සඳක් කළ සක්මන් බෝනස් කතාංගය – 43 වන කොටස

මම නංගී ගේ මුහුණ වඩාත් ළඟින් දුටිමි. අප දෙදෙනා නිදන්නේ ද එක ම යහනක වී ද, ඇය ගැබ් ගත බව දැන ගත් සහ ඊට වග කිව යුතු ආකාශ් යයි ඇය කී දින සිට මා ඇගේ මුහුණ හොඳින් නො බලා ඇති බව මට වැටහුණේ මේ මොහොතේ ය. නංගී ගේ සියලු අවශ්‍යතා මවිසින් ඉතා හොඳින් සොයා බලා සපිරූ බව ඇත්ත ය. නමුත් මගේ හිතේ ගැඹුරු ම පත්ලක ඇගේ චෝදනාව වෙනුවෙන් උපන් අප්‍රසාදයක් නිදන් ගත වී කිබෙන්නට ඇත. ඒ අප්‍රසාදය විසින් ඇගේ මුහුණ දෙස කෙළින් බලන්නට නො සිතෙන තරමට මා ඇගෙන් දුරස් කොට තබන්නට ඇත.

නංගිගේ මුහුණේ හා ඇස් වල මඳ තඩිස්සි ගතියක් විය. ඇගේ කම්මුල් ද මහත් වී තිබිණි. ඒ සිරුරේ ඇති වූ පිරිපුන් ගතියක් නිසා ද නැත්නම් ගර්භණී සමයේ අවසාන භාගයට ඇය අවතීර්ණ වෙමින් හිඳින නිසා ද කියා පැහැදිලි ව සිතා ගන්නට මට හැකි වූයේ නැත.

“ඇයි අක්ක මං දිහා ඔහොම බලං ඉන්නෙ…”

මගේ ඇස් දෙක සිය මුහුණ මත නතර ව එහෙ මෙහෙ දුවත්දී නංගී ප්‍රශ්න කළා ය. ඇදෙස බලා සිටියා වැඩි යයි මට සිහිපත් වූයේ එවිට ය.

“නෑ..ඔයාගෙ මූණ ටිකක් තඩිස්සි වෙලාද…”

මම වහා සාමාන්‍ය තත්වය ට පත් වනු වස් විමසීමි.

“ඔව්. කකුල් මේ…”

ඈ සිය දෙපා මදෙසට දිගු කොට පෙන්වූවා ය. ඒවා බරවා කකුල් සේ ඉදිමී තිබුණේ ය. මට හීල්ලිණි.

“ඕව ඔහොම තමයි අක්කෙ. මේ ඉතිං අන්තිම මාසෙනෙ”

නංගී නගා ගත් සිනහව අතිශය පරිනත පාට ය. අක්කා කියා කතා කළා ට දැන් ඇය අක්කා ය මා නංගී ය වැනි ස්වරයකිනි ඈ දෙඩුවේ. මා නො දන්නා බොහෝ දෑ ජීවිතය මත අත්දැකීමෙන් ඈ දන්නවා ය කියා ඈ මට නො කියා කියූවා ය.

“මං මේ ඇඟිලි ගැන ගැන ඉන්නෙ කොයි වෙලාවෙ මේ බරෙන් නිදහස් වෙන්නද කියල. දැන්නං එපා වෙලා අප්ප”

හදේ කොතැනකට හෝ විදුලි සැර වැදුණා සේ මට දැනිණ. නමුත් නංගී උදරය පිරිමදිමින් සිටියේ කිසිදු ගණනකට නැතිව ය.

“අනේ එහෙම කියන්න එපා නංගි. මොනා වුණත් චූටි පැටියෙක්නෙ”

“හ්ම්”

එවර ඇය අලුතෙන් ඉදි වන්නට ගත් ගෙයි කපරාදු නො කළ බිත්තියකට පිට දී හිට ගත්තා ය. නංගී ට කියන්නට තිබෙනා කාරණාව කුමක්ද යන කුහුල මා තුළ ඇති වූයේ එවෙලේ ය.

“මොකද්ද ඔයාට කියන්න තියෙනව කිව්වෙ…”

ඇය බිම බැලුවා ය. ඒ හුදු ගැහැනු ගතියට මිස වෙනත් කිසියම් හැඟීමකින් වන්නට පුළුවන් ද?

“අක්කෙ”

නැවතත් ඈ සිය හඬ අවදි කළා ය. මට ඇගේ බැල්ම ගැන කිසිවක් ම අනුමානයෙන් හෝ සිතා ගත හැකි වූයේ නැත.

“මට සමා වෙන්න අක්කෙ”

සමාව ඉල්ලන්නට ඈ ගත් කාලයක දිග! හිතේ කේන්තියක් ඇති නොවූවා ම නොවේ. නමුත් ඈ ඉන්නා තත්වය ගැන සිතා මම නිසොල්මන් වීමි.

“මං හැමදාම ඔයාට කළේ වැරදි”

මගේ දෙතොල් සිනහවකට ඇද විය. මා ඇය ට සිනහ වූවා නොවේ. ඊට වඩා මට ම සිනහ වෙන එක පහසු ය. මට වැරදි කළත් නංගී ට නො වැරදී තිබුණා නම් මා කැමති ය.

“මං ඔයාට ඊරිසියා කළා. ඒක කොච්චර මෝඩ වැඩක්ද කියල දැං මට තේරෙනව අක්කෙ. මං මොනා කළත් ඔයා මටයි මේ බබාටයි කොච්චර ආදරේද…සමහර විට මං මේ ළමයට ආදරේ කරන්නෙ නැතුව ඇති ඔයා තරං”

ඈ කියන්නේ ඇත්ත වන්නට පුළුවන. ආකාශ් ද දවසක් ඔය වගේ කතාවක් කීවේ ය. ඒ අප නංගිගේ බබාට බඩු ගන්නට සාප්පු සවාරියේ  ගිය වෙලාවක ය.

“නංගිවත් ඔයා තරං ඒ බබාට ආදරේ නැතුව ඇති”

මම මොහොතක් ඒ දෑස් දෙස බලා සිටියෙමි.

“ඔයා කැමති නැද්ද මං එහෙම කරනවට…”

ඔහු සිනා සී ඒ සාප්පුව තුළදී ම මගේ හිස් මුදුනෙහි අතක් තැබුවේ ය.

“ඇයි මං එහෙම කරන්නෙ…ඒත් දරුවෙක්. මොනා දන්නවද…එයාගෙ උවමනාවට මේ ලෝකෙට ආවද…කාගෙවත් වැරදි වලට මොකටද ඒ දරුව දඬුවම් විඳින්නෙ…”

“මං හිතන්නෙත් එහෙමයි”

“මං දන්නව”

“අක්කෙ…මොනාද ඔයා කල්පනා කරන්නෙ…”

මා පියවි ලොවට ආවේ නංගි ගේ හඬිනි.

“නෑ..”

මගේ හඬ මට පවා නෑසෙන තරමට සංවේදී ව තිබිණ.

“මට අක්කට කියන්න තියෙන්නෙ වැදගත් දෙයක්”

“වැදගත්…”

හදවත ගැස්මෙහි යම් වෙනසක් විය. නංගී විසින් මෙතෙක් වැදගත් යයි කියන ලද බොහෝ කාරණා මා තුළ දරුනු දෙදරීමක් හෝ බිඳ වැටීමක් ඇති කළ ඒවා ය.

“අක්කෙ…මං කිව්වෙ බොරුවක්”

මේ වෙලාවේත් මම නාය යමින් සිටියෙමි. නංගී නිසා දිනෙක මා පිස්සු වැටෙනු ඇත.

“අර පරීක්ෂණේ කරන්න එපා කියන්න අක්කෙ. මේක…ආකාශ් අයිය කරපු වරදක් නෙවෙයි”

මා අහිංසක කෙල්ලක බව ඇත්ත ය. කුඩා සන්දියේ පටන් ම නංගීගේ අපමණ හිරිහැර හා වද හිංසා නිහඬ ව දරා ගනිමින් මෙතෙක් දුර ආ බවත් ඇත්ත ය. නමුත් මේ මොහොතේ ඇගේ ගර්භණී භාවය හෝ මට අමතක ව ගියේ ය. මම ඇගේ දෙඋරහිසින් අල්ලා සොලවමින් සිටියෙමි.

“ඇයි තමුසෙ එහෙම කළේ…ආ…ඇයි ඒ අහිංසකයට මේ වගේ ජරා කතාවක් හැදුවෙ…එයා තමුසෙට කරපු වරද මොකද්ද…තමුසෙ දීපු ලියුමෙ තිබුණ යෝජනාවට කැමති නොවුණ එකද…”

වෙනදා ට ගෙයින් එළියට ඇහෙන්නට කතා නො කරන මගේ හඬ උස් ව නැගී තිබිණි. අම්මා ත් ආච්චම්මා ත් අප සිටි තැනට දිව ආහ.

“ලොක්කි මොකද ඔය කරන්නෙ…අතඅරිනව පොඩ්ඩිව…දන්නැද්ද එයා ඉන්න තත්වෙ..”

ඒ වෙලාවේත් වැරදි කාරිය වී තිබුණේ මා ය. ඒ මගේ දෛවයේ හැටියක් විය යුතු ය. අම්මලා හැමදාමත් දුටුවේ මගේ වරද ය. නංගිගේ අහිංසක හා නිරවද්‍ය භාවය ය.

“නෑ අක්කෙ…ඔයාට ඕනෙනං මට ගහන්න. ඒ මදි කියල හිතෙනවනං මාව මරන්න”

“තමුසෙව මරන්න තිබුණෙ අද නෙවෙයි. එදා…”

මට ඉකි බිඳී හැඬිණි. නංගී ද හැඬුම්බර වී සිටියා ය. මම හඬාගෙන ම කාමරයට දිව ගියෙමි.

කොයි තරම් මා හැඬුවා ද කියා මම ම නො දනිමි. හදවත මත ඉඳිකටු තුඩු ඇනෙනවා බඳු ව මට රිදෙමින් තිබිණි. එදා, නංගී ආකාශ් ට මේ වාගේ නින්දනීය කතාවක් කී දා වත් නො ගැලූ කඳුළු මගේ ඇසින් ගලන්නේ අද ය. ඔහු කෙතරම් නිර්දෝෂී ද? නමුත් ඔහු ට කෙතරම් ලොකු නින්දාවක් විඳ ගන්නට සිදු විණි ද? මා හින්දා ඔහු ඒ තරම් අපහාසයක් දරා ගත්තේ කෙසේ ද?

“නාඬා ඉඳිං ලොක්කියෙ”

බෝ වෙලාවකට පස්සේ ආච්චම්මා කියනවා ඇසිණ.

“උඹට දුකයි තමයි ඉතිං. ඒත් උඹ සතුටු වෙයං. වෙන දෙයක් නිසා නෙවෙයි. තමුංගෙම නංගි මේ වගේ ගල් පැලෙන බොරුවක් කියල තියෙද්දිත් උඹ අර දරුවව විශ්වාස කරං හිටපු එක ගැන. උඹල දෙන්නට කවදාවත් වරදින්න විදිහක් නෑ ලොක්කියෙ”

“අනේ ආච්චම්මා”

මම ආච්චම්මා ගේ වැහැරී ගිය පපුව බදා ගෙන හඬන්නට පටන් ගතිමි. මේ කඳුළු වූ කලී අද ඊයේ ට අයිති ඒවා නොවේ. මා හැඬුවේ අතීතයෙනි. අතීතයේ සිට මට අහිමි වී ගිය, අහිමි කරනු ලැබූ සියල්ල වෙනුවෙනි. දිවි හිමියෙන් මා පෙම් කරනා ආකාශ් සඳයුරු ගුරුගේ ද එක නිමේශයක පමාවෙන් අහිමි වී යන්නට තිබුණේ ය. එසේ විණි නම් මගේ ආත්මය සදහට ම අගාධයක ගිලී යනු ඇත. මා ගැන දුක් වන්නට තබා හැරී බලන්නට වුව කිසිවෙකු ඉතිරි නොවනු ඇත.

“කවුද හිතන්නෙ පොඩ්ඩි නිකං බොරුවට මෙහෙම බොරුවක් කියයි කියල. පිස්සුනෙ මේකිට”

අම්මා ඉතාමත් ම සරල ලෙස කියනවා ඇසිණි. ඇගේ වත මත වන සිහින් සිනහව හිතින් දකින්නට ද මට හැකි විය. නමුත් මම වදනකුදු කතා කරන්න ට නො ගියෙමි. ජීවිතයේ බරපතල කාරණා ගැන අම්මා සමගින් කතා කොට පලක් නොවන බව දැන් මම තේරුම් ගෙන සිටිමි.

“එතකොට කවුද නංගි මේ ළමයගෙ තාත්ත…”

රාත්‍රියේ නිදන්නට ඇඳෙහි වැතිර හෝරාවක් පමණ නො නින්දේ සිටිනාතර හදිසියේ ම හිතේ නැගි ප්‍රශ්නය වෙනුවෙන් මම නංගී ව අවදි කළෙමි.

“ක්ලාස් යද්දි හම්බ වුණ කොල්ලෙක් අක්කෙ”

“ඉතිං ඇයි මෝඩියෙ ඒ කොල්ල කවුද කියල මේව පිළිවෙලක් කර ගන්න බැලුවෙ නැත්තෙ…දැංවත් කියන්න නංගි. කවුද එයා…”

“වැඩක් නෑ අක්කෙ”

“වැඩක් නෑ කිව්වෙ…”

“ඒකා මෙහෙ බෝඩ් වෙලා ඉඳං ගාමන්ට් එකක වැඩට යනව කියල කිව්වෙ. මං දන්නෑ කොහේ ඉන්නවද කියලවත්. මේක දැන ගත්තට පස්සෙ ඒකා ආගිය අතක් නැති වුණා”

“දෙයියනේ…ඇයි නංගි එහෙනං ආකාශ් ව මේකට ගාව ගත්තෙ..”

සැබවින් මට අසා දැන ගන්නට ඕනෑ වී තිබූ වැදගත් ම දේ ඒ ය. නංගී එක වර පිළිතුරක් නොදී ඇස් බිමට හරවා ගත්තා ය.

“කියන්න නංගි. දැන්වත් මට ඇත්ත කියන්න. ඔයාගෙ අක්කට තවත් ගින්දර දෙන්න එපා නංගි”

“අනේ අක්කෙ. මං එහෙම දෙයක් කියන්න හිතං හිටියෙ නෑ”

“එහෙනං කිව්වෙ…”

“මේක දැන ගත්තහම අක්ක දිගින් දිගටම අහන්න ගත්තනෙ කවුද මෙහෙම කළේ කියල. ඒ වෙලාවෙ ඇත්තටම මං ටිකක් බය වෙලත් හිටියෙ මොනා කරන්න ද කියල. අර විකුම් කියන එකාව හොයා ගන්න තරං මං ඌ ගැන දන්නෑ කියලත් මං දැනගෙනනෙ හිටියෙ. අක්කගෙ ප්‍රශ්න කිරිල්ල නවත්තන්නයි මං එක පාරටම එහෙම කිව්වෙ. පස්සෙ ඒ බොරුව දිගටම කියා ගෙන යන්න වුණා”

මම හිසෙහි අත් ගසා ගතිමි.

“ඒක මෙච්චර දුර දිග යයි කියල මං හිතුවෙ නෑ අක්කෙ. ඔය කියන පරීක්ෂණෙං පස්සෙ අක්කට ඇත්ත කියනවට වඩා දැං කියන එක හොඳයි කියල මට හිතුණා”

ඇය කෙතරම් අනුවණ ද? මගේ නංගී ගැන මහත් දුකක් මට දැනිණි. මම වෛද්‍යවරියක වීමට සූදානම් වෙමි. නමුත් මගේ නංගීට සාමාන්‍ය යහපත් ජීවිතයක් ගෙවන්නනට තරම් දැනුම දෙන්නට මට නො හැකි විය.

මේ ගැන දැන ගත් ආකාශ් හඬ නගා හිනැහෙන්නට පටන් ගත්තේ ය. මම නෙතු පිය නො සලා ඔහු දෙස බලා සිටියෙමි.

“ඇයි හිනා වෙන්නෙ…”

එවර ඔහු වඩාත් සන්සුන් ව,රිය පදවන ගමන් හිස හරවා මදෙස බැලුවේ ය.

“මේ ළමයනං පූජා…ඇත්තමයි ඉස්සරහට මොන මොන පිමි පනියිද කියලයි හිතා ගන්න බැරි”

“මටත් ඊයෙ රෑ ඔහොම හිතුණා”

“පූජා”

“ම්…”

“තෑන්ක් යූ”

“ඇයි…”

“මාව විශ්වාස කළාට”

“ඔයාටත් තෑන්ක් යූ”

“ඇයි…”

“මට ආදරේ කළාට”

ආකාශ් මගේ අතක් ගෙන, තද නිල් පාට ඩෙනිම් කලිසමක් හැඳි දිගු කකුලක් මත තබා ගෙන ඒ අත සුරැකිව අල්ලා ගත්තේ ය. මම නිසංසලේ ඔහු දෙස බලා ඉන්නට වීමි. මේ දිවි ගමනේ මම බොහෝ කැප කිරීම් කොට ඇත්තෙමි. බොහෝ ඉවසා ඇත්තෙමි. ඒ සියල්ල වෙනුවෙන් දෛවයෙන් මට ලැබුණ තිලිණය ඔහු ය කියා කොහොම නො සිතා ඉන්න ද?

More Stories

Don't Miss


Latest Articles