හෘද සාක්ශිය

ඉමේශා වාහනයේ තිබුනු බඩු මලු ටික උස්සගෙන ගෙට දුවගෙන ආවේ තවත් බඩු මලු කීපයක්ම වාහනයේ ඉතිරි වෙලා තියෙන නිසා

” සාගර එන්නකෝ අනේ මේ ටික ගන්න “
ඉමේශා කෑගැහුවා

” මම හිතුවා ඔයා උමා එක්කම එයි කියලා “

සාගර ගේ ඇතුළේ ඉඳලා එළියට ආවේ එහෙම කියාගෙන

” නෑ අනේ මම එයාව එයාගේ ගෙවල් ගාවින් බස්සගෙන ආවා.අම්මෝ පුදුම මහන්සියි. ලංකාවෙම මිනිස්සු පාරට බැහැලා ද කොහෙද නත්තලට බඩු ගන්න “

ඉමේශා සාලයේ සෝෆා එක උඩට වැටුණේ ඇස් දෙකත් පියාගෙන.තැන් තැන්වල තියෙන බඩුමලු වල තියෙන දේවල් සාගර එහා මෙහා කරලා බැලුවේ ඒ අතරේ

” ඔයා මේ ඩෙකරේශන් ගෙනාවේ මොකටද ? “

සාගර බෑගයක් ඇතුලේ තිබුන දිලිසෙන සැරසිලි කීපයක් එලියට ගත්තා

” ඇයි අනේ පාටි එක දවසට ගේ සරසන්නේ නැද්ද ? අපි පාටි එක දාන්නෙ ක්‍රිස්මස් එකට නේ ? “

” ඒක මේ නිකං ඩිනර් එකක් විතරනේ ඉමේශා. මේ විච්චූරන වැඩියි වගේ නේද ? “

” ඔයා ඉන්නකෝ මම ඒව ගානට කරල ගන්නම්. උමාත් එන්නම් කිව්වා මට උදවු කරන්න “

ඉමේශා සිංදුවකුත් මුමුණමින් නාන කාමරය පැත්තට ගියා. නත්තල් දින නිවාඩු නිසා ලගම මිතුරු මිතුරියන් කිහිප දෙනෙකුට රාත්‍රී සාදයක් සූදානම් කරන්න සාගර ලෑස්ති උනේ පහුගිය කාලය ඇතුළත තිබුණ අධික කාර්ය බහුල බවෙන් මිදිලා තරමක සැහැල්ලුවක් අවශ්‍ය නිසා.ඒ ගැන කියපු වෙලාවේ ඉඳලම ඉමේශා ඕනාවටත් වඩා එයට සූදානම් වෙන්න පටන් ගත්තා .එහි ප්‍රතිඵලයක් හැටියට මේ වෙනකොටත් ඉමේශා සාගරගේ බැංකු ගිණුමෙන් දහස් ගාණක බඩු මිලදී ගෙන තිබුණා

” අනේ උමා මට තව ඕනමන්ට්ස් වගයක් ගන්න යන්න ඕනේ.සාලෙට අලුතෙන් තියන්න.හෙට යමුද ? “

ඉමේශා රෑ වෙලා තමන්ගේ හොඳම මිතුරියවුන උමාට ඇමතුමක් අරගත්තා

” අම්මෝ සාගරට තව ජොබ් එකක් කරන්න වෙයි ඔය යන හැටියට නම් “

උමා කතා කලේ හිනාවක් අතරින්

” පිස්සුද අනේ ? වෙන වයිෆ්ලා මෙහෙම නෙමෙයි වියදම් කරන්නේ .අපේ එක්කෙනාට මම හොඳ වැඩියි “

රැකියාවක් නොකරපු ඉමේශා ව්‍යාපාරිකයකු වුන තමන්ගේ සැමියාගේ මුදල් හිතේ හැටියට වියදම් කළා. තෑගි බෝග සහ වීදුරු භාණ්ඩ අලවිකරණ නගරයේ විශාලතම වෙළඳසැලට පහුවදාම ඉමේශා ගියේ මිතුරන්ගේ සාදයට කලින් නිවසේ අලුත් වෙනසක් කරන්න හිතාගෙන

ඉමේශා මිල අධික පිළිතුරු වලින් නිමවූ විසිතුරු භාණ්ඩ කිහිපයක්ම එකතු කරගත්තා.කවුන්ටරය ලගට ගිය ඇය එකින් එක කවුන්ටරය මතින් තිබ්බා.වෙළඳසැලේ සේවිකාව විසිතුරු භාණ්ඩ එකින් එක ගෙන ගණනය කරද්දි ඉමේශා වීදුරුවලින් නිමවා තිබූ බිත්ති ඔරලෝසුවක් ආපහු අතට අරගෙන බලන්න උත්සාහ කළා.ඒ වේලාවේදී ඉමේෂා අතින් ඒ ඔරලෝසුව බිමට වැටිලා බිඳීලා ගියා.එය බිම වැටුණේ ඉමේෂා අතින් බව එතන හිටපු කීප දෙනෙක්ම පැහැදිලිව දැක්කා

” මේකි තමයි ඒක බිම වැට්ටුවේ “

ඉමේශා මහ හඬින් කෑ ගසමින් සේවිකාවට චෝදනා කළා

” මිස් මට කලින් ඔයා නේද ඒක අතට ගත්තේ ? “

සේවිකාව හිටියේ ගොඩක් බියපත් වෙලා.ඒත් ඉමේශා නම් වරද පිළිගන්න සූදානම් වුණේ නැහැ

” වැරැද්ද කරල ඒක මගේ පිට පටවන්න එනවද ? තමුසෙ තමයි ඒක වැට්ටුවේ .වැඩක්වත් හරියට කරගන්න බැරි නම් මොනවට වැඩට එනවද මන්දා “

සේවිකාවගේ දෑස්වල කඳුළු පිරුණේ ක්ෂණිකවම.එයින් නොනැවතුණු ඉමේශා දිගින් දිගටම සේවිකාවට ම චෝදනා කළා.රුපියල් 10,000 කට අධික බිත්ති ඔරලෝසුවේ වටිනාකම ගෙවිම සේවිකාවට අදාල දෙයක් බව ඉමේෂා එක හෙලාම කිව්වා. ඒ අවස්ථාවේදී එතනට පැමිණි වෙළඳසැලේ කළමනාකරු ප්‍රශ්නය නිරාකරණය කර ගන්නම් යැයි කියමින් ඉමේශා මිලදී ගත් අනෙක් බඩු වලට මුදල් අය කර ඇයව පිටත් කළා

කිසිවක් සිදු වුණේ නෑ වගේ ඉමේෂා ගෙදර ආවා. විවිධ විසිතුරු භාණ්ඩ වලින් සාලය අලංකාර කරපු ඇය වෙළඳසැලේ දී සිදුවුන සිදුවීම සාගර එකත් කිව්වේ ලොකු හපන්කමක් කළා වගේ

” රුපියල් දහදාහක් අතින් පාඩු කරගෙන එන්න මට පිස්සුද අනේ ? මම කිව්වා ඔරලෝසුව වැට්ටුවේ ඒ කෙල්ල මයි කියලා “

ඉමේශා එහෙම කියනකොට සාගරගේ හිතේ ඇති වුණේ නොරිස්සුමක්.තමන්ගේ බිරිඳට හිතේ හැටියට මුදල් වියදම් කරන්නට ඉඩ ලබා දීමේ ඵලවිපාක නුදුරේදීම දිනකදී තමන්ට විඳින්න ලැබෙන බව සාගරට ඉවෙන් වගේ වැටහුනා.

නත්තල් දිනය වෙනුවෙන් සාගරගේත් ඉමේශාගේත් නිවසේ මිතුරන් වෙනුවෙන් මහ ඉහළින් සාදයක් පැවැත්වුනා.කෑම බීම සහ මත් පැන් වලින් අඩුපාඩුවක් නොවුණු සාදය මිතුරු මිතුරියන් කාටත් අමතක නොවන එකක් වුණා.ඒ වගේම ඔවුන්ගේ නිවෙස් වල පවත්වන්න නියමිත සාද වලටත් ඉමේශාටයි සාගර ටයි ආරාධනා කරන්න ඔවුන් අමතක කළේ නෑ

” අපි දුන්නා වගේ පාටි එකක් දෙන්න එයාලට ආස හිතෙන්න ඇති.හැබැයි ඉතින් ඒ වගේ ඒවගේ එකක් නං එයාලට කරන්න හම්බ වෙන්නේ නෑ නේද සාගර ? “

ඉමේෂා කතාකලේ ආඩම්බරයෙන්

” හිතුවොත් බැරි නෑ ඉමේශා. හසන්තලට එහෙම දැන් හොඳට බිස්නස් තියෙනවා.සල්ලි ඇති හොඳට “

හිතුවා වගේම නත්තල් දිනයේ පහුවෙලා දින කීපයක් යන කොට අවුරුද්ද වෙනුවෙන් පවත්වන සාදයකට සාගරට ආරාධනාවක් ලැබුණා

” මම කිව්වේ සාගර ඔයාට “

” හරි ඉතින් අපිට විතරක් නෙමෙයිනේ පාටි දාන්න පුලුවන්, අපි දෙන්න ගිහිල්ලා එමු.”

” අපි හොඳ වටින ගිෆ්ට් එකක් එහෙම අරගෙන යමු. මම එදා බඩු ගත්ත කඩේ හොඳයි .ඒකෙ අලුතෙන් items වගයක් ඇවිල්ල තියෙනව “

තමන්ගෙ නිවසේ පැවැත්වුනු සාදයට ලෑස්ති උනා වගේම උනන්දුවකින් ඉමේෂා මිතුරන්ගේ සාදයට යන්නත් ලෑස්ති වුණා. ඒ සඳහා තෑග්ගක් තෝරගන්න කියලා හිතාගෙන ඉමේශා සාගර එක්ක ගියේ කලින් ගියපු වෙළඳසැලටමයි

” ඔයාලගේ කවුන්ටර් එකේ හිටපු කළු කොන්ඩේ දිග ගෑනු ළමයා දැන් නැද්ද ? “

ඉමේශා බඩු තෝරන වෙලාවේ ඇගේ සහයට ආව වෙළඳ සේවිකාවක ගෙන් ඇය ඇහුවේ කවුන්ටරය දිහා විමසිල්ලෙන් බලන ගමන්

” මේනකා ගැනද මිස් අහන්නේ ? “

” කවුද මම දන්නෑ. දෙවෙනි කවුන්ටරයේ හිටියේ “

” ආ මේනකා තමයි. එයා දැන් නෑ මිස් “

සේවිකාව එහෙම කියනකොට සාගර ඉමේශා ගේ මුහුණ දිහා බැලුවා

” එයා නෑ කිව්වේ ? “

ඒ වතාවේ ප්‍රශ්නය ඉදිරිපත් වුණේ සාගර ගෙන්

” පොඩි ප්‍රශ්නයක් වුණා සර් පහුගිය දවසක. ඒ නිසා මේනකාට අස්වෙන්න සිද්ධ වුණා .සර්ලා අඳුරනවද එයාව ? “

” ඔව් ටිකක් දන්නවා. ඇයි එයා අස් උනේ ? “

ආයෙමත් සාගර ඇහුවා

” අනේ අයින් වුණේ නැහැ සර් එයාව අයින් කළා .පහුගිය දවසක ආව මිස් කෙනෙක්ගේ අතින් රුපියල් දහදාහක ඔරලෝසුවක් බිම වැටිලා කැඩිලා තිබුණා. ඒ මිස් කිව්වා ඒක වැට්ටුවේ මේනකාමයි කියලා .ඒත් මේනකා ඒක අතටවත් අරගෙන තිබුණෙ නැහැ .ඒ උනාට අන්තිමට ඒකෙ පාඩුව මේනකාගේ පඩියෙන් කැපුනා .රස්සාවත් නැති වුණා “

සේවිකාව එහෙම කියනකොට ඉමේශාගේ වගේම සාගරගේ දෑස් පුදුමයෙන් මහත් වුණා

” අපි හැමෝම ගම් වල ඉඳලා කොළඹ රස්සාවල් වලට එන දුප්පත් ළමයි සර්. එහෙම අපේ පඩියකින් රුපියල් දහදාහක් කැපුනා කියන්නේ ඉතුරු වෙන දෙයක් ඇත්තටම නැහැ. මේනකා එයාගේ පඩියෙන් තමයි නංගිට ඉගැන්නුවෙ. දැන් ඉතින් මොනව කරගන්නවා ද දන්නෙ නෑ රස්සාවත් නැතුව “

සේවිකාව තවදුරටත් එහෙම කියනකොට ජීවිත කාලය පුරාවටම තමන්ගේ හෘද සාක්ෂියෙන් තමන්ට ගැලවෙන්න බැරි වෙයි කියලා ඉමේශා ට ආයෙ ආයෙත් හිතුනා

More Stories

Don't Miss


Latest Articles