“මට නම් හිතාගන්න බෑ තාත්තී…මෙච්චර සල්ලියක්…අනේ ෂෝක්…මම තාත්තිට ලොකු ප්‍රසන්ට් එකක් අරන් දෙන්නම්…ශානිටත් ප්‍රසන්ට් එකක් අරන් දෙන්න ඕන තාත්ති.එයා නිසානේ මේ හැමදේම….”
නිම්මි ලොතරැයි දිනුමෙන් ලැබුණු මුදල් නෝට්ටු අතපත ගාමින් සතුට පළ කලත් අසේලට ඒකේ ගානක් තිබුණේ නැහැ. තම දියණිය තමන් මෙන්ම ලොතරැයි ගැන විශ්වාසයක් නෙතිබුණද තම මිතුරිය නිසාවෙන් මුදල් දී ලබා ගත් ලොතරැයි පතෙහි සැලකිය යුතු විශාල මුදලක් දිනුමට ලැබී තිබුණා.
“අනේ…තාත්තී…අපි මේ ගමන් ලොතරැයි කූඩුවේ ආන්ටිට මේ සල්ලි ටික දීලා එමු…පව් තාත්තී එයා.හරි අහිංසක ආන්ටි කෙනෙක්. ශානි එයාගේ ආච්චිට ස්විප් අරගෙන ගියාට මම ගන්නේ නැහැනේ. එදා ඒ ආන්ටිමයි”මම කියනවට මේ ස්විප් එක ගන්න චූටි නෝනා “කියලා මට බල කලේ. බැරිම තැන තමයි මම ඒ ස්විප් එක ගත්තේ. මම රුපියල් විස්ස දුන්නට මට ස්විප් එකක් තෝරලා දුන්නෙත් ඒ ආන්ටිමයි තාත්තී….”
”එහෙනම් ඒ සල්ලි ඔක්කොම අයිති ඒ මනුස්සයාටම තමයි. …”
”අනේ තාත්තී ප්ලීස්… අපි ගිහින් මේ පන්දාහ ඒ ආන්ටිට දීලා එමු….ප්ලීස්…”
අසේලට දුව ගැන සතුටු හිතුනා. කොච්චර මුදල් ලැබුණත් මුල අමතක නැති පුංචි කෙල්ල.හරියට මැරිච්ච අම්මා වගේමයි…සකුන්තලා…මිය ගියේ මීට අවුරුදු පහකට පෙරයි. සකූට මියයන්නට පෙනෙන්නට තරම් අසනීපයක් තිබුණේ නැහැ. ආදරය…විශ්වාසය. …කැඩුණු මොහොතක ඇයට ඒ වේදනාව දරා ගන්න පුළුවන් වුණේ නැහැ. අම්මා වෙනුවෙන් අර අහිංසක ගැහැණියට යම් මුදලක් දීමට දියණිය කැමති වීම ගැන අසේල සතුටු වුණා. ඒ නිසාමයි ඔහු දුවත් සමඟ ඒ ගමනට සහභාගි වුනේ…
“අනේ තාත්තී එන්නකෝ…අර සල්ලි ගන්න ඒ ආන්ටි කැමති නෑ. ඔයා කියන්නකෝ අපි කැමැත්තෙන් දෙන දේ කියලා…”
අසේල වාහනේ ඉදිද්දීම ලොතරැයි කූඩුව සමීපයට ගිය නිම්මි නැවතත් රිය අසලට ආවේ නෝක්කාඩුවෙන්. ඒ වෙද්දීත් අසේලට රාජකාරි ඇමතුමක් ඇවිත් තිබුණේ. දුරකථනට පිළිතුරු ලබා දෙමින්ම ඔහු ලොතරැයි කුටිය සමීපයට ගියා.
“මේ ඉන්නේ මගේ තාත්ති…අනේ මේක ගන්නකෝ ආන්ටි…”
නිම්මි නැවතත් පිංසෙන්ඩු වුණා.
” ම…හ…ත්…ත….යා…?”
ඒ හඩින් අසේල පුදුම වුණා. හුරු පුරුදු හඬක්…ඔහු ඇය දෙස බැලුවා.
“මහත්තයා…එතකොට මේ මහත්තයාගේ දුවද…”
“එන්න දුව යමු…ඔය සල්ලි දීලා එන්න…තවත් මොනවාද කරන්නේ..?එන්නයි කිව්වේ…”
කලබල වුණු අසේල දියණිය ගේ අතකින් තදින්ම අල්ලා වාහනයට ඇදගෙන ආවා. ඇයව වාහනයට තල්ලු කරගෙනම ඔහු මහා හයියෙන් දොර ද වැසුවා.ඉත වේගෙන් ඔහු රිය ධාවනය කලා. කිසිවක් හිතා ගන්නවත් බැරිව දෑසේ කදුලු පුරෝගෙන තම පියාගේ හැඩිදැඩි අතට තදවී රත්වූ …රිදුම් දෙන තම අත අතගාමින් නිහඬව සිටියා. මහ හයියෙන් රිය ගරාජයට දැමූ අසේල ඉහල මාලයේ තම කාමරයට ගොස් වේගයෙන් තම දොර වසා ගත්තා….
* * * * * * * * * * * * *
“මහත්තයා….”
නුගේගොඩ බෝ ගහ යටදී තමන්ගේ ඇඟේ හැපුණු කාන්තාවගේ කුඩය අහුලාගෙන නැවත ඇයට දෙද්දී අසේලට ඇසුණු ඒ හීන් හඬ අසේලට මොකක්දෝ ආරාධනාවක් කියාපෑවා.
” ස්තූතියි…මහත්තයා…ලස්සනයි….”
ඒ හඩින් අසේලගේ සැඟවී තිබුණු මොකක්දෝ හැගීමක් ඇවිස්සුනා සේ ඔහුට දැනුණා. සකූ ඉදිරියේ පමණක් දිග හැරුණු ඒ සරාගී ආශාවන් නොහඳුනන ගැහැණියක් ඉදිරියේ එළි බැස්සා.
“යමුද….”
නුගේගොඩ දෙනෝදාහක් මිනිසුන්ට නොපෙනෙන්නට රැකියාවට හුරු පුරුදු ගැහැණිය කටහඩ අවදි කලද ,නුහුරු වුණු අනපේක්ෂිත ආශාවන්ට වහල් වුණු අසේල ඒ ආරාධනාව පිලි ගත්තා.
“තවත් ජීවිතයක් ඉවරයි…”
නුගේගොඩ බෝ ගහේ වසාසිටි කපුටන් මහ හඬින් එසේ කීවත් ආශාවන්ට වහල් වුණු අසේල හෝටල් කාමරයක නොදන්නා ගැහැණියක් ඉදිරියේ සකූගෙත් නිම්මිගේත් ජීවිත විනාශකර දමද්දී..,තවත් ගැහැණියක් තම රැකියාවට අනුව අලුත් සේවාදායකයාව රාගයෙන් වල්මත් කලා. නිම්මිව පාසලෙන් ගන්න වෙනදා නැති උනන්දුවක් තිබුණු අසේල දින තුන හතරක්ම මේ ආගන්තුක ගැහැණිය පසුපස ගියා. ආයතනයෙන් පැය දෙකකට පෙර නුගේගොඩ ට එන අසේල නියමිත වෙලාවට පාසල අසලට ගොස් නිම්මිව ගෙන ගෙදර ගියේ ආදරණීය සැමියෙකු පියෙකු ලෙසිනි.
වස්තු….
ඔයා ගැන මට වෙනසක් දැනුණා. වෙනදාට දුවව ඉස්කෝලෙන් ගන්න අදිමදි කල ඔයා හරි ආසාවෙන් දුවව ගෙදර ගෙනාවා. වෙනදා වගේ නෙමෙයි. ඔයාගේ මූණේ ලොකු සතුටක් තිබුණා. ඒ සතුට මට ලොකු වේදනාවක් ගෙනාවේ ඒ සතුටට හේතුව තියෙන වීඩියෝවක් මගේ යාලුවෙක් මට එව්වාට පස්සෙයි. දවස් ගාණක් ඔයා එකම හෝටල් කාමරයකට ඔයා මේ ගෑනු කෙනා එක්ක ගිහින් තියෙනවා. මගේ ආදරේ නුගේගොඩ බෝ ගහ යට ඉන්න ගෑණු කෙනෙකුට යට වුණේ කොහොමද අසේල.
ඒ සකූගේ දිනපොතේ තිබුණ කොටසක්. . . සකුන්තලා දිනපොතක් ලියනව කියල අසේල දැනගෙන හිටියේ නෑ. නුගේගොඩ හෝටල් කාමරයක ගැහැණියක් එක්ක අසේල නුහුරු පහසක් ලැබුවාට පසුව ඔහු එයට ඇබ්බැහි වුණා. නමුත් ඔහු සකූටත් නිම්මිටත් තම යුතුකම් ඉටු කලා.
” යුතුකම් මොකටද ආදරේ බෙදිලා ගිය තැන. . . “
දිනපොතේ තවත් තැනක එහෙම ලියවිලා තිබුණා.
“අසේල…මම උඩ තට්ටුවේ දුවත් එක්ක නිදාගන්නවා….”
දවසක් අසේලට සකුන්තලා කිව්වේ එහෙම.
” ඒ මොකද…?”
නැහැ දුව තනියම….”
“මෙච්චර කාලයක් දුවට තනියක් ඒ කාමරේ තිබුණේ නැහැනේ…?”
ඔව්…ඒත් ටික කාලයක් මට දුවත් එක්ක ඉන්න ඕනේ අසේල….”
ඒ වෙද්දීත් සකුන්තලා තමන්ගේ ඇද ඇතිරිලි දුවගේ කාමරයට ගිහින් දාලයි තිබුණේ. අසේලට ඒ සිදුවීමේදීත් ඇගෙන් වෙනස දැනුනේ නෑ.
“දුව නිසා ඔයා වැරදි දේවල් කරන්න එපා අසේල…දුව පව්. එයා ගෑනු ලමයෙක්….”
දවසක් කෑම මේසේදී අසේලට එහෙම කියපු සකුන්තල වෙනදාට නැති රෝග ලක්ෂණ කිහිපයකින්ම සකුන්තලා පීඩා වින්දා. ඇය දවසින් දවස කල්පනා කලා. අසේල එක්ක කතාබහ කරන එක නතර කලා. සකුන්තලා තම දියණිය තුරුල් කර සුසුම් හෙලුවා . ඒ ඇස් වලින් ගලාගෙන ගිය කදුළු සටහන් වුනේ ඇයගේ දිනපොතේ විතරමයි.
“ඒ ගෑනු කෙනා පිළිගත්තා ඔයා එක්ක දවස් ගානක් කාමරවලට ගියා කියල.පව් දරුවන් දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්. කොහොමද ඒ ගෑනු කෙනාට මම වෛර කරන්නේ…මගේ ආදරේ කොතනක හරි අඩුවක් තියෙන්න ඇත.මේ මම ගෙනාපු දේ.ඒ කෙනා පොරොන්දු වුණා මේ හැමදේම නතර කරන්න.ඒත් කෝ ජීවත් වෙන්න මාර්ගයක්. ඒ නිසයි මම සල්ලි ටිකක් දුන්නේ. ඔයාව ගලවා ගන්න නෙවෙයි. නිම්මි වගේ තව දරුවන්ට නිදහසේ ජීවත් වෙන්න. ඒ කෙනා පුංචි වයාපාරයක් පටන් ගනීවි. ඒ නිසා අපේ දූ වගේ දරුවකුට ආයෙත් වරදක් වෙන එකක් නෑ. දැන් මට සැනසීමයි….”
ඒ සකූ ලියපු අවසාන් කොටසයි. දවසක ඇය නිදි යහනේම සිය දෙනෙත් පියා ගෙන තිබුණා.
“මට සමාවෙන්න සකූ…. ඔයා දෙවියෙක්. .”
“තාත්තී ප්ලීස්…අනේ මේ දොර අරින්න.මට ඔයා ගැන බයයි තාත්තී…අම්මා වගේ ඔයත් මට නැති වෙයි තාත්තී….”
දියණියගේ හඩින් අසේල කලබල වුණා. අම්මා නැති දරුවා…ඔහු ඉක්මනින් දොර ඇරියා.
“පුතේ…අපි ගමනක් යමු. ඔයාට ලැබිච්ච ඒ සල්ලි ඔක්කොම අපි ඒ ආන්ටිට දෙමු. මගේ දුවට මම ඇතිතරම් සල්ලි දෙන්නම්. ඒ සල්ලි ඔයාටවත් මටවත් අයිති නැහැ පුතේ ඔයා ඒකට කැමතිද පුතේ…”
” ඔව් තාත්තී…අපිට අනුන්ගේ සල්ලි ඕනේ නෑ.මට තාත්තී හිටියම හොදටම ඇති….”
පුතේ…මට සමාවෙන්න. ඔයාගේ අම්මා වෙනුවෙන් මට සමාව දෙන්න.
අසේල නිම්මිව පපුවට තුරුළු කරගත්තා. ජීවිතේ වටිනාම සම්පත අහිමි වී ගියාට පසුව තවත් දිනුමක් මොකටද….?