිටින නිවසේ ම නම්, ඔබේ සියලු හැසිරීම්, කතාබහ, ඇවතුම් පැවතුම් ගැන අතිශයින්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඔබ අලුතින් පවුලට එකතු වුණ නිසා ඇතිවන ආධුනික හැඟීම දවසින් දෙකින් මඟ ඇරගෙන පවුලේ අනිත් සාමාජිකයන් එක්ක සාමූහිකව කටයුතු කරන්න ඔබ ශක්තිමත් විය යුතුයි. මේ කටයුත්තෙ දි හැම කෙනෙකුටම වඩා ඔබේ සුවිශේෂ අවධානය යොමු වෙන්න ඕනේ සැමියාගේ මවට සහ පියාටයි. අම්මා සහ තාත්තා හැටියට ම ආදරයෙන් ඔවුන්ට අමතන්න. සාමූහිකව කටයුතු කරන්න. විශේෂයෙන් ම සැමියාගේ මව සමග දැඩි විශ්වාසයක් සහ ආදරයක් ගොඩනගාගන්න.

මවුපිය බැඳීම කාටවත් කඩන්න බෑ

කොහොම වුණත් සමහර වෙලාවට පුතා බැඳපු දුවගෙ පුංචි පුංචි අඩුපාඩු  නිසා පුතාගෙ අම්මා කණගාටු වන අවස්ථා ඇතිවන්නටත් පුළුවනි. මාමාට වඩා නැන්දම්මා සතුටින් තැබීම සමහර තරුණියන්ටත් තියෙන අසීරුතම ගැටළුව වෙන්න පුළුවනි. තමන්ගෙ පුතාට තමන් විසින් කර දුන් වැඩ කටයුතු අලුතින් ආපු ලේලියට පැවරෙන එක සමහර අම්මලට ටිකක් දරාගන්න අමාරුයි.

අම්මා කෙනෙක් පුතෙකුට ආදරය කරන්නේ කාටවත් අයිති කරගන්න බැරිතරම් තදින්. ඉතින් මේ තත්ත්වය පවුලට අලුතෙන් එකතුවුණ ලේලිය ඉතාමත් සියුම් ව අවබෝධ කරගන්න ඕනේ. ඔබේ සැමියාට උදෑසන තේ පිළිගැන්වීම ඔබ අතින් සිදුකරනවාට ඇය අකමැති නම් ඔහුගේ මවට එය ඉටු කරන්න‍ට ඉඩ දෙන්න. ඇය ඔබට සහාය දක්වනවා යැයි සිතන්න. එය ඔබේ කාර්යයක් බවට පත්වීම ඇයට පහසුවක් යැයි ටිකෙන් ටික ඇයට අවබෝධ වේවි. එතෙක් ඉවසන්න. සැමියාටත් ඒ තත්වය අවබෝධ කර දෙන්න. දෙමව්පියන් සහ දරුවන් අතර ඇති බැඳීමට බාධා කර තමන්ගේ තැන රැකගන්නට අවශ්‍ය නැහැ.

ටික ටික අවබෝධ කර දෙන්න

සමහරවිට ඔබ මුලුතැන්ගෙයි වැඩවලට සහාය වනවාට පවා මුල් කාලයේ දී ඇය එතරම් කැමැත්තක් නොදක්වන්න පුළුවනි. ඇය සමඟ කතාබහ කර හැකිතාක් සුහද වෙන්න. එකවර ම ඇය ඊටත් අකමැති වෙන්න පුළුවනි. ඉවසිලිමත් වෙන්න. ඇය ගැහැනු දරුවන් පවුලේ සිටින මවක් නම් ඔබව වැඩියෙන් අවබෝධ කරගනීවි. සමහරවිට පිරිමි දරුවන් පමණක් සිටින පවුලක මවක් නම් ඇය ඔබට ඉතා ඉහළ පිළිගැනීමක් දෙන්නටත් ඉඩ තියෙනවා. මේ කොයිහැටි වුණත් ඔබ දෙදෙනා අතර  ටිකෙන් ටික ගොඩනැගෙන සම්බන්ධතාවක් හරහා තමයි මේ තත්වය වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ.

ඇයට ඉඩ දෙන්න

ඇයට ඔබේ මවට වගේ ම ආදරය කරන්න. ඔබේ ජීවිතයට වටිනා සැමියෙක් ලැබුණේ ඇය නිසයි. ඇය හිතන හැටි, ඇය යම් යම් දේවල් සම්බන්ධව දරන ආකල්ප සමහර විට ඔබ හිතන විදියත් එක්ක ගැ‍ළපෙන්නෙ නැති වේවි. ඇය ආගම දහම ගැන උනන්දු වෙන විදිය, ජ්‍යෝතිශය ගැන හිතන හැටි, ඔබට වඩා වෙනස් ඇති. සමහර විට ඔබේ සැමියා පවා ඒවා අනුමත කරන්නෙ නැතිව ඇති. කොහොම වුණත් ඇය එකවර වෙනස් කරන්න ඔබට බැහැ. ඇය හරි වුණත් වැරදි වුණත් ඇයට තේරුම් කරදෙන්න ඔබ ලොකු කාලයක් ගන්න ඕනේ. සමහරවිට ඇය කවදාවත් නම්‍යශීලී වෙන්නෙ නැතිවෙන්න වුණත් පුළුවනි. ඉතින් ඇයි ඒක ඔබේ ප්‍රශ්නයක් කරගන්නේ. ඇයට එහෙම හිතන්න ඉඩ දෙන්න.

 ගැටුම්වලට බිංදුව

ඇය ඔබව පාලනය කරන්නට හදන විට තරමක් කල්පනාකාරී වෙන්න. ඔබ සැමියාගේ මවගේ තබා සැමියාගේවත් රූකඩයක් විය යුතු නැහැ. ඔබ ස්වාධීනයි. ඔබේ හැකියාවන්, ඔබේ පිළිවෙළ, ඔබ ආසා කරන විදිය ඔවුන්ට දැනෙන්නට දෙන්න. හැබැයි එය කළ යුත්තේ එකට එක සංකල්පයෙන් නොවෙයි. පියවරෙන් පියවර ඔබේ ස්වාධීනකම ඔවුන්ට හෙළිදරව් කරන්න. හැබැයි, මෙතැනදි තමයි ඔබ ගැටුම් ඇතිකරගැනීම බිංදුවට ම දාගන්න ඕනේ.

 වගකීම් දරන්න ශක්තිමත් ද?

කලට වේලාවට ඔබේ වැඩකටයුතු නිම කරන්න. සමහර විට අවිවාහකව ගත කළ ජීවිතයේ දී ඔබට ඔබේ මවගෙන් ලැබුණු සහාය නිසා, ඔබ අලස සුවයෙන් හිටි අවස්ථා ඇති. ඔබේ වැඩ අම්මාට පැවරුණු අවස්ථා ඇති. ඒත් දැන් එහෙම බැහැ. ඔබේ වැඩකටයුතු, ඔබේ විවාහ ජීවිතය තුළ තීන්දු තීරණ, මේ හැම දෙයක් ගැනම වගකීමෙන් වැඩ කරන ශක්තිය ඔබට තියෙන්න ම ඕනේ. ඔබේ සරල බව, සුන්දරත්වය, නිදහස විවාහ ජීවිතය නිසා ඇහිරුණායැයි හිතන්න එපා.

ඔබ දැන් දෙමව්පියන්ගෙන් පොහොසත්

ඔබ දැන් අවිවාහකව සිටියාට වඩා බොහෝ පොහොසත්. ඔබට දැන් පියවරු දෙදෙනෙක් ඉන්නවා. මව්වරුන් දෙදෙනෙක් ඉන්නවා. ඔබේ පවු‍ලට අලුතින් එකතු වූ නෑ හිතමිතුරන් විශාල පිරිසකුත් ඉන්නවා. හැම දුකක් ම හැම සතුටක් ම එකතු වෙලා බෙදාගන්න පුළුවන් සැමියෙක් ඉන්නවා. ඉතින් ඔබ කොයිතරම් ශක්තිමත් ද? තාවකාලිකව මතුවන යම් යම් නොගැළපීම්, හිත් රිදීම්, නොසන්සුන් අවස්ථා, නිසා ඔබේ ජීවිතයට එකතු වූ ඒ ශක්තියට, ඒ සතුටට පැන යන්න දෙන්න නම් එපා.

 – නිරංජලා –