මං පුස්තකාලයට ගොඩ වුණේ හැන්දෑවෙ තුන පහුවෙද්දී .පුස්තකාලය වහන්න පැය දෙකක්ම තියෙන නිසා නිදහසේ පොත් තෝරා ගන්න මට ඕන තරම් වෙලාව තිබුනා. සතියේ දවසක් නිසා ඒ තරම් සෙනඟ නොහිටිය පුස්තකාලෙ මගේ හිතට ගෙනාවේ සැනසිලිදායක හැඟීමක්. පොත්වල සුවඳ තැවරුනු රාක්ක අතර මං ඇවිද්දේ කියවන්න පුළුවන් විදිය නවල් එකක් හොයන්නයි . ” හීන් සැරේ නුඹ ඇවිදින් ” පොත මගේ ඇහැ ගැටුනේ ඒ වෙලාවේ . මං ඒ පොත අතට ගත්තෙ මගේ හදවතේ ගැස්ම වේගයෙන් වැඩි වේගෙන එනකොට.
” ඔයා ඕක ගන්නවද ?”
මීට අවුරුදු දෙකහමාරකට විතර කලින් මේ පොත් රාක්කේ ගාවදිම ප්‍රවීන් මගෙන් එහෙම ඇහුවේ මං මේ පොත අතට ගත්ත වෙලාවෙමයි.
” ඔයාට ඕනේ නම් ගන්න.මම වෙන එකක් බලන්නම් “
කාගෙවත් හිතක් රිද්දන්න අකමැති වුණ මම ඒ වෙලාවේ ඒ පොත ප්‍රවීන් අතට දුන්නා . ඊට පස්සේ කීප දවසක්ම මේ පොත් රාක්ක අතර දීම මට ප්‍රවීන් ව මුණ ගැහුණා . පුස්තකාලයේ දී කතා කරන්න තහනම් උන නිසා වෙලාවකට අපි කතා කළේ ඇස්වලින් . ඇස්වලින් වලින් කරපු කතාබහ මදි කියලා අපිටම හිතුන නිසා අන්තිමට අපි පුස්තකාලෙන් එළියෙදි මුණ ගැහුණා. ඊටත් පස්සේ අපි ෆේස්බුක් මිතුරන් බවට පත්වෙලා රැයක් දවාලක් නැතිව කතාබහ කරන්න පටන් ගත්තා.මාසයක් දෙකක් ගියාට පස්සේ පුස්තකාලය ලඟම තියන මුහුදු වෙරළෙදි අපි මුණගැහුනා. ඒ , පෙම්වතුන් දෙන්නෙක් විදිහට.
ජීවිතේ කවමදාවත් කාවවත් විශ්වාස නොකරපු මට පුස්තකාලෙදි මුණ ගැහුන පොත් කියවන්න ආස කළ තරුණයා ගැන ඇතිවුණේ අසීමිත විශ්වාසයක්. පවුලේ දෙවන සහ බාල දරුවා වෙච්ච ප්‍රවීන් ඉගෙනුම ලබලා අවසන් වෙලා මං වගේම ඩිප්ලෝමාවක් හදාරමින් හිටපු කෙනෙක්. එකිනෙකට වෙනස් විෂයන් දෙකක් වුණත් අපි දෙන්නට කතා කරන්න දේවල් ගොඩක් තිබුණා . වෙරළ දිගේ එහාටයි මෙහාටයි ඇවිදගෙන යන ගමන් ජීවිතය ගැන සුන්දර හීන දකින්න මම පුරුදු වෙලා හිටියට ප්‍රවීන් ට කවදාවත් අපේ අනාගතය ගැන සැලසුම් කරන්න ඕන උනේ නෑ
” හැමදේම ගැන වැඩිය බලාපොරොත්තු තියාගන්න හොඳ නෑ යසාරා “
එයා නිතරම කිව්වෙ එහෙම.
දවසක් අපි දෙන්න පුස්තකාලයට ගිහින් ඉවරවෙලා පුරුදු විදිහටම මුහුදු වෙරළට ගියා . ටික දුරක් ඇවිදගෙන යනකොට ගෑනු ළමයි සහ පිරිමි ළමයි හතර පස් දෙනෙක් අපි ඉස්සරහට ආවා .
” උඹ අපිව හලලා ආවේ මේකට නේද එහෙනම් “
එක තරුණයෙක් එහෙම කිව්වහම ප්‍රවීන් හිමින් සීරුවෙ මගේ අත අතෑරියා .
” නෑ බන් මේ හදිස්සියේ නිකන් එන්න හිතුනා “
” ගෙදරටම යන්න පර්මිශන් තියෙද්දි මේ අව්වේ කට්ට කන්නෙ උඹලට පිස්සුනේ ප්‍රවීන්. නේද අශානි ? “
අනෙක් තරුණයා එහෙම කිව්වහම ප්‍රවීන්ටත් වඩා තිගැස්සුනේ මම. පිරිසෙන් ගැලවිලා ඉක්මනින් මාවත් එක්කගෙන පාර පැත්තට ආව ප්‍රවීන් ට කියන්න හුඟක් දේවල් තියෙනවා කියලා මුහුනෙන්ම පෙනුනා
” අශානි කියන්නේ මගේ කලින් girl යසාරා. යාලුවෝ හිතන් ඉන්නේ තාමත් අපේ එෆෙයාර් එක තියෙනවා කියලා “
මම නිහඬවම හිටියේ ප්‍රවීන් ට කතා කරන්න ඉඩ දීලා .
” අපේ එෆෙයාර් එක ගෙවල් වලිනුත් දැනගෙන හිටියා . හැබැයි එයාට වෙන කොල්ලෙක් ඉදලා මට මාට්ටු වුණා . ඒක කොහොමද මම කටක් ඇරලා යාලුවන්ට කියන්නේ “
” ඉතිං ප්‍රවීන් යාලුවෝ අශානිව දැකලා තිබුණෙ නැද්ද ? “
” න්.. නෑ.. දැකලා නෑ . මං වැඩිය personal දේවල් යාලුවොත් එක්ක ශෙයා කර ගන්නේ නැහැ යසාරා “
මට ප්‍රවීන් ගැන දැනුනේ අනුකම්පාවක්. පෙරටත් වඩා ඔහුට ආදරය කරන්න ඕනේ කියලා මම හිතා ගත්තේ ඒ වෙලාවේ.
” ඔයා මං ගැන ගෙදරට කියන්නේ කවද්ද ? මාත් ඔයා ගැන අම්මට හෙමින් සැරේ කියන්නම් “
දවසක් මං ප්‍රවීන් ට එහෙම කිව්වේ කිව්වේ මට ඉන්නේ අම්ම විතරක් නිසා .
” අපි ඒකට ඉක්මන් වෙන්න හොඳ නෑ යසාරා “
” ඔයා එහෙම කියන්නේ කලින් වෙච්ච දේ නිසාද ? ඒ කියන්නේ ඔයාට මාව විශ්වාස නැද්ද?
” අනේ එහෙම එකක් නෙමෙයි . මං කියන්නේ අපි දෙන්න තව අඳුර ගන්න ඕනේ කියලා . අපිට ඕන තරම් කාලෙ තියෙනවනේ “
ප්‍රවීන් ගේ කතාවට මම එකඟ වුණේ ඇත්තටම අපි මුණගැහිලා ඒ වෙනකොට මාස පහක් හයක් විතරක් ගෙවිල තිබුණ නිසා.
සතියකට දවස් තුනක් හෝ හතරක් ප්‍රවීන් මාව මුණ ගැහුනා . පුස්තකාලෙදි වගේම අපිට පුරුදු මුහුදු වෙරළේදී , උද්‍යාන වලත් , අවන්හල් වලත් අපි දෙන්නා කාලය ගත කරා. ඒ හැම වෙලාවකම ප්‍රවීන් අවට ලෝකය ගැන ඕනාවට වඩා විමසිල්ලෙන් ඉන්නවා කියලා මට දැනුනා
” ඇයි ප්‍රවීන් ඔයා බයෙන් වගේ වට පිට බලන්න හැමවෙලේම ? “
” අඳුරන කවුරුහරි දැක්කොත් “
” ඉතින් ඇයි? මොකද්ද අවුල ?”
” කොල්ලෙක් එක්ක රවුම් ගහනවා කියලා මිනිස්සු ඔයා ගැන වැරදියට හිතයි නේ යසාරා “
” ඉතිං ඔය ඕන තරම් කපල්ස් පාරේ යන්නේ ? “
” එහෙම නෙමෙයි. මං ඊට වඩා ඔයා ගැන හිතනවා “
ප්‍රවීන්ගේ ඒ හැසිරීමේ මොකද්දෝ අමුත්තක් මට දැනුනත් ඔහු හදන්නෙ මගේ ගෞරවය ආරක්ෂා කරන්න කියලා මං අන්තිමට හිතුවා. තමන්ගෙ පෙම්වතිය ගැන ලෝකයට කියන්න බය පෙම්වතුන්ගේ ඇතුලාන්තයේ තියෙන තවත් ආදර කතා ගැන මගේ මිතුරියන්ට තිබුණු නරක අත්දැකීම් ඒ වෙලාවේ මට මතක් වුණත් ප්‍රවීන් කියන්නේ විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් කියලා මම ඒ මොහොතෙත් විශ්වාස කළා .
අවුරුදු දෙකහමාරක් ඒ විදිහට අපේ ආදරය ගලාගෙන ගියේ සතුට ,දුක රණ්ඩු සරුවල් මැද්දෙ වුණත් අපි එකිනෙකාට ගොඩක් ආදරය කරා. ඒ
කාලය ඇතුළත මට ඉඩ ලැබෙන හැම මොහොතක්ම ප්‍රවීන් වෙනුවෙන් වෙන් කරන්න ඕන නිසා මං වෙනුවෙන් වෙන් කරන්න තිබුණු කාලය, යාළුවන් මුණගැහෙන්න තියන කාලය ආදී හැම මොහොතක්ම ප්‍රවීන් වෙනුවෙන් කැප කලා. අනාගතයේ දී ප්‍රවීන් මාව රැකබලා ගනී කියන විශ්වාසය මත ඒ වෙනකොටත් ඉගෙන ගනිමින් හිටපු කෙල්ලෙක් විදියට මගේ අතේ තිබුණ හැම රුපියලක්ම එකතු කරගෙන අපි හමු වුන ගොඩාක් වෙලාවල් වලදී ප්‍රවීන්ට වියදම් කරන්න නොදී මම වියදම් කලේ බොහොම කැමැත්තෙන්
අපි මුණ ගැහෙන්න හිතාගෙන හිටපු එක දවසකදි හදිස්සියේම ප්‍රවීන්ගේ අම්මා අසනීප වුණා. අම්මව රෝහලට රැගෙන යන්න තාත්තා එක්ක යන්න සිද්ද උන නිසා මම ප්‍රවීන් ට ඒ ගමන යන්න ඇරියා.විස්තර අහන්න මම ඔහුට කෙටි පණිවිඩ දැම්මත් ඒ වෙද්දිත් ඔහුගේ දුරකතනය ක්‍රියාවිරහිත වෙලා තිබුණා.
” වැදගත් වැඩක ඉන්නකොට මම මේක ඕෆ් කරනවා යසාරා.නැත්තම් කෝල් එනකොට disturb නේ “
එක දවසක් මගේ ෆෝන් එකේ බැට්‍රි බැහැලා තිබුන වෙලාවක අපි දෙන්නගෙ ෆොටෝ එකක් ගන්න මං ප්‍රවීන්ගේ ෆෝන් එක ඉල්ලුවා. ඔහුගේ ෆෝන් එක ක්‍රියා විරහිත කරලා තියෙනකොට ඒ ඇයි කියලා අහද්දී ඔහු උත්තර දුන්නේ එහෙම.
” මාවත් එච්චරටම වැදගත් ද ? “
ඒ වෙලාවේ මම ඇහුවෙ සතුටින් ඉපිලෙන ගමන් . ප්‍රවින්ගෙ ජීවිතේ මම වැදගත් දෙයක් කියලා දැනගත්ත එකට ඇත්තටම මට සතුටු හිතුනා.
ප්‍රවීන් ව මුණ ගැහෙන්න යන්නෙත් නැති නිසා ඩිප්ලෝමාව හදාරපු ආයතනයේ මිතුරියන් කීප දෙනෙක් මට ෆිල්ම් එකක් බලන්න යන්න කතා කලා . සෑහෙන කාලෙකින් film hall එකකට ගිහින් ෆිල්ම් එකක් බලල තිබුනෙ නැති නිසා මම ඒකට එකඟ වෙලා මම මිතුරියන් එක්ක යන බව පණිවිඩයකින් ප්‍රවීන් ට යවලා තිබ්බේ දුරකථනය ක්‍රියාත්මක කරපු වෙලාවක ඔහු ඒක දකී කියලා .
අලුතෙන්ම නිකුත් වුන ප්‍රේමණීය ෆිල්ම් එක පටන් ගන්න ඔන්න මෙන්න තියලා හෝල් එක ඇතුලට රිංග ගත්ත මම මිතුරියන් එක්ක ෆිල්ම් එක බැලුවේ කාලයකට පස්සේ එයාලා එක්ක නිදහසේ එලියට ආව සතුට විඳින ගමන් .
විවේක වෙලාවෙදි වත් එළියට නොගිය අපි හෝල් එකෙන් එලියට ආවෙ පැය දෙකහමාරකින් ෆිල්ම් එක ඉවර උනාට පස්සේ. සෙනග අතරින් එළියට ආව ඒ මොහොත මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ.
මටත් වඩා වයසින් බාල පෙනුමක් තියන හුරුබුහුටි ගෑනු ළමයෙක් එක්ක ප්‍රවීන් හෝල් එකෙන් එළියට ආවේ අපිට සමාන්තර දුරකින්. දැක්ක දෙයින් අතිශයින්ම කම්පනයට පත්වුණ මම කෑගහලා අඬද්දි , වටේ පිටේ සෙනඟ වගේම මගේ මිතුරියන් කිහිප දෙනාත් මගේ වටේ එකතු වෙද්දි , නාදුනන ගෑණු ළමයත් එක්ක තිගැස්සුණු මුහුණකින් ප්‍රවීන් එතැනින් පිටවෙලා ගියා
මහා රැවටීමකට ලක්වුන පසුතැවීම මගේ හිතේ හැම අස්සකම හොල්මන් කරද්දි මාස එකහමාරකට අධික කාලයක් මම ඩිප්ලෝමාවට සහභාගී නොවී ලෝකෙන්ම හැංගිලා ගෙදරට වෙලා හිටියා. කවදාවත් වෙනස් නොවුනු අම්මගේ ආදරේ ජීවිතයේ හැම මොහොතක්ම එක ක්ෂණයකින් වෙනස් විය හැකි යි කියලා,මට කියලා දෙනකොට තවත් මාස දෙකකින් අලුත් ජීවිතයක් ලබපු කෙනෙක් වගේ මම ගෙදරින් එලියට බැස්සා. පරණ පුරුද්දට පුස්තකාලයට ගියත් ඊට පස්සේ මට කවදාවත්ම ප්‍රවීන්ව මුණ ගැහුනෙ නැහැ . ඇත්තටම මම ප්‍රාර්ථනා කළෙත් ඔහුව මුණගැහෙන්න එපා කියලයි.
සමහර අනතුරු ඇඟවීම් පෙනි පෙනීත් මම ඔහුව විශ්වාස කරපු එකට හිතේ කොනක පසුතැවීමක් තිබුනත් ප්‍රවීන් ආපහු මගේ ජීවිතයට එන්න ඉඩ තියෙන හැම පාරක්ම මම ම වහල දැම්මා .
චිත්‍රපටියක් වගේ හැම මතකයක්ම එකින් එක පෙළ ගැහෙනකොට මම අතේ තිබුන නවකතා පොත ආපහු රාක්කයට ම දැම්මා.
ආදරයේදී අනෙකාව අසීමිත ලෙස විශ්වාස කිරීම, ඔවුන්ව රැවටීමට ලැබෙන අවස්ථාවක් කියලා හිතාගෙන ඉන්න දරුණු හිත් තියෙන මිනිස්සු මේ ලෝකයේ ඕනෑ තරම් ඉන්නවා .
ආදරය කියන්නේ සුන්දර දෙයක් . ඇත්තෙන්ම එය සුන්දරව විඳින්න පුළුවන් දෙයක් වෙන්නේ සුන්දර හිතක් තියෙන කෙනෙක් මුණ ගැහුණොත් විතරයි . ප්‍රවීන් ගෙන් මං ඉගෙන ගත්ත ලොකුම පාඩම ඒක .