සකූ.. නැගිටිනවා ළමයෝ දැන් කීයේ ඉඳන්ද ඇහරවන්නේ ”
අංජුනී නිදාගෙන හිටපු දියණියගේ කකුලට පහරවල් කීපයක් ගැහුවා
” ඔෆිස් යන්න පරක්කු වෙනවා මට. ඉක්මන් කරනවා ළමයෝ ”
හැමදාම උදේට නොනවත්වා ඇහෙන අංජුනිගේ මේ ගෝරනාඩුව රොහාන්ට නම් අලුත් දෙයක් නෙමෙයි. ඔහුට දුක හිතුනෙම තවමත් 2 වසරේ ඉගෙනුම ලබන පුංචි දියණිය ගැන. රැකියාව වෙනුවෙන් හැල්මේ දුවන අංජුනීගේ හිතේ තියෙන තෙතමනය නැති වෙලා ගිහින් කියලා රොහාන්ට නිතරම දැනුනා
” රොහාන්. අනේ උයලා තියෙන්නේ. බත් එක බැඳගන්න පුලුවන්ද . මං දුවනවා හොඳේ .ඔයා දුවවත් වෑන් එකට දාගෙනම යන්න ”
අත් බෑගයත් අරගෙන අංජුනී ගේට්ටුවෙන් නොපෙනී ගියා. වෙලාවටත් කලින් කාර්යාලයට දුවන අංජුනී ගෙදරට ගොඩ වෙන්නේ අඳුරත් අරගෙන .
” තාත්තේ මේ ටයි එක දාන්නකො.අම්මා දැම්මට බෙල්ල හිරයි ”
නොක්කාඩු කියන පුංචි දියණියව රොහාන් ඔඩොක්කුවට ගත්තා . අම්මා කෙනෙකුගේ ආදරය හරිහැටි ලබන්න වාසනාව නොලබපු දියණිය තමන්ගෙන් ඕනෑවටත් වඩා ආදරය බලාපොරොත්තු වෙන බව රොහාන් දැනගෙන හිටියා . ඒ නිසා කිසිම දවසක වචනයකින්වත් සකූගේ හිත නොරිදා ඉන්න රොහාන් වගබලාගත්තා
” අපි හවසට පාර්ක් එකට යමු .තාත්තා නිවාඩු දාලා එන්නම් ”
එහෙම කියද්දි පුංචි සකූගේ ඇස් දීප්තිමත් වුණා.
” එතකොට මම හවස ආච්චි අම්මලගෙ ගෙදර යන්නේ නැද්ද ? ”
සකූ එහෙම ඇහුවේ ඉස්කෝලේ ඇරිලා පාසල් වෑන් රථයෙන් හැමදාම මිත්තණියගේ ගෙදරට යන එක පුරුද්දක් වෙලා තිබුන නිසයි .
” අද මම කලින් එන නිසා මම දුවව ඉස්කෝලේ ලඟින් අරගන්නම් . වෑන් අංකල්ට මම කියන්නම්කො ”
” අම්මත් එනවද අපිත් එක්ක ? ”
සකූට තවත් ප්‍රශ්නයක්
” අම්මට නිවාඩු නැහැ නේ පුතේ .අපි එයාට නිවාඩු දවසකත් යමු .අදට මම ඔයාව එක්කගෙන යන්නම් ”
අංජුනි සේවය කළේ පුද්ගලික ආයතනයක. තරමක වැටුපක් ලැබෙන නිසා ඇය ඕනාවටත් වඩා රැකියාව වෙනුවෙන් වෙහෙසුනා. ඒ වගේම උසස්වීමක් පෙනෙන මානයේ තියෙන නිසා අංජුනි මේ දිනවල තරමක් පීඩනයෙන් වුණත් වෙහෙස වෙලා වැඩ කළා . ජීවිතයේ වැදගත්ම පැතිකඩක් තමන්ට මඟ හැරෙන බව ඇයට දැනුනේ නැහැ.
” අම්මේ මගේ ඔලුව කසනවා ”
රාත්‍රියේදී සකූ මුහුණ ඇඹුල් කරගෙන අංජුනී ගාවට ආවා. කඩිමුඩියේ රාත්‍රී කෑම පිළියෙල කරමින් හිටපු අංජුනී කෝප ගත්තේ ක්ෂණිකව
” කසනවා නම් නාගන්න හෙට උදේ.ඇයි ළමයො නාන්නත් මම මතක් කරන්න ඕනෙද ? ඔයා දැන් පොඩි ළමයෙක් නෙමෙයිනේ ”
කඳුලු පිරුණු සකූගේ ඇස් අංජුනී දැක්කේ නෑ.
” අම්මට වැඩ වැඩි නිසා දූ ඒවා තාත්තට කියන්න. හොඳද ? ”
රොහාන් ආයෙමත් සකූගේ හිත හැදුවා. පුංචි හිත ඕනෑවටත් වඩා රිදිලා තියෙනවා කියලා රොහාන්ට දැනුනත් ඒක අංජුනීට තේරුම් කරවන්නෙ කොහොමද කියලා ඔහුට හිතාගන්න බැරිවුනා
” මීට වඩා ඔයා සකූට අවධානය දෙන්න අංජුනී ”
නිදි යහනේදී රොහාන් එහෙම කිව්වේ ජංගම දුරකථනයට මුහුණ ඔබාගෙන ඉන්න අංජුනී දිහා බලලා
” ඇයි මම මේ කරන හරිය මදිද ? ”
” මොනවද ඔයා කරන්නේ කියලා මුලින්ම කියන්නකො ? ”
” මේ ගෙදර වියදම් වලට වැඩිපුර හම්බ කරන්නේ මම නෙමෙයිද රොහාන් ? උදේ පාන්දර නැගිටලා උයලා කරලා යන්නේ මම නෙමෙයිද ? ”
” එහෙම කළා කියලා හැමදේම කලා වෙන්නෙ නැහැනෙ අංජූනී . දුවෙකුට අනිවාර්යයෙන්ම තමන්ගේ අම්මව ඕනේ ”
” මම මේ ඉන්නේ ඉතින් ? “
” ඉන්න බව ඇත්ත . හැබැයි දරුවා ළඟට එනකොටත් බැනලා එලව ගන්නවනං ඉන්න එකෙන් ඇති වැඩේ මොකක්ද? “
අංජුනී අතේ තිබුණ දුරකථනය පැත්තකින් තියලා ඇඳේ අනෙක් පසට හැරිලා දෑස් පියාගත්තා. ඉවරයක් නැති වගකීම්වලින් හෙම්බත් වෙලා හිටපු අංජුනීට ඕන වුනේ විවේකයක් . ඒත් ඒ ගැන හිතන්න තරම් වත් ඇයට වෙලාවක් තිබුණෙ නැහැ
” තාත්තේ මේ හෝම් වර්ක් කරන්න මට උදව් කරනවද ? ”
සකූ වැඩ පොතක් අරගෙන ඇවිත් රොහාන් ලඟින් වාඩි වුණේ හවස් වරුවක. අඳුර වැටීගෙන එන කොටත් ගෙදර නාව අංජුනී ගැන හිතමින් හිටපු රොහාන් සකූගේ වැඩවලට උදව් කළා. අටහමාර විතර වෙද්දි අංජුනි ගෙදර ආවේ කෑමත් අරගෙනමයි
” ඇයි කඩෙන් කෑම ගෙනාවෙ ? පරක්කු වෙනවා කිව්වා නම් මම මොනවා හරි හදනවනේ අංජුනී ? ”
” ඒවා කන්න පුලුවන්ද ? කරන්න පුළුවන් වැඩක් කියන්න රොහාන් ”
අංජුනී සමච්චල් සහගත හිනාවකින් රොහාන්ට සංග්‍රහ කරන ගමන් කාමරයට ගියා. සාලෙට වෙලා ගෙදර වැඩ කරමින් හිටපු පුංචි දියණියට වත් අවධානය නොදෙන අංජුනි ගැන ඇත්තටම රොහාන්ට දැනුනේ කෝපයක්
” මොකක්ද මේකෙ තේරුම කියන්නකො ? ඔයා හරියට රොබෝ කෙනෙක් වගේ නේ අංජුනී ? ඔයාට වැඩට යන එක මහන්සි නම් ඔයා ගෙදර නතරවෙන්න ”
” ගෙදර නතර උනහම හරිද? ඔයාගේ පඩියෙන් කරන්න පුළුවන්නේ ඔක්කොම ? ”
” අර දරුව දිහාවත් ඔයා පොඩ්ඩක් පොඩ්ඩක් බලනවද ? අඩුම ගානේ මා එක්ක හිනාවෙලා වචනයක් කතා කරනවද ? මොකද්ද ඔයාට මේ වෙලා තියෙන්නේ ?
” හිනා වෙවී වෙවී සතුටු සාමිචියේ යෙදෙන්න මට වෙලාවක් නෑ රොහාන්, ඇයි ඔයාට ඒක නොතේරෙන්නේ ? ”
” ඔෆිස් එකම බදාගෙන ඉඳල ඔයා ලඟදිම ලොකු අමාරුවක වැටෙනවා ”
අන්තිමට රොහාන් කිව්වේ කලකිරීමෙන්. දොර රෙද්දෙන් එබිල ඉන්න සකූගේ බියපත් මූණ රොහාන් වත් අංජුනී වත් නිහඬ කළා.ඒ නිසාත් තවදුරටත් අංජුනීට කරුණු පහදලා දෙන්න යන්න ඕනේ නැහැ කියලා රොහාන් තීරණය කළා .
සුපුරුදු ලෙසම ගෙවුණු දවස් කිහිපයකට පස්සේ එක දවසක් හවසක අංජුනී ගෙට ගොඩ උනේ මලානික වෙලා
” අංජුනී ඇයි මේ? ”
බිරිඳගෙ වෙහෙසකර දෑස් ඇත්තටම රොහාන්ට ගෙන ආවේ බියක්
” මගේ ඇඟට හරි නෑ රොහාන් .ඔළුවත් හොඳටම රිදෙනවා ”
” අපි බෙහෙත් ටිකක් ගන්න යමුද ? “
” එපා එපා. ටිකක් නිදා ගත්තම මේක හරි යයි ”
රාත්‍රියට කෑමත් නොකා නින්දට වැටුණු අංජුනී අවදි වුනේ අධික උණකුත් එක්කයි. ඉක්මණින්ම ඇයව වෛද්‍යවරයෙක් ළඟට එක්කගෙන යන්න රොහාන් කටයුතු කලා. බෙහෙත් නියම කිරීමෙන් පසුව අංජුනීට විවේක ගැනීම අනිවාර්ය බව වෛද්‍යවරයා තදින් අවවාද කළා
” මට මෙහෙම ඇඳට වෙලා ඉදල පුරුදු නැහැ රොහාන් ”
” ඒ උනාට doctor ඔයාට කිව්වනේ ඇඳට ඇදට වෙලා හොඳට රෙස්ට් කරන්න කියලා. කරුණාකරලා දැන්වත් කියන දේ අහන්න ”
රොහාන් වෙනදට වඩා තදින් ඒ වචන ටික කිව්වහම අංජුනී නිහඬ වුණා . රැකියාවෙන් නිවාඩු ගත්ත රොහාන් නිවසේ සියලුම කටයුතු තනියම කලා.
” අම්මා. මේ සුප් එක ඔයාට ”
සුප් බඳුනකුත් අතේ තියාගෙන මං ඉස්සරහ හිටගෙන ඉන්න දියණිය දැක්කම අංජුනිට දැනුනේ දුකක්
” මම මේක අම්මට පොවන්න ද ? ”
සකූ අංජුනි ලඟින් වාඩිවෙලා සුප් ටිකෙන් ටික පෙව්වා. අම්මා කෙනෙකුගෙන් වෙන්න ඕන යුතුකම් තමන් හරිහැටි නොකළත් දියණියගේ හිතේ තමන් ගැන තියෙන ආදරය කොච්චරද කියලා අංජුනීට තේරුම් ගියේ ඒ වෙලාවෙයි.
රැකියාවේ උසස්වීම් බලාපොරොත්තුවෙන් , කිසිම විවේකයක් නොලබා මුදල් පසුපස හඹා ගිය අංජුනී දියණියව පපුවට තුරුල් කරගත්තා
” හැමදේටම වඩා වටින්නේ තමන්ගේ පවුල ” අවසානයේදී අංජුනී තමන්ටම කියා ගත්තා