“එළවළු ලොරි වල එන අයත් හිතුණු ගණං කියන්නේ”
එහා ගෙදර නීතා ආන්ටි කියන්නේ බැල්කනි එකේ රෙදි වනන මං දිහා බලන්න උඩ බලාගෙන .ආන්ටි මිදුල අතුගානවා.ගේ පිටිපස්සේ තියන කොස් ගස් ටිකයි මඤ්ඤොක්කා පාත්තියයි තියනකම් ආන්ටිට නම් මාස කීයක් ලොක්ඩවුන් වුණත් මොකද කියලා මං හිතන්නේ හීන් හිනාවකින්.
“මං මේ පොඩියට බටු, මෑකරල්,අමු මිරිස් , තක්කාලි හිටවගෙනනෙ ඉන්නේ ආන්ටි..ඒවා ඇති මට..”
මං අන්තිම ඇඳුමත් රැක් එකට දාන අතරේ කියනවා.තවත් ටික වෙලාවක් ආණ්ඩුවට, රස්තියාදු ගහන මිනිස්සුන්ට දොස් කියපු ආන්ටි ගෙට යන්නේ හොද්දක් ලිපේ බව මතක් වෙලා.මටත් නවයට සූම් මීටින්.ඔෆිස් එකේ අය එහෙමවත් මුණ ගැහෙන එක මදැයි.
“අර පහළ ගෙදර පොඩි බබාගෙ මාර ඇඬිල්ලක්නෙ තියෙන්නේ චතූ..”
කසුන් මට කියන්නේ මං ලැප්ටොප් එක දිගෑරගෙන වැඩ මේසෙන් වාඩි වෙද්දී.
“හෙඩ්සෙට් එක දාගන්න..ඔයත් කෑගහන්න එපා.අද මට ස්පෙෂල් ප්‍රොජෙක්ට් එකක්..”
කසුන් තොල නොපිට හරවලා මට ඇද කරලා එයාගේ ඔෆිස් එකට ලැප්ටොප් එකෙන් එබෙනවා.වසංගතයක් ලෝකෙට කරපු හරියක්.දැන් දවස් කීයක් අපි මෙහෙම හිරවෙලා හිටියද?
“දුව…කොස් ටිකක් ගේට්ටුවෙ එල්ලුවා..”
නීතා ඇන්ටි කෑගහන්නේ ගමටම ඇහෙන්න.ඔෆිස් මීටිම ඉවර වෙලා කම්මැලිකමට බීන් බෑග් එකක වැටිලා තේ බොන මං කසුන්ට දෙන්නේ කුසීත බැල්මක්.
“පස්සෙ ගමු චතූ..මාත් වැඩක්.”
වසංගතයක් කරපු හරියක්.වෙනදට නීතා ආන්ටි ගෙට ඇවිල්ලා මට කුකින් තියරි උගන්නනවා.එයාගේ දූලා ලංකාවේ නැති නිසා ෆේස්බුක් එහෙමත් යන ආන්ටි ඒකෙන් ඉගෙන ගන්න රෙසිපි පවා අත්හදා බලනවා. මට උණක් හෙම්බිරිස්සාවක් හැදුණත් “උයන්න එපා චතූ..” කියලා තේ කෝප්පෙ පවා හදාගෙන එන නීතා ආන්ටිත් දැන් මට දුරස්ථ කෙනෙක්.
“මාර වැඩක්නෙ වුණේ චතූ..” කසුන් ගෙට එන්නේ පැටලිලි මූණක් හදාගෙන.
“මං කොස් පාර්සලේ ගන්න ගියා.එතකොටම අර පහළ ගෙදර මනුස්සයා දනිපනි ගාලා අපේ ගේ පැත්තේ ඉඳලා දුවලා ගියා.මට හොඳටම ෂුවර් මෑන් අරන් ගියේ නීතා ඇන්ටි එල්ලපු කොස් එක..කොස් එකත් නෑ.”
කොස් පාර්සලයක් හොරකම් කරන්න තරම් මනුස්සයෙක් ඇද වැටෙන තත්වෙ ගැන අපි වැඩිය හිතන්න ගියේ නෑ.මේ කාලේ කවුරුකවුරුත් අසරණයි.
“ඒ බෝයි ඔය කම්පැනි සේල්ස් හරි මොනවහරි කරේ.මේ මාසෙ සැලරි නැතුව ඇති.රත්තරන් බඩුවක් වත් උකස් කරගන්න විදියක් නෑනෙ චතූ..”
කසුන් කියන්නේ මහ පසුතැවීමකින්.හවස් යාමයේ මං කේක් එකක්, කුකීස් ටිකක් හදලා නීතා ඇන්ටිට ගේට්ටුවෙන් දෙනකොට මට අර පුංචි ඇස් මඟ ඇරිලා නේද? මේ වගේ අමාරුම කාලෙක පේන දුරින් ඉන්න අසල්වැසියෙක් අමාරුවෙ වැටුණු බව මට නොපෙනුණු හැටි.
“අපිට එයාලා ගැන තේරුණේ නෑනෙ චතූ.ඔයා භාග්‍යලා මේ කාලේ අසරණ අයට පිහිට වෙන වැඩේට හදපු ෆන්ඩ් එකටත් කීයක් දුන්නද? ඒවා කරාට අපි මේ අහළපහල මිනිස්සු ගැන හිතුවේ නෑනෙ..”
වෙනදාට වඩා ටිකක් වැඩියෙන් බඩුමුට්ටු ඕඩරයක් අපේ ගෙදරට ආවේ ටික වෙලාවකට කලින්. මං අද උදේ මාස්ක් එකක්,ග්ලවුස් දෙකක් දාගෙන එළියට ගිහින් එළවළු පළතුරු ලොරියකින් අතක් බරට දේවල් ගත්තා.
“කේක් එකත් බේක් වුණා කසුන්.ගිහින් එයාලගෙ ගේට්ටුව ගාවින් මේවා තියලා එන්න..”
කසුන් අතින් කටින් බඩුමලු උස්සන් පහළ ගෙදර මායිමට යන හැටි,ඒ ගෙදර තරුණයාට අතින් මොනවද කියන හැටි මං බලා හිටියේ බොඳ වුණු ඇස්වලින්. ඔහුත් බිරිඳත් දරුවා වඩාගෙන කසුන් දිහා බලාගෙන හිටියා.පොඩි එකාට කිරිපිටි, නුඩ්ලස්,පැස්ටා,චීස් වගේ දේවල් එක්ක ගෙදරට නැතුවම බැරි අත්‍යවශ්‍ය බඩු ඒ මල්ලක තියෙනවා.හාල් උරයත්,එළවළු ටිකත් ඉතුරු සති දෙකට සෑහෙයි.
“අද අර බබා අඬන්නෙ නෑ..”
කසුන් කියද්දී මට පපුව පැලෙන දුකක් ආවා.ඉල්ලගෙන කන්න පුරුදු මිනිස්සු සහ කොහොමහරි ඉවසන මිනිස්සු කියලා මිනිස්සු වර්ග දෙකක් ඉන්නවා.රස්සාවක් කරාට මේ දවස්වල රස්සාව අහිමි වුණු අසල්වැසියා ඉල්ලා ගන්න නුපුරුදුකමට ඔහේ ඉවසන් ඉන්න ඇති.
හවස මල්වලට වතුර දාන්න එලියට බැස්ස මට ගේට්ටුවෙ අලවපු පුංචි කඩදාසියක් හම්බ වුණා.
“කරුණාවන්තකමට ඔයාලට පිං.රස්සාව කරගන්න බැරි නිසා පුතාට කන්න දෙන්න විදියක් තිබුණේ නෑ.ඔයාලට කිසිම ලෙඩක් දුකක් හැදෙන්න එපා.වැඩි වැඩියෙන් හරියන්න ඕන”
මං ඒ කඩදාසි කෑල්ල දිහා කඳුළු උතුරවමින් බලන් හිටියා.
මේ අපි කාවවත්ම මඟ ඇර ගන්න නරක කාලයක්.වසංගතය ඉවර වෙලා වසන්තය එනතුරුම දුරට වෙලා අනිත් අය ගැන බලන්න ඕන කාලයක්.