“සූකිරි ඉන්නේ ප්‍රශ්නෙකද?”
අම්මා එසේ ඇසුවේ ප්‍රේමයෙන් දැවෙමින් සිටි මගේ මුහුණ කියවා විය යුතු ය.නමුත් ඊළඟ තත්පරයේ ඇය එයට හේතු අනුමාන කළා ය.අනුමාන කරමින් ඒ හේතුවෙන් මට දමා ගැසුවා ය.
“රිසල්ට්ස් ගැන බයෙන් නේද ඉන්නේ?”
මා හිඳින්නේ සැබෑවටම මගේ ප්‍රතිඵල ගැන හොඳ විශ්වාසයකිනි.බොහෝ තරඟකාරී කොළඹ දිස්ත්‍රික්කයෙන් විභාගයට පෙනී සිටිය ද මට දහතුන් වසරක මගේ අධ්‍යාපනය ගැන තදබල විශ්වාසයක් තිබිණ.නමුත් මා ප්‍රතිඵල එන්නට පෙර උදම් අනන්නට නොසතුටු ය.එනිසා විභාගය කොහොමදැයි අසන අයට පවා මා තිළිණ කළේ මඳහසක් පමණි.
“ඔයාට හොඳ රිසල්ට්ස් නෑ වගේ පේනවනම් මේ දැන්ම ආයෙත් ක්ලාස් යන්න පටන් ගන්න..”
අම්මා සොයා ගත් හේතුවට ඇයම විසඳුම් සොයා ගත්තා ය.අනතුරුව මගේ හිස කැක්කුම හැදෙන තරමට කියවන්නට පටන් ගත්තා ය.
“අයියාත් එකපාරක් විභාගේ කරලා ලොකු ලොකු කතා ටිකක් කියලා කැම්පස් ගියා.මට ඕන වුණේ ඔයාලා දොස්තරලා කරන්න.ලොකු කතා කිව්වට අයියා අන්තිමට ඔය කියන ඒව කරයිද මං දන් නෑනෙ.අයියාට බැරි දේ ඔයා කරන්න ඕන..අර මනුස්සයා කාත් කවුරුත් නැති රටක දුක් විඳින එකේවත් මං මේ තනියම නැහෙන එකේවත් තේරුමක් නෑනෙ..කොළඹ ලොකුම ඉස්කෝලවලට යවලා ඉගැන්නුවෙ ඒකට..”
අම්මා කියවාගෙන යන්නී ය.මට ප්‍රජනනය පාඩම ඉගැන්වූ ජීව විද්‍යා ගුරුතුමිය සිහි විණ.ඇය තමන්ගේ පළමු පත්වීම ලබා පැමිණි අක්කා කියන්නට හිතෙන වයසක ගුරුවරියකි.ජීවවිද්‍යාවට අමතර පන්ති යන්නට නොසිතෙන තරමටම ඇය අපිට අපූරු ගුරුවරියක වූවා ය.
“ඔයාලා දවසක දරුවෝ හදන්නේ ඇයි?”
ඇය එදා අපෙන් ඇසුවා ය.අපට කියන්නට ලොකු කතා නොතිබුණු අතර වයස දහ අට දහ නවය සපිරෙමින් සිටි දැරියන් රොත්තටම තිබුණු පිළිතුර “බබාලා ස්වීට්නෙ මිස්..”යන්න ය.නමුත් ආදරය කරමින් හුන් කොල්ලන් හා එක් වී මතු ඉපදෙන දරුවන්ට නම් පවා සැකසූ ළාබාල ප්‍රේමවන්තියන් නම් මල් සිනා නගමින් සිටි බව මට මතක ය.
“ඔයාලා මෙහෙම බට්ටි කෙල්ලො වෙලා ඉන් නෑ හැමදාම.තව අවුරුදු දහයක් යනකොට ඔයාලගෙන් ගොඩක් අය මිසිස්ලා.ආදරේ කරන කෙනාව බඳින එකයි, එයා එක්ක දරුවෝ හදනවා කියන්නෙයි කාරණා දෙකක් පුතේ..”
ගැහැනියකට අම්මා කෙනෙකු වීම සොබාදහමෙන් පිරිනමා ඇති දෙයක් බවත් එය ඕනෑම ගැහැනියක සතු හැකියාවක් බවත් ගුරුතුමිය අපට පැහැදුවා ය.පාඩම අතරම ඇය අපට පාඩමේ නැති කාරණා පැවසූයේ ඉන්පසුව ය.
“මේ උපත් පාලනය ගැන ඔයාලා දැනගන්න ඕන ඇයි දන්නවද? කවමදාවත් දරුවෙක් ඕනෑමයි හිතෙනකම් බබාලා හදන්න එපා.එයා ඔයාලට මිසක් රටට ඕන කෙනෙක් වෙලා බෑ..”
ඇය එදා බොහෝ දේ පැවසුවා ය.නමුත් මගේ මතකයෙන් නොමියෙන එක් කාරණාවක් තිබේ.
“ඔයාලගේ හීන දරුවන්ගෙන් ඉෂ්ට කරගන්න හදන්නම එපා පුතේ.ඒක මාර නරක දෙයක්.ඔයාලා වගේම මම වුණත් එහෙම දෙමව්පියන්ට දරුවෝ වුණු පරම්පරාවක්.හැබැයි අපිට පුලුවන් වෙයි ඒක වෙනස් කරන්න.අපි අපිට කරන්න බැරි වුණු දේවල් දරුවො ලවා කරගන්න එක අන්තිම නරක වැඩක්..”
ගුරුතුමිය නිවැරදි ය.අම්මා මේ මොහොතේ ද හැසිරෙන්නේ එහෙම ය.ඇය ඇයට ද තාත්තාට ද පමණක් නොව අයියාට ද සැබෑ කරගන්නට බැරි වූ සිහින මා මතින් ඉටු කරගන්නට වෙර දරන්නී ය.එය එසේ නොවන තැන කෝප ගන්නී ය.
“මට විභාගෙ ගැන ප්‍රශ්නයක් නෑ අම්මේ..”
මම තරහින් මිමිණීමි.නමුත් ඒ සාමාර්ථ තුනක් ස්ථිර බව කියන්නට නොහැකි ය.එය එසේ නොවුණහොත් බොරු පම්පෝරි ගැසීම ගැන අම්මා බැන වදින්නේ මෙසේ නොවේ.
“මට තියන එකම ප්‍රශ්නෙ ඒකද?”
මගේ හඬ උස් වූයේ අම්මා මවෙත රවා බැලූ නිසා ය.නමුත් ඇය කෝපයට පත්ව කියවන්නට ගත්තා ය.
“එච්චර පන්ති යන්න ඕනද..රෑ තිස්සෙ ඇහැරල ඉන්න ඕනද.ලකුණු තියනවනෙ ගගා පම්පෝරි ගැහුවා..අන්තිමට විබාගෙ ලියලා මිනිහා මැරුණු ගෑනි වගේ ඉන්නව..මට තමා රෙද්දක් ඇඳන් පාරට බැහැගන්න බැරි වෙන්නෙ..”
ඇය මොර ගසද්දී මගේ ඉවසීමේ සීමාව දෑස් අතරින් පිටාර ගලන්නට පටන් ගෙන තිබිණ.දියණියකගේ හැඟීම් තෝරා ගන්නට ඇයට අපහසු ඇයිදැයි මට සිතිණ.
“මට තාත්තව ඕන..”
හැඬුම අතරම මම පැවසීමි.අම්මා ඉන් වඩවඩාත් කෝප වූවා ය.
“සල්ලි එවලා සැපට ඉන්න මිනිහව තමයි ඕන..මං මෙතන නැහෙනව.පොඩ්ඩ ඇත්නම් තාත්තා හොයනව අත දරුවො වගේ.නොවිඳිනා දුක් වින්දෙ මං.තාත්තා තමයි ඒ උනාට ඕන..මෙහෙම ළමයි තමා මට ඉන්නෙ.අක්කා වගේ මගෙ පාඩුවෙ හිටියනම් මොකුත් නෑ.ළමයි හදාගන මං විඳින වදයක්..”
අම්මා මොනමොනවාදෝ කියමින් වළං හප්පන්නට ගත්තා ය.මම හඬමින් විත් සාලයේ හිඳ ගතිමි.මම්මාගේ සුවදායක තුරුලට පත් වන තුරුම මම ඉකිලමින් සිටියෙමි.
“මොකද රත්තරං මේ..එයාව අවුසන්න එපා මගේ පුතා..”
මම්මා,ජීව විද්‍යාත්මකව මවක් නොවුණ ද අපව හදවතින් දරන අම්මා මා තුරුලට ගෙන මිමිණුවා ය.
“ඇයි මම්මා අපේ අම්මා නිකන්වත් මාව තේරුම් නොගන්නේ..”
මම හඬමින් අසද්දී මම්මා මගේ හිස පිරිමැද්දා ය.කිසිවෙකුටත් කියා ගන්නට නොහැකි බරක් හදවත මත තබාගෙන සිටින මට අම්මා නගන්නේ අත්භූත චෝදනාවකි.ඉගෙන ගැනීම ජීවිතය කරගත් ගැහැනු ළමයෙකුට එය ගැනම චෝදනා කිරීම අසාධාරණ බව අම්මාට කිසිම හැඟීමක් නැති හැඩකි.මට මගේම කරගන්නට ආදරයක් ඕනෑ බව තදින් දැනෙන්නට විය.