රසට ගුණට කැමති අයට

කෑම බීම ගැන කිසි කෙනෙකුට උනන්දු නොවී ඉන්න බැහැ. ඒත් කෑම බීම උයන එක ගැන වැඩිම උනන්දුව තියෙන්නෙ ගෙදර ගෘහණියට. ඇත්තටම ඒක ඇයට පැවරුණ වගකීමක්. ආච්චිඅම්මගෙන් අම්මට, අම්මගෙන් ඇයට විශේෂයෙන් ලැබුණු හැකියාවක්. පවුලේ පෝෂණය ගැන වැඩියෙන් ම හිතලා, අරපිරිමැස්ම,රස ගුණ හැමදේම ගැන සැලකිලිමත් වෙලා ඇය මේ වගකීම ඉටු කරන බව පවුලේ හැම කෙනෙක් ම දන්නවා. ඒ නිසාමයි ඇය මේ ගැන හොඳ අවබෝධයෙන්, වැඩි අවධානයෙන් කටයුතු කරන්න ඕනේ.

  • රස ගුණ රැකෙන පරිදි ඉවුම් පිහුම් කටයුතු කරන්නෙ කොහොමද?

වර්තමානයේ වෙසෙන බොහෝ කාන්තාවන්ට කටට රසට උයන්න බැරි බවට සමහරු චෝදනා නගනවා. මේකට ප්‍රධානතම හේතුව කාර්යබහුලත්වය. වැඩ අධික බව නිසා ම අධික ලෙස ඇය පීඩාවට පත්වෙලා. නිවෙසේ කටයුතු, දරුවන්ගේ වැඩ, ස්වාමියාගේ කටයුතුවලට සහය දීම වගේ වැඩ කන්දරාවකට හිරවෙලා සිටින කාන්තාවට, කෑම බීම ටික පවා නිදහසේ ගන්න වෙලාවක් නැතිවෙලා. මේ නිසා ම ඇය සිටින්නේ චංචල සිතින්. මේ නිසා ඉවුම් පිහුම් කටයුතු කර ගන්න ශක්තියක් නැතිවෙලා. රාජකාරි කටයුතු සඳහා රැකියාවකට ගිහින් එන කාන්තාවට මේ පීඩනය ඉතාමත් ම වැඩියි. එයා බලන්නේ නිවෙසට ඇවිදින් මොනවා හරි දෙයක් රත්කරලා බඩගින්න නිවාගන්න මිසක්, කටට රසට කෑම හද හදා ඉන්න නෙමෙයි. මේ නිසා රස ගුණ ගැන ඇයට හිතන්න වෙලාවක් නැතිවෙලා. ඒත් කාන්තාව කාර්යබහුලයි කියලා බැහැ. දරුවන්ගේ, නිවෙසේ වැඩිහිටියන්ගේ වගේම සැමියාගේ කෑමවේල ගැන ඇය මීට වඩා හොඳින් හිතන්න ඕනෑ. එහෙම හිතුවෙ නැත්නම් බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදු වෙනවා. පවුල් ජීවිතය රැක ගන්න නම් කටට රසට කෑම හදන එක අත්‍යවශ්‍ය දෙයක්. ගෙදර එන්න රෑ වෙනවා කියලා කඩෙන් කෑම ගෙනවිත් හැමදාම කන්න ගියහම ,ඒ කෑමවල රස තිබුණට ගුණ නෑ. ඒ කෑම හැමදාම කාලා ගෙදර සිටින සාමාජිකයන් නිරපරාදේ ලෙඩ‍ රෝග රැසකට ගොදුරු වෙනවා. මේ නිසා කාන්තාවක් වුණහම කෑම ටික රසට හදා ගන්න කැපවෙලා කටයුතු කරන්න ඕනෑ.

  • කාර්යබහුල කාන්තාවකට මෙය පහසු කටයුත්තක්ද?

ඒ කටයුත්ත පහසු කර ගන්න හරි ම ලේසියි. කරන්න තියෙන්නෙ පොඩ්ඩක් හිතන එක විතරයි.මාළු කෑල්ලක් උයලා, සම්බෝලයක් හදලා, අල හොද්දක් හදලා එක දවසක කෑම ටික හදන්න පුළුවන්. මං මගේ පවුලේ උදවියට අද ඉඳන් කටට රසට උයලා දෙන්න වෙහෙසෙනවා කියලා හිතට ගැනීම විතරයි මෙතැනදී අවශ්‍ය. ඒ චේතනාව හිතට ගත්තොත්, කාන්තාවන්ට හැමදාම රසට උයන්න පුළුවන්. රැකියාවකට ගිහින් එන කාන්තාව හරි ම සරල විදිහට ඒ කෑම වේල හදාගන්න උත්සාහ කළ යුතුයි. නිවෙසේ එළවළු නැත්නම්, කෙටි නිවාඩුවක් දාලා හරි කඩේට ගිහින් දවස් දෙක තුනකට හරියන්න එළවළු ටික ගේන්න ඕනෑ. එහෙම කළහම රෑ වෙලා නිවෙසට ඇවිදින් තෙම්පරාදු නුඩ්ල්ස් එකක් හදන්න පුළුවන්. ඒවා කන්න තක්කාලි, බෙල්පෙපර්, සලාද කොළ, මාළු මිරිස් දාලා ලුණුමිරිසක් හදන්න පුළුවන්. එහෙම නැත්නම් පරිප්පු සමඟ ලුණුමිරිසක් හදාගන්න හැකියාව තිබෙනවා. අතරමඟදි එන ගමන් අද හදන්නේ මොනවගේ කෑමක්ද කියලා හිතමින් ආවොත්, කඩෙන් කෑම කාලා ඉන්න ඕනෙ නෑ. අම්මා කෙනෙක් විදිහට තමන්ගෙ ආදරය, කරුණාව, දයාව වගේ හැඟීම් මේ කෑමට එක් කරලා කෑම වේල හදන්න පුළුවන් නම්, කොයිතරම් අපූරුද? අපේ අම්මා රසට උයනවා කියලා දරුවො කියද්දී, කෑම ටික හරි රසයි කියලා සැමියා කියද්දී ඔබට දැනෙන ප්‍රීතිමය හැඟීම ආයෙ කිසිම ක්‍රමයකින් ලබා ගන්න හැකි වෙන එකක් නෑ.

  • රස ගුණ දෙකම රැකගෙන කෑම හදන්නෙ කොහොමද?

රස ගුණ රැකගෙන කෑම හදන්න කාන්තාවො ටිකක් හිතට ගන්න ඕනෑ. කාන්තාවො කියන්නේ ගෞරවනීය සදාචාරාත්මක කෙනෙක්. හිතුවොත් ඇයට කරන්න බැරි දෙයක් නෑ. කාන්තාව කියන්නේ ආදරය අත්‍යවශ්‍ය කෙනෙක්. කාන්තාවට ලැබෙන ආදරය වැඩිවන්න වැඩිවන්න, නිර්මාණාත්මක හැඟීම් ඇය තුළින් ඉස්මතු වෙනවා. වෙනස් වෙනස් කෑම වර්ග වෙනස් වෙනස් රසට පෝෂණය ආරක්ෂා කරගෙන උයන්න ඇය එතකොට පෙළඹෙනවා.

එළවළු වර්ග පලාවර්ග හදන කොට ඒවායේ පැහැය ආරක්ෂා කරගන්න, මස් වර්ග මාලු වර්ග හදන කොට ඒවායේ අලුත් බව ගැන හොඳින් සැලකිලිමත් වෙන්න, කෑම වේලකදි ඔබ පිළියෙල කරන ව්‍යංජන වර්ගවල සමබර පෝෂණය ගැන අවබෝධයෙන් කටයුතු කරන්න, විශේෂයෙන් ම එකම පැහැති අහර එක් වේලකට එක් කරනොගන්න, රම්පේ කරපිංචා ආදිය යෙදීමෙන් ව්‍යංජනවල සුවඳ රැකගන්න, එකම එළවළු වර්ග වුණත් විවිධ අත්හදාබැලීම් කරමින් විවිධ ආකාරයට පිළියෙළ කරන්න, එකම විදියේ තුනපහ වර්ග යෙදුවත් හැම ව්‍යාංජනයකම එකිනෙකට වෙනස් රස පවත්වාගන්න ඔබට පුළුවන් නම් ඔබ දක්ෂ ගෘහණියක්. එහෙම වුණොත් ගෙදර හැමදෙනාට ම රසට ගුණට ආහාර පිළියෙළ කරදෙන එක ඔබට අමුතු වෙහෙසකාරී අත්දැකීමක් වෙන එකක් නැහැ.

  • ගෘහණියක් වෙන්න සිටින කාන්තාවකට, තම නිවෙසින් ලැබෙන්න ඕන ගුරුහරුකම් මොනවද?

ඇය අනිවාර්යයෙන් ම ඉවුම් පිහුම් පිළිබඳ හොඳින් උගත යුතුයි. අප ආදරේ ලබන්න නම් අන්‍යයන්ට ආදරේ කරන්න ඕනෑ. කාන්තාවක් විදිහට සැමියාට සලකන්න, සැමියාගේ නිවෙසේ වෙසෙන අයට සලකන්න ඉගෙන ගන්න ඕනෑ. මේ දේ තමන්ගේ මවගෙන් ඔබට අත්දකින්න පුළුවන්. මවුපියන්, තම දියණියගේ වැරැදි තිබේනම් ඒවා හදා ගැනීමට නිරතුරු උපදෙස් ලැබ දිය යුතුයි.

කාන්තාව සහ සැමියා යන දෙදෙනාම, උදෑසන නැගිටිනවිට, දෙන්නාට දෙන්නා දවස සුබ කරගන්න හොඳ ප්‍රාර්ථනයක් කරනවානම්, ගැටුම් අවම කරගෙන ජීවන ගමන සාර්ථකව ඉදිරියට ගෙන යන්න ඒක හොඳ පිටුබලයක් වෙනවා.

  • කෑමක් හදන්න ගිහින් ඒක වැරැදුනොත්?

එහෙම වෙලාවට ඒ සඳහා යොදාගත්ත ද්‍රව්‍ය විසිකර දමන්නේ නැතිව , එයින් වෙනත් කෑමක් හදාගන්න කාන්තාවට හැකියාව තිබිය යුතුයි. ඒ දැනුම ලබාගන්න ඕන ඇය විසින්මයි. ඒක කවුරුත් කියාදීලා ගතයුතු දැනුමක් නෙමෙයි. තමන් විසින් ම කල්පනා කරලා, හිතලා බලලා එයින් වෙනත් කෑමක් හදා ගැනීමේ හැකියාව එන්නේ අවබෝධයෙන්. තමා සතු දැනුමෙන්. එහෙම නැතිකෙනා තමයි කෑම හදන්න ගිහින් වැරැදුණු විට ඒ සඳහා යොදාගත් ද්‍රව්‍ය විසිකර දමන්න කටයුතු කරන්නේ. කාන්තාවක් විදිහට අප සෑම විටෙකම අරපිරිමැස්මෙන් යුතුව කටයුතු කරන්න ඕනෑ.

  • ලෙඩ රෝග සහ කෑම බීම

වර්තමානය වනවිට බොහෝ ‍දෙනෙක් බෝ නොවන රෝගවලට ගොදුරුවෙලා. මේ තත්ත්වයට කාන්තාවන් යම් තරමකින් හෝ වගකිව යුතුයි. තමන්ගේ කාර්යබහුලත්වය ගැන හිතලා තෙල් කෑම, පිටිකෑම කඩෙන් ගෙනත් නිතරම කෑම නිසා බොහෝ දෙනෙක් ලෙඩවෙනවා. විශේෂයෙන් ම ඔබේ තාවකාලික පහසුව ගැන හිතලා වෙළ ඟඳ සැලෙන් අරගෙන එන ක්ෂණික ආහාර වර්ග නිසා පවුලේ අය අසනීප වුණොත් ඔබට වැඩි වැඩියෙන් කරදර විඳින්න සිදුවෙනවා. පුංචි දරුවන්ට ආහාර වර්ග හදල දෙන කොට ඒ අය කැමති දේවල් කැමති රසට ප්‍රිය මනාප පෙනුමට හදල දෙන්න ඔබ වගබලාගත යුතුයි. ඉඳලා හිටලා ගමනක් බිමනක් ගියහම වෙනසකටත් එක්ක හොඳින් පිළියෙළ කරල ඇති කියල ඔබට යම් විශ්වාසයක් තියෙන අවන්හලකින් කෑම කෑවට කමක් නෑ. ඒත් ගෙදර හදන කෑම වැඩියෙන්ම රස කෑම බව පවුලේ හැම දෙනාට ම දැනෙන්න කටට රසට උයන්න ඔබට හැකිවිය යුතුමයි. මේක එක්තරා අභියෝගයක්. ඒත් ඔබට හොඳ කැපවීමෙන් සහ වගකීමෙන් කටයුතු කළොත් මේ අභි‍යෝගයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවනි.

-නිරංජලා-

Related Articles

Don't Miss


Latest Articles