“මං ඔයාට එන්න කිව්වේ වැදගත් කාරණාවකට පොඩී…”
අක්කා පළතුරු යුෂ වීදුරුවක් මගේ අතට දීලා මං ළඟින් ඉඳ ගත්තා.අක්කා ජනිත් අයියා එක්ක රණ්ඩු වෙලාවත් ද? ඒත් එහෙම අඳුරක් එයාගේ මුහුණේ පේන්න නෑ.
“ඔයයි හිමාෂයි කවද්ද වෙඩින් එක ගන්නේ?”
ඊට පස්සේ තවත් ප්‍රශ්නයක්.මම වීදුරුවේ ඇඳෙන සීතල පින්න උඩ ඉරි ඇද ඇඳ කල්පනාවට වැටුණා.
“ඔයාගේ වෙඩින් එක ගත්තා විතරයිනෙ අක්කේ. අපි හෙමින් බලමු..”
හිමාෂටත් මටත් ලොකු ව්වාහ උත්සවයක උවමනාවක් නැති නිසා මම එහෙම කිව්වේ සැහැල්ලුවෙන්.අක්කා මහා විශාල විවාහ උත්සවයක් ගත්තේ ජනිත් අයියාගෙයි එයාගෙයි ආසාව හින්දාමයි.අක්කාගේ අතේ තිබුණු මුදල් වගේම තාත්තාගේ මුදල් සෑහෙන ප්‍රමාණයකුත් ඒ උත්සවයට වියදම් වුණා.ඒ හැමදේම අනවශ්‍ය වියදමක් කියලා හිතෙනකොට මටනම් ඕනෑ වුණේ බොහොම සරල විවාහයක් ගන්න.
“ඔයා ඉස්සර ඔහොම නෑනෙ..ඔයාට ලස්සන වෙඩින් එකක් ඕන වුණානෙ.හිමාෂ ඔයාගෙ බ්‍රේන් වොෂ් කරලා..”
අක්කා කියන්නේ කලකිරීමෙන්.
“ඒ මේ අපි ඉස්කෝලෙ යන කාලේ හීනනෙ අක්කා.ඒවා ඉතිං වයසට යනකොට තේරෙනකොට වෙනස් වෙනවා.ඒ කාලේ I want to be a doctor කිව්වට අපි එහෙම වුණායැ..”
මං කිව්වේ සැහැල්ලුවෙන්.අක්කා මං දිහා බලාගෙන හිටියේ කලකිරීමෙන් වගේ.
“ඔයාට එන්න කීවෙනම් චූටි ගැන කතා කරන්න..”
අක්කා ඊට පස්සෙ බැරැරූම් මුහුණකට මාරු වුණා.මං අපේ චූටි නංගි ගැන කල්පනා කළා.එයා ගැන වද වෙන්න හේතුවක් නෑ.එයා තමන්ගේ ගමනක් තමන්ගේ විදියට යන ධෛර්යවන්ත කෙල්ලක්.
“නංගිගෙයි පහන්ගෙයි සම්බන්දෙට මම කැමති නෑ..”
අක්කා අන්තිම තීන්දුව දුන්නා.පහන් ගැන වර්ණනා කරමින් හිටිය අම්මා හදිසියේ වෙනස් වෙලා කියලා චූටි නංගි මට කිව්වේ ඊයේ හවස.මට ප්‍රහේලිකාව විසඳෙන්න පටන් ගත්තා.
“පහන්ගෙ වරදක් නෑනෙ අක්කා..”
මම කිව්වේ නොරිස්සුමෙන්.
“මුල ඉඳල හැදෙන්න ඕන මිනිහෙක්නෙ ඒ.දියුණු වෙනකොට චූට්ගෙ හොඳ කාලෙ ඉවරයි..”
අක්කා හිතන පතන විදිය ගැන මට එන්නේ කේන්තියක්.මොකුත්ම නොකරන අනාගතයක් ගැන නොහිතන නිකමෙක් වගේ කොල්ලෙක්ට ගැහැනු ළමයි ආදරය කරනවට මමත් අකමැතියි.ආදරේ කියලා මුලාවකට අහු වෙන එක වරදක් තමයි.ඒත් සල්ලිකාරයෙකුටම ආදරේ කරන්න ඕන කියලා නියමයක් තියනවද?අක්කා ඉන්නේ අන්න ඒ විශ්වාසයෙන්.
“පහන් දියුණු නොවී ඉන්න කෙනෙක් නෙවෙයි..”
මම කිව්වේ ඇත්තටම තරහ ගිය කටහඬකින්.
“සාස්තර බල බල ඉන්න බෑනෙ.ඒ අපේ පොඩි එකා.එයා කරන්න ඕන අපිට ඕන දේ.”
අක්කා වෙනස් වුණේ කසාදෙන් පස්සේ කියලත් මට හිතෙනවා.සමහරවිට මේ කතා කරන්නේ ජනිත් අයියගෙ සල්ලි වෙන්න ඇති.අපේ අක්කා මේ තරම් පටු විදියට ඉස්සර නොහිතපු බව මම දන්නවා.
“අපිට චූටිට බලපෑම් කරන්න බෑනෙ.එයා වැඩිහිටියෙක්.එයාගේ ජීවිතේ ගැන වගකීම තියෙන්නේ එයාට..”
මම අක්කාට කිව්වේ මට තේරෙන කාරණාව.සම්පූර්ණයෙන් වැරදි පාරක.යනවානම් මඟ පෙන්වීම සහෝදරකම තමයි.ඒත් චූටි පහන් එක්ක තමන්ගෙම පාරක් සකසා ගනිමින් ගමනක යෙදෙනවා.ඒ ගමනට බාධා කරන එක අපිට සුදුසු නැහැ කියලයි මට හිතෙන්නේ.
මං අක්කාගෙන් සමු අරගෙන ආවේ විවාහය එක්ක එයා වෙනස් වුණු තරම ගැන හිතමින්.පුංචි කාලේ එකට වැටිලා සෙල්ලම් කරපු තුරුළු වෙලා හිටපු අපි දැන් කොච්චර වෙනස් වෙලාද?
“අම්මා මට හරියට බැන්නා පොඩි අක්කා.පහන් ගැන අම්මා පුදුම වැරදි තොගයක් කියන්න පටන් අරන්.”
නංගි මට එදා රාත්‍රියේ කිව්වේ ඇස්වලට කඳුළු පුරවාගෙන.
“ඕවා ඉක්මනින් විසඳෙයි..”
මං නංගිගේ හිත හදන්න උපරිම උත්සාහ කළා.ඒත් අපේ ගෙදර බැඳීමත් ආදරයත් බිඳෙමින් තිබෙන බව මට නොතේරුණා නෙවෙයි.ඒ දේවල් ගැන ඕනෑවට වඩා හොයමින් බලමින් අම්මා කෝප ගන්වන ජනිත් අයියා තමයි ලොකුම නොගැළපීම කියලා අම්මාට කෑගහලා කියන්න මට නොහිතුණා නෙවෙයි.
“කාගෙ හරි ඇස්වහක් වැදුණා..”
අම්මා එහෙම කියනකොට ලොකුම වැරැද්ද ඇඟිල්ලේ තරමට වඩා ඉදිමෙන්න යාම කියලා අම්මට කියන්න මම හිතනවා.ඒත් දැන් තේරුමක් නොවෙන බව මම ආයෙම හිතනවා.
“පොඩි අක්කේ, මමයි පහනුයි රෙන්ට් එකට ගෙයක් ගත්තා.අපි හෙට ඒ ගෙදරට යනවා.හෙමින් මැරේජ් එක රෙජිස්ටර් කරලා දානවා. වෙඩින් ඕනෑ නෑ..”
නංගි එක දවසක් මට කිව්වේ බිඳුණු හඬකින්.ලබන මාසයේ දවසක විවාහය ලියාපදිංචි කරලා හිමාෂ හදමින් ඉන්න ගෙදර පදිංචියට යන්න අපිත් හිතාගෙන ඉන්න බව මට මතක් වුණා.
සාලයේ තියන විශාල ඡායාරූපයක අක්කාත් ජනිත් අයියාත් හිනා වෙමින් බලාගෙන ඉන්නවා.එයාලා එයාගේ හිනාව හොයා ගත්තේ පුංචි කාලේ ඉඳන් බැඳුණු බැඳීමක පළුදුවීම් ඇති කරගෙන ද?
සතුට තියෙන්නේ අපි කැමති තැන්වල මිසක් පරිපූර්ණත්වයේම නෙවෙයි.අක්කාටත් ජනිත් අයියටත් ලැබුණු සතුටෙම තවත් ආකාර මටත් හිමාෂටත් මුණ ගැහේවි.නංගි පහන් එක්ක තමන්ගේ ලෝකය ගොඩ නඟා ගනීවි.තමන් සාර්ථක බවත් අපි අසාර්ථක බවත් අක්කාට තීරණය කරන්න බැහැ.නංගිත් මමත් වැරදි නැති බව හිතමින් මම හිත හදා ගත්‍තා.
හිතට අවංක වීම වරදක් කියලා මට හිතෙන්නෙ නෑ!