“මොකක්ද පුතා…මේ ජයනි කරන වැඩ වල තේරුම…? ලැජ්ජා නැද්ද…?”
“ඇයි අම්මේ….?”
“බත් බැද බැද කඩවල් වලට ගිහින් දාන්න යනඑක…ඔයාට තේරෙන්නේ නැද්ද…?ඔයා මේ වටේ ඉන්න මිනිස්සුන්ට මූණ දෙන්නේ කොහොමද…?
.
ජයනිත් හර්ෂත් විවාහ වුණේ අවුරුදු හතරක ආදර සම්බන්ධයකින්. පෞද්ගලික ආයතනයක සාමාන්‍ය රැකියාවක් කරන හර්ෂගේ මව මේ සම්බන්ධයට මුලදීනම් කැමති වුණේ නැහැ. තමන්ගේ පවුලට වඩා වත්පොහොසත් කමින් වැඩි පවුලකින් පුතාට සහකාරියක් සොයා දෙන්න ගුණවතීට ඕන වුණා. නමුත් කෙසේ හෝ දෙපාර්ශවයේම ආශිර්වාදයෙන් මේ විවාහය සිදු වුණා. ඒ මීට වසර හතරකට පමණ උඩදීයි. හර්ෂට ලැබුණු වැටුපෙන් ගෙවල් කුලී ගෙවාගෙන හැම වියදමක්ම දරාගන්න බැරි වුණු නිසාම සෙනසුරාදා දවසක නිදහසේ ඉන්න වෙලාවක ජයනි පොඩි යෝජනාවක් ගෙනාවා.
“හර්ෂ…ඔයා තනියම මහන්සි වෙනවා මට බලාගෙන ඉන්න බෑ. ඔයා පව්…හැමදාමත් අපිට මේ කුලී ගෙවල් වල ඉන්නත් බැහැනේ. ඒ නිසා මම පොඩි ජොබ් එකක් කරන්නද…?
“මොකක්…???ජොබ් එකක්…? ඔයාට පිස්සුද…?මට පුලුවන් ඔයාව බලාගන්න…”
“අයියෝ…හර්ෂ…රස්සාවකට යනවා නොවේ…මම පොඩි බිස්නස් එකක් පටන් ගන්නම්….”
“බිස්නස් එකක්…? ඒ මොකක්ද…?
කෙසේ හෝ ජයනිගේ පුංචි ව්‍යාපාරයට හර්ෂ කැමැත්ත පළ කලේ ටික දවසක් ගත වුණාට පසුවයි. ජයනි බත් පාර්සල් සාදා කඩවල් වලට දාන පුංචි ව්‍යාපාරයක් පටන් ගත්තා. ජයනිගේ හොඳම යෙහෙළිය වුණු මාධවීද ඇයට උදව් කලා. දිනක් ජයනිත් හර්ෂත් මාධවීත් පිටකොටුවට ගොස් අවශ්‍ය කළමණා රැගෙන ආවා. ලඟ පාතක කඩවල් කීපයකට මොවුන් දහවල් කෑම පාර්සල් සාදා දුන්නා. දිනෙන් දින ඇගේ මේ පුංචි ව්‍යාපාරය දියුණු වුණා. නිවස ඉදිරිපිට “super food “නමින් බෝඩ් එකක් එල්ලුනේ මේ අතරෙයි . මාස කීපයකට පසුව ඇය ෆිනෑන්ස් ක්‍රමයට ස්කූටර් බයිසිකලයක්ද මිලදී ගත්තා. ඒ කිසිම දේකට ජයනි හර්ෂගෙන් කිසිදු මුදලක් ඉල්ලුවේ නැහැ.
“බලන්න…අර ගෑණියෙක් කරන වැඩද….?බයිසිකලේ පැදගෙන රට වටේ යනවා. අනේ…දෙයියනේ…හොද වෙලාවට මේවා දකින්න කලින් අප්පච්චිගේ ඇස් දෙක පියවුණේ. නැත්නම් මේවා දැකලා ඒ මනුස්සයා මැරෙන්නේ පපුව පැලිලයි.”
ගුණවතී එක දිගට ජයනිට මැසිවිලි නැගුවා. හර්ෂ කිසිවක් නොකියා කරබාගෙන හිටියත් වරින් වර මිදුල දෙස බැලුවේ කොයි මොහොතේ ජයනි ගෙදර ඒවිදෝ සිතමින්.
“අනේ අම්මා…නවත්ත ගන්නකෝ ඔය කෑ ගැහිල්ල…දැන් අක්කත් ඒවි. ආපු වෙලාවේ ඉදන් අම්මගේ වැඩේම ඔය බෙලි කටු මල්ල හොලවන එකමනේ….”
මෙතෙක් වෙලා මුළුතැන්ගෙය අතගාමින් සිටි හර්ෂගේ නැගණිය, නිශානි කිව්වා.
“අයියා…මේ කිරිටොෆි කෑලි කොහෙන්ද අනේ…මාර රහයිනේ…”
“ඔය ජයනි හදන ඒවා. ඒවත් එයා කඩවල් වලට දානවනේ…”
මෙතෙක් කිරිටොෆි කෑල්ලක් ආසාවෙන් කමින් සිටි ගුණවතී “අපෝ සීනී…”කියමින් ජනේලයෙන් කිරිටොෆි කෑල්ල වීසි කලා.
“අනේ බොරු කියන්න එපා අම්මා…මම දැක්කනේ ඔයා කිරිටොෆි කෑලි දෙකක්ම දැන් කනවා…”
නිශානි කිව්වේ හර්ෂට ඇසකින් ඉඟි කරමින්. ගුණවතී නිශානිට ඔරවමින් ගෙට ගියා.
“අම්මෝ…අයියා…මේ කෑම වල සුවඳ.මේ සුවඳට නැති බඩගින්නක් ඇති වෙනවා…”
“ඔය පිඟානක් අරගෙන ඇතිතරම් බෙදාගෙන කන්න නංගී…”
“අපි අක්කයි මාධවී අක්කයි ආවහම එකටම කමු…”
“එහෙමනම් ඔයාට දෙක වෙනකම්වත් ඉන්න වෙයි…”
හර්ෂ කීවේ කෑම ඩිලිවරි කරන්න ආස පිරිමි ලමයෙකු ඇනවුම් කල කෑම පාර්සල් දහය දීමෙන් පසුවයි. ජයනි දහවල් කෑම පාර්සල් පමණක් නොව කිරිටොෆි, වටලප්පන්, පුඩිං වැනි අතුරුපසද සාදා විකිණුවා. ඇය හිතුවාටත් වඩා ඉක්මනින් ජයනිගේ කුඩා ව්‍යාපාරය දියුණු වුණා. මාධවී සමග එකතුවී ආහාර පිසිනා ජයනි ඉක්මනින් ඒවා පිළිවෙලට අසුරා කඩවල්වලට ඇණවුම් අනුව බාර දුන්නා. ජයනී ස්කූටර් බයිසිකලයෙන් ඒ ඇනවුම් බාර දෙන්න යද්දී මාධවී නිවසේ සිට online ක්‍රමය ඔස්සේ ලැබෙන ඇනවුම් වලට අවශ්‍ය කෑම පාර්සල් ලබා දුන්නා. සවස තුන වනවිට අස්පස් කරන දෙදෙනා පොඩි විවේකයක් ගෙන නැවතත් පසුවදාට සකසන ආහාර සම්බන්ධයෙන් පෙර සූදානමක් කලා.
* * * * * * * * * * * *
“ගුණවතී ඇන්ටීගේ මූණ එච්චර හොඳ නෑ නේද ජයනි අක්කේ…?”
බයිසිකලේ යන අතරතුර දී මාධවී කිව්වා.
“අම්මගේ හැටිනේ නංගී…දවස් කීපයක්ම හර්ෂට ඔෆිස් එකට කෝල් කරලා මේ බිස්නස් එක නවත්තන්න කියලා තිබුණා…”
“කවුද ඔයාට කිව්වේ…හර්ෂ අයියද….?”
“ඔව්…හර්ෂ ඒ හැමදේම මට කියනවනේ…හර්ෂටත් හිනා. අපි වරදක් කරන්නේ නැහැනේ නංගී…”
ගුණවතී කාමරයෙන් එළියට ආවේ සැහැල්ලු ඇඳුමක්ද ඇදගෙනය.නිවසින් එද්දී “අදම එමු” යැයි නිශානිට කීව නිසාවෙන් ගුණවතී දැක නිශානි පුදුම වුණා.
“අම්මා….අදම යමු කියලා නේද කිව්වේ…?”
“බලමුකෝ…මම තවම යනවද…ඉන්නවාද…කියලා තීරණය කරලා නැහැ….”
හර්ෂ මිදුලට වී බලා සිටියේ ජයනි එනතුරුය.නිවසේ online ක්‍රමයට ලබා දීමට සූදානම් කර තිබූ කෑම පාර්සල් විකිණී අවසාන්ය.
“අනේ අයියේ…මට ඔය කෙහෙල් කොලේ ඔතපු බත් පාර්සලයක් ඕනේ…ඒකේ සුවඳට නැති බඩගිනිත් ඇති වෙනවා. අම්මාටත් ඕනේද…?”
“අනේ…මට ඕන බතක් නෑ.ඔය ජරා රසකාරක දාපු කෑමවලට වඩා පොල් සම්බෝල ටිකක් එක්ක බත් ටිකක් කනවා…”
ගුණවතී කීවද හර්ෂ බත් පාර්සල් දෙකක්ද පසෙකින් තබා ගත්තා. ජයනී යාමට පෙර කෑම මේසය පිළියෙල කර තිබුණේ අම්මලට කෑම දෙන ලෙසය.නමුත් කෙහෙල් කොලේ එතූ කෑම ටිකක් කන්නට නංගී වගේම අම්මත් කැමති බව හර්ෂ දැන සිටියා.
හර්ෂත් නිශානි ත් මිදුලට වී කතා කරමින් සිටින අතරතුරේදී හිමින් සීරුවේ මුලුතැන්ගෙට ගිය ගුණවතී ශීතකරණයේ තිබූ වටලප්පන් කප් එකක් ගෙන අසල තිබූ පුටුවක හිඳ රස බැලුවා. “පුදුම රසක්නේ “කෑ පලමු වටලප්පන් කැබැල්ලෙන්ම ඇයට කියවුණා.
“අක්කා ගොඩාක් දුක් විඳිනවා නේද අයියා…?”
“ඔව්…හැබැයි කවදාවත් අක්කා ඒ දුක කියලා නෑ.අම්මා ජයනිට පුදුම විදිහට රිද්දනවා නංගී…ගිය පාර ආපු වෙලාවේ අපිට දරුවෙක් නෑ කියලා ජයනිගේ හිත රිද්දලා ගියා. මේ පාර එයාගේ මේ පොඩි බිස්නස් එක ගැන කියලා හිත රිද්දනවා…”
“ඔයා දන්නවනේ අයියා අම්මාගේ හැටි…වෙන ගෑණියෙක් නම් ඔහොම ඉවසන්නේ නෑ අයියා. මට අක්කා ගැන දුකයි….”
“අපි තාම ගත්ත ඉඩම් කෑල්ලේ අත්තිවාරම දැම්මා විතරයි නංගී. ඉන්න තැනක් නැතිව කොහොමද අපි දරුවෙක් ගැන හිතන්නේ..?අපි තව අවුරුද්දකින් දරුවෙක් ගැන හිතන්නයි හිතාගෙන ඉන්නේ…මේවා අම්මට කියන්නේ කොහොමද…?”
“ඕවා අම්මාට කියන්න යන්න ඕනේ නැහැ අයියා. මේ ඔය දෙන්නගේ ජීවිතේ…ඔය දෙන්නා ඔයාලගේ තීරණ ගන්න…”
“ඒත් දරුවෙක් නෑ කියලා අම්මා ජයනිට චෝදනා කරද්දී මට වාවන්නේ නෑ නංගී….”
“අම්මට පිස්සුනේ…ඔන්න අක්කලා එනවා….”
* * * * * * * * * *
“අනේ සමාවෙන්න අම්මේ…ආපු ගමන් නෑවා. මාර්කට් එකටත් ගිහින්නේ ආවේ…හර්ෂ….අම්මලා කෑම කෑවද..?”
එසේ කියමින් ජයනි කෑම මේසය දෙස බැලුවා. කිසිම කෙනෙක් ආහාර ගෙන තිබුණේ නැහැ. අම්මගේ වගේම හර්ෂගේ මුහුණේත් ප්‍රියමනාප පෙනුමක් තිබුණේ නැහැ. හර්ෂ රූපවාහිනී දෙස බලමින් සිටියත් ගුණවතී හිටියේ කම්මුලට අතක් තබා ගනිමින්. මොහොතකින්, “නිශානි අපි යං…”කියමින් ඈ කාමරයට ගියා. මාර්කට් එකෙන් ගෙනා එලවලු මල්ල මාධවී සමඟ අස්පස් කරමින් සිටි නිශානි ඒ හඬින් කලබල වුණා.
“ඇයි හර්ෂ…මොකක්ද වුණේ…?”
ජයනි හර්ෂ අසලින් අසුන් ගත්තේ එසේ අසමින්.
“මට තේරෙන්නේ නැහැ ජයනි මොනව කරන්නද කියලා…ලොකු මල්ලිගේ කැම්පස් එකේ වැඩකට අම්මා රත්නා මුදලාලිගෙන් රුපියල් පනස්දාහක් පොලියට අරගෙන. දැන් පොලියත් එක්ක හැත්තෑ හය දාහක්ලු. රත්නා මුදලාලි හැම වෙලාවෙම ගෙදරට ඇවිත් දැන් සල්ලි ඉල්ලනවලු. ඔයා දන්නවනේ ලොකු මල්ලිගේ හැටි. කසාදයක් කර ගත්තට පස්සේ ඌට අම්මගේ කතා වැඩක් නැහැනේ. මගෙන් ඔය සල්ලි ඉල්ලන්න ඇවිත් තියෙන්නේ. මම ගාව කොහේ ඇති සල්ලිද ජයනී…?”
හර්ෂ කියද්දී ජයනි නිශානිගේ අතකින් අල්ලා කාමරයට ගියා. ඒ යද්දී ගුණවතී ඇඳේ වාඩි වී කල්පනා කරමින් හිටියේ. ජයනී ගුණවතී අසලින්ම බිම වාඩි වුණා. ගුණවතී ජයනී දෙස බැලුවේවත් නෑ.හර්ෂද කාමරයට ආවා.
“අම්මා හිත අවුල් කරගන්න එපා. අපි සල්ලි දෙන්නම්…”
ජයනි කියද්දී ගුණවතී, නිශානි, විතරක් නෙවෙයි හර්ෂත් තිගැස්සුණා.
“ජයනී….අපි….??”
හර්ෂ ඇසුවේ පුදුමයෙන්.
“අම්මා…හර්ෂ කරන රස්සාවෙන් ලෝන් එකට කැපිලා මාසයට අතට ලැබෙන්නේ පොඩි ගාණක්. ඒකයි මම මේ පොඩි බිස්නස් එක පටන් ගත්තේ. ඒකෙන් ඉතිරි කරගත්ත සල්ලි ටිකක් තියෙනවා. මම ඒකෙන් ඔය සල්ලි ටික දෙන්නම්. අම්මා දුක් වෙන්න එපා. මම ඒක ඉතිරි කලේ ඉක්මනටම අපේ ගෙදර කාමර කෑල්ලක් හදාගෙන ඒකේ පදිංචියට යන්නයි. කමක් නෑ….තව සල්ලි ටිකක් තියෙනවා. අපි හෙට බැංකුවට ගිහින් ඒ සල්ලි ටික ගමු…”
ජයනි කියද්දී හර්ෂගේ නිශානිගේ විතරක් නෙවෙයි ගුණවතීගේත් ඇස් වලට කදුළු පිරුණා.නිශානි ඇස් වල කදුළු හංගාගෙන ඉක්මනින් කාමරයෙන් එළියට ගියා.
අවුරුදු ගාණක් තිස්සේ තම ලේලියගේ කුසින් දරුවකු නූපන් හේතුවෙන් ලේලියට දෝෂාරෝපණය කළ ගුණවතී, බත් පාර්සල් විකිණීමෙන් තම පවුලට අගෞරවය කල බවට ලේලියට චෝදනා කල ගුණවතී, මේ මුදල් අවශ්‍යම මොහොතේදී තමන්ට පිහිට වුණු ජයනිගෙන් මුදල් ගන්නට එතරම් කැමති වූයේ නැහැ. . ඇත්තම කිව්වොත් අකමැත්තටත් වඩා ඇයට තිබුණේ ලැජ්ජාවක්. කාටවත් බරක් නොවී කාන්තාවන්ටම ආදර්ශමත් ලෙසින් සුන්දර ජීවිතයක් ගත කරන ජයනිගෙන් ගුණවතී අනේක වාරයක් හිතින් සමාව ගත්තා.