“චාරුනී අක්කලා කෑම එවලා.බෙදාගෙන එන්නං..”
උත්පලා ගේට්ටුවෙන් එළියේ තිබුණු පුටුව උඩ තිබුණු මල්ලත් අරන් එන ගමන් කසුන්ට කිව්වා.කාමරයේ ඉන්න කසුන් ඔලුව වනනකොට උත්පලාට දුකයි.ඒ වගේම බයත් නැතුවාම නෙවෙයි.
“ඔයාට අමාරුවක් නෑ නේද?”
කසුන් එහෙම අහලා මැසේජස් කීයක්නම් එවනවද? වසංගතයක් කරපු හරියක්! ගේ ඇතුළේ ඉන්න වෙන්නෙත් වෙනම.නොදන්න මිනිස්සු වගේ.
“ඔයාටනෙ අමාරුවක් නැති වෙන්න ඕන..”
කසුන්ගේ කෑම පිඟානත් වතුරත් කාමරයේ දොර ළඟින් තියන ගමන් උත්පලා කියන්නේ හිනා වෙවී.
“චාරුනී අක්කගෙ කෑම වෙනදට රසයිනෙ.අදත් රසයි කියල හිතන් කමු..”
උත්පලා සාලෙට වෙලා එහෙම කියන්නේ හිනා වෙන ගමන්.වසංගතය ගෙට රිංගා ගත්තු මොහොතේ ඉඳන් යාළුවෝ ඈතින් ඉඳන් ආදරේ ගෝනි පිටින් එවීම ගැන කසුන්ට දැනෙන්නේ සතුටක්.ඒත් හිත අස්සේ හීන් නාරං කට්ටක් ඇනෙනවා වගේ.ඒ ගැන උත්පලාටත් කියන්න කසුන්ට හිතක් නෑ.
“කසුන්,මට උණ ගන්න වගේ..”
අහන්න බයෙන් හිටපු ආරංචිය උත්පලාගෙන් ලැබුණේ ඊටපහුවදා.ඒක බලාපොරොත්තු විය යුතු ආරංචියක් බව දුරකථනයෙන් ලෙඩ අහන වෛද්‍යවරු කිව්වත් උත්පලා අසනීප වීම ගැන කසුන්ට තියෙන්නේ දුකක්.
“ලෝකේ හැමෝටම එන කරදරයක්නෙ කසුන්.හිතන් නැතුව ඉමු.අමාරු වුණොත් හොස්පිටල් එකකට යං..”
උත්පලා එහෙම කිව්වත් බයක සේයාව ඇස් දෙකේ ඇඳිලා තිබුණා.උත්පලාට ගෙදර වැඩ කරන එක තහනම් කරමින් ඕනෑවටත් වඩා කෑම පාර්සල් එවන යාළුවෝ,පළතුරු ගෝනි ගණන් එවන යාළුවෝ නිසා උත්පලාට මිනිස්සු ගැන ඇති වුණේ ආදරණීය හැඟීමක්.ඒත් කසුන්ගේ හිත හොඳ නැහැ.
“කසුන්..මගෙ ඔලුව රිදෙනව හොඳටම.”
සාමාන්‍ය වේදනා නාශකවලින් වේදනාව අඩු නොවන තැන උත්පලා එහෙම කියනකොට කසුන් වහාම වෛද්‍යවරයෙක්ට ඇමතුවා.නියම කරපු බෙහෙත් ගෙන්වා ගන්න ඕනෑ.ඔන්ලයින් සේවාවන් ඉතා කාර්යක්ෂම නැහැ.මේ කාලේ ගැටළු වැඩියි.කසුන් දෙතුන් වතාවක් හිතලා ඒ ඇමතුම ගත්තේ ඒ නිසා.
“බෙහෙත් වගයක් ගෙන්නා ගන්න ඕන.උත්පලාට අමාරුයි..”
අනිත් පැත්තෙන් ආවේ අපේක්ෂා කරපු පිළිතුරම ද කියලා කසුන් හිතුවා,එන්න වෙන්නේ නැහැ.උත්තරේ හරි සරලයි.
“කසුන්,අපේ සරනිට කතා කරමු.භාතිය බෙහෙත් අරන් එයි..”
යාළුවෝ කියන්නේ කරදරයකදී අත අත් නොහරින අය කියලා කියන්න වගේ භාතියට බෙහෙත් ටික අරන් එන්න ගත වුණේ බොහොම සුළු වෙලාවක්.
“ලොකු ගාණක් ගියා..ඉඩමක් වත් ලියලා ඕනෑ..” ගේට්ටුවෙන් එහා ඉඳන් එහෙම විහිලුවකුත් කරලා භාතිය යන්න ගියාම කසුන්ට අර දුරකථන ඇමතුම ගැන ආයේ වේදනාවක් දැනෙන්න පටන් ගත්තා.
වසංගතයක් කියන්නේ චිත්‍රපටියක, පොතක තියෙනවාටත් වඩා බොහොම අසීරු අත්දැකීමක් කියන කාරණාව ඒ සති දෙක පුරා වින්දට පස්සේ ජීවිතේ ඕනෑම අභියෝගයක් තමන්ට දරා ගන්න පුලුවන් කියලා උත්පලාට නම් හිතුණේ.
“අපිට ඒකත් දරා ගන්න වුණා..”
හොඳටම සනීපයි කියලා තේරෙනකොට වෙනදා වගේ සින්දු කිය කියා උයන ගමන් උත්පලා කියන්නේ සන්තෝසෙන්.
“මිනිස්සු ගැනත් ඒ වගේම තේරුම් ගත්තා..”
කසුන් ළූණු කපන ගමන් එහෙම කියන්නේ ලාවට ඇස් රතු කරගෙන.
“ඕක අර ෆේස්බුක් කතාවක්නෙ.අපිටනම් මිනිස්සුන්ගේ හොඳ විතරයි තේරුණේ..හා නැද්ද? මාව මහත් කරවලා කැත කරන්න හිතන් මේ කෙල්ලො මෙච්චර කෑම එව්වද මන්දා.රසක් නාවත් අපි කෑවනෙ..”
උත්පලා එහෙම කියලා හිනා වෙනවා.හිතේ ඇනි ඇනී වේදනා දෙන නාරං කට්ට ගලවලා දාන්න කසුන්ට හිතුණා.
“අපේ මල්ලි ඉන්නේ මේ එහා ලේන් එකේනෙ උත්පලා.ඔච්චර කරදර වෙලාවක ජෑම් ගාලා පාන් පෙත්තක් ගෙනාවද..නෑනෙ?”
ඒ දේ තමන්ටත් හිතුණා කියන්න උත්පලාට හිතක් නෑ.ඒ වගේ නොවටිනා දේවල්වලට කසුන් රිද්දා ගන්නේ මොකටද?
“එයාලට වැඩ තියෙන්න ඇති කසුන්..”
උත්පලා සමබර උත්තරයක් දුන්නේ ඒ නිසා.දසුන්ට වැඩ තියෙන්න නැතුවත් ඇති.ඒත් සහෝදරකම් කොටලා පොවන්නයැ.
“ඔයාට අමාරු උනාම මං බෙහෙත් ගෙනත් දෙන්න කියලත් කිව්වා…”
කසුන් එහෙම කියන්නේ ලොකු හුස්මක් ගන්න ගමන්..ඒ මොහොතේ භාතිය උදව්වට නාවනම් කියලා හිතෙනකොට ඇති වෙන හැඟීම ගැන කසුන්ට හිතන්නත් අමාරුයි.එහෙම වෙලාවකත් පිටු පාන්න සහෝදරයෙක්ට පුලුවන් වේවි කියලා කසුන් මීට කලින් හිතලා තිබුණේ නැහැ.
“අපි කාගෙන්වත් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න නරකයි කසුන්.දරු සෙනෙහස,සහෝදරකම්, යාළු මිත්‍රකම් ඔය හැම දේටම සාහිත්‍ය ලස්සන කතා ලියලා තියනව තමයි.ඒත් මිනිස්සු කියන්නේ මිනිස්සුන්ට.ආත්මාර්ථය තමයි ඉස්සර වෙන්නේ..එතකොට බැඳීම් ගැන අමතකම වෙනවා.මල්ලිට වෙන්න ඇත්තෙත් ඒකයි “
උත්පලා එහෙම කියලා හොද්දේ ලුණු ඇඹුල් බැලුවා.දැන් රස දැනෙන එකම මදැයි!
“නරක කාලයක් ඉවර කරපු එකේ අපි ඒ නරක කාලේ හොඳ විතරක් මතක තියා ගමු කසුන්..මල්ලිට උවමනා තැනක් ආවොත් උදව් කරමු.ඒ ඇරුණම ඕකට දුක් වෙලා මොකටද?”
ජීවිතය කියන්නේ මොකක්ද කියලා හොඳටම තේරුම් යන කාලයක් පහු කරන ගමන් දුක වේදනාව වගේම තරහ එක්ක එච්චර යාළු වෙන්න හොඳ නෑ කියලයි උත්පලාට නම් හිතෙන්නේ.මේ වගේ කාලෙක සතුට සහ සැනසීම විතරක් හිතේ ඉතුරු කරගත්තම හොඳටම ඇති.
“අපි ගැන නොහිතන අය ගැන හිතන්න නාස්ති කරන කාලෙත් අපරාදේ කසුන්..”
උත්පලා එහෙම කියලා කසුන් අතට පොල් බෑය දුන්නේ කාලය ප්‍රයෝජනවත් දේකට යොදවන හැටි උගන්වන්න වෙන්න ඇති