අම්මා ඇවිත් මං ළඟින් වාඩි වුණේ මුහුණ කළු කරගෙන.තීක්ෂණගේ අම්මලා මේ සති අන්තයේ අපේ ගෙදර එනවා කියලා කිව්ව වෙලාවේ ඉඳන්ම අම්මා ඉන්නේ ප්‍රශ්නයක් හිතේ තියාගෙන කියල මට නොතේරුණා නෙවෙයි.තීක්ෂණ මට මුණ ගැහුණේ කැම්පස් එකේදී නිසා රස්සාව සහ උගත්කම අම්මාට ප්‍රශ්නයක් වෙන්න බෑ.
“මොකක්ද ඔය ඉලන්දාරියගෙ වාසගම..”
කියල අහලා ඊටත් පස්සේ අම්මා තව තව විස්තර මහ ගොඩක් අහලා දැන් සෑහෙන දවසක්.ප්‍රශ්නයක් නම් ඒ කාලෙම බේරුමක් කර ගන්න ඕනෑ.දැන් මේ මුහුණ කළු කරගෙන ඉන්න හේතුව මට හිතා ගන්න අමාරුයි.
“චූටි…ඒ මිනිස්සුන්ට සතියෙ දවසක එන්න කියන්න බැරිද?”
අම්මා එහෙම අහනකොට මං අම්මා දිහා බැලුවේ පුදුමයෙන් වගේ.නිවාඩු දවසක එහෙම ගමනක් එන එක කාටත් පහසු බව අම්මාට අමුතුවෙන් කියා දෙන්න ඕනයැ.
“අක්කා ඔෆිස් ගියාට පස්සෙ ගෙන්නමු..”
අම්මා ඊටත් පස්සේ මට ළං වෙලා එහෙම කිව්වා.මං අම්මා දිහා බැලුවේ පුදුමයෙන් වගේ.අම්මා සුසුම් හෙළන ගමන් ඒ තීරණය ස්ථිර කරගන්න මං දිහාම බලන් හිටියා.
“තීක්ෂණ මගේ අවුරුදු පහ හයක ආදරේනේ අම්මේ.ඒ හින්දා අක්ක දැක්කා කියලා ඒ ගෙදර අය අක්කා මනමාලි කරගන්න ඕන කියන එකක් නෑ..”
අම්මා මට රැව්වේ ඒ විහිළුව ඕනෑවට වැඩි එකක් කියන්න වගේ.මම කතාවක් නැතුව ෆෝන් එකට ඇස් අලවා ගත්තාම අම්මා යන්න ගියා.ඒ ගියේ මට කුටු කුටු ගෑවිල්ලේ බනින ගමන්.
අක්කා මට වඩා අවුරුදු දහයකට වැඩිමල්.ඒ කියන්නේ දැන් අක්කට තිස් හතක්.ඒත් මං දහය එකොළහ පන්තිවල ඉන්නකොට වුණු ඒ හැම කලබලයක්ම මට තාමත් මතකයි.අක්කා කාටහරි “අහු වුණු බව” කිය කියා අම්මා අඬපු තරම මට තාමත් මැවිමැවී පේනවා.
ආදරය රැවටීමක් කියල තේරුම් ගියාට පස්සේ අක්කා ආදරයත් විවාහයත් ප්‍රතික්ෂේප කරන්න පටන් ගත්තා.අම්මා මොනතරම් දෙස්දෙවොල් තිබ්බත් සිරිපාල කපුවා ගෙනාපු එකම එක මනමාලයෙකුටවත් අක්කා කැමැත්ත දුන්නේ නෑ.
“ආදරේ කියන්නේ ඔය කෙහෙම්මල් ඔප්පු කිරිල්ලකට නෙවෙයි අක්කේ.ඇත්තටම ආදරේ මනුස්සයෙක් ඕවා හොයන්නේ නෑ..”
ලේ බිංදුවකින් තමන්ව මැනීමකට ලක් වෙයි කියලා අක්කා බයෙන් ඉන්න බව මට හිතුණේ ටික කාලයක් යනකොට.ඒ හින්දා මං ඒ වගේ උපදෙස් දුන්නත් අක්කා කරේ යන්තමට හිනා වෙන එක විතරමයි.අක්කා බය ආදරේට බවත් තුවාල වුණු හදවත එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න අක්කා ලෑස්ති නැති බවත් හරියටම තේරුම් ගන්න මටත් කාලයක් ගියා.
“නංගිව බන්දන්නේ කොහොමද ඔයා ගෙදරට නාකි වෙනකොට..”
අම්මා තීක්ෂණ ගැන අහපු දවසේ ඉඳන් අක්කාට බනින්න පටන් ගත්තා.ආයෙම සිරිපාල කපු උන්නැහේට වැඩ වැඩි වුණා.මංගල කිංකිණි ලියුම් අරගෙන පියුම් අපේ ගෙදරට තිස්සෙම ආවා.අක්කා හූල්ලනකොට මං අක්කා වෙනුවෙන් කතා කරන්න තීරණය කළා.
“ඉතින් අක්කා බැන්දත් නැතත් තීක්ෂණලට වැඩක් නෑනෙ අම්මේ.”
චාරිත්‍ර ගැන බැන අඬ ගහන අම්මාට මම එහෙම කියනකොට අක්කා නිසා මගේ මංගල්ලෙත් කැඩෙයි කියලා අම්මා විස්සෝප වුණා
“අනේ විකාර..”
මං එහෙම කිව්වේ තීක්ෂණලගෙ ගෙදර අය ගැන මම දන්න නිසා.මංගල්ලේ කැඩෙනවා වෙනුවට ඉක්මනින්ම විවාහ උත්සවය ගන්න අපි තීරණය කළේ ඊළඟ උපාධිය වෙනුවෙන් විදෙස්ගත වෙන්න හිතාගෙන.
“නංගි..”
තීක්ෂණලාගේ ගෙදර අය එන්න කලින් දවසේ ගජරාමෙට කෑම හදන ගමන් අක්කා මට කතා කළේ හීන් හඬකින්.
“මං හෙට කොහෙහරි යන්න ඕනද?”
අක්කගෙ ඇස්වල තිබුණු අසරණකම මාව කම්පනය කරන්නට සමත් වුණා.මං අක්කගෙ අතින් අල්ලා ගත්තේ ආදරෙන්.
“අක්කා ඉන්නම ඕන.අක්කා කොහෙ යන්නද?”
මං අක්කගෙන් ඇහුවේ සැරෙන්.අක්කා ඇස් රතු කරගෙන බිම බලා ගත්තා.කසාද නොබැන්ද අක්කා කෙනෙක් ගෙදර ඉන්න එක ලැජ්ජාවක් කියලා මට කවදාවත්ම හිතිලා නෑ.ඉස්සරහටත් නොහිතෙන බවත් මම දන්නවා.අක්කා හොඳින් ඉගෙන ගත්තු තමන්ගේ ඉපයීම් ගැන තමන් බලා ගන්න කෙනෙක්.අක්කා තමන් සම්බන්ධයෙන් ගන්න තීරණ බලපාන්නේ ඇයට බවත් ඒ ගැන අපි සාංකා ඇති කරගත යුතු නැති බවත් අම්මා තේරුම් නොගැනීමයි ගැටලුව.
“මේ චලනිගේ අක්කා නේද?”
තීක්ෂණගේ අම්මා එහෙම අහනකොට අපේ අම්මාගේ මුහුණ අඳුරු වුණා.
“එයාටත් කෙනෙක් බලනව අපි..මේ කේන්දරවල අඩුපාඩුකම්…”අම්මා වචන ගැට ගහ ගහ එහෙම කියනකොට තීක්ෂණගේ අම්මා අක්කා දිහා බලලා හිනා වුණා.
“අනේ ඉතිං කසාදෙ කියන්නේ කසායක් පුතේ.කසාය බොන්න අකමැතිනම් ඔන්න ඔහෙ ජොලියේ ඉන්නයි තියෙන්නේ..කේන්දරේ සමහරවිට ඔයාව බේරා ගන්නවද දන් නෑ.”
තීක්ෂණගේ අම්මා එහෙම කියලා හිනා වෙන්න පටන් ගන්නකොට අක්කාගේ කසාදය හිසරදයක් කරගෙන අක්කාට දෙස්දෙවොල් තිබ්බ අතීතය අම්මාට මතක් වෙන්න ඇති.ගෙදර අක්කා කසාද නොබැඳීම නංගිගේ විවාහයට ගැටලුවක් වෙන්නේ නැති බව අම්මා ඉගෙන ගත්තා නම් එච්චරයි.