දෑවැද්ද.

“මේ..මදාරා,ඔයා අපේ අම්මගෙ කෝල්ස් ආන්සර් කරේ නැද්ද?”

අකිලගෙ ඇමතුමට මං උඩ ගිහින් බිම වැටුණා.එහෙම ඇමතුමක් ආපු බවක් මට මතක නෑ.මං හිටියේ ඔක්කොම වැඩ ඔලුවට හලාගෙන.මොනතරම් වැඩ තොගයක් මේ මාස දෙක තුනට ඉවරයක් කරන්න තියනවද?

“මට මිස්ඩ් වෙන්න ඇති අකිල..”

මං එහෙම කියනකොට අකිල අනිත් පැත්තෙන් හිනා වෙන හඬ ඇහුණා.

“දැන්ම තියා ඔය බොරුවට ලෑස්ති වෙන්න නම් එපා මදාරා.මොකක් වුණත් ඔයා මොන වැඩක හිටියත් අපේ අම්මගෙ කෝල් එකක් ආන්සර් කරන්න ඕන.”

ඒක උසාවි නියෝගයක් වගේ මට දැනුණේ.මං හ්ම් කියලා දුරකථනය විසන්ධි කරේ වෙඩින් එක පේන මානයේ ඉඳන් රණ්ඩු අල්ලන්න ආස නැති නිසා.

“පොඩ්ඩක් ඔහොම ඉන්න හොඳේ..”

ගොයින් අවේ ගවුම බලන්න ගිහින් මම ඒක ඇන්දට පස්සේ අකිල මගේ ඡායාරූප තුනහතරක්ම ගත්තා.රූපලාවණ්‍ය ශිල්පිනිය මං දිහා බැලුවේ හිනා වෙන ගමන්.

“මේ මනමාලයා මෙහෙම ෆොටෝස් එකතු කරන්න ගියොත් එදාට කිසිම සර්ප්‍රයිස් එකක් නැති වෙයි..”

ඒත් මනමාලයා මට ආදරේට ඡායාරූප නොගත් බව එළි වෙන්න විනාඩි ගාණක්වත් ගියේ නැහැ.

“මදාරා, ඔය ගවුම නැතුව වෙන එකක් බලමු.අම්මා කියනව දිය රෙද්දක් වගේ කෙහෙම්මලක් ඇඳගෙන මඟුල් නටන්න එපාලු..”

රූපලාවණ්‍යගාරයේ අත් උදව්කාර ගැහැනු ළමයි අතින් කට වහගෙන බිම බලා ගන්නකොට මට දැනුණේ පුදුමාකාර අපහසුතාවයක්.ඒත් මගේ රූපලාවණ්‍ය ශිල්පිනිය තරහ නොගෙන නිවෙන්න උත්සාහ කළා.

“මදාරාගේ ඇඟට ගැළපෙන ඇඳුම තමයි අකිල මේ.අනික ඉතිං මඟුල් නටන්න යන ගමන නේන්නං..හනිමුන් යන ඇඳුමනෙ.අම්මලට ඒ තරම් ෆැෂන් ගැන තේරෙන්නේ නෑනෙ.ඒ නිසා මේ ගවුම අඳිමු මදාරා.”

මට හිතා ගන්න බැරි වුණේ අකිලගේ අම්මාගේ විලාසිතා දැනුම ගැන නෙවෙයි.ඇයට ඒ හදිසියේ ඒ ඇඳුමේ ඡායාරූප යවලා ගුණාගුණ විමසන්න අකිලට ආපු සිතුවිල්ල ගැන.

“අපි ටීෂර්ට් එකක්වත් ගන්නෙ නෑ අම්මගෙන් නාහා.ඔයාව වුණත් තේරුවෙ අම්මනෙ.”

මට වැඩියෙන්ම රිදුණේ අපි ආපහු එන අතරේ අකිල කිව්ව ඒ කතාවට.
යෝජනාවක් විදියට ආව අකිලගේ මංගල ඇරයුම අපි බාර ගත්තේ අකිලගේ වැරැද්දක් නැති බවට අම්මත් තාත්තාත් අයියාත් සකුනි අක්කත් මමත් කතාබහ කරාට පස්සේ.උෂාන්ගේ හදිසි මඟ හැරීම නිසා ආයේ නම් ප්‍රේමයකින් විවාහයට යොමු වෙන්නේ නෑ කියලා මං තීරණයක් ගත්තම අම්මලා විවාහ යෝජනා ගේන්න ගත්තා.හැබැයි ඒ හැම කෙනා ගැනම අපි කතාබහ කරා.

“ඔයා මට කැමති වුණේ නැද්ද?මාත් එක්ක ජීවත් වෙන්නෙ ඔයානෙ..”

මං පුදුමයෙන් ඇහුවේ ඒ නිසා.

“ගෑනු කවුරුත් එකයිනෙ.ඒ හින්දා මම අම්මට කිව්වා හොඳ කෙනෙක් තෝරා ගන්න කියලා.”

මට මුලින්ම විවාහය ගැන රතු එළියක් වැටුණේ අන්න ඒ වෙලාවේ.

“දැන් ඕවා අහන්න යන්න ඕන නෑ අම්මා.නංගිත් අවුල් වෙයි.අපි අර කුඹුර ළග ඉඩම විකුණුවොත් සල්ලි ටික හදා ගන්න පුලුවන්.මදිපාඩුවක් වුණොත් මොකුත් උකස් තියමු..”

සකුනි අක්කා අම්මගෙ කාමරයේ කටුකුටු ගානවා මට ඇහුණෙ අහම්බයකින්.
අනුන්ගේ කතා අහගෙන ඉන්න එක එච්චරම හොඳ නැතත් මං ඒ කතාව අහගෙන හිටියා.

“එහෙම කරන්න බෑ පුතේ.මේ හදිසියේ එහෙම වියදමක් දරන්න අමාරුනෙ.ඉඩකඩම් විකුණලා කොහොමද?”

අම්මාගේ කටහඬ හූල්ලන ගාණයි.

“කමක් නෑ අම්මා.එයාලා ඉල්ලන දේනෙ.මට කුස්සියට ඕන බඩුවක්වත් ගේන්න නොදී අම්මලා කෑගැහුවට ලංකාවෙ ගොඩක් නැන්දම්මලා ඔහොම තමයි අම්මේ..දෑවැදි ඉල්ලනවා.”

සකුනි අක්කා අම්මාව සන්සුන් කරන්න හැදුවත් මට ආවේ දරා ගන්න බැරිතරම් කේන්තියක්.අකිල දෑවැද්දක් ඉල්ලන බවක් මම දැනගෙන හිටියේ නැහැ.

“අම්මා..අකිල දෑවැද්දක් ඉල්ලනවද?”

මං කඩා පැන්නම අම්මත් සකුනි අක්කත් මුහුණට මුහුණ බලා ගත්තා.අම්මා අසරණ වුණු විදියට මට දැනුණේ දුකක්.

“අකිලම නෙවේ චූටි.අර අකිලලගෙ අම්මා කියනව හොඳ කාර් එකක් ඕනලු..වෙඩින් එකේ වැඩත් එක්ක මේ හදිසියේ ඔය ඔක්කොම කරන්න බෑනෙ..”

සකුනි අක්කා හේතු පහදන්න උත්සාහ ගත්තා.අපිට හොඳ මෝටර් රථයක් ගන්න සිහිනයක් මටත් තියෙනවා.අකිල එක්ක ඒ කටයුත්ත එකතු වෙලා කරගන්න තමයි මගේ බලාපොරොත්තුව තිබුණේ.ඒත් අකිලලාට තියෙන්නේ වෙනම සැලැස්මක්.

“හොඳ දෑවැද්දක් නැතුව ගෑනියෙක් ගේන්නේ නෑ මදාරා මම.ඔයාට රස්සාවක් තියන එකයි පොත්ත සුදු එකයි කසාද බඳින්න හේතුවක්ද? අම්මා කියන්නෙ හොඳ දෑවැද්දක් ඕන කියලා..”

අකිලගේ පිළිකුල් සහගත කතාව ඇහුණු මම මගේ අන්තිම තීන්දුව දෙන්න හිතුවා.

“මම හිතන්නේ අකිල ඔයාගෙ අම්මටයි ඔයාටයි ගැළපෙන කෙනා මම නෙවෙයි.අම්මාගෙ කෝණවලින් ජීවිතේ දිහා බලන පුතෙක් එක්ක ජීවත් වෙනවට වඩා අන්තිම මොහොතේ හරි කසාදෙ නවත්තන්න ලැබුණු එක මට සතුටක්..”

මං එහෙම කියලා ලොකු හුස්මක් ගත්තා.මොකක්දෝ නිදහස් හැඟීමකින් හිත පිරිලා යද්දී මං ආයේම ජීවත් වෙන බවක් මට දැනෙන්න ගත්තා.

More Stories

Don't Miss


Latest Articles