පරණ කුණු.

“අපේ අම්මට අලුත් අවුරුද්දේ තියන එකම ප්‍රාර්ථනාව මං කසාදයක් කරගන්න එක..”

දිදුලි කියන්නේ හිනාවෙන ගමන්.ඒත් දිදුලිගේ ඇස්වල මොකක්දෝ වේදනාවක් තියෙන බව සරනිට නොහිතුණා නෙවෙයි.කසාදයක් කියන්නේ මිනිස් මූලික අවශ්‍යතා වලින් එකක් නොවුණට දිදුලිගේ අම්මා දිදුලිගේ අනාගතය ගැන බයයි.

“මට නම් අලුත් අවුරුද්ද ගැන තියෙන්නේ එකම එක ප්‍රාර්ථනාවක් විතරයි අනේ..”

දිදුලි එහෙම කියනකොට හැමෝම එයා දිහා බැලුවේ ඒ මොකක්ද කියලා වචනයෙන් අහන්නේ නැතුව.අලුත් අවුරුදු ලබන්න කලින් ඔෆිස් එක අස් පස් කරමු කියල වැඩකට නැති කුණු එකතු කරන ගමන් තමයි හැමෝම ඕපාදූප මල්ල ලෙහා ගත්තේ

“මට හිතෙනවා කවදමහරි නිලාන් ආයේ එයි කියලා..”.

දිදුලි එහෙම කියනකොට රුක්ෂානි දිදුලි දිහා බැලුවේ අතු ගාන එකත් නවත්තලා.ඒ කොස්සෙන්ම පාරක් වදීද කියන සැකේ එක්ක දිදුලි පොඩ්ඩක් විතර ඈතට ගියා.

“මොන විකාරයක්ද ඒ..මේ අවුරුද්ද පුරාම අපි පුළුවන් තරම් හිත හැදුවා..පුලුවන් තරම් දේවල් කිව්වා.කවුන්සිලින් ගෙනිච්චා..ඔක්කොම ඉවර වුණාම මෙන්න මෙයාගේ නව අවුරුදු ප්‍රාර්ථනය..”

හරිම සැර හඬකින් රුක්ෂානි එහෙම කියද්දී දිදුලි අහක බලා ගත්තා.ඒත් එයාගේ ඇස් දෙකේ තවමත් ඒ ප්‍රාර්ථනාව ලියවිලා තියෙනවා කියන එක කාටවත් රහසක් වුණේ නැහැ.

“මම මේ කරන්නේ මොකක්ද? ” අවශ්‍ය නෑ කියලා හිතෙන හැම ලිපිගොනුවම ඉවතට දමමින් හිටපු සරනි නිහඬතාවය බිඳ දැමුවා.

“එපා කියලා හිතෙන දේවල් අයින් කරන එක තමයි මම මේ කරන්නේ. ඇත්තටම මේවා ගොඩ ගහගෙන ඉන්න ඕන නැති කුණු ගොඩවල්..දැන් අපි මේවා කුණු ලොරියට දුන්නට පස්සේ මේ අවුරුද්දේ ඉතුරු වෙච්ච හැම කුණු ගොඩම අපි අයින් කරලා ඉවරයි..ඒක හැමදාම හරියටම කරත් අපි කිසිම අවුරුද්දක නොකරන දෙයක් තියෙනවා..”

සරනි එහෙම කියලා කුණු මලු සේරගෙම කට ගැට ගැහුවා.

“අපි හැමදාම ඇස් දෙකට පේන හැම කුණු ගොඩක්ම අයින් කරලා දානවා.ඔෆිස් එකයි ගෙදරයි සුද්ධ පවිත්‍ර කරගන්නවා..ඒ උනාට කිසිම අවුරුද්දක හිත අස් කරගෙන අලුත් අවුරුද්දට යන්නේ නෑ..පරණ කුණු ගොඩවල් සේරම අරගෙන යනවා…”

සරනිට කතාව ඉවර කරන්න ඉඩ ලැබුණේ නැහැ.චාමිකා ආවේ මුහුණ දෙක කරගෙන.

“අර අයේෂා නම් මගෙන් හොඳ පාඩමක් ඉගෙන ගන්නව වෙලාවක..”

අවුරුද්දකටත් වඩා ඇවිලුණු සටන තවම ඉවර නැති බව කියමින් ඇය එහෙම කියද්දි සරණි ඇය දිහා බැලුවෙත් අනුකම්පා දෑසකින්

“මේ පේනවද? අලුත් අවුරුද්දට හොඳට අස්-පස් කරමු කියලා මුලින් ම පටන් ගත්තේ මෙයා..ඒ උනාට හිතේ කුණු එහෙමමයි..ඔලුවෙ තියෙන බර බිමින් තියලා අලුත් අවුරුද්දට යන්න මෙහාට කිසිම උවමනාවක් නෑ..”

ඒ කතාව බොරුවක් නෙවෙයි කියලා හැමෝටම හිතුනේ අස්-පස් වන කාර්යාල කාමරය දකිනකොට.පුදුමාකාර පිරිසිදුව කින් පිළිවෙළකින් බැබළෙන කාමරය තරමට තමන් කාගෙවත් හිත් පිරිසිදු නෑ නේද කියලා ඔවුන්ට හිතුණා.

“ගෙවල් දොරවල් අස් කරන එක වෙනම වැඩක්..ඒත් අපි කිසිම කෙනෙක් විනාඩි පහක්වත් අරගෙන ඊළඟ අවුරුද්දට ගෙනියන්න ඕන නැති හිතේ කරදර මොනවද කියලා නිකමටවත් හිතන්නෙ නෑ.ඒ හැම කුණු ගොඩ ම කට ගැටගහලා පරණ අවුරුද්දම ඉතුරු කරලා යන්නෙත් නෑ.ඉතිං කොහෙද අලුත් වීමක්..හැමදාම දුක විතරයි..”

සරනි එහෙම කියද්දී මේ ඇවිල්ලා තියෙන්නේ අලුත් වෙන්න අවස්ථාවක් බව අනිත් අයට නොහිතුණා නෙවෙයි.අලුත් වෙන සිතුවිලි සහ අස් කර ගත්තු හිතක් මිස භෞතික දේවල්ම අලුත් වෙලා තේරුමක් නැහැ කියලා හැමෝම හිතුවේ ඒ නිසා.

“ලබන අවුරුද්දේනම් මමයි රනුකියි ජිම් යන්න ඉන්නේ..”

රුක්ෂානා එහෙම කියද්දී චාමිකාටත් කතාවක් තිබුණා.

“මමත් අර මඟ ඇරුණු එක්සෑම් ටික ඔක්කොම කරගන්න ඕන අප්ප..”

අනිත් අය තමන්ට කෑගැහුවට මේ වතාවේනම් හිනාවක් ඉපදුණේ දිදුලිට.එයා ඒ හිනාවෙන්ම මිතුරියන් දිහා බැලුවා.

“ඔයාලා හැම අවුරුද්දේම ඕක කියනවා.මාර්තු විතර වෙනකොට කොහෙටවත් නැති කැක්කුම් එනවා.කම්මැලි හිතෙනවා.ඊටපස්සෙ හැමදේම අත් අරිනවා…”

දිදුලි කියන කතාවට ලැජ්ජාවෙන් වුණත් දෙන්න උත්තරයක් රනුකිට තිබුණා.

“හරි හරි ඉතිං..නිව් ඉයර් ගෝල්ස් කියලත් මොනව හරි තියෙන්න එපැයි..”

ජීවිතය සම්බන්ධ අරමුණු හැම දවසකටම වලංගු බවත් ඒවා අලුත් අවුරුද්ද ලබනකොට මතක් වෙලා අවුරුද්දත් එක්කම අවසන් නොවිය යුතු බවත් ආයෙමත් පැහැදිලි කරේ සරනි.

“ඇත්ත තමයි! අපි ඉතින් අලුත් අවුරුද්දෙ හැදෙනවා හැදිල්ලක් කියලා ෆේස්බුක් පෝස්ට් ෂෙයා කරනව විතරනෙ..”

රුක්ෂානා එහෙම කියන ගමන් පුටුවකට වැටුණේ අස්පස් කරපු මහන්සියටමයි.

“ඔයාලා රෑ දොළහට කිරි උතුරනවද අනේ..”

රනුකි එහෙම අහනකොට එක එක අය තම තමන්ගේ නිවසේ සම්ප්‍රදාය ගැන කියන්න ගත්තා.හැමෝටම උපදෙස් දුන්නු සරනි මොකුත්ම නොකියා හිටියේ ඒ වෙලාවේ.ඊටත් පස්සේ උද්‍යෝගය බිංදුවටම හිඳුණු වචන ටිකක් කියන්න අමතක කරේ නෑ.

“අපේ ගෙදර ඉතිං කවදාවත් කිරි සුවඳ එන්නෙ නැති ගෙයක්නෙ..ඒ නිසා මොන කිරි ඉතිරිලිද?”

රනුකි සරනිගේ අතක් අල්ලා ගත්තේ හිතවත්කමින්.

“අපි ඔක්කොගෙම වැරදි තැන් ආදරෙන් පෙන්නපු නිසා ඔයාටත් මේ ආදරෙන් කියන්නේ.ඇත්තටම ඉතිං එහෙම එකක් නෑ.ඔයාටත් තියෙන්නේ දුක අමතකම කරලා ඔයාගේ අරමුණ වෙනුවෙන් මේ අවුරුද්දේ සටන් කරන්න..අපි සමහරු ජීවත් වෙනවට ජීවත් වෙන්න අරන් සරනි.එහෙම එපා..අපි මේ ජීවිතේ ඇතුළේ නොලැබුණු හැමදේම ලබා ගන්න මේ අවුරුද්දේවත් ෆයිට් එකක් පටන් ගමු..”

දන්නවද?

ජීවිතය කියන්නේ බොහොම පොඩි කාලෙකට.අපි හැමෝම තව පැය කිහිපයකින් අඩිය තියන්නේ අපේ ජීවිතේ සහමුලින්ම වෙනස් කරගන්න පුලුවන් දවස් තුන්සිය හැටපහකට.ඒ අලුත් පොතක්.එකම එක පිටුවක්වත් නොලියවුණු පොතක්.හැබැයි අපේ කතාව අපේ ධෛර්යමත්කම එක්ක පුලුවන් තරම් ලස්සනට ලියන්න පුලුවන් අපිටම විතරයි.ඒ නිසා ඒ අලුත් පොතේ පරණ කුණු හෝ වේදනාවක මතක නොලියා ඉමු.සම්පූර්ණ නොවූ අපේ සටනක ජයග්‍රහණය ඒ පොතේ ලියන්න වග බලා ගමු.

විස්සයි විසි දෙක වසන්තයක් ම වේවා!

More Stories

Don't Miss


Latest Articles