අමන්දී උදැසනම දිය නා ඇඳුම් තෝරමින් හිඳින අන්දම දුටු අවිශ්ක ඈ වෙත ආවේ සිනාමුසුව ය.
“අද කොහෙවත් යන්නද අක්කා නගෝ ලෑස්ති..”
අමන්දී අවිශ්ක දෙස පුළුල් සිනාවකින් බැලී ය.
“නංගිත් ලෑස්ති වෙනවද? අද අපේ දුලනිගේ ප්‍රොෆයිල් ෂූට් කරන දවසනෙ.මාවත් ඕන කීවා.”
අවිශ්ක අමන්දීට දැල්වූයේ සුන්දර සිනාවකි.ඇය දුලනි බොහෝ දුරක් රැගෙන ආ ගුරුතුමිය ය.ලෝකයා ඇගේ නම දැන ගත යුතු බව ඔහු සිතී ය.
“නංගි ලෑස්ති වෙලා ඉන්නේ ඉඳුවර එයි කියල වෙන්න ඇති.”
අවිශ්ක නැවතත් උස් හඬින් හිනැහී ය.අමන්දීට ද පහළ වූයේ සිනාවකි.
“මේ රටේ කොහෙවත් ඉඳුවරට එහෙම ෆෑන් කෙනෙක් හම්බෙන්නේ නෑ.පුදුම ආදරයක්.ඉන්න ඔක්කොම ප්‍රෝග්‍රෑම්ස් බලනව.ගොසිප් පේජ්වලට බැනලා කමෙන්ට් කරනවා..”
අමන්දී කියන්නේ ද සිනාවතිනි.ඇය සූදානම් වීමට ඇඳුමක් සකසා වෙනත් රාජකාරියක නිරත වන්නට ගත්තා ය.අවිශ්ක ද පහත මාලයට ගියේ කඩයට කෙනෙකු ආ නිසාවෙනි.
“අක්කේ..අක්කේ…අනේ එන්නකො..”
සඳුනි කඩා බිඳගෙන කාමරයට ආවේ ඒ මොහොතේ ය.අමන්දී ගැස්සී ගියා ය.
“ඇයි නංගි.ලොකු දූ වැටිලාද”
නයනි තම දරුවන් ගැන එතරම් සොයා නොබලන නිසාම වැඩිමහල් දැරිය සෑම විටම කුමක් හෝ අනතුරක් කරගන්නියක වී සිටියා ය.තමන් ගුරුවරියක නොව හෙදියක යැයි අමන්දීට සිතෙන තරමට ඇය කුඩා දැරියගේ තුවාලවල බෙහෙත් ගල්වා ඇත.ලේ දකින්නට බිය සඳුනි කරන්නේ කෑගසාගෙන අමන්දී වෙත පැමිණීම ය.
“ඉඳුවර..එයා ඇවිල්ලා.”
අමන්දී සන්සුන් ව නැගී සිටියා ය.
“අයියා කෝ නංගි..”
ඇයට දැනගන්නට අවශ්‍ය විය.අවිශ්ක ඉඳුවර පිළි ගෙන පහත මාලයේ බව සඳුනි හෙළි කළා ය.අමන්දී පහත මාලයට ආවේම සන්සුන් හිතක් දරා ගෙන ය.
“මේ මහත්තයා ඇවිල්ලා ඔයාව මුණ ගැහෙන්න..”
අවිශ්කගේ කටහඬෙහි කැළඹීමක් හෝ කම්පනයක් නැති බව ඉඳුවර හැඳින්නේ ය.සහස්ට වෛර කරමින් ගෙවා දැමූ පසුගිය දින කිහිපය ගැන ඔහුට උපන්නේ ලැජ්ජාවකි.
“අයියේ, මං මේකිගෙ බැච් මේට්නෙ.ඔය මහත්තුරු කතා ඕන නෑ.මට මල්ලි කිව්වම ඇති.මෙයාලා ගාව ඊට වඩා කුජීත නම් තියනව..ඒවා නම් කියන්න එපා..”
සඳුනි මුළුතැන්ගෙයි උළුවස්සෙන් එබී බලයි.අමන්දී සිතට ආ ඉසිහින් දුක පිස දමා හිනැහුණේ ඒ බැල්ම දුටු නිසා ය.
“පොඩ්ඩී..ඔයාගේ ස්ටාර් ඇවිල්ලනෙ.ඔයාම මොනවා හරි බොන්න හදන් එන්න.මේ අයියා කැමතිම නම් කිරිකෝපි වලට..”
අමන්දී උස් හඬින් පැවසුවා ය.ඉඳුවර හිනැහුණේ හඬ නගා ය.
“අමා.මං දුලනි දූව මේ රවුන්ඩ් එකෙන් අයින් කරනවා.ඒක ඔයාට කියන්න ආවේ..”
ඒ කතාවට අවිශ්ක පුදුමයට පත් විණි.නමුත් අමන්දී වෙනසක් නොපෙන්වා බලා සිටියා ය.
“අන්තිම හතරෙන් පස්සෙ චැනල් එක එක්ක ඇග්‍රිමන්ට් ගහන්න ඕන.මේ පොඩි එකා එතන රූකඩයක් වෙනවට මං ආස නෑ.වෙන අම්මලා තාත්තලට මේවා පහදන්න බෑ.ඒත් අපිට ඕන දෙයක් කතා කරන්න පුලුවන්නෙ.”
ඕනෑ දෙයක් කතා කරන තරමට සමීපව තිබු බැඳීම තවමත් ඉතිරිව ඇති බව අමන්දී ඒ වචන කිහිපයෙන් දැන ගත්තා ය.ඇයට මොකක්දෝ සැනසීමක් දැනිණ.
“ප්‍රොෆෙසර් ජානක එයාගෙ අලුත් ෆිල්ම් එකේ සින්ග් කරන්න දුලනි තෝරගෙන.ඒවට දරුවට යන්න බෑ ඇග්‍රිමන්ට් වලට අහු වුණොත්.ඇත්තටම මගෙ ටීම් එකෙන් ෆයිනල් යන්නෝනෙ දුලනි..ඒ වගේම දිනන්න ඕනත් දුලනි.ඒත් අපි මේ දරුවා තරුවක් නොකර ගායිකාවක් කරමු අමා..”
ඉතා මෑත අතීතයක තමන් වටහා දෙන්නට ගියේ ඔය සත්‍යම වග ඉඳුවරට කියන්නට ඕනෑ වුවද අමන්දී වදනකුදු නොදොඩා බලා හුන්නා ය.
“දුලනිගෙ ගෙවල් දොරවල් ෂූට් කරාට පස්සෙ එයාව මාකට් වෙන්න ගන්නවා.කොහොමත් ඔය දිනලා ගන්න ලක්ෂ පහ නැතුවට ඊටවඩා දේවල් මිනිස්සු එයාට දෙනවා..පරාද වෙන්නෙ ඇයි කියන එක ඇත්තටම දුලනිත් දැන ගන්න ඕන..”
ඉඳුවර පවසයි.එය දුලනිට වටහා දීම අසීරු නැති වග අමන්දී දැන සිටියා ය.
“හැබැයි ඔයාට මිනිස්සු හොඳටම බනියි..”
අමන්දී කල්පනාබරව පැවසුවා ය.
“ඔව්.සතියක් තිස්සෙ සෝෂල් මීඩියා බයිට් එක වෙන්නේ මම.දුලනිව කපලා එලීනාව ගන්න මම හිතන් ඉන්නේ.එලීනාගේ අක්කාගේ ඇඳුම් වල කොට එක්ක දුලනිගෙ අයින් වෙන එක ගැන ලස්සන කතා සෝෂල් මීඩියා වල යයි..”
ඉඳුවර එසේ කියා හිනැහුණේ ය.
“මිනිස්සු මොනතරම් නරකද කියල හිතෙන්නේ සෝෂල් මීඩියා ඕපදූපයි මඩයි බලන් ඉන්නකොට ඉඳුවර.ඇත්තටම ඒ වගේ කැත කතා යන්න ගියොත් කොච්චර නරකද?”
අමන්දීට ඇති වූයේ අප්‍රසන්න බවකි.කන්ද කෙන්ද කරන්නටත් පොල් කෙන්දක් පොල් පරාලයක් කරන්නටත් සමත් සමාජ ජාලා මිනිසුන්ගේ ජීවිත උඩුයටිකුරු කරමින් අසත්‍ය ඕපාදූප පළකරන බව ඇය දනියි.දුලනිගේ යහපත වෙනුවෙන් ඉඳුවර ඒ මඩ ගොහොරුවේ ගිලී යාම ඇයට වේදනා උපදවන්නට සමත් විණි.
“මං තව දෙයක් කියන්නං.”
ඉඳුවර ඇසුවේ අමන්දී දෙස සෘජු බැල්මක් හෙළා ය.ඔහු කුමක් පවසාවිදැයි කුහුලින් ඇය නෙත් කොනින් අවිශ්ක දෙස බැලුවා ය.