ආන්ටි..දැන් අඬන්න එපා.සිතාරාට දැන් හොඳයිනේ.”
හදිසි ප්‍රතිකාර ඒකකයේ මැෂින් වල ආධාරයෙන් හිටපු සිතාරා සාමාන්‍ය වාට්ටුවකට දැම්මට පස්සේ මං චන්දි ආන්ටිට කිව්වා.ඇත්තටම දැන් දැනෙන්නේ සැනසීමක්.ජීවත් වුණා ඇති කියලා හිතලා අත්තම්මාගේ බෙහෙත් පෙති බිව්ව සිතාරා මේ තරම් වෙලා හිටියේ ජීවිතයත් මරණයත් අතර සටනක.
“දුව වගේ ඇට්ටර නැතුව හැදුණනම් මේ කෙල්ලත්..”
චන්දි ආන්ටි කියන්නේ කඳුළු පිහින ගමන්.
“චන්දි, දැන්වත් අපේ දුවයි සිතාරායි සසඳන එක නවත්තන්න.අපේ උත්පලා කියන්නෙ අර කවි පන්තියෙ එන සිරිමත් වගේ ළමයෙක් නෙවෙයි.මෙයත් දඟයි, නරකයි..ඒත් සිතාරාට ඔයා බනිනව වගේ මං තිස්සෙම මෙයාට බැනලා නෑ..”
අපේ අම්මා සැරෙන් කියද්දී මං අම්මාගේ අතින් අල්ලා ගත්තා.මේ වෙලාවේ චන්දි ආන්ටිට බනින්න බෑ.එයා ඉන්නේ ඇත්තටම හිත් පීඩාවෙන්.
මමත් සිතාරාත් අතර වයස පරතරය මාසෙකටත් අඩුයි.අපේ අම්මලත් චන්දි ආන්ටිලත් සමගි මාවතට ඇවිත් තියෙන්නේ එකම කාලෙක.සිතාරාත් මමත් පවුලේ එකම දූවරු.
“ඒ කාලේ ඔයාලා නිවුන්නු කියලා මිනිස්සු රැවටෙනවා.”
අපේ අම්මා තාමත් කියනවා.
අම්මා කියන හැටියට සිතාරා එක්ක මාව සසඳන එක චන්දි ආන්ටි පටන් අරන් තියෙන්නේ අපි හුඟාක් පුංචි කාලේ.
“උත්පලා නම් රෑට අඬන්නේ නෑ නේද? මේ කෙල්ල පුදුම කරදරයක් දෙන්නේ.”
එක එක දරුවන්ගේ හැසිරීම වෙනස් බවත් රෑ නිදි කරවීම සම්බන්ධ පාඩමත් අම්මා චන්දි ඇන්ටිට කියා දුන්නත් චන්දි ඇන්ටි හිටියේ සිතාරා එක්ක කේන්තියෙන්ලු.ගේ වටේ ඇවිද ඇවිද කුරුල්ලෝ පෙන්න පෙන්න කැවුවත් සිතාරා බත් නොකෑම ගැන,මම ෆීඩින් චෙයාර් එකකට වෙලා මගේ පාඩුවෙ කෑම ගැනීම ගැන ඊළඟ නෝක්කාඩුව ආවලු.
එතනින් නතර වුණේ නෑ.හැමදාමත් සිතාරා මාත් එක්ක සංසන්දනය වුණා.මගේ යහපත් හැසිරීම සිතාරාගේ ඔලමොට්ටල හැසිරීම එක්ක සංසන්දනය කරමින් බනින්න චන්දි ආන්ටි වග බලා ගත්තා.මොන්ටිසෝරි කාලෙදි මම නටන්න සිංදු කියන්න ආස ළමයෙක් වීම ගැන චන්දි ආන්ටි ඇත්තටම සතුටු වුණා.
“මොනව වුණත් චන්දිගේ ඉරිසියාකාරකම් නම් නෑ..”
අම්මා ඒ කතාව තිස්සෙම කියනවා.ඒත් මට ඉරිසියාකාරකම් කළානම් එකක්.ආන්ටි කළේ හැමතිස්සෙම මගේ හැකියාවන් පෙන්න පෙන්නා සිතාරාට බනින එක.
“මට චිත්‍ර අඳින්න බෑනෙ ආන්ටි.සිතාරාට ලස්සනට චිත්‍ර අඳින්න පුලුවන්.”
මං ආන්ටිට එහෙම කිව්වත් ආන්ටි කළේ කිසිම නැටුමකට යන්න උනන්දු නොවීම ගැන සිතාරාට බනින එක.
ඉස්කෝලේ එකම පන්තියේ හිටිය අපි දෙන්නා හැමදාමත් ආන්ටිගෙ සසැඳීමට ලක් වුණා.
“දූට ගණං වලට ලකුණු අනූ දෙකයි නේද? මේ අපේ මෝඩිට හැත්තෑවයි..”
එක වසරේ ඉඳන් ශිෂ්‍යත්ව පන්තිය වෙනකන් සසඳමින් ආවට අපි දෙන්නම ශිෂ්‍යත්ව විභාගේ හොඳට පාස් වෙලා ටවුමේ බාලිකාවට ගියා.එහෙ පළමුවැනි වාර විබාගෙ ලකුණු බලලා ආන්ටි කිව්වේ එහෙමයි.
“ඉතින් අපේ කෙල්ල පන්තියේ හත් වැනියනෙ.සිතාරා දූ තුන්වැනියා වෙලා..”
අම්මා සිතාරා තුරුලට ගත්තේ එහෙම කියාගෙන.
අපි උස්මහත් වුණේ සසඳන එක සාමාන්‍ය දින චරියාවට එකතු කරගෙන.මම අම්මාව හොඳම යාළුවා කරගනිද්දී සිතාරා චන්දි ආන්ටිගෙන් පුලුවන් තරම් ඈත් වුණා.
“කාමරේට වෙලා ඉන්නවා.වැරදිලාවත් එළියට එන්නෑ.පුදුම ළමයෙක්..”
මං අම්මා එක්ක මල් වවනකොට අත් උදව් දෙනකොට ආන්ටිට අපි එක්ක සිතාරාට බනිනවා.
“මං අම්මාට උදව්වක් දෙන්න ගියාම අම්මාගෙ වැඩේ ඇද හොයනව.මං අර හෝම් සයන්ස් වලට උගන්නපු පුඩිම හදන්න ගියා.අම්මා බැන්නනෙ කුස්සිය නාස්ති කරලා බඩුත් නිකං කාලා දානව කියලා.”
සිතාරා කියන්නේ වේදනාවෙන්.
අපේ ඉස්කෝලේ ඉන්න හොඳම බාස්කට් බෝල් ප්ලේයර් සිතාරා.ආන්ටි ඒ දක්ෂ තරුව හම අඳුරු කරගැනීම ගැන විස්සෝප වුණා.ඒත් සිතාරා නමට පාසල් වාර්තා එකපිට එක ලියවුණා.
“සිතාරා කියන්නෙ ඉස්කෝලේ තාරකාවට චන්දි.අපේ දූ දක්ෂ ඉගෙන ගන්න විතරයි.අනිත් එක උත්පලා පොඩි කාලේ ඉඳලම අව්වට,දූවිලි වලට අකමැති.ඒකයි එයා ස්පෝට්ස් නොකරන්නෙ.නැතුව කෙල්ලක් වගේ පිළිවෙලට ඉන්න ඕනවට නෙවේ.ඔයා අර දක්ෂ ළමයව හැමතිස්සෙම උත්පලා එක්ක සසඳන්න එපා..”
අපේ අම්මා මොනතරම් බැන්නත් චන්දි ආන්ටිට ගාණක් නෑ.
“ඔයාට මොනවද පුලුවන්?”
“වැඩක් කරොත් මොකක්ම හරි ඇදයක්..”
“සල්ලි කන්නමයි හපන්..”
“එකක් කීවම දාහක් හේතු කියනව.”
“කිසිම මනුස්සකමක් නැති ළමයෙක්..”
මේ වගේ කතා අහගෙන සිතාරා උස්මහත් වුණා.මට වෛද්‍ය පීඨයටවත් සිතාරාට ඉංජිනේරු පිඨයටවත් යන්න තරමට ප්‍රතිඵල ප්‍රමාණවත් වුණේ නෑ.අන්න ඒ නිසා යාන්තම් අපි දෙන්නා උසස්පෙළ ප්‍රතිඵල වලින් සසඳන්න ආන්ටිට බැරි වුණා.
අපි එකම සරසවියක පීඨ දෙකක ඉගෙන ගත්තා.මම අශාන් එක්කත් සිතාරා මදූක එක්කත් යාළු වුණේ එකම කාලේ.අපි සරසවියෙන් පිටවෙලා විවාහ උත්සව සැලසුම් කරන්න පටන් ගත්තා.ජීවිතේ දේවල් වෙන්නේ එකපාරටම. මදූකට කැම්පස් එකේ අවුරුදු හතරක් ආදරේ කරපු සිතාරාව හොඳ මදි වුණා.එයා ඔෆිස් එකේ ගෑනු ළමයෙක් යාලු කරගත්තා.
“රැවටිලිකාරයෝ ජීවිතෙන් යන එකමයි හොඳ සිතූ..”
මම කියද්දී උත්පලාත් ඒක පිළිගත්තා.
“මාත් හිතුවේ ඒකයි උතූ..කසාද බැඳලා යන්න ගියානම්..”
එයා ලේසියෙන් හිත හදා ගත්තා.ඒත් චන්දි ආන්ටි මදූකට සිතාරා එපා වුණේ සිතාරාගේ මූසලකමට කියලා බනිනකම් විතරයි.
පුංචි කාලේ ඉඳලා උත්පලා එක්ක සසඳපු එක තමන්ට කොහොමත් ජීවිතේ එපා කරපු බවත්, අම්මා අවශ්‍යම මොහොතක පවා තමන් ළඟ නොහිට ආඩපාලි කීම ජීවිතය එපා කරපු බවත් සිතාරා ලියලා තිබ්බා.එයා අත්තම්මාගේ බෙහෙත් වගයක් බීලා තිබ්බේ ඉන්පස්සේ.
“ඔයාටයි මටයි දෙන්නටම ඉන්නේ මැණික් දෙකක් චන්දි.ඒ දෙන්නම එක වගේ වටිනවා.සසඳන එක දැන්වත් නවත්තන්න.”
අම්මා කියන්නේ ආදරෙන්.චන්දි ආන්ටි හිස වැනුවේ පසුතැවීමට ඇස් වලින් ගලාගෙන යන්න ඉඩ දීලා.